රට දිනවන්න ගම සමඟ නැඟිටිමු | Page 2 | සිළුමිණ

රට දිනවන්න ගම සමඟ නැඟිටිමු

නාධිපති කාර්ය සාධක බළකාය මගින් ක්‍රියාත්මක කරන ‘වැඩ සමඟ යළි ගමට‘ සංවර්ධන වැඩපිළිවෙළ ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධන සහ දේශපාලන ව්‍යුහයෙහි තීරණාත්මක සාධකයක්ව තිබේ. කොරෝනා ව්‍යසනය හමුවේත් විදේශීය ආයෝජන සහ අනේවාසික ආර්ථිකය දුර්වල වීමේදීත් කෘෂිකාර්මික රාජ්‍යයක් ලෙස අප තේරුම් ගත්තේ දේශීය නිපැයුම් ආර්ථිකය ශක්තිමත්ව තබා ගැනීමේ වැදගත්කමයි. අනෙක් අතට ආනයනය සීමා කරමින් අභිනවයෙන් ගොඩ නැංවීමට වෙර දරන ‘ශ්‍රී ලාංකීය මොඩලයෙහි‘ ආර්ථික රටාව නොතිබෙන්නට කොරෝනා ව්‍යසනය හමුවේ අප බෙහෙවින් ම දුර්වල තත්ත්වයකට පසුබෑමට ඉඩ තිබිණි. එය තවදුරටත් ඉටු කරගැනීමට ප්‍රජා සහයෝගය ද නිසි ලෙස ලැබෙන්නේ නම් ඉදිරි සංවර්ධන දශකයෙහි දේශපාලන ආර්ථික සුසමාදර්ශය මෙය වීම නොවැළැක්විය හැකි අන්දමේ ප්‍රායෝගික වැඩ පිළිවෙළක් ලෙස හඳුනාගත හැකිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ සංකල්පයකට අනුව බැසිල් රාජපක්‍ෂයන් විසින් නායකත්වය දරන ජනාධිපති කාර්ය සාධක බළකාය මගින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබීමද මෙහිලා වැදගත් වේ.

ග්‍රාමීය පරිසරය

ලෝක ජනගහනයෙන් බිලියන තුනක් පමණ වූ දිළිඳු ජනතාව ජීවත් වන්නේ ග්‍රාමීය පරිසරය ආශ්‍රය කර ගනිමිනි. ශ්‍රී ලංකාවේ එම ප්‍රතිශතය 4%කට ආසන්න අගයකි. පවතින දේශපාලන ප්‍රවාහයන්හි ශක්තිමත් බව තීන්දු කරන්නේ ඔවුන් විසිනි. ශ්‍රී ලංකාවේ පසුගිය දශක ගණනාවක ම අප අත්දුටු සත්‍යය මෙයයි.

කෙසේ නමුත් පසුගිය ‘යහපාලන‘ සමය හැරුණු විට පෙර රජයන් විසින් දිළිදු බව මනින ඒකකයන් රැසක් පරාජයට පත් කර ඇති බව ළදරු මරණ අනුපාතය, අධි දරිද්‍රතාවය, සෞඛ්‍ය පහසුකම් මෙන්ම විදුලිබල ඉල්ලුම ආදී කරුණු ප්‍රතිශතාත්මකව තනි ඉලක්කම් ප්‍රමාණයකට ගෙන එන්නට සමත්ව තිබීමෙන් පැහැදිලි වේ. එසේ නම් දැන් එළඹ ඇත්තේ අප විසින් මුහුණ දෙන ඊළඟ අභියෝගය වන්නේ කුමක් ද යන්න හඳුනා ගැනීම සහ ඊට පිළිතුරු සෙවීමේ අවස්ථාවයි. මෙහි දී පැහැදිලිව පෙනෙන සාධකය වන්නේ ග්‍රාමීය ජනතාවගේ දරිද්‍රතා මට්ටම එලෙසම පැවතීමත්, නාගරික පරිසරයන් වෙත අධික ලෙස එම පිරිස් ඇදී ඒමට උත්සාහ කිරීමත්ය. ඒ සඳහා බලපානු ලබන්නේ සැබැවින් ම දරිද්‍රතාවයම ද? නො එසේ නම් බලාපොරොත්තු වන පහසුකම්හි ඌනතාවය ද? නො එසේ නම් රාජ්‍ය යන්ත්‍රණයෙහි දුර්වලතාව ද? යන්න විමසීම වැදගත්ය

පහසුකම් ඌණතාව

මේ අතුරින් අඩු අධ්‍යාපන මට්ටමේ බහුතරයක් රැකියා අපේක්‍ෂාවෙන් නගර වෙත ඇ දී එන අතර ඔවුහු නාගරික ශ්‍රම බළකාය වෙත දැඩි පීඩනයක් ඇති කරති. ග්‍රාමීයව නගරයට පැමිණ අධ්‍යාපනය ලැබුවෝ තවදුරටත් එහි ම ස්ථාවර වීමට උත්සාහ කරති. ඒ සඳහා බලපානු ලැබ ඇත්තේ ගම් ප්‍රදේශයන්හි යටිතල පහසුකම්වල ඌණතාව මෙන්ම සේවාවන් ලබා ගැනීමේ සහ ලබා දීමේ අපහසුතාවන් බව වර්තමාන සංවර්ධන පර්යේෂකයින්ගේ අදහසයි. මේ නිසා සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි සංවර්ධන ක්‍රමෝපායයන් වෙනදා මුහුණ නොපාන ලද අභියෝග රැසකට මුහුණ දී තිබේ. ඒ අතර ජනසන්නිවේදන පහසුකම්, ක්‍රමයෙන් විශාලනය වන ජනගහනය අභිමුව ඉසිලුම් ධාරිතාවෙහි උච්ඡාවචනය, කෘෂිකාර්මික වගාබිම් සහ සේවා වියුක්තිය, පමණක් නොව තාක්‍ෂණික දැනුම සහ තාක්‍ෂණික පරිභෝජනය ආදිය ද ඒ අතර ප්‍රධාන වේ.

මේ සඳහා නව සංවර්ධන සුසමාදර්ශයන් කෙරෙහි යොමු වීමට සිදුව තිබේ.

එය එක් අතෙකින් ඉදිරි දශකයෙහි දේශපාලන සුසමාදර්ශය ද වන්නේය. ඒවා පසුගිය දශකයන්හි භාවිතයට ගනු ලැබූ තේමාවන් මෙන් ම පරිචයන් ද ඉක්මවා යෑමට හොඳ අවස්ථාවක් ලෙස ද පෙන්වා දිය හැකිය. මේ සඳහා නව ලෝක ආදර්ශයන් රැසක් ද විසි එක්වන සියවසෙහි දැක ගැනීමට හැකියාව ලැබී තිබේ. ඒවා අභියෝගයන් සමඟ සංකලනය වීම නිසාම සංවර්ධනය වෙමින් පවතින සමාජයන්හි ජනගහන වර්ධනය, ජාත්‍යන්තර බලපෑම්, පමණක් නොව තාක්‍ෂණය ද අවශ්‍යතාවන් ඉක්මවා ගිය වුවමනාවන්හි පිළිබිඹුවක් සේ මතුව තිබේ. මින් ඇතැම් ගැටලු සඳහා පසුගිය සමයෙහි භාවිත වූ උපක්‍රමය වූයේ ‘යහපාලනය‘ යන්නයි.

නව සුසමාදර්ශයක්

මෙය අත්තනෝමතිකත්වයට එරෙහිව නූතන දේශපාලනය තුළ ඇති වූ සංකල්පයකි. නමුත් ශ්‍රී ලංකාව වැනි බහු සංස්කෘතික හා බහු ආගමික රාජ්‍යයක් තුළ පවත්නා සිවිල් බලය හිමි පන්තීන් විසින් මෙය අපේක්‍ෂා භංගත්වයේ සාධකයක් ලෙස තේරුම් ගැනීමට පාලකයන්ගේ යහපාලනය පිළිබඳ අනවබෝධය හේතුවිය. එසේ ම මෙය සමාජ සම්මතයන්ට සහ ජන විඥානයෙහි දේශපාලනිකව ස්ථාපිත වීමට තරම් සංවේ දී බවකින් යුක්ත නොවූ කටුක දේශපාලන අත්දැකීමක් බවට ද අවසානයේ පත්විය. නමුත් යහපාලනය මේ සමාජය මත ස්ථාපිත කළ යුත්තකි. එය නූතන ආර්ථික හා දේශපාලන උපායමාර්ගයන්හි ඔස්සේ විවිධ ජනකණ්ඩායම් සහ සමාජ කණ්ඩායම් ඒ මත ක්‍රියාකිරීමයි.

සාමාන්‍ය ජනයා ඔවුන්ගේ අවබෝධයන් ඔස්සේ කෘෂිබිමෙන් ඔබ්බට ඇති ලෝකය සංවර්ධනයෙහි පිළිබිඹුවක් ලෙස තේරුම් ගෙන තිබේ. එය යහපත් තත්ත්වයකි. ග්‍රාමීය සංවර්ධන උපායමාර්ග ඔවුන්ට දැනෙන සංවර්ධන කාර්යයක් ලෙසින් ක්‍රියාත්මක කරමින් එයම කර්මාන්ත සහ කෘෂි ආර්ථිකයෙහි ක්‍රියාකාරීත්වය පෙළඹවීම් සාධකයක් ලෙස මතුකර ගැනීම සඳහා පරිසරයක් නිර්මාණය කිරීම දක්වා සංවර්ධනය කිරීමට ද හැක්කකි. මේ සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම සුවිශේෂිම කාර්ය වී තිබේ. එහි දී නගරය සහ ගම අතර ඇති සබඳතාව ශක්තිමත් කිරීමට හැකි සංවර්ධනයන්ට යොමු වීම අතිශයින් ම ඵලදායි වන්නකි. තවදුරටත් ප්‍රධාන නගරයන් වෙත එළඹීමට පෙර ඇති උපනගරයන් සංවර්ධනය කරමින් අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් වඩා වේගයෙන් ලබා ගැනීමට ග්‍රාමීය ජනතාව පෙලඹවීමත් එතැනින් ප්‍රධාන නගර සමඟ ඇති සබඳතාව ශක්තිමත් කිරීමත් මෙහි යථාර්ථවාදී අදහස ලෙස පෙන්වා දිය හැකිය.

දියුණු කිරීමේ උපායමාර්ග

මෙම අභිප්‍රේරණය මත නාගරික සහ ග්‍රාමීය සබඳතාව තත් පරිශ්‍රයන්හිම දියුණු කිරීම සහ දියුණු වීමට සැලැස්වීම ද උපාමාර්ගිකව වැදගත් වේ. එහි දී නාගරික ජනතාව ග්‍රාමීය ජනතාව මත යැපීමත් ග්‍රාමීය ජනතාව නාගරික ජනතාව මත යැපීමත් යන අන්‍යෝන්‍ය සහ සම්බන්ධය දියුණු කරමින් භාණ්ඩ සේවාවන් සහ තාක්‍ෂණය වේගයෙන් උනුන් අතර හුවමාරු වීමට සැලැස්වීම මෙහි දී අදහස් කර තිබේ.

මින් ගමින් නගරයට සංක්‍රමණය වන සාම්ප්‍රදායික අදහස් මෙන් ම නගරයෙන් ගම වෙත ගලා එන නව්‍ය අදහස් ද නව සංවර්ධන ක්‍රියාවලියක ආරම්භයක් ලෙස ක්‍රියා කරනු ඇත. මෙහි දී දුගී දුප්පත් බව සහ සමාජ විෂමතාව නව සංවර්ධන උපායමාර්ගයන්හි ඒකායන පරමාර්ථයන් නොවිය යුතු සේම සියලු ජන සමාජයන්ට සමාන හිමිකම් සහ අයිතිවාසිකම් ලැබෙන පරිදි නව සංවර්ධන යන්ත්‍රණයට ඇතුළු වීමට ඇති හැකියාව ද විවෘතව පවතින්නක් වීම ද සැලකිය යුත්තකි.

කාන්තාවන්ට මුල් තැනක්

මෙහි දී වැදගත් වන සහ විශේෂයෙන් ම අවධානය යොමු කළ යුතු පිරිසක් ලෙස කාන්තාවන්ට මුල් තැනක් ලබා දිය යුතුය.

ග්‍රාමීය කෘෂි ආර්ථිකයෙහි මෙන්ම නාගරික කර්මාන්ත ක්‍ෂේත්‍රයෙහි ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන කාන්තාව ව්‍යවසායිකාවක් ලෙසින් මතුකර ගැනීමට ඇති හැකියාව නව වැඩපිළිවෙළ යටතේ ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ. මවට මෙන්ම සමාජයෙහි සෑම කාන්තාවකටම සමානව ගෞරව කරනු ලබන ශ්‍රී ලාංකීය සංස්කෘතියෙහි කාන්තාවට ඇති සියලු අයිතිවාසිකම් සමඟින් ම ආර්ථික සංවර්ධනය ඔස්සේ ඒ සඳහා සෘජු දායකත්වය ලබා ගැනීමට කටයුතු කළ හැකි වැඩපිළිවෙළක් සැකසී තිබීම අතිශයින් ම ග්‍රාමීය කාන්තාව විෂයෙහි ප්‍රබල බලපෑමක් ඇති කරනු ලබන්නේ ලාංකීය සංස්කෘතියෙහි කාන්තාව නියෝජනය වන ආකාරය සැලකිල්ලට ගැනීමේ දීය.

මෙහි ද ඇයට ස්වකීය පවුල සැලසුම් කර ගැනීමටත්, සමාජ ආරක්‍ෂාව පිළිබඳ වගවීමටත්, සෞඛ්‍ය ගැටලු පිළිබඳව විවෘත මනසකින් යුතුව විමසීමටත්, අධ්‍යාපනය සඳහා නිදහස් ව සිතීමටත් තීන්දු තීරණ ගැනීමටත් ඇති අවස්ථාවන් පුළුල් කිරීමත් අවස්ථාවක් ලැබීම ග්‍රාමීය ආර්ථික සංවර්ධනයෙහි තවත් ඵලදායී අතුරු ඵලයකි.

නාගරික පැල්පත්වාසී ගැටලුව

තිරසර සංවර්ධන සැලසුම් මගින් ග්‍රාමීය ජනතාවගේ තත්ත්වය ඉහළ දැමීමට කටයුතු කිරීම සමඟම නාගරික දුප්පත් ජනතාගේ ගැටලුද සාකච්ඡාවට බඳුන් කළ යුතු වුවත් අමතක නෙකළ යුතු පිරිසක් ලෙස ශ්‍රී ලාංකීය සංදර්භයේ දී නාගරික පැල්පත්වාසීන්ගෙන් බහුතරයක්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන විසීම සමස්ත රටෙහිම ප්‍රශ්නයක් ලෙස ගෙන සාකච්ඡා කිරීම අවශ්‍ය නොවන මුත් විසඳුම් සෙවිය යුත්තකි.

ඒ සඳහා වෙන ම විසඳුම් ලබා දිය යුතු අතර දීර්ඝකාලීන වැඩ පිළිවෙළක අවශ්‍යතාව ද සැලකිල්ලට ගැනීම වැදගත් වේ. එය වැදගත් වන්නේ ජනඝණත්වය ඉහළ යෑම පහළ සෞඛ්‍ය පුරුදුවලට හුරුවීම පමණක් නොව වෙනස්වන කාලගූණ සහ දේශගූණික තත්ත්වයන් යටතේ ඇතිවන විපර්යාසයන්ට මුහුණ දීමට නොහැකිව සමාජය මත පටවන අනවශ්‍ය බර පාලනය කර ගැනීම සඳහාය.

ඉන් මතුවන ගැටලුකාරී තත්ත්වයන් ද නව ග්‍රාමීය සංවර්ධන උපාය මාර්ගයන්හි දී සැලකිල්ලට ගෙන තිබීම අතිශයින් ම වැදගත්ය. අසංවිධිත ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලින්හි දී අපට ඇති අත්දැකීම නම් නාගරික අඩු ආදායම්ලාභී ජනගහනයේ වර්ධනයකි.

සේවා නියුක්තියේ අරමුණින් විතැන්වන ජනතාව නාගරික සීමාවන්හි සංකේන්ද්‍රගත වීම නොවිසඳිය හැකි ගැටලුවක් ලෙස ඉන්දියාව, බංගලාදේශය, චීනය ආදී අසල්වැසි රාජ්‍ය කිහිපය උදාහරණ මගින් පෙන්වා දිය හැකිය. එම නිසා නව සුසමාදර්ශය ග්‍රාමීය ජනතාව නගරය වෙත ඇ දී ඒම වළක්වන ආකාරයෙහි එකක් ලෙස සකස් කර තිබීම අතිශයින් ම වැදගත්ය.

මෙහි දී අවධානය යොමු කළ යුතු තවත් අංගයක් වන්නේ ඉහත පෙන්වා දෙන ලද ශ්‍රම බළකාය මතම ග්‍රාමීය සංවර්ධන කාර්යයන් පැවරීම සහ ඉටු කරගැනීම සඳහා කටයුතු කිරීමට සූදානම් කර තිබීමයි. ඉදිරි දශකය තුළ නාගරික මධ්‍යම පන්තිය විසින් රාජ්‍ය දේශපාලනය තීරණය කිරීම නමැති සාම්ප්‍රදායික සංකල්පය තවදුරටත් සක්‍රීය නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14, 021හි සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් සමඟ ග්‍රාමීය ජනතාව සමඟ මධ්‍යම රජය සෘජුව සම්බන්ධ වීම මෙන්ම ඒ ඒ සමාජයෙහි සෑම ස්ථරයක් වෙත ම මෙම සංවර්ධන අදහස් ගලා යෑමට සලස්වා තිබීම ද බෙහෙවින් ම අගය කළ යුත්තකි. ඒ අනුව වැඩ සමඟ යළි ගමට වැඩ සටහන මේ අභිනව දශකයෙහි සංවර්ධන සුසමාදර්ශය පමණක් නොව නව දේශපාලන ප්‍රගමන සාධකයක් ලෙස ඉදිරියට පැමිණෙන්නේත් ඉහත දක්වන ලද කරුණු සාරාංශ කරගෙන ඇති වැඩපිළිවෙළක් නිසාවෙනි.

කැලණිය විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යාව සහ සංස්කෘතික සම්පත් කළමනාකරණ පීඨ‌ෙය් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම බෝගහවත්ත

Comments