ගිනිකෙළි අඩු නිසා කිඹුලාපිටියෙන් ඇහෙන කඳුළු කතාව | සිළුමිණ

ගිනිකෙළි අඩු නිසා කිඹුලාපිටියෙන් ඇහෙන කඳුළු කතාව

- මේ පාර නිෂ්පාදනය කළේ අඩුවෙන්; විකිණුවෙත් සියයට පනහයි
- ගිය අවුරුද්දෙ පාස්කු ප්‍රහාරය නිසා අනාථයි 
- මේ අවුරුද්දෙ කොරෝනාව වින කළා
-  වෙනදට එක් කර්මාන්ත ශාලාවකින් ලක්ෂ 30-40ක විකිණෙනවා

ලාංකේය ජන සමාජය තුළ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළිවලට එවැනි විශේෂත්වයක් හිමිව ඇති අතර ආගමික උත්සවවලට අමතරව සිංහල අලුත් අවුරුදු සමයේදී මෙන්ම ජනවාරි නව වසර උදාවේදීද විශාල වශයෙන් රතිඤ්ඤා භාවිත කරති. ඊට අමතරව වෙනත් උත්සව අවස්ථාවලටද රතිඤ්ඤා නැතිවම බැරිය. ඒ සියල්ලටම වඩා මෙරට රතිඤ්ඤා තොග වශයෙන් අලෙවි වන්නේ මැතිවරණ සමයේදී බව වාර්තා වන අතර එක් මැතිවරණ සමයකදී පමණක් කෝටි 05ක පමණ රතිඤ්ඤා තොග විකිණෙන බව පැවසේ.

චීනය රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින අතර ලොව පුරා රටවල් රැසකට විවිධ ගිනිකෙළි ද්‍රව්‍ය රැසක්ම අපනයනය කරනු ලබන්නේද චීනයයි. රතිඤ්ඤා කී පමණින් මෙරට බොහෝ දෙනකුට සිහිපත් වන්නේ මීගමුවේ කිඹුලාපිටිය ප්‍රදේශයයි.

කිඹුලාපිටියේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි කර්මාන්තය ආරම්භ වීමේ ඉතිහාසයද චීනය හා බැඳී පවතී.

මීට වසර 80කට පමණ පෙර චීනයෙන් පැමිණි ගිනිකෙළි කර්මාන්තයේ දස්කම් දැක්වූ චීන ජාතිකයන් පිරිසක් මීගමුවේ කිඹුලාපිටියට පැමිණ එහි ගම්වැසියන්ට ගිනිකෙළි කර්මාන්තය උගන්වා ඇති බවත් පැවසේ. මෙරට රතිඤ්ඤා නිෂ්පාදනයේ ආරම්භය එක්දහස් නවසිය විසි ගණන්වල අගභාගය දක්වා දිවෙන අතර කේ. ඒමිස් පෙරේරා එහි ආරම්භකයා ලෙස සැලකේ. කිඹුලාපිටිය ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවන වෘත්තිය රතිඤ්ඤා නිපදවීම වන අතර පවුල් ඒකක දස දහසකට අධික පිරිසක් මෙම කර්මාන්තයේ නියැළී සිටින බව කියැවේ.

ගිනිකෙළි බලා සිටින්නන්ට විනෝදජනක වුවද එය ඉතා අනතුරුදායක වෘත්තියකි. නිෂ්පාදනයේදී සිදුවන අනතුරු නිසා දෙනෙත් අන්ධ වීම, ශරීර ඉන්ද්‍රියන්ට හානිවීම පමණක් නොව මරණද රාශියක් සිදුවී ඇත. එහෙත් පාරම්පරිකව මෙම කර් මාන්තයේ නියුතු වූවන් එය අතහැරීමට කැමති නැත.

සාමාන්‍ය‍ෙයන් අලුත් අවුරුදු උදාවට මාස කිහිපයකට පෙර සිටම කිඹුලාපිටියේ රතිඤ්ඤා නිෂ්පාදකයෝ කාර්ය බහුල වීමට පටන් ගනිති. එසේ නොවුණහොත් අලුත් අවුරුද්ද සඳහා රතිඤ්ඤා ඉල්ලුම සපුරාලීම පහසු නොවේ. ඒ අනුව මෙවරත් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුහු සිය නිෂ්පාදන කටයුතුවල යෙදුනහ. පසුගිය වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාරය නිසා ද රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි කර්මාන්තයේ නියුතු වූවන්ට 'බඩේ පහර' වැදී තිබිණ. ඊට හේතුව එම අවුරුදු සමයේදී අලෙවි කළ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදනවල මුදල් අයකරගැනීමටත් ඔවුන්ට නොහැකි වීමයි.

ඉකුත් රජය විසින් පිටරටින් පුපුරන ද්‍රව්‍ය ගෙන්වීමේ සීමා පැනවීම සහ බදු ඉහළ දැමීම නිසා රතිඤ්ඤා කර්මාන්තකරුවන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය.

එවැනි පසුබිමක් යටතේ මේ වසරේදී චීනයෙන් ආ කොරෝනා වසංගතය ඔවුන්ට හරස් වූයේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට රට පුරා පනවා තිබූ ඇඳිරි නීතියයි. එම නිසා වෙනදා මෙන් රට පුරා අවුරුදු සිරියක් නොවූ අතර බොහෝ දෙනා නිවෙස්වලටම වී අවුරුදු උදාව සැමරුවේ ඉතා නිහඬවය. සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය පසුගිය අප්‍රේල් මාසයේදී පැවසුවේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙවර අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන නිපද වූ රුපියල් කෝටි සියයක පමණ ගිනිකෙළි නිෂ්පාදන ගබඩාවල හිරවූ බවයි. එම නිසා එම කර්මාන්තයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ තිස්පන් දහසක පමණ පිරිසක් අසරණ වූ බවද වාර්තා විය.

කොවිඩ් වසංගතය හේතුවෙන් සිංහල අවුරුද්ද මෙන් මෙදා නත්තලද ගෙවී ගියේ වැඩි සද්දයක් බද්දයක් නැතිවය. කිඹුලාපිටියේ ප්‍රසිද්ධ ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හිමිකරුවකු සිළුමිණට පැවසුවේ වෙනත් වසරවලදී රුපියල් ලක්ෂ 30-40ක ගිනිකෙළි අලෙවියක් සිදුවුවද මෙවර එය සියයට 50කින් පමණ පහළ වැටුණු බවයි. මෙවර අලෙවි කළේ කලින් නිෂ්පාදනය කළ ගිනිකෙළි බවත් කොවිඩි වසංගත තත්ත්වය හේතුවෙන් වෙඩි බෙහෙත් හිඟයක් ඇතිවෙමින් තිබෙන බවත් ඉදිරියේදී එය කර්මාන්තයට අහිතකර ලෙස බලපෑ හැකි බවද හෙතෙම සඳහන් කළේය.

කිඹුලාපිටියේ වසර 85කටත් වඩා පැරණි ගිනිකෙළි කර්මාන්ත ශාලාවක හිමිකාරිනියක අප සමඟ පැවසුවේ පවතින තත්ත්වය ගිනිකෙළි කර්මාන්තයට හිතකර නොවන බවයි.

“ යුද්ධය පැවති කාලයේ අපේ රටේ ගිනිකෙළි කර්මාන්තය බිඳ වැටිලා තිබුණත් පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එය එක්තරා හොඳ මට්ටමක තිබුණා. නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසු විශාල පසුබෑමක් ඇතිවුණා. ඒ තත්ත්වයෙන් ගොඩ ඒමට උත්සාහ ගනිමින් සිටියදී නැවත කොවිඩ් වසංගතය ආවා. මෙවර ගිනිකෙළි අලෙවි වුණේ සියයට පනහක වගේ ප්‍රමාණයක්. අපේ කර්මාන්තශාලාවේ සියයකට අධික පිරිසක් සේවය කරනවා. විවිධ හේතු මත නිෂ්පාදනය අඩුවන විට, අලෙවිය අඩු වන විට ඒ සියලු දෙනාගේම ජීවිතයට අහිතකර ලෙස බලපානවා. විශේෂයෙන් ගිනිකෙළි නිෂ්පාදනය සඳහා යොදාගන්නා පිටරටින් ගෙන්වන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් මාෆියාවක් තිබෙනවා. ඒ නිසා අපට රසායානික ද්‍රව්‍ය මිලදී ගන්න වැඩි මිලක් ගෙවන්න සිදුවෙනවා. වෙනත් රටවල වගේ නවීන ගිනිකෙළි නිපදවීමේ හැකියාව සහ තාක්ෂණය අප සතුව තිබෙනවා. නමුත් ඒ සඳහා උසස් රසායනික ද්‍රව්‍ය අවශ්‍යයි. බාල රසායනික ද්‍රව්‍ය යොදා තත්ත්වයෙන් බාල ගිනිකෙළි නිෂ්පාදනය කිරීමට අප කිසිසේත් කැමති නැහැ. අපට අවශ්‍ය ඉහළ ගුණාත්මක ගිනිකෙළි නිෂ්පාදනය කිරීමටයි. මේ කර්මාන්තය බිලියන ගණනින් ආදායම් ලැබිය හැකි කර්මාන්තයක්. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ වෙනත් කර්මාන්තවලට වගේම පාරම්පරික කර්මාන්තයක් වන ගිනිකෙළි කර්මාන්තයත් දියුණු කිරීම සඳහා සහන සහ පහසුකම් සලසා දෙන ලෙසයි. ”

අප සමඟ කතාබහ කළ තවත් ගිනිකෙළි නිෂ්පාදකයන් කිහිප දෙනකුගේම ඉල්ලීම වූයේද එයයි. මේ වන විට රජයේ බලපත්‍රලාභී ගිනිකෙළි නිෂ්පාදකයන් 200 දෙනකු පමණ සිටින අතර ඔවුන් ලක්ෂ තිහේ සිට ලක්ෂ එකසිය පනහ දක්වා විවිධ මට්ටම්වලින් මෙම කර්මාන්තය සඳහා මුදල් ආයෝජනය කරන බව පැවසේ.

“බොහෝ විට ඔවුන් එහෙම මුදල් ආයෝජනය කරන්නේ ණය වෙලා. සාමාන්‍ය‍ෙයන් උත්සව සමය වෙනුවෙන් රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදනය කරන්නේ ඊට මාස අටකට පමණ පෙර සිටයි. ගිය අවුරුද්දේ සිංහල අවුරුද්දෙන් පස්සේ එල්ල වූ පාස්කු ප්‍රහාරය නිසා ඒ පාර අවුරුද්දට ණය පදනම මත වෙළෙඳපොළට නිකුත් කළ නිෂ්පාදනවල මුදල් එකතු කරගන්න බොහෝ නිෂ්පාදකයන්ට නොහැකි වුණා. ඒ වගේම ඒ අවුරුද්දේ ගොඩක් නත්තල් උත්සව සහ වැඩසටහන් අවලංගු වුණා. ඒ නිසාත් නිෂ්පාදකයන්ට ගොඩක් පාඩු වුණා. මේ අවුරුද්දෙත් කොරෝනා වසංගතය නිසා අවුරුදු උත්සව, සැමරීම් තිබුණේ නැති නිසා අවුරුද්ද වෙනුවෙන් හදපු රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදන සියල්ලම ඉතිරි වුණා. ඒ නිසා මේ පාර නත්තල් උත්සවය සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි අලුතින් ගිනිකෙළි නිෂ්පාදන කළේ ඉතා සුළු ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයෙන් මේ පාර නත්තලට විකුණුවෙත් සියයට පනහයි "

කිඹුලාපිටියේ තවත් ගිනිකෙළි කර්මාන්ත ශාලා හිමිකරුවකු එසේ පැවසීය. ගිනිකෙළි කර්මාන්තයේ නියුතු බලපත්‍රලාභීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් අයත් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයටය. ඒ හැරුණු විට මහනුවර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවලද ගිනිකෙළි කර්මාන්තය ව්‍යාප්ත වී ඇත. අම්බලන්ගොඩ, ගාල්ල දඩල්ල සහ වැලිගම යන ප්‍රදේශ ඒ සඳහා ප්‍රසිද්ධය. ගාල්ල දඩල්ලේ රතිඤ්ඤා කම්හලක හිමිකරුවකු වන සේපාල රත්නායක කර්මාන්තය මුහුණ දෙන තවත් ගැටලුවක් ගැන මෙසේ කීවේය.

"අමුද්‍රව්‍යවල මිල ගණන් දිනෙන් දින ඉහළ යනවා. සේවක වැටුප් සහ ප්‍රවාහන ගාස්තුත් ඉහළ යනවා. ලාභ ලබන්න නම් අපේ නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමන්න ඕන. නමුත් එහෙම කළාම බිස්නස් අඩු වෙනවා. එදා ඉඳල කරගෙන ආපු කර්මාන්තය අත හරින්න බැරි නිසා කරගෙන යනවා. රජයෙන් අඩු මුදලකට අපිට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලබාදෙන්න වැඩපිළිවෙළක් සකස් කරනවා ඒක ඉතාම වටිනවා. ඒ තුළින් මේ කර්මාන්තය දියුණු කරගන්න පුළුවන්"

මෙම ප්‍රදේශයේ වැසුණු රතිඤ්ඤා කර්මාන්තශාලා රැසක් තිබේ. ඊට හේතුව රතිඤ්ඤා අලෙවිය අඩු වීමයි.

බොහෝ දෙනකුගේ දිවි රැකදෙන මෙම කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම කර්මාන්තයේ දියුණුවට ඉවහල් වන බව බහුතර අදහසයි.

ඡායාරූප- අන්තර් ජාලයෙනි

Comments