
- ඉඩම් අක්කර 78,000ක් කෘෂිකාර්මික කටයුතුවලට නිදහස් කරයි
- ඉඩම් පනත වෙනස්කර තවත් දහස් ගණනකට ඉඩම් අයිතිය දෙයි
- ඉඩම් කැබලි ලක්ෂ 10 ක් ඉඩම් නැති ජනතාවට...
- ඉඩම් නැති අයට රන්බිම ඔප්පු ඉක්මනින්ම දෙන්න අගමැති උපදෙස්
- තරුණ තරුණියන්ට පමණක් ඉඩම් ඔප්පු 20000ක්
අක්කර 50 කට වැඩි ඉඩම් තිබෙන ජනතාවගෙන් ඉඩම් ලබාගෙන ඒවා හොඳින් සංවර්ධනය කිරීම අරමුණු කරගෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ආරම්භ කර තිබුණේ 1970 – 75 වකවානුවේදීය. එදා එම ඉඩම් පනතට පක්ෂව ඡන්දය දුන් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් අතින්ම පසුගියදා ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ලබාගත් පසුව අනවසර ලෙස පදිංචි වී සිටින ඉඩම් දුප්පත් අයට රන්බිම හිමිකම් ඔප්පු මගින් ලබාදීම ඓතිහාසික සිදුවීමකි.
මේ වැඩසටහනේ මුල් අදියර පසුගියදා කුරුණෑගලදී පැවැත්වුණි. ඒ අගමැති මහින්ද රාජපක්ෂ, ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන හා මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි.
රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ වයඹ පළාත් ඔප්පු ප්‍රදානයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා පැවසුවේ අද අපේ රටේ දුප්පත් ඉඩම් නොමැති ජනතාවට සතුටුදායක දිනයක් බවයි. අද මෙම ඔප්පු ලබාදීමේ උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. විශේෂයෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවට එය ලබාදෙන්න පුළුවන්වීම ගැන මම ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. ඇමැතිතුමාට වගේම සභාපතිතුමා ඇතුළු නිලධාරීන්ට මා ඒ සඳහා ස්තුතිය පුද කරන්න ඕනි. මට මතකයි මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආරම්භ කරපු කාලේ, එදා අපේ ආණ්ඩුවේ, 70 ගණන්වල අපේ ආණ්ඩුව තුළ මේ ප්‍රතිසංස්කරණ ඉඩම් ලබාගැනීමේදී ඒ පනතට ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද පාර්ලිමේන්තුවේ ඉන්නෙ මමත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමාත් පමණි.
එහෙම ආරම්භ කරපු මේ වැඩපිළිවෙළෙන් රජයට පවරා ගත්ත ඉඩම් ටික බෙදාදීමේ කටයුත්ත ඉටු කරන්න එදා ඉඳලම අපේ බලාපොරොත්තුව තිබුණෙ. අද ඒ කොමිසන් සභාව තමන්ට පවරා ගත්ත ඉඩම්, ඉඩම් නැති ජනතාවට ලබාදීමේ කටයුත්ත කරගෙන යෑම ගැන අපි සතුටු වෙනවා. ඒ ඉඩම්වල පදිංචි උදවියට තමයි ඔප්පු ලබාදෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉඩම් නැති ජනතාවත් තෝරාගෙන මේ ඉඩම් ලබාදීමේ කටයුත්ත ඉටු කරන්න පියවර ගන්න. බොහෝ ඉඩම්වලට ඔප්පු නෑ. ඒවට රජයෙන් ඔප්පු ලබාගන්න නොලැබීම නිසා ඔවුන්ට ණයක් ගන්න ගියාම තමයි මේ ගැටලුවලට මුහුණ පාන්න වෙන්නේ. වැඩ සමඟ යළි ගමට වැඩසටහන ගැන අපි සතුටු වෙනවා. චන්ද්‍රසේන ඇමැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනි; ඒ වැඩපිළිවෙළෙන් ඉඩම් ඔප්පු ලබාදීමේ දී මේ කටයුත්ත කරන්න මැදිහත්වීම සම්බන්ධයෙන්.
මා විශේෂයෙන් ම බලාපොරොත්තු වෙනවා ජනතාව අද රටේ තියෙන තත්ත්වය අනුව ජනතාවට මේ ඉඩම් ලබාදීලා ස්ථිර වැඩපිළිවෙළකට යන්න කටයුතු කරන්න අපේ කොමිසන් සභාවට හැකිවේවි කියලා. මෙය මුළු දිවයිනටම බලපාන විදිහට මුළු රටේම මේ ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා මුළු රටේම මේ කටයුත්ත ඉටුකිරීම වැදගත්. ඒ නිසා කොමිසන් සභාවේ සභාපතිතුමා පිළිබඳව අපි විශ්වාසය තියලා තියෙනවා මේ කටයුතු ඉටු කරන්න හැකියාව ලැබෙයි කියලා” අගමැතිවරයා පවසයි.
මේ වැඩසටහන පිළිබඳව අදහස් දක්වන ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන පවසන්නේ මේ වැඩසටහන මගින් මේ රටේ සිටින ඉඩම් නොමැති නමුත් රජයේ හා වෙනත් ඉඩම්වල කාලයක් පදිංචි දුප්පත් ජනතාව ලක්ෂ 10 කට ඉඩමක නියමානුකූල අයිතිය හා ඊට අදාළ ඔප්පු ලැබෙන බවයි.
ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ හා දරිද්‍රතාව සුරැකීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂයන්ගේ උපදෙස් මත මේ වැඩපිළිවෙළ තම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන බවත් අගමැතිවරයා කීය.
මේ පිළිබඳව අදහස් දක්වන ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක පවසන පරිදි මේ වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර 2 – 3 ඇතුළත රජයේ ඉඩම්වල පදිංචි දුප්පත් ජනතාවට ඉඩම් කැබලි ලක්ෂ 10 ක් සින්නක්කර ඔප්පු සහිතව ලබාදෙන බවයි.
ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක තවදුරටත් පැවසුවේ මේ යටතේ ලබන වසරේ ඉඩම් අහිමි ජනතාව 75000 කට විතර අපි ඔප්පු දෙන්න අපේක්ෂා කරනවා. දැන් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. දැන් අපි එසේ ඔප්පු දියයුතු ඉඩම් හඳුනාගෙන යනවා යැයිද ලේකම්වරයා පවසයි.
ඊට අමතරව කොමිසන් සභාවට අයිති නිසරු ඉඩම් අක්කර 78000 ක් පමණ කෘෂිකාර්මික කටයුතු සඳහා නිදහස් කිරීමට ද කටයුතු කෙරෙන බව ද ලේකම් රණවක පවසයි.
ඊට අමතරව තරුණ තරුණියන් 10000 ක් සඳහා වගා කිරීමට ඉඩම් කැබලි 20000 ක් ලබාදීමට ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම කටයුතු කෙරේ.
බඩ ඉරිඟු, අර්තාපල්, කහ, ඉඟුරු, ගම්මිරිස් ආදිය වැවීමට ඉඩම් කැබලි 10000 ක් වෙන් කිරීම ද වේවැල් හා පන් කර්මාන්තය සඳහා ඉඩම් කැබලි ගණනාවක් වෙන් කිරීමට සැලසුම්කර ඇති බව ද ලේකම්වරයා පවසයි.
පාරිසරික ලෙස සංවේදී නොවන ප්‍රදේශවල පදිංචි අයට ඉඩම් දීමට බාධාවන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ ඇති ඇතැම් වගන්ති වෙනස් කර අදාළ ඉඩම් පදිංචිකරුවන්‍ට ලබාදීමට ද ඉදිරියේදී කටයුතු කෙරේ.
මේ වැඩසටහන පිළිබඳව කරුණු දක්වන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ ද පැවසුෙව් මෙම වැඩපිළිවෙළ යටතේ අපේ රටේ ඉඩම් ඔප්පු නොමැතිව සිටි පවුල් ලක්ෂ 10 කට ඉඩම් හිමිකම ලැබෙන බවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් ඇතිව හා ජනාධිපති කාර්යසාධන බළකා ප්‍රධානි බැසිල් රාජපක්ෂයන්ගේ ගම සමඟ පිළිසඳර වැඩසටහන හා වැඩ සමඟ යළි ගමට යන තේමාව යටතේ මෙම රන්බිම ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව ද සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ පවසයි.
මෙවර රන්බිම ඔප්පු ප්‍රදානය අදියර කිහිපයකින් සිදුවිය. සමාරම්භක උලෙළ පැවැත්වූයේ 20 වැනිදා කුරුණෑගලය. ඊටපසු 21 වැනිදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම්වල පදිංචි කොළඹ හා කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඉඩමක් සින්නක්කර අයිතිය ලබාදීමට කටයුතු කළේය. ඊට පසු 22 දා බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල ඉඩම් ප්‍රතිසංස්කරණ ඉඩම්වල පදිංචි අයට රන්බිම ඉඩම් ඔප්පු ලබාදීම සිදුවිය.
ඊට පසු 23 වැනිදා ගාල්ලේ සිටින ඉඩම් ප්‍රතිසංස්කරණ ඉඩම්වල පදිංචි ජනතාවට ද රන්බිම ඉඩම් ඔප්පු ලබාදීම සිදු කරන බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ පැවසීය.
24 වැනිදා මහනුවර මාතලේ නුවරඑළිය ප්‍රදේශවල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩම්වල පදිංචි ජනතාවට ඉඩම් ලැබිණි. 28 වැනිදා ගම්පහ ඉඩම් නොමැති ජනතාවට ද 30, රත්නපුර ඇඹිලිපිටිය ජනතාවට ද 31 වැනිදා කෑගල්ල ප්‍රදේශයේ ජනතාවට ද මේ රන්බිම ඔප්පු ලබාදීමට පියවර ගත් බව සභාපතිවරයා පවසයි.
මේ අනුව යන එන මං නැතිව ආණ්ඩුවේ ඉඩමක පැලක් අටවා ගත් දුප්පත් පවුල්වලට ද දැන් සුවිශේෂ ලෙස රන්බිමක අයිතිය ලැබී ඇත. මේ අනුව රන්බිම ඔප්පු වැඩසටහන වනාහි මෙරට රන්බිම සුරැකීමට අපේ රටේ පවුල් ලක්ෂ 10 කට ලැබුණු සුවිශේෂි අවස්ථාවක් බව කිව යුතුමය.