
මීට වසර ගණනාවකට පෙර සුමිකා ලසන්ති, දීපිකා, ජයන්ති, රංජිත්, ලෙස්ලි, චමින්ද යන අය කිරිකැටියන් ලෙස සත්සමුදුරෙන් එහාට ඉගිළී ගියේ සිය උපන් බිම පමණක් අහිමි කරගනිමින් නොවේ. මවුවරුන්ගේ ආදරණීය උණුසුම ද ඔවුන් වෙනුවෙන් එරුණු කිරි කළ හත ද මුළුමනින්ම අහිමි වී ගිය දරුවන් වශයෙනි. සිය ප්‍රාණය පමණක් තිබියදී බොහෝ දේ අහිමි වූ මෙම දරුවන්ගේ ජීවිත වර්ණවත් කළේ එතෙර මවුපියන්ය. ඔවුන්ව ඇති දැඩි කරමින් ඔවුන්ගේ ලෝකය ආදරයෙන් පිරවූයේ එතෙර මවුපියන්ය.
එහෙත් මෙම දරුවන් දැනුම් තේරුම් වයසට පත්වන විට ඔවුන්ට ජීවය දුන්, වැදූ මවුවරුන් සොයා යෑමේ ආශාවක් ඇතිවන්නේ සැබෑ මව හඳුනා ගැනීමේ වුවමනාව නිසා විය හැකි ය. එසේ නොමැති නම් මවු උණුසුමේ ගුලිවී සිටි කිරිකැටියන්ව නොදන්නා දේශ දීපංකරේට දුන්නේ මොන හිතකින්දැයි වැදූ මවුවරුන්ගෙන් අසා දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය වී ඇතිවාට සැක නැත. කෙසේ නමුදු කිසිදා නොදුටු වැදූ මවුවරුන් සොයා ගැනීමේ අරමුණින් විදේශ රටවල්වලට දරුකමට හදාගැනීමට දී සිටින යුරෝපයේ ජීවත් වන ශ්‍රීලාංකික දරුවන් මේ වනවිට සංවිධානගත වී ඇත. මෙම සංවිධානගත දරුවන් මීගමුව මුන්නක්කරයේ පදිංචි සංචාරක රියදුරකු වූ ඇන්ඩෘ සිල්වා සම්බන්ධ කරගනු ලබන්නේ ඔහු, දරුකමට හදාගැනීමට එතෙරට දුන් දරුවන්ගේ මෙතෙර සිටින සැබෑ මවුවරුන් සොයා දීමට ඇප කැප වී සිටින අයකු වන නිසාය. මේ වනවිට ඔහු දරුවන් 150 දෙනකුට මවුවරුන් සොයා දී තිබේ.
“පිටරට සිටින දරුවන්ට මවුවරුන් හොයා ගැනීමට අමාරු වෙන්නේ ඔවුන්ගේ ලියකියවිලිවල අසත්‍ය තොරතුරු ඇතුළත් කර ඇති නිසා. දැන් ඔය චමින්ද කියන ළමයාගේ ලේඛනවල තියෙන්නේ කළුබෝවිල රෝහලේ ඉපදුණා කියලා. ඒත් ඇත්තටම එයා ඉපදිලා තියෙන්නේ බුලත්සිංහල රෝහලේ. ප්‍රින්සිගේ උප්පැන්නෙ තිබෙන්නේ රාගම රෝහලේ ඉපදුණා කියලා. ඒත් ඉපදිලා තියෙන්නේ ගම්පහ රෝහලේ. පිටරටවල්වලට දරුකමට හදා ගැනීමට දරුවන් දීම ජාවාරමක් හැටියට ජයටම කරන ජාල තිබෙනවා. ඒ අය ව්‍යාජ තොරතුරු ඇතුළත් කරලා ව්‍යාජ උප්පැන්න සහතික සකස් කරලා දරුවන්ට දීලා තියෙන්නේ. සමහර උප්පැන්න සහතික කච්චේරිවල ලියාපදිංචි කරලා නැහැ. විදේශිකයන්ට දරුවන් භාරදෙන අවස්ථාවේ මවුවරුන් හැටියට පෙනී සිටලා තිබෙන්නේ ව්‍යාජ මවුවරුන්. මේවගේ ගැටලු නිසා තමයි ඒ දරුවන් ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් මවුවරුන් තහවුරු කරගැනීමට වැඩපිළිවෙළක් යෙදුවේ.” යනුවෙන් විස්තර කළේ ඇන්ඩෘ සිල්වා ය.
ඒ අනුව මවුවරුන් සොයන දරුවන් පවසන තොරතුරු ඔස්සේ යන ඇන්ඩෘ සිල්වා අදාළ කාන්තාවන්ගේ රුධිර සාම්පල් ලබාගෙන කුරියර් සේවය මඟින් විදේශයට යවනු ලැබේ. වෛද්‍යවරයකු මඟින් රුධිර සාම්පල් ලබා ගැනීමේදී අවශ්‍ය වන පරීක්ෂණ උපකරණ කට්ටල විදේශගත දරුවන් විසින් ඇන්ඩෘට එවා ඇත. මෙසේ යවනු ලබන මවුවරුන්ගේ ඩී.එන්.ඒ. සටහන් සහ දරුවන්ගේ ඩී.එන්.ඒ. දත්ත සටහන් එක්රැස් කළ බැංකුවක් පවත්වා ගෙන යනු ලබන්නේ සංවිධානගත වූ විදේශ රටවල්වල සිටින ශ්‍රී ලාංකික දරුවන් විසිනි. ව්‍යාජ ලියකියවිලි සහ තොරතුරු මෙම දරුවන් සතුව තිබුණත් ඩී. එන්. ඒ. පරීක්ෂණයට අනුව සැබෑ මව විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට ඔවුන්ට හැකිවී තිබේ. මේ ආකාරයට තහවුරු කර ගත් දරුවන් දස දෙනෙකු මවුවරුන් දැක බලා ගැනීමට මෙරටට පැමිණීමට නියමිතය. ඔවුන්ගේ ගමනට හරස් වූයේ ලෝ පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතයයි.
“මේ දරුවෝ දසදෙනා වගේම ඔවුන්ගේ වැදූ මවුවරුනුත් හරි ආශාවෙන් හිටියේ එකිනෙකා හඳුනාගන්න. මම ඒ අම්මලා හමුවෙලා කතා කරලා සේරම සූදානම් කරලා තිබුණේ. ඒත් කොරෝනා දෙවැනි රැල්ලත් ආවනේ. ගුවන් තොටුපළ විවෘත කරලා සාමාන්‍ය තත්ත්වයට ආවාට පස්සේ ඒ ළමයින් ලංකාවට ඒවි.” යනුවෙන් ඇන්ඩෘ සිල්වා පැවසුවේය.
මෙසේ පැමිණීමට නියමිතව සිටින්නේ ස්විස්ටර්ලන්තයේ පදිංචි සුමිකා ලසන්ති (Debora) ප්‍රංශයේ පදිංචි දීපිකා (Anais Ravinel), ප්‍රංශයේ පදිංචි අයේෂා, ප්‍රංශයේ සිටින නිලුකා ප්‍රියදර්ශනී (Metissa Rondella), ප්‍රංශයේ පදිංචි ලෙස්ලි, එම රටේම පදිංචි ප්‍රින්සි (Christine), ප්‍රංශයේ පදිංචි ජයන්ති (Sandrine Mathey) ප්‍රංශයේ පදිංචි දුලීෂා කුමාරි, නෙදර්ලන්තයේ පදිංචි රංජිත් සහ එ් රටේම පදිංචි වී සිටින චමින්ද යන දස දෙනාය.
මේ වනවිට දීපිකාගේ මව ආණමඩුවේ පදිංචි වී සිටියි. දීපිකාත් මවත් සැබෑවට මුණ ගැසී කතා නොකළත් ඇන්ඩෘගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ඇමතුමක් ගෙන කතාබහ කර තිබේ. ඔවුන්ට එකිනෙකාගේ රූප දැක ගැනීමට හැකි වී තිබේ. ඇන්ඩෘ පවසන්නේ දීපිකාගේ මව සිදු කළ එකම දේ විටෙක සිනාසීමත් විටෙක හඬා වැටීමත් පමණක් බවය. ඇයට සිය දියණිය වන දීපිකා සමඟ කතා කිරීමට භාෂාව හරස් වීම ඊට හේතුවයි.
මෙම දසදෙනා අතරින් ප්‍රංශයේ සිටින අයේෂාට ද දිනක් ඇගේ වැදූ මව සමඟ කතා කිරීමට අවශ්‍ය වී තිබේ. ඒ පසුගිය නොවැම්බර් 18 වැනිදාය. එදිනට අයේෂාගේ උපන් දිනය යෙදී තිබීම ඊට හේතුවයි. එහෙත් අයේෂාගේ මවට සිය දියණිය සමඟ කතා කිරීමට නොහැකි වූයේ අයේෂාට සිංහල නොතේරෙන බැවිනි. අයේෂාගේ මවට ඉංග්‍රීසි බස නොතේරුණ නමුදු අමාරුවෙන් වචන ගැට ගසා ගනිමින් ‘හැපී බර්ත්ඩේ’ යනුවෙන් දියණියට සුබ පතා ඇත. ප්‍රංශයේ සිටින ජයන්ති ද ඕපනායක සිටින වැදූ මව සමඟ දුරකතනයෙන් කතා කිරීමට කැමැත්තෙන් පසු වුවද මවගේ පවුලේ කිසිවකුට ඉංග්‍රීසි බස නොතේරීම හේතුවෙන් ඈ ඇගේ අදහස ඉවත දමා තිබේ.
එහෙත් නිලූකා ප්‍රියදර්ශනීට නම් රත්මලානේ පදිංචි වී සිටින වැදූ මව සමඟ කෙටි පණිවිඩ හුවමාරු කර ගැනීමටත් අදහස් හුවමාරු කර ගැනීමටත් හැකිවී තිබේ. දුලීෂා කුමාරිත් කැලණිමුල්ලේ සිටින මව සමඟ දුරකතනයෙන් කතා කරන්නේ හැකි ඉක්මනින් ලංකාවට පැමිණ ඈ දැක ගැනීමේ අපේක්ෂාවෙනි.
මෙම දරුවන් දසදෙනාගෙන් එක් අයකුගේ මව සිය දරුවා දකින්නට කැමැත්තෙන් පසු වුවද එය රහසිගතව සිදු කිරීමට පියවර ගෙන තිබෙන්නේ එකී මව මේ වනවිට විවාහ වී දරුවන් ද සිටින මවක වන බැවිනි.
එමෙන් ම දීපිකාගේ සැමියා ද ලංකාවට පැමිණ දීපිකාගේ වැදූ මව මුණ ගැසීමටත් එය මාධ්‍යයට අනාවරණය කිරීමටත් කැමැත්තක් දක්වා නැත. එබැවින් දීපිකාට මව හමුවීමට ලංකාවට පැමිණෙන්නට සිදුවන්නේ තනිවමය. එහෙත් ප්‍රින්සිට නම් එවැනි ගැටලුවක් නැත. ඇගේ සැමියා හා දරු දෙදෙනා ප්‍රින්සි සමඟ නෑදෑ ගමන් යෑමට පෙරමග බලා සිටිති.
ලෝකයේ කොරෝනා වසංගතය පාලනය වූ සැණින් ප්‍රින්සි, දීපිකා, ලෙස්ලි, චමින්ද යන කවුරුත් උපන් භූමියට පා තැබීමට බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින්නේ මවුරට දැක බලා ගැනීමට වඩා වැදූ මව දැක බලා ගැනීමටය. ඩී.එන්.ඒ. පරීක්ෂණ පවා සිදුකර මවුවරුන් සොයා ගැනීමට මේ සා වෙහෙස මහන්සි වී පැමිණෙන ඔවුන්ට සැබෑ මවුවරුන් දකින මොහොතේ ඇති විය හැකි හැඟීම කුමක් විය හැකි ද? “ඇයි අම්මේ මාව දුන්නෙ” යන ප්‍රශ්නය කෙනෙකු සිතින් විමසන විට තවත් කෙනකු “අම්මාට මාව ලැජ්ජාවක් වුණාද? යනුවෙන් ඇසීමට පුළුවන. ඒ අතරේදී “අම්මා මාව දුන්න එක හොඳයි” යනුවෙන් කෙනකු පැවසුවහොත් අප ඊට එතරම් පුදුම විය යුතු නැත. දරුවන් කෙසේ සිතුවද මවුවරු නම් දරුකමට හදා ගැනීමට දුන් දරුවන් ගැන දැනගැනීමට කැමැත්තෙන් පසුවෙති. සමාජ අපවාද, ගරුත්වය, අසරණකම වැනි හේතූන් මත දරුවන් හදා වඩා ගැනීමට දුන්නත් ඔවුන් රහසින් දරුවන් ගැන සොයන්නේ එම නිසාය. ඇන්ඩෘ සිල්වාගේ 077 9941919 යන දුරකතන අංකයට කතාකර විදේශ රටවල්වලට හදාගැනීමට දුන් දරුවන්ව සොයා දෙන ලෙස තවමත් මවුවරුන් ඇවිටිලි කරන්නේ එම නිසාය.