භූමදානයද ආදාහනයද... | සිළුමිණ

භූමදානයද ආදාහනයද...

කොවිඩ් 19 වසංගත රෝගය වැළදීමෙන් මිය යන මුස්ලිම් ප්‍රජාවගේ මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ ලබාදිය යුතු බව ඇතැම් මුස්ලිම් සංවිධාන, විපක්ෂයේ ඇතැම් පිරිස් සහ අන්තවාදි දේශපාලන කණ්ඩායම් ඉල්ලිම් කරයි. කෙසේ වෙතත් කොවිඩ් 19 වැළඳීමෙන් මියයන ප්‍රජාවගේ මළ සිරුරු ආදාහනය කළයුතු බවට රජය විසින් පසුගිය අප්‍රියෙල් මස පත් කරන විශේෂඥ කමිටු වාර්තාව අනුව ජාතීන් හෝ ආගමික කිසිදු භේදයකින් තොරව මේ තීරණය ගෙන තිබිණි. 

මේ කොවිඩ් 19 වයිරසයේ විවිධ ප්‍රභේදවලට අනුව සිදුවන වෙනස්වීම්, පර්යේෂණ සාක්ෂි සහ අපේ රටට වඩාත් උචිත ක්‍රමවේද සලකා බලා පැතිරීම අවම කරගැනීම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව මෙහිදි සැලකිල්ලට ගෙන ඇත.

එමෙන්ම කොවිඩ් 19 වසංගතය වැළදී මරණ සිදුවූ විට එහි ශූන්‍ය අවධානම සැලකිල්ලට ගෙන භූමදානය කිරීම වඩා සුදුසු බව නිර්දේශ කර ඇත.

නමුත් මේ තීරණ සම්බන්ධයෙන් ඇතැම් පිරිසකගේ ආගමික විශ්වාස මත යම් අපහසුතාවක් ඇතිවී තිබේ. එම හේතුව දඩමීමා කරගනිමින් විපක්ෂයේ මෙන්ම අන්තවාදී කොටස් විසින් ඔවුන්ගේ වෙනත් දේශපාලනික අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරයි. ඒ සඳහා රජය විසින් පැනවූ පොදු නියාමය නිසා යම් කිසි පිරිසකට ගැටලුවක් මතු වී ඇති වුවද මෙවැනි අවස්ථාවක ජාතියක් ලෙස ගොඩනැඟීමට නම් රටක් ලෙස යම් කැපකිරීමක් කළ යුතුව ඇත. මේ සිදුවීම ජාතිවාදය අවුලන ආගම් වාදය අවුළුවන දේශපාලනික කරුණු බවට පත් නොකර ගැනීම සියලු දෙනාගේ ජාතික වගකිමකි.

වැඩියෙන්ම අනුබල දෙන්නේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව නොවෙයි
- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය පිඨය රුහුණු විශ්වවිද්‍යාලය 
ජ්‍යෙෂ්ඨ අධිකරණ විශේෂඥ වෛද්‍ය යූ. සී. පී. පෙරේරා

කොවිඩ් 19 වසංගත නිසා සිදුවන මරණ සම්බන්ධයෙන් අද ලෝකයේ බොහෝ රටවල්වල් ආදාහනය කිසිදු ගැටලුවකින් තොරව සිදු කරනු ලබනවා. මේ රෝගයේ පැතිරීමේ වේගය සහ එහි ස්වභාව අනුව අද වනවිට ජනතාව ලෝකය පුරාම මේ සඳහා එකඟ වෙලා තියනවා. අපේ රටේ මුස්ලිම්වරුන් ඒ අයගේ ආගමික සම්ප්‍රදා නිසා මේ වනවිට මෘත ශරීර භූමදානය ගැන කතා කරනවා. රෝගය පැතිරීම දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා; රෝගය පාලනය කරගත යුතුයි. අපිට සියලු දැනුම සහ හැකියාව ප්‍රයෝජනයට ගෙන ජනතාව බේරා ගැනීම සහ පැතිරීම වැළැක්වීමයි කළයුතු වන්නේ. නමුත් මේ වනවිට වැඩියෙන්ම කතාබහ කරන්නේ අදාහනය ද භූමදානයද කියන කාරණාවයි. එය අඩුම වැදගත්කමක් ඇති කාරණවයි.

මෙයට වැඩියෙන්ම අනුබල දෙන්නේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව නොවෙයි. ඒ අයට පැහැදිලි කළාම ඉතාමත් හොඳින් තෙරුම් ගන්නවා. ඒ අය විරෝධාකල්ප වලට ගියෙ නැහැ. දේශපාලන කණ්ඩායම් සහ පක්ෂයි මේ කාරණාව ඇද ගෙන යන්නේ. මේ වයිරසවේදීන් කියන කරුනු වලට යම් පිරිස් බලපෑම් කරනවා.

විශේෂයෙන් මරණ පරික්ෂණ සම්බන්ධයෙන් නීතිය රටේ පොදු නීතියක්. එය අපරාධ නීතියේ කොටසක් මරණ පරික්ෂණ නීතිය හැමෝටම පොදුයි. මේ නව තත්ත්ව යටතේ නිර්දේශ නිකුත් කරලා තිබුණා. ඒ අනුව රටේ ඒ සම්බන්ධව කටයුතු කරන්නේ මේ ප්‍රශ්න සියල්ල ක්‍රියාත්මක වන්නේ දේශපාලන අරමුණු අනුවයි. අපි මේ සම්බන්ධයෙන් තාක්ෂණික අංශයෙන් ක්‍රියා කරන අය නිසා අපිට දේශපාලනික අරමුණු නැහැ.

අපි කතා කරන්නේ නිර්දේශ කරලා තියන ආකාරයට. සෞඛ්‍ය නිර්දේශ අනුව ක්‍රියාත්මක කළ යුතුයි. නිර්දේශ කරලා තියෙන්නේ ශූන්‍ය අවධානමක් සහිත ආදාහනය සම්බන්ධයෙන්. ඒ වයිරස විද්‍යාඥයන්ට නව ප්‍රභේදයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ තත්ත්වයකට පැමිණ තියෙනවා.

වඩාත් ම අවධානමක් රහිත දේ අපි තෝරාගත යුතුයි. පොදුවේ අධිකරණ විශේෂඥවරුන් නිර්දේශ කර තියෙන්නේ ශූන්‍ය අවධානමක් සහිත ක්‍රමවේදය වන ආදාහනය වඩා සුදුසු බවයි.

ලෝකයේ බොහෝ රටවල භූමදානයටත් අවසර තියනවා 
- මහ බ්‍රිතාන්‍යයේ කිංග්ස් මිල් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කමාල් නසාර්

සෞඛ්‍ය අමාත්‍යංශයේ පත් කර තිබුණ තාක්ෂණික කමිටුවේ වෛරස් සම්බන්ධයෙන් විශේෂඥවරයෙක් හිටියේ නැහැ. ඒ අයයි මේ තීරණය අරගෙන තිබුණේ. ජීවි සෛලයක් මත පමණයි වයිරසයක් වර්ධනය විය හැකි වන්නේ. මේ ආදාහනය කිරීමේ දී සීල් කිරීම මෙන් ප්ලාස්ටික් ආවරණයක බහා තබා අඩි හයක් යටට වැළලීමෙන් අපිට පුළුවන් මේ භූමාදාන ක්‍රියාවලිය සිදුකරන්න. එහි වැනි තට්ටු දෙකක් දිරාපත් වී වයිරසය එළියට එන්නේ නැහැ.

ප්ලාස්ටික් ආවරණ දිරාපත් වීමට ඉතාමත් විශාල කාලයක් ගතවෙනවා. ඝන ආවරණ දෙකක් යෙදුවොත් කෙසේද ඉවතට එන්නේ. එසේ හදිසියේ හෝ මුදා හැරීමක් සිදු වුවහොත් වයිරස් සම්බන්ධ විශේෂඥයන් කියන්නේ එහි අජිවී ප්‍රාණියකුගෙන් වයිරසය වර්ධනයක් නොවන නිසා භූමදානය කරන ලද දේහයකින් වයිරසය පැතිරෙන්නෙ නැහැ. අජිවී දේහයක වයිරසය විනාශ වී තියෙන්නේ. භූමදානය වී කෙටි කාලයක් තුළදි ඒ වයිරසය විනාස වෙලා ඉවරයි. ඉන් පසුව පසට එකතු වෙන්නේ දිරාපත් වෙන දේවල් පමණයි.

මේ වයිරසය වතුරේ ව්‍යාප්ත වෙන්නේ නැහැ. ඒ නිසා මේ භූමදානය කිරිමෙන් කිසිදු හේතුවකින් වයිරසය ව්‍යාප්ත වෙන්නේ නැහැ.

ආදාහනය කිරීම වඩා හොඳ විසඳුමයි 
- පේරාදෙණිය විශ්ව විද්‍යාල භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය සී.බී දිසානායක

මෙවැනි වරසයක් පැවැති ශරීරයක් භූමදානය කිරීමේ දී ජලයට මිශ්‍ර වීම එතරම් සුදුසු නැහැ. අනිවාර්යෙන් භූගත ජලය පොළොවෙන් විවිධ ප්‍රදේශවලට ගමන් කරනවා. භූමදානය කළ යුතු ම නම් භූගත ජලය ඉතා ගැඹුරින් පිහිටි ප්‍රදේශය තෝරා ගත යුතුයි

මේ වයිරසය සම්පූර්ණයෙන්ම දින කිහිපයකට පසුව විනාශ වී යන නිසා වඩා ආරක්ෂාකාරී එවැනි භූගත ජලය අඩි තිහක් හතළිහක් යට පිහිටි ප්‍රදේශයක් මේ සඳහා තෝරා ගත යුතුයි. වියළි කලාපයේ එවැනි ප්‍රදේශ තියෙනවා. මගේ අදහස නම් ආගමික අවශ්‍යතා සඳහා කළ යුතු ම නම් එවැනි භූගත ජලය ගැඹුරින් පිහිටි ප්‍රදේශයක් තෝරා ගැනීම සුදුසු බවයි. නමුත් ආදාහනය කිරිම වඩාම හොඳම විසඳුම.

මුස්ලිම් සංස්කෘතියේ ඉහළ ම ගෞරවය ලෙස සලකන්නේ භූමදානය කිරීමයි
- තිහාරියේ ඉබ්‍රාහිම් මස්ජිඩය ප්‍රධාන අනුශාසක මෞලවී මුනීර් මුලෆ්ර්

සැබෑ ලෙසම භූමදානය කිරීම සම්බන්ධයෙන් කිසිදු හානියක් නැති බවට විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. මෙයින් රටේ ජීවත් වන අනෙක් ජනතාවට හානියක් වෙනවා නම් අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම ආගමික වශයෙන් එයට අවනත වෙන්න.

වර්තමානයේ ලෝකයේ අනෙක් රටවල් 193 කම භූමදානය සඳහා අනුමැතිය දීලා තියනවා. ඒ වගේම අපේ රටේ වයිරස් සම්බන්ධයෙන් විශේෂඥවරුන් බොහෝ දෙනෙක්ගේ ද මතය භූමදානය කිරීම තුළ කිසිදු හානියක් නැහැ කියලා. ඒ ස්ථාවරය තිබියදී මේ දේට මානුෂිකව බලා යම් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉඩක් දෙන්න බැරි කියන ප්‍රශ්නය අපිට මෙහිදී මතුවී තියෙනවා.

මුස්ලිම් සංස්කෘතියේ ඉහළම ගෞරවය ලෙස සලකන්නේ භූමදානය කිරිමයි. විවිධ පාර්ශ්වයන් විසින් කිසිදු හානියක් නැහැ කියලා රජයට දැනුම්වත් කිරිම් කර තියනවා.

නමුත් මම හිතන්නේ ආගමික භේදයකින් තොරව අපිටත් තියෙනවා ප්‍රශ්නයක්. දේශපාලන මුහුණුවරකට අපේ මේ ආගමික ඉල්ලීම යොමු කරනවාද කියන කාරණාව. රටේ ජනතාව අතර ආගමිකයන් අතර ගැටලු ඇති කිරීමකට සමහර පාර්ශ්වයන් උත්සහා කරන්නේ ද යන ගැටලුවක් මතුවෙනවා.

විද්‍යාත්මක මතය මෙන්ම ආගමික විවිධත්වයට ගරු කළ යුතුයි
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳව මහාචාර්ය දිපිකා උඩුගම

මේ වැනි ප්‍රශ්නවලදී විද්‍යාත්මක සාධක වලටයි මූලිකත්වය දියයුතු වන්නේ. විද්‍යාත්මක සාධක හොඳින් තහවුරු කරගෙනයි තීරණ ගතයුතු වන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විද්‍යාත්මක පදනමක් මත පිහිටා මාර්ගෝපදේශ දී තියෙනවා. එහිදී භූමදානය කිරිම කිසිදු ගැටලුවක් නැහැ කියලා නිවේදනය කර තිබුණා. ලංකාවේ මුල ඉදලම කෝවිඩ් වලින් මිය ගිය මුස්ලිම් භක්තිකයන්ද ආදාහනය කළා.

අපි අවධාරණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන මාර්ග උපදෙස් විශේෂයෙන් වසංගත තත්ත්ව වලදී මෙතෙක් පිළිපැද්දා මෙන් ඉදිරියේදිත් එය සිදුකළ යුතුයි කියන කාරණාව. රජය කියනවා නම් ආදහනය පමණයි කළ හැකි වන්නේ කියලා එය සෞඛ්‍ය බලධාරීන් විසින් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි; එහි ඇති විද්‍යාත්මක පදනම කුමක්ද කියලා. එහෙම පෙන්නුම් කරලා මුස්ලිම් ප්‍රජා නායකයන්ට සමඟ සුහදව සාකච්ජා කර විසදා ගත යුතුව තිබුණා; මුලදීම මේ ගැටලුව.

ඇයි ආදහනය කළ යුත්තේම කියන කාරණාව අවධාරණය කළ යුතුයි. මේ වගේ අවස්ථාවලදී ඉතාමත් වැදගත් ඒ විද්‍යාත්මක පදනමට ගරු කිරීම මෙන්ම; රටේ සංස්කෘතික සහ ආගමික වෙනස් කම් වලට ගරු කළ යුතුයි. සංස්කෘතික සහ ආගමික විවිධත්වයට ගරු කිරීම සිදුවිය යුතු වුවත් විද්‍යාත්මක පදමින් තොරව එය කළ නොහැකියි. සංස්කෘතිය සහ ආගමික වෙනස්කම්වලට පටහැනිව යනවා නම් රජය එයට හේතු සාධක පෙන්නුම් කළ යුතුයි. ඕනෑම ප්‍රජාවක් සමඟ කටයුතු කිරීමේදි සන්නිවේදනයක් මෙන්ම සංවේදිතාවන් තිබිය යුතුයි.

මුස්ලිම්වරුන් අතරින් මේ සම්බන්ධයෙන් විෂය ප්‍රගුණ කරන ලද විද්‍යාඥයන් ඉන්නවා. ඒ අය වෛද්‍ය විද්‍යාව පිළිබඳව දන්නා පිරිසක්. ඒ අය ගෙන්නා සුහද සාකච්ජා කළ යුතුයි. එහි දී සියලු දෙනා විද්‍යාඥයන් වීම නිසා සංවේදී ලෙස මේ ගැටලුව විසඳාගත හැකියි.

නමුත් එය එසේ නොවීම නිසා දිගටම මේ පිළිබඳව ප්‍රශ්න මතුවිය හැකියි. මුළුලෝකයට ම මේ ගැටලු අවස්ථාවක්. ඒ අවස්ථාවේදි ඉතාමත් සංවේදිව මේ පිළිබඳව කටයුතු කළ යුතුයි. ජාති කුලමල භේදයකින් තොරව අපි මේ පොදු ගැටලුව ජය ගත යුතුයි.

එක නීතියක් එක රටක් 
- ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර

රටේ එක් නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවයි මේ සම්බන්ධයෙන් මගේ අදහස. ලෝකයේම මේ අවස්ථාවේ එක්තරා යුද්ධයක් පවතින්නේ. මේ රටේ පමණක් නොවෙයි; ලෝකයේම හදිසි අවස්ථාවක් මතු වෙලා තියෙන්නේ. යුද්ධයකට මුහුණ දෙනවා වගේ අවස්ථාවක් මේ උදාවෙලා තියෙන්නේ. විවිධ පාර්ශ්වයන්ට අවශ්‍ය විදිහට කටයුතු කරන්න බැහැ;

විශේෂඥ මතවාදයන්ට ගරු කරන්නට අවශ්‍යයි. එක රටක් එක් නීතියක් ක්‍රියාත්මක විය යුතුයි. අපිට කිසිදු විස්වාසක් නැහැ; මේ ජීව වයිරසය වැළලුවාම නැතිවෙලා යයි ද කියලා. ඒනිසා විපක්ෂය සහ මුස්ලිම් අන්තවාදීන් අවස්ථාවාදී ලෙස කටයුතු කරනවා. ඒනිසා එකම නීතියක් අනුව මේ දේහ ආදාහනය කළ යුතුයි. දේශපාලනික වාසි සඳහා මේ අවස්ථාව යොදා ගෙන තියනවා. මේ දේ තරයේ හෙළා දකින්න අවශ්‍යයි. මේ ක්‍රියාව ඉතාමත් නිහීන ක්‍රියාවක්.

දේශපාලනික වශයෙන් වාසි ලබා ගැනීමට මේ දේ දෙස බැලීම ඉතාම වැරදියි. සියලු දෙනා එකට එකතුවෙලා විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නක් අද ඇතිවෙලා තියෙනවා. විපක්ෂ නායකවරයාට කියන්න ඕන එතුමාගේ දේශපාලනික ජිවිතය සම්පූර්ණයෙන් විනාස කරගැනීමක් මේ කරන්නේ. එම නිසා මෙවැනි ව්‍යසනයක් රටේ ඇතිවෙලා තියන අවස්ථාවක එය දේශපාලනික අවශ්‍යතාවලට යොදා ගැනීම තරයේ හෙළා දැකිය යුතුයි. මුස්ලිම් අන්තවාදීන්ගේ මතයට යටත් නොවී භේද භින්න නොවී සිටිය යුතුයි.

මන්නාරම සහ සමන්තුරේ භුගත ජලය පිහිටා ඇත්තේ ගැඹුරෙන්
- ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර

භූගත ජලයට කොරෝනා වයිරසය මිශ්‍ර විය හැකිද කියා තීන්දුව ගතයුතු වන්නේ විශේෂඥ කමිටුව විසිනුයි. මන්නාරම මරිවිකට්ටු සහ සමන්තුරේ ප්‍රදේශ දෙකෙහි පමණක් භූගත ජලය ඉතාම අඩුවෙන් පවතින්නේ. පොළව මට්ටමේ සිට අඩි 100කටත් වඩා ගැඹුරින් එම ප්‍රදේශවල භූගත ජලය තිබෙන බවත් පර්යේෂණවලින් පැහැදිලි වෙලා තියනවා.

රටපුරා ඇති භූගත ජලය පොළොව යට අඩි හයක් සිට විවිධ මට්ටමින් තිබෙනවා. භූගත ජලය ඉතා අඩුවෙන් ඇති ප්‍රදේශ ඇත්තේ දෙකයි.

මේ රටේ භූගත ජලය සාමාන්‍යයෙන් ඇත්තේ පොළොව මට්ටමේ සිට කෙතරම් ගැඹුරින් ද සහ කෙතරම් ප්‍රමාණයක්ද භූගත ජලය තිබෙනවාද කියා පර්යේෂණයකින් සිදුකර සොයා බැලීමට කටයුතු කළ යුතුයි.

කොරොනා වයිරසය ශරිරගත වී මිය ගිය පුද්ගලයන්ගේ මෘතශරිර භූමදානය කරනවා නම් එය පස් සමඟ මිශ්‍ර නොවන සේ ඝන කොන්ක්‍රිට්වලින් සෑදු වලක දමා කොන්ක්‍රිට් මගින් මුළු වලම සීල් කළ හැකි බවට මතයක් ඉදිරිපත් වුවද කෙසේ නමුත් එයද සිදුවිය යුත්තේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූල නම් පමණයි.

අජිවි ‍ෛසලයක් මත වයිරසයක් වර්ධනය වන්නේ නැහැ
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව කලාපීය හිටපු උපදේශක සහ වසංගත රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ

අපි මේ පිළිබඳව බලන්නේ විද්‍යාත්මක කරුණු අනුවයි. දැනට ලෝකයේ ඇති සාක්ෂි අනුව මේ කොවිඩ් 19 වයිරස රෝගය වැළදි මිය යන මරණ සම්බන්ධයෙන් භූමදානය කිරිම හෝ ආදාහනය කිරිමයි නිර්දේශ කර තියෙන්නේ. දැනට ලෝකෙ සියලු විද්‍යාත්මක පදනමින් බලන අය බලන්නේ පවතින සාක්ෂි අනුව තීරණ ගැනීමටයි. එසේ නැතුව සාක්ෂි වෙනස් වීමට ප්‍රථම තමන්ගේ උපකල්පිත සහ කල්පිත නිර්මාණය කර තීරණ ගැනීමට ගියහොත් ඒවා වෙනස් කිරිමට තවත් බොහෝ දෙ කරන්න සිදුවෙනවා.

අපි සමාජයක් ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙස අපිට ගැටලු මතුවෙන්න ඉඩ තියෙනවා. විද්‍යාත්මක පදනමක ඉදලා තීරණ ගත යුතුයි යන යෝජනාව මේ අවස්ථාවේ කළ යුතුයි. ලෝකයේ කොහේවත් ආදාහනයෙන් හෝ එසේ නොමැති නම් භූමදානයෙන් හානියක් සිදුවන බවට කිසිදු සාක්ෂියක් නැහැ.

වයිරසයක් හෝ බැක්ටීරියාවක් ගුණනය හෝ ඛණ්ඩනය වන්නේ ජිවි සෛලයක් මතයි.එසේ නැතිනම් එය පැතිරෙන්න ක්‍රමවේදක් නැහැ. දේශපාලනික වශයෙන් අනවශ්‍ය ප්‍රශ්න ගෙනත් වෙනත් අරමුණ ඉටු කර ගැනීමට නොයෙක් පාර්ශ්ව වටපිටාව සාදා ගැනීමක් විය හැකියි. මෙහි විද්‍යාත්මක පදනමටයි ප්‍රමුඛතාව දියයුතු වන්නේ.

භූමදානය කිරීම හානියක් නැති බව විශේෂඥයන් කියනවා
- ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්. එම්. අමීන්

අපිට යම් කෙනෙක් මිය ගියාම ඒ කෙනාගේ කාරණා හතරක් ඉටුකළ යුතුයි. භූමදානය කිරීම එහි අනිවාර්යයෙන් කළයුතු කරුණක්. ලෝකයේ රටවල් 192ම මේ නීතිය ක්‍රියාත්මක කරනවා. අපිට මේ ප්‍රශ්නය සාමකාමීව විසඳා ගැනීමයි අවශ්‍ය වන්නේ.

සිංහල ජනතාව අතර ගැටුමක් ඇතිකරගන්න අපිට අවශ්‍ය නැහැ. භූමදානයෙන් රටට සෞඛ්‍යයට හානියක් වෙලා නැහැ කියලා ලෝක ප්‍රකට වයිරස්වේදින් කියලා තියෙනවා. හානියක් වෙනවා නම් අපි මේ ඉල්ලීම කරන්නේ නැහැ. ජාතිවාදී දේශපාලනික මතවාද දරන මිනිසුන් මේ දේ වෙනස් විදිහට ප්‍රශ්නයක් බවට පත් කරන්නට උත්සාහ කරනවා.

මෙහිදී අපි කියන්නේ සාධාරණය ඉටු කළ යුතුයි. ආගමික අවශ්‍යතාවක් නිසයි අපි ඉල්ලන්නේ. විපක්ෂයේ ඇතැම් අය සහ බෞද්ධ භික්ෂූන් සහ විවිධ පිරිස් මේ දේ ලබා දෙන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා; මේ අයට අප ස්තූතිවන්ත වෙනවා. අපි බල කරලා ඉල්ලන්නේ නැහැ; සෞඛ්‍යයට අහිතකර නම් අපි බල කරලා ඉල්ලන්නේ නැහැ.

Comments