රෝද තුනක් මත ජීවි­තය ජයගත් දිරිය කතුන් | Page 2 | සිළුමිණ

රෝද තුනක් මත ජීවි­තය ජයගත් දිරිය කතුන්

ශ්‍රී ලංකාවේ කාන්තා රියදුරුවරියන් නිසා රජයේ ආදායම ඉහළ ගොස් ඇති බව ඉකුත්දා කළ නවතම සමීක්ෂණවලින් සොයාගෙන ඇත. විශේෂයෙන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ත්‍රිවිල් රියදුරුවරියන් පිරිමි රියදුරන් හා සැසඳීමේදී වඩා ප්‍රමාණයක් සිටින බව නවතම වාර්තා පවසයි‍. ‘පික් මී’ පර්යේෂණය අනුවත් කාන්තා පදවන්නියන් වැඩි වී ඇති බව සොයාගෙන ඇත. පරීක්ෂණයට අනුව රියදුරන් 780 අතරින් 280 කාන්තාවන් අතර එය 40% පමණ වේ.

කාන්තා රියදුරුවරියන් 90% ම ආරක්ෂිත ධාවකයන් සේ සැලකේ. විශේෂයෙන් රාත්‍රී ගමන්වලදී මෙන් ම හුදෙකලාව ගමන් කිරීමේදී කාන්තා රියදුරුවරියන් තෝරා ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරති. කොළඹ නගරයේද ත්‍රිවිල් රියදුරුවරියන් හය හත් දෙනෙක් ම සිටින අතර ලංකාව පුරාම මෙම දිරිය කාන්තාවෝ විසිරී සිටිති.

ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය පැත්තට එන අතරේ පල්ලියක් අසල අයිස්ක්‍රීම් රථයක් තල්ලු කරගෙන එන කාන්තාවක් දැක මම ඇගෙන් මේ ගැන වංහුං ඇසුවෙමි. ඒ. ඒ. ජීවන්ති (38) මා සෙවූ කත ඇය විය. නො. 532, 6 වන මාවත, හෙට්ටියාවත්ත, හෝමාගම ඇගේ ලිපිනයයි.

ජීවිතේ අනේකවිධ දුක්ඛ දෝමනස්ස වැලඳූ ඇය ඒ සියල්ල මා හමුවේ ඉතිරි නොකර නොසඟවා පැවසීමට තරම් නිර්ව්‍යාජ වූවාය. “පොඩ්ඩක් හෙවණකට යමු” අයිස්ක්‍රීම් කරත්තයට හේත්තු වූ ජීවන්ති සිය ජීවිත කතාව මා හමුවේ තැබුවේ මෙහෙ‍මයි.

මම විවාහක වුණත් පසුව ගෙදර ගෘහ මූලිකයා වුණා. දුවයි, පුතයි එක්ක අපේ පවුල ගොඩගන්න මම සෞදි අරාබියට ගියා‍. පුතාව මහත්තයගේ පැත්තේ ඥාති කාන්තාවකටත් දුවව මගේ ඥාති කාන්තාවකටත් බාරදීලා ගියා. අවුරුද්දකට විතර වැඩ කළාම මට පඩි නොදී ගහ ගහා වැඩ ගත්තා. හිර කරලා තිබ්බා එහේ. මම ලංකාවට එවන්න කීවත් හාම්පුතුන් එව්වේ නැහැ. ඒ අතර මට ආරංචි වුණා මම දුව නවත්තලා ආපු ගෙදර මගේ ඥාති කාන්තාවගෙන් දුවට කරදර වුනා කියළා.

මම තට්ටු තුනේ ගෙදර උඩ තට්ටුවේ ඉඳලා බිමට පැන්නා. මගේ කොන්ද කැඩුණා. එහෙ මම දන්න යාළුවෝ දෙන්නෙක් මට උදවු කළේ. මගේ තුනටියෙන් පල්ලෙහා පණ නැතුව ගියා. ටිකක් ඇවිදින්න පුළුවන් මට්ටමට ආවාම මම ලංකාවට ආවා. මගේ දුවව ඒ වෙනවිට ළමා නිවාසෙකට දාලා තිබුණා.” ඈ සුසුමක් හෙළුවාය.

“ටික කාලයක් මං ගෝල්ෆේස් එකේ සරුංගල් වික්කා. මගේ දුවයි පුතයි ළඟට ගත්තා. මම දෙවැනියට ජීවත් වෙන්න තෝරගත්ත මනුස්සයගෙනුත් සහායක් ලැබුණේ නෑ. ටික දවසක් යද්දී එලිෆන්ට් හවුස් එකේ අයිස්ක්‍රීම් කරත්තෙ පැද්දා. කොටුව, වරාය පන්සල, ගෝල්ෆේස්, මහරෝහල ළඟ ආදී කීප තැනකම අයිස්ක්‍රීම් වික්කා. මම සැහැල්ලු වාහන ලයිෂන් ගත්තේ 2016. තාමත් මට කොන්දෙ අමාරුව. වැඩි වෙලාවක් හිටගෙන ඉන්න අමාරුයි.” ජීවන්ති අයිස්ක්‍රීම් කරත්තයේ ඇන්ද මත වාඩි වූවාය. ඒ විතරක් නෙමෙයි මට පයින් වැඩිදුරක් ඇවිදින්නත් අමාරුයි.”

“කාන්තා පිහිට තමයි මුලින්ම මට උදවු කළේ. අනෝජා, භාග්‍යා මිස්ලා මුදලින් පවා උදවු කරලා නීති අංශවලදිත් පිහිට වුණා. ත්‍රිවිල් එක ගත්තේ ෆිනෑන්ස් කරලා‍. මට හරියට නවාතැන්පළක් නෑ. Yogo App එක දාගෙන දුවන්නේ. කොළඹ හැම පාක් එකකම කොල්ලො මට උදවු කරනවා.

ඇගේ මීටර් ටැක්සියේ අංකය Wp - ABB 9993 වේ. ළඟ ළඟ හයර් රු. 50. මම වැඩිම දුර රු. 5,000 ගිහින් තියෙන්නේ. දවසකට රු. 4,500 විතර හොයනවා. ගෙදර වියදමට රු. 500යි; පෙට්‍රල්වලට රු. 500යි; ෆිනෑන්ස් එකට දවසකට රු. 500ක් වෙන් කරනවා. උදේ 6 ½ හෝමාගම ඉඳලා එන්නේ. එද්දී සල්ලි දුන්නත්, නැතත් මඟ ඉන්නව නම් කෙනෙක් අරන් එනවා. ආපහු රෑ 8 – 9 ට යද්දිත් කවුරු හරි හිටියොත් අරන් යනවා.

‍මේ දවස්වල ත්‍රිවිල් හයර් අඩු නිසා අයිස්ක්‍රීම් කරත්තේ දුවන්නේ. දවසක ටාගට් එක රු. 1,500 යි. රු. 3,000ක් 4,000ක් හොයන දවසුත් තියනවා. ඉස්සර නම් සත පහක දෙයක් තිබුණේ නෑ. දැන් මට සතුටුයි කාටවත් වදයක් නොවී මැරෙන කම් ජීවත්වෙන්න තිබුණොත් ඇති. කාගිල්ස් අයි. ඩී. එච්. සර්ලා, රාජ අයියා ඇතුළු පිරිසක් උදවු කළා. කාන්තාවක් ත්‍රිවිල් පදවනවා කියන්නෙ දුලභ දසුනක්.

කාගෙන්වත් ගැටලු කරදර එහෙම වෙලා නැද්දැයි මා විමසීමි.

“ඇයි නැත්තේ මම ත්‍රිවිල් දුවන දවස්වල දුව තමයි අයිස්ක්‍රීම් කරත්තෙ ළඟ ඉන්නේ. පුතා ඉස්කෝලේ යන නිසා එන්නෙ කලාතුරකින්. දවසක් 2017 දී වරාය පන්සල ළඟ ත්‍රිවිල් දුවන කෙනෙක් දුවට අසභ්‍ය යෝජනාවක් ගෙනත් අසභ්‍ය වචන භාවිත කරලා. දුව බැණලා මට කීවාම කොටුව පොලිසියට පැමිණිලි කරලා තාම නඩුව යනවා උසාවියේ. සමහර පිරිමි හිතන්නෙ ලංකාව පිරිමින්ගේ රටක් කියලා. ගෑනු වැරදි කරනවට සමාජයේ සමහරු කැමැතියි. මගෙන් අයිස්ක්‍රීම් ගත්ත මිනිහෙක් කීවා හොඳ රස්සාවක් හොයලා දෙන්නම් කියා. බලද්දී ‘ස්පා’ එකක්. අයිස්ක්‍රීම් අරන් තිබුණේ නැත්නම් මම ගහනවා. මම එහෙම ගහලත් තියනවා. අනවශ්‍ය දේවල් කියන්න ආපු පිරිමින්ට” ඇය කීවාය.

රාජගිරිය ප්‍රදේශයේ ද ත්‍රිවිල් රියදුරුවරියන් සිටින බවට තොරතුරු ලද හෙයින් රාජගිරිය බලා ඉගිළුණි. ඇය සිටියේ ධර්මපාල මාවතේ හයර් එකකට සූදානම්වය.

රාජගිරියේ මොරගස්මුල්ලේ පදිංචි 52 හැවිරිදි සුනේත්‍රා හේමමාලිගේ ත්‍රිවිලරය WP - ABT 4187 ය. ඈත් දිගු කතාවක් මා සමඟ කීවාය.

මීට අවුරුදු 13කට විතර කලින් මගේ මහත්තයා වැඩ කළේ මැද පෙරදිග ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වශයෙන්. ලංකාවට ඇවිල්ලා ත්‍රීවිල් එකක් දුවන්න හිතාගෙන බැංකු ලෝන් එකක් දාලා ත්‍රිවිල් එක ගත්තා. මට ඉන්නේ දුවයි පුතයි. පුතා අසාමාන්‍ය බර ඇති දරුවෙක්. ලංකාවට ඇවිත් ත්‍රිවිලරය දුවන්නත් කලින් මහත්තයා රිය අනතුරකින් නැතිවුණා.

හැබැයි ඒ වෙනකොට මමත් සැහැල්ලු වාහන ලයිසන් අරන් තිබුණේ. ඊට පස්සේ ජීවිතේ බර කරට ගන්න මට සිදු වුණා. මගේ පාක් එක රාජගිරිය ධර්මපාල මාවතේ පිරිමි 63 දෙනකුට ත්‍රිවිල් එකක් දුවන එකම කාන්තාව මමයි.

කාන්තාවක් වශයෙන් ත්‍රිවිල් රියදුරු රැකියාව හොඳ වෘත්තියක් ද කියලා මම සුනේත්‍රාගෙන් ඇහුවා.

“මම නම් කාන්තාවකට ත්‍රිවිල් රස්සාව තියා කිසිම රස්සාවක් අනුමත කරන්නෙ නෑ. මගේ මහත්තයා මැරුණු නිසා හා පුතා මහත, බර, ෆිට් එක හැදෙන දරුවෙක් නිසයි මට ත්‍රිවිල් රස්සාව උරුම වුණේ. මම ඉගෙන ගත්තේ 7 පන්තියට විතරයි. මම අවුරුදු 12 ක් තිස්සේ ජීවිතේ පුදුම කට්ටක් කෑවා.

මම දුවන්නේ You cab එකක්. ත්‍රිවිල් APP එකක්. දවසකට රු. 1500 විතර හොයාගන්න පුළුවන්. ඒත් කොරෝනා නිසා රු. 1,000 වගේ තමයි දවසකට දැන් ලැබෙන්නේ. මොනා කරන්නද ජීවිතේ ඔහොම තමයි.” ඈ සුසුමක් හෙළුවාය.

මැදවැලිකඩ නිවසේ සිටම ත්‍රිවිල් හයර් දුවන ශ්‍රියාලතා පෙරේරා (65) ගැන අපට කීවෙත් සුනේත්‍රාය‍.

මැදවැලිකඩ කමතවත්ත පාරේ පන්සල අසල ලේක්හවුස් රථය නතර කෙරුණි. පන්සලට යාබදව පිහිටි දෙමහල් කුඩා නිවස ඇගේය. ඇගේ පුතා හා ලේලියත් නිවසේ සිටියහ. ශ්‍රියාලතාත් සැබවින්ම දිරිය කාන්තාවකි. මේ ඇගේ හඬයි.

“කලින් මම ගාමන්ට් එකක රැකියාව කළේ. ඒකෙන් ලැබුණු අර්ථසාධක අරමුදලෙන් ත්‍රිවිල් එක ගත්තේ. මහත්තයටත් ඒ තරම් සනීපයක් තිබුණේ නෑ. ළමයින්ට බරක් වෙන්න හොඳ නෑ කියලා මට හිතුණා. පුතාලා දෙන්නයි දුවයි ඉන්නේ. ත්‍රිවිල් එකක් මුලින්ම ගත්තේ මීට අවුරුදු 12 ට කලින්.

අපේ ගමේ අයගේ හයර් තමයි වැඩිපුරම දුවන්නේ. විශේෂයෙන් ළමයි ඉස්කෝලවලට ගෙනියන හයර්. ළඟ ළඟ හයර්. කටුනායක වගේ දුරත් දිව්වා. ඕනෑ දුරක් දුවන්න පුළුවන්. ඒත් දැන් ඇස් පෙනීම මදි නිසා රාත්‍රියට දුවන්නේ නෑ. අනික පොලිසියෙන් අල්ලයි කියලත් බයයි. මුල් ත්‍රීවිල් එක පුතා දුවන්නේ. පුතා ෆිනෑන්ස් කරලා ගත්ත වාහනය තමයි දැන් දුවන්නේ. දවසකට රු. 1500 විතර හොයනවා. කාර්, ත්‍රිවිල් ලයිසන් තියෙනවා.” ඇය කියයි.

ඇගේ බාල පුතා පී.ඒ. අනිල් ලේලිය හා දරුවාත් ඈ සමඟ දෙමහල් නිවසේ ජීවත් වෙයි. ඔවුන් තම මෑණියන් ගැන කතා කළේ බොහෝ ගෞරවයෙනි. “අම්මා පහළ තට්ටුවේ; අපි උඩතට්ටුවේ. උඩ තට්ටුව හැදුවෙත් අම්මා ත්‍රිවිල් දුවලා. එයාගේ බේත් හේත්, අපේ ළමයින්ගේ පන්ති ගාස්තු, ලයිට්, වතුර බිල්, සේරම ගෙවන්නේ අම්මා. තාත්තා දැන් මාස 3 ට කලින් මැරුණා. අම්මා අපිට යෝධ ශක්තියක්. එයා ත්‍රිවිල් එක හොඳින් පාවිච්චි කරනවා‍. කුඩා කොටසක් හෝ කැඩුණොත් අලුතින්ම එකක් දානවා. ළමයින්ට බරක් වෙන්න කැමැති නෑ කියලා අම්මා ත්‍රිවිල් එළවනවා.

දැන් අවුරුදු 12 ක් තිස්සේ අම්මා ත්‍රිවිල් පදවනවා. අම්මා හරි ප්‍රවේසමෙන් තමයි ගමන් කරන්නේ. මම හයියෙන් ත්‍රිවිල් පදවද්දිත් එයා කෑගහනවා. මේ හරියේ ත්‍රිවිල් එකක් නෑ. දුවන්න. අම්මාගෙන් මේ පළාතටත් ලොකු සේවයක් වෙන්නේ. අම්මා හිතන් ඉන්නේ මේ ත්‍රිවිල් එකේ ෆිනෑන්ස් එක ඉවර වුණාම නැනෝ කාර් එකක් ගන්නයි. අම්මා පෝයට සිල් සමාදන්වෙනවා. අපිට අම්මා ගැන හරි ආඩම්බරයි.”

මේ දිනවල වනාතමුල්ල මහල් නිවාස පවතින්නේ ලොක් ඩවුන් තත්ත්වයේය. බොරැල්ල, බේස්ලයින් පාර, හල්ගහවත්ත අංක 331/A පදිංචි (චමෝදි) ක්‍රිෂ්ණා ප්‍රියදර්ශනී ද (34) ත්‍රිවිල් රියදුරුවරියකි. අපි ඇයගේ කතාවටත් සවන් දෙමු.

මහත්තයා නිසා කරදර ගොඩකට මුහුණ දෙන්න වුණා. ගෙවල්වලින් පවා අපිව අයින් කළා. මහත්තයා කුලී වැඩ කළා. මම ත්‍රිවිල් එක දුවන්න ගත්තා. AAH 1492 අංකය තමයි මගේ ත්‍රීවිල් රථය. ළමා රෝහල ළඟ සහ මහ රෝහලේ වනාතමුල්ලේ මම හයර් කරනවා. දැන් මහත්තයත් හොඳයි. මම කඩුවෙල හංවැල්ලෙ පවා හයර් ගිහින් තියනවා. උදේ 6.30 දුවත් එක්ක එන්නේ. දුව පාසලට දාලා හයර් දුවලා දවල් 3.00ට දුවවත් අරන් ගෙදර යනවා. සාමාන්‍යයෙන් දවසකට රු. 1,500 හොයනවා. මට කරදරවලට නම් මුහුණ පාන්න වෙලා නෑ. හුඟක් අය මා සමඟ හිතවත්.

ඇත්තටම මේ රස්සාව නිදහස්, පහසුයි. කාටවත් අතපාන්න ඕනෙ නෑනේ. කීයක් හරි වැඩිපුර හොයාගන්න ඕනෙ නම් වැඩිපුර දුවන්න හැකිනේ. මහත්තයව අසනීප වුණාමත් ත්‍රිවිල් එකේ දාගෙන යන්නෙ මමයි...”

පිරිමින් හා උරෙනුර ගැටෙමින් ජීවිතය ජයගන්න වෙර දරන ත්‍රිවිල් කතුන්ගේ සේවය අභිමානයක් ගෙන දෙන බව කිව යුතුය.

 

සේයාරූ - රංජිත් අසංක

Comments