ගුරු හිඟය නිසා මිලින වෙන විල්පත්තුවේ මල් කැකුළු | සිළුමිණ

ගුරු හිඟය නිසා මිලින වෙන විල්පත්තුවේ මල් කැකුළු

ගුරුවරුන් ඉල්ලා විල්පත්තුවේ පැවති මවුපියන්ගේ උද්ඝෝෂණයක්

පසුගිය ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරයා කිසිවකුට නොදන්වා තන්තිරිමලය පුදබිම වැදපුදා ගැනීමට පැමිණියේය.විල්පත්තු මහ වනාන්තරයට යාබඳව පිහිටා ඇති මහවිලච්චිය හා තන්තිරිමලය පිළිබඳව ජනාධිපතිවරයාට ඇති පෙර අත්දැකීම් නිසා එතුමා අවට වගතුග හොඳින් විමසා බැලීමට කටයුතු කළේය. අදවන විට අපරටේ දැවැන්ත සංවර්ධන කාර්යයන් සඳහා උරදෙන සිවිල් ආරක්ෂක බළකායේ උත්පත්තිය සිදුවූයේ මහවිලච්චිය ආශ්‍රිත තන්තිරිමලය හේතුව මෙන්ම තිස් අවුරුදු යුද්ධයෙන් නිරන්තරවම ගැහැට විඳ තම ගම්මාන අතනොහැර ගිය ජනතාවක් මෙහි වාසය කරන බව එතුමා හොඳින්ම වටහා ගෙන තිබිණි.

එහිදී ප්‍රදේශයේ පවතින ගැටලු හා අවශ්‍යතා පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ විමසීමේදී මහවිලච්චිය අධ්‍යාපන කලාපයේ ගුරු හිඟය අනාවරණය වීමත් සමඟම ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම ඊට පිළියම් යෙදීමට කටයුතු කළේය. මේ අතරම මහවිලච්චිය බෝගස්හන්දිය ගාමිණී මහවිදුහලේ සිවුවැනි වසරේ අධ්‍යාපනය හදාරන ලිහිනි විහංගා සිසුවිය ‘ජනාධිපති සීයා‘ යන නමින් ආමන්ත්‍රණය කර ජනාධිපතිතුමා වෙත සංවේදී ලිපියක් යවමින් ඉල්ලා සිටියේ නගරයේ පාසැල් සිසුන් මෙන් හොඳින් අධ්‍යාපනය හදාරා ලොකුමහත්වී හොඳ රැකියාවකට යෑම තම බලාපොරොත්තුව බවත් නමුත් පාසැලේ පවතින ගුරුහිඟය හේතුවෙන් පාසැල වැසීයාමේ තත්ත්වයක් මේවනවිට පවතින හෙයින් වහාම ඊට මැදිහත්වී උපකාර කරන ලෙසටත්ය.

මේ දියණියගේ ඉල්ලීම අනුව ජනාධිපතිවරයා උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට මේ පිළිබඳව වහාම කටයුතු කරන ලෙස නියෝගයක් ලබා දුන්නේ මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ ගුරුහිඟය පිළිබඳව වහාම කටයුතු කරන ලෙසය. ඒ අනුව පළාත් ආණ්ඩුකාරවරයා මේ පිළිබඳව කටයුතු කර අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසැල්වල ඇති ගුරු අතිරික්තය තුළින් ගුරුවරුන් රැසකට වහාම මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාසයට ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කළ ද එම ස්ථාන මාරුවීම් මෙතෙක් ක්‍රියාත්මක නොවීම අතිශය දුෂ්කර ජීවිත ගතකරන මහවිලච්චිය ගොවි ජනතාවගේ දුවා දරුවන්ට සිදුවී අත්තේ විශාල අසාධාරණයකි.

උතුරුමැද පළාතේ අධ්‍යාපන තේමා පාඨය වූ “උතුරුමැද පළාතේ දරුවන්ට අධ්‍යාපනයෙන්තොර අනාගතයක් නොමැත” යන්න ලෙස කලක් ක්‍රියාත්මක වූ තේමාව මේවනවිට පුස්සක් වී ඇති අතර එය වර්තමානය වනවිට විවිධාකාර අන්දමින් අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් භාවිත කරති. පළාතේ ගුරු හිඟය අවුරුදු ගණනාවක සිට පවතින්නක් වන අතර; නව රැකියා ලාභීන් ගුරු පත්වීම ලබාගැනීමට පැමිණෙන්නේ අවශ්‍ය වුවහොත් නීතීරීති පසෙකට දමා ස්ථාන මාරුවීමක් ලබාගෙන යාමට ඇති හැකියාවද මිට මොලවාගෙනය. මේ තත්ත්වයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම මුහුණ දී සිටින්නේ මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාසය වීම හේතුවෙන් එහි දුවා දරුවන්ගේ අධ්‍යාපන සිහිනය බොඳවී හේනට කුඹුරට තල්ලුවී යෑමද මහවිලච්චිය ජනපදයේ දක්නට ඇති සුවිශේෂි දසුනකි.

මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ ඇති පාසැල් සංඛ්‍යාව 16කි. ගුරු හිඟය 114 වන අතර මෙම පුවතට අදාළ බෝගස්හන්දිය ගාමිණී විදුහලේ පවතින ගුරු හිඟය දොළහකි. සමස්ත ගුරුමණ්ඩලය විසි එකක් වුවද රජයේ ගුරුවරුන් සිටින්නේ නව දෙනෙකු පමණක් වීම හේතුවෙන් එහි විෂයාබද්ධ ගුරුවරුන් නැති වීම හේතුකොට ගෙන හිඩැස පුරවනු ලබන්නේ ස්වේච්ඡා ගුරුවරුන් පස්දෙනෙකු හා සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනකු විසින්ය.

පළමු වසරේ සිට අ.පො.සා.පෙළ දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසැලේ විෂයන් හා ගුරු භූමිකාව සිනා උපදවන කාරණාවකි.ඉතිහාස ගුරුවරයා ගණිත ගුරුවරයා ද වේ. සිංහල ගුරුවරයාම ගණිතය ද උගන්වයි. මෙවැනි තත්වයක් තුළ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය කතා කිරීමෙන් ඵලක් නොවනු ඇත. අ.පො.සා.පෙළ විභාගයෙන් ගණිතය විෂය සඳහා “ ඒ ” සාමාර්ථයක් ලබාගැනීමද ක්‍රීඩා කටයුතුවලික් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබාගැනීමට ගාමිණී විදුහලට හැකිවීමෙන් විල්පත්තු වනාන්තරය ආසන්නයේම පිහිටා ඇති පාසැලක දරුවන්ගේ හැකියා පිළිබඳ වෙනත් විවරණයක් අවශ්‍ය නැත.

ළමා අයිතිවාසිකම් පිළිබඳ කතා කරමින් බී.ජී.වින්ද්‍යා සජීවනී මෙවැන්නක් පැවසීය.

“ නගරයේ පාසැල්වල ළමයින්ට දෙන ප්‍රශ්න පත්තරේම තමයි මෙහේ ළමයින්ටත් ලැබෙන්නේ. ඉතින් ගුරුවරු නැතිව හරියට විෂය දැනුමක් නැතුව කොහොමද ළමයි විභාගෙට මුහුණ දෙන්නේ. මේක අපේ ළමයින්ට කරන හරිම අසාධාරණයක්. ගාමිණී විදුහලේ ප්‍රධාන විෂයයන් හතකට ගුරුවරු නැහැ. ඒ වෙනුවට මෙහෙ ඉන්න ඩිප්ලෝමාධාරීන් හත්දෙනෙකුත් සිවිල් ආරක්ෂක දෙන්නෙකුත් ස්වේච්ඡාවෙන් උගන්වනවා. අඩුම ගානේ ඒ ඩිප්ලෝමාධාරීන්වත් සේවය ස්ථිර කරල පත්වීමක් ලබාදුන්නොත් අපේ දරුවන්ට ලොකු සැනසීමක්.

ලලිත් අසෝක මේ තත්ත්වය ගැන මෙසේ පැවසීය.

නගරයේ පාසැල්වල අතිරික්ත ගුරුවරුන් ඕන තරම් ඉන්නවා. ඒ කිසිම කෙනෙක් මේවගේ දුප්පත් දරුවන් ඉන්න පාසැල්වලට යොමුකරන ක්‍රමවේදයක් නැහැ.

අපි අනුරාධපුරේ ගිහින් විමසුවාම කියන්නේ ගුරුවරු එව්වා දැන් යන්න කියල. නමුත් ආපු ගුරුවරයෙක් නැහැ; හැමදාම බාලගිරි දෝෂය. මෙතන තියෙන්නේ ඇත්තටම වංචාවක්. අපි දුප්පත් ගැමියෝ නිසා අපිව රවට්ටනවා. මේ ගුරුවරුන්ව ආරක්ෂාවට ගුරුපිරිසක්ම ඉන්නවා. වෘත්තීය සමිතිත් ඔවුන්ගේ ඉලක්ක සපුරාගන්න ගුරුවරුන් භාවිත කරනවා. හානිය වෙන්නෙ අපේ දරුවන්ට.අවුරුදු පහක් ගෙවුණු ගමන් ගුරුවරුන්ට මාරු හදන්න ගුරුමාරු කමිටුව වෘත්තීය සමිතිවලට තියෙන්නෙ පුදුම කැක්කුමක්. ඒ කැක්කුම නව ගුරුවරුන් අනුයුක්ත කිරීමේදී නැති එක තමයි ප්‍රශ්නෙ.

ගාමිණී විදුහලේ ඉතිහාසය ගැන ආර්.එම්.අබේරත්න බණ්ඩා පැවසුවේ මෙවැන්නකි.

“මේ පාසැල තමයි මහවිලච්චිය තන්තිරිමලේ කොට්ඨාසයේ තියෙන පැරණිම පාසැල. 1955 වගේ කාලයේ ජනපදය ආරම්භ කරපු කාලෙම තමයි පාසැලත් පටන් අරන් තියෙන්නෙ. මේ පාසැල වැහෙන්න තිබුණේ පහුවුණු යුද්ධ කාලෙදි. ගමේ මිනිස්සු පාසැල වටකරගෙන රැක්කා. මෙහෙ උගන්වපු ගුරු නෝනා මහත්තුරු වැඩිහරියක් පිටපළාත්වලින් ඇවිත් සේවය කළේ. ගම්මු දෙවියන් වගේ ඒ නිලධාරීන්ව ආරක්ෂා කළා. එක ගුරු නෝනා කෙනෙක් අවුරුදු අටක් මේ පාසැලේ සේවය කළා කැමැත්තෙන්ම. කවුරුවත් ඉස්කෝලේ අතහැරල ගියේ නැහැ. සම්පූර්ණ සේවා කාලය අවසන් කරල තමයි වෙනත් පළාතකට ගියේ. අදටත් ඉඳල හිටල අපිව බලන්න ඇවිත් යනවා. එහෙම සුන්දර ඉතිහාසයක් තිබුණු පාසැලක් තමයි අද වෙනකොට වැහෙන්න මගපෑදිල තියෙන්නෙ.” 

“ මහවිලච්චිය ගාමිණී විද්‍යාලය වහල දාන්න කුමන්ත්‍රණයක් සිද්ධවෙන බව සක්සුදක් වගේ විශ්වාසයි. මේ ගොවි ජනපදයේ දක්ෂතම ළමයින් ඉන්න පාසැලකට මේ වගේ ඉරණමක් අත්වෙලා තියෙන්නේ අධ්‍යාපනය මෙහෙයවන බළධාරීන්ගේ වැරුද්දෙන් කියල මම බය නැතිව චෝදනා කරනවා. මේ ප්‍රශ්නය අද ඊයේ වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. අවුරුදු හතක ඉඳන් මේ ප්‍රශ්නය තියෙනවා. මේ මෑතක ඉදන් තමයි මේ ගැටලුව ඔඩුදුවන්න ගත්තේ. අපිට කියන්න කෙනෙක් නැහැ. පළාත් සභාව අකර්මණ්‍ය වීම ජනතා ගැටලුවල එක හේතුවක්. අද නිලධාරීන්ට අවශ්‍ය විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නෙ.

අනුරාධපුර දිස්ත්‍රික්කයට තමයි මේ ගුරු ගැටලුව තදින්ම බලපාලා තියෙන්නෙ. පහුවුණු කාලේ උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති පොළොන්නරුව නියෝජනය කරපු නිසා හිටපු ජනාධිපතිගේ ආශීර්වාදය ඇතිව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගුරු හිඟය සෑහෙන දුරකට විසඳුවා. නමුත් අපේ ගැටලු එන්න එන්නම වැඩිවුණා.

අපි නිලධාරීන් හම්බ වෙලා මේ ගැටලු කතා කරන්න අනුරාධපුරේ කාර්යාලයට ගිහාම අපිට කාර්යාලයේ ඇතුළටවත් යන්න බැහැ; තහංචි දානවා. කොවිඩ් වසංගතය ඒ නිලධාරීන්ට ආශීර්වාදයක් වෙලා. ඔයාමඩුවෙ තියෙන කොට්ඨාස කාර්යාලේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරියා හමුවෙන්න ගියාම ඒ මහත්තයා කියන්නේ හරි ලබන සතිය වෙනකොට අලුත් ගුරුවරු වැඩ බාර ගන්නවා කියල. හැබැයි ඒ ඔක්කොම බොරු පෙරොන්දු.

මේ පාසැල අක්කර නවයක භූමියක පිහිටල තියෙන්නෙ. විදුලි ජල පහසුකම් හැමදෙයක්ම තියෙනවා. නිල නිවාස තුනක් තියෙනවා. තව පහසුකම් ඕනෑ නම් ගම්මු ඒවා ලබා දෙන්න සූදානම්. අපිට තියෙන ගැටලුව ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් නියෝග නිකුත් කර තිබියදීත් ඒ නියෝග වලට අවනත නොවී කටයුතු කරන්න තරම් බලයක් මේ අයට ලැබුණෙ කොහොමද කියන එකයි.

එදා තිස් අවුරුදු යුද සාපය හේතුවෙන් මරණය පෙනි පෙනී ජීවත්වූ පරම්පරාවේ දෙවැනි පරම්පරාවට අද වනවිට මුහුණ දීමට සිදුව ඇත්තේ වෙනත් යුද්ධයකටය. ඒ බුද්ධිය වර්ධනය කරගැනීමට සිදුකරන අරගලයක් උදෙසාය.

මෙම ලිපිය සකස් කරන අවස්ථාව වනවිට ගුරු මාරු සම්බන්ධයෙන් පළාත් කාර්යාලය ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කාර්යාල මොනයම් හේතුවක් නිසා හෝ කාර්ය බහුල වී තිබීම දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසැල්වල සිසුන්ගේ සතුටට හේතුවනු ඇත.

Comments