ඖෂධ ‘අවභාවිතයේ’ මාෆියාව | සිළුමිණ

ඖෂධ ‘අවභාවිතයේ’ මාෆියාව

ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීහූ ඖෂධ හලක් පරීක්ෂා කරති

කනෙන් රිංගා ඖෂධ විකුණන අයට කනේ පහරක්

සියලු දෙනාගේම දැනගැනීම පිණිසයි,.................... වන මම බලපත්‍රයක් නොමැතිව Neurovan වර්ගයේ මත් කරල් එකක් මුදලට විකිණීම හා මත්කරල් දෙකක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ................මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අංක ........... දරන නඩුවෙන් වරද පිළිගෙන අවසන් කරගෙන ඇති හෙයින් මා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් සමාව අයැද සිටිමි.” 

ඉහතින් උපු‍ටා දැක්වූයේ මෑතකදී එක්තරා ජාතික පුවත්පතක පළවූ දැන්වීමකි. මෙවැනි දැන්වීමක් පළ කරන්නට යෙදුණේ එකී තැනැත්තා කළ ඖෂධ අවභාවිතය යන වරදට දඬුවමක් වශයෙනි. මෙසේ දඬුවම් ලබාදීමට නෛතික බලය හිමි වී තිබෙන්නේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතිනි.

“මේ දැන්වීමේ සඳහන් වී තිබෙන්නේ මත් කරල් කියලා. ඒ වුණාට අපි එය හඳුන්වන්නේ ඖෂධ අවභාවිතය කියලා. සමහර ඖෂධ මත්වීම සඳහා ෆාමසිවලින් විකුණනවා. එවැනි අවස්ථා අපිට දැනගන්න ලැබුණාම අපි වැටලීම් කරලා නීතිය ක්‍රියාත්මක කරනවා. පනතට අනුව එහි සඳහන් වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සංසරණය වන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පතක මුල් පිටුවේ අඟල් 10 x 10 ප්‍රමාණයේ දැන්වීමක් පළ කිරීමෙන් මහජනතාවගෙන් සමාව අයැදීම. ඒ වුණත් ගොඩාක් පුවත්පත් ආයතන කැමැති නැහැ මුල් පිටුවේ ඒ විදිහේ දැන්වීම් පළ කරන්න. ඒ නිසා තමයි ඇතුළු පිටුවක ඔය දැන්වීම් පළ වෙන්නේ. ඒත් වතාවක් අපි කරපු වැටලීමකට ගොනු කළ නඩුවකදී මාතර අධිකරණයෙන් තරයේ ප්‍රකාශ කළා මුල් පිටුවෙම පළ කළ යුතුයි කියලා.

මුල් පිටුවේ දැන්වීමක් පළ කරන විට ගණන් වැඩියිනේ. අධිකරණය අවධාරණය කළ නිසා ඒ වතාවේ නම් අකමැත්තෙන් වුණත් දැන්වීම පුවත්පතේ මුල් පිටුවේ පළ කළා.” යනුවෙන් අදහස් පැවසුවේ ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්ගේ ප්‍රධානි, අමිත් පෙරේර‍ා ය.

මහේස්ත්‍රාත්වරයා විසින් මේ පනත යටතේ පනවන ලද දඬුවමට අමතරව ඒ පරිශ්‍රයන් වසා දැමීමට හෝ ඒ පරිශ්‍රය තුළ කරගෙන යන ව්‍යාපාර අත්හිටුවීමට නියෝග කරනු ලැබිය හැකි ය. ඊට අමතරව වෙනත් යම් වරදක් වෙනුවෙන් රුපියල් ලක්ෂයකට නොවැඩි දඩ මුදලක් හෝ මාස තුනකට නොවැඩි කාල සීමාවක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් වීමට සිදු විය හැකි ය.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට අනුව දඬුවම් ලැබිය හැකි වැරදි 20 ක් ඇත. මෙම වැරදි අතරින් බහුලව දඬුවමට ලක් වෙන්නේ මත්ද්‍රව්‍ය ලෙස ඖෂධ අවභාවිත කිරීම් හඳුනාගැනීමයි. (මෙම තොරතුරු පිළියෙළ කර තිබෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් බල ප්‍රදේශ යටතට ගැනෙන කොළඹ මහ නගර සභා සීමාව, කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය, දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශය, මොරටුව නගර සභා බල ප්‍රදේශය සහ අම්පාර, පුත්තලම, මාතර, මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික් තුළ සිදු කළ වැටලීම්වලින් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩු සංඛ්‍යාව අනුවය. දීප ව්‍යාප්ත තොරතුරු මිට ඇතුළත් නැත.)

“ලංකාවේ ආහාර සහ ඖෂධ වැටලීම් කරන පරීක්ෂකවරුන්ගේ ලොකු හිඟයක් තියෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයිති බල ප්‍රදේශයේ වැඩ කරන්න මා ඇතුළුව නිලධාරීන් තුන්දෙනයි ඉන්නේ. ඒත් විසි දෙනෙක් ඉන්න ඕනෑ. ලංකාවටම ඉන්නේ 45 දෙනකු විතරයි. එක් දිස්ත්‍රික්කයකට දෙදෙනකු වගේ ඉන්නවා. නිලධාරීන්ගේ හිඟය එක්ක අපි මුහුණදෙන ගැටලු තියෙනවා. අනුමත කර තිබෙන නිලධාරීන් ප්‍රමාණය සිටිනවා නම් අපිට මීට වඩා කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන්.” යනුවෙන් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ ප්‍රධානි අමිත් පෙරේරා සඳහන් කළේය. 

ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්ගේ සේවය ඉහළ දැමූ විට වර්ධනය කර ගත හැකි වන්නේ මහජන සුබසාධනය සහ ජනතාවගේ යහපත පමණක් නොවේ. රටට ආදායමක් ද උපයාගත හැකි ය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහගෙන් මේ පිළිබඳව විමසුවේ එබැවිනි. “ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් මුලින් ම සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා කටයුතු කළේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපිත කළේ 2015 දී.

දැන් ඒ අය ජාතික ඖෂධ නියාමන අධිකාරියට සම්බන්ධ වී වැඩ කරනවා. ඒ අයගේ හිඟයක් තිබුණත් සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් කරනවා.

සේවා අතපසු වීම් වෙලා නැහැ. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය මත්පෙති, මත් කරල් අල්ලා ගත්තාම ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් තමයි ඒවා හඳුනාගෙන නඩු පැවරීමේ කටයුතු සිද්ධ කළ යුත්තේ. ඇත්තටම දැනට ප්‍රධාන කාර්යාලයේ ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්ගේ හිඟයක් තිබුණත් එයාලා උපරිම අන්දමට සේවය කරනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඖෂධ ඇගයීම් නිලධාරීන් බඳවා ගැනීමටත් අවශ්‍යයි. ඒත් වැටුප් හා සේවක කොමිෂන් සභාවේ එය නොසෑහෙන කාලයක් ප්‍රමාද වුණා. ළඟදී ජනාධිපතිතුමා මැදිහත් වෙලා එය විසඳුවා. දැන් උපාධිධාරී ඖෂධවේදීන්ව කළමනාකරණ සේවයට අනුයුක්තව බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.

අපි ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්වත් බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.” යනුවෙන් වෛද්‍ය කමල් ජයසිංහ විස්තර කළේය.

ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්ගේ සේවය ප්‍රමාණවත්ව ඉහළ දැමුවොත් ආහාර සහ ඖෂධ සම්බන්ධයෙන් ගුණාත්මක සේවාවක් ලබාගත හැකි බව මෙහිදී අවධාරණය කළ යුතුය.

Comments