සේනා මඬින බලසේනා මෙහෙයුම | Page 2 | සිළුමිණ

සේනා මඬින බලසේනා මෙහෙයුම

බඩ ඉරිගු වගාව ආශ්‍රිතව මේ දිනවල නැවතත් සේනා දළඹු වසංගතය ශීඝ්‍රයන් පැතිර යමින් පවතියි. ලංකාවේ බඩ ඉරිඟු වගාව කරන උතුරු පළාත, උතුරු මැද පළාත හා නැගෙනහිර පළාතවල මේ වන විට පැතිර යන මෙම සේනා දළඹු වසංගතය බඩඉරිගු වලට පමණක් නොව කහ වැනි වෙනත් භෝග කරා ද පැතිර යන බව වාර්තා වෙයි. මේ වන විට දිවයිනේ බොහෝ පළාත්වල ගොවීන් සිය වගා කටයුතු වලදි බඩ ඉරිඟු වලට පමණක් නොව කහ වලටද ලබා දි ඇත්තේ විශේෂ ස්ථානයකි. මේ වන විට ඔවුන් කහ වගාවට පමණක් නොව බඩ ඉරිඟු වලටද විශාල මුදලක් යට කරමින් අස්වනු නෙළීම ආරම්භ කර ඇත්තේ දස අතේ ණය වීමෙනි. එහෙත් දැන් ඔවුන්ගේ වගාවන්ට කණ කොකා හඬන්නට පටන් ගෙන ඇත. දඹාන ආදිවාසී ජනතාව ද දළඹු උවදුරින් දැඩි පීඩාවට පත්ව සිටී තවත් පිරිසකි. දඹාන සහ ඒම ප්‍රදේශය ආශ්‍රිත වේවත්ත, කුකුළාපොළ, ඇකිරියන්කුඹුර, පෙලන්පැලේ, ගුරුකුඹුර ඇතුළු ගම්මාන රැසක බඩ ඉරිඟු වගාව සේනා දළඹු ආක්‍රමණයට ලක්ව තිබේ. සේනා දළඹු උවදුරින් තම බඩඉරිඟු වගාවන් බේරා ගැනීමට ඔවුන් නොයෙකුත් ක්‍රම මේ වන විටත් යොදන අතර දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් සකසා ගනු ලැබූ දියර මෙන්ම, රසායනික ද්‍රව්‍ය ද ඒ සඳහා යොදා ගැනීමට පියවර ගෙන තිබුණි.

සති කිහිපයක සිට ව්‍යාප්ත වෙමින් පවතින මෙම දළඹු විශේෂය මේ වන විට අම්පාර, මොනරාගල, අනුරාධපුර, මහියංගනය, ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේ ගම්, ගෝමරන්කඩවල ඇතුළු පළාත් ගණනාවක ව්‍යාප්තව ඇත. බොහෝමයක් පළාත්වල මේ වන විට අස්වනු නෙළීමට ආසන්න වී ඇත. ඒ සඳහා තව මාස තුන හතරකින් ඔවුහු සූදානම් වන්නේ සිය වෙහෙසේ ඵල නෙළන්නටය. නමුත් මේ වන විට බඩ ඉරිඟු වලට පමණක් නොව කහ වලට ද අනතුරුදායක කාලයක උදා වී ඇත්තේ මේ සේනා දළඹු විශේෂය හේතුවෙනි.

වගා කටයතු වල යෙදුණු ගොවීන්ට ගෝලීය වසංගතයක් වන් 2018 වසරේ පැමිණි සේනා දළඹු වසංගතය අමතක නැත. එදා බඩ බඩ ඉරිඟු වලට පැමිණි මේ සේනා දළඹුවන් නිසා අක්කර දස දහස් ගණනේ වගාවන්ට හානි සිදුවිය. නමුත් මේ වන විට කෘෂි පර්යේෂණවලින් සනාථ වී ඇත්තේ මේ වන විට සේනා දළඹු විශේෂය ඉරිඟු වලට පමණක් නොව වෙනත් ෙභා්ග වලටද පහසුවෙන් අනුවර්තනය වෙමින් පවතින බවකි. එයට හොඳම උදාහරණයක් වී ඇත්තේ මෙම දළඹු විශේෂය මේ වන විට ඉන්දියාවේ කරදමුංගු වැනි වගාවන්ටද බෝවී ඇති බවය. මෙලෙස භෝග වර්ග 100කට පමණ හානි කිරීමේ හැකියාව මෙම දළඹුවා සතුය.

මෙම ආක්‍රමණිකයා හැඳී වැඩුණේ ඇමරිකාවේය. ඉන්පසුව අප්‍රිකාව නිජබිම විය. අනතුරුව ඉන්දියාව නිජබිම විය. මොවුන් සුළඟත් සමඟ කිලෝ මීටර් 100 ක් දක්වා ගසා ගෙන යාමේ හැකියාව ඇති බව කීට විද්‍යාඥයන්ගේ මතයයි. මේ නිසා මොවුන් ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව සැලය. කෙසේ වෙතත් මේ වන විට සේනා ගේ තර්ජනය ලොව රටවල් විශාල ප්‍රමාණයකට වසංගතයක්ව පවතියි. වගාවේ පත්‍ර කා දමන මෙම ආක්‍රමණිකයා නිමා නොවන කුසගින්නකින් පෙළෙන්නකු බව ගොවීහු පවසති. ඉතා වේගයෙන් පත්‍ර කා දමමින් මළපහ කරමින් නැවත නැවත පත්‍ර කා දමමින් මෙම ආක්‍රමණිකයා බඩ ඉරිඟු වගාව හපකරමින් සිටියේය. එම ‘බඩජහරියා’ට ශ්‍රී ලංකාවේදී තැබූ නාමය වූයේ ‘ආගන්තුක සේනා දළඹුවා’ යන්නයි. මෙම දළඹුවාගේ ශීඝ්‍ර ව්‍යාප්තිය ‘සේනා’ යන නම පටබැඳීමට හේතු වී ඇත.

අපේ බොහෝ ගොවීහු නොවැම්බර් මාසය හඳුන්වන්නේ පණු මාසය වශයෙනි. ඒ වගාවන් වලට පණු රෝග බෝවීමේ හැකියාව ඇති නිසාය. එහෙත් සේනා දළඹුවා මර්දනය සඳහා නිශ්චිත ක්‍රමවේදයක් මෙතෙක් හඳුනාගෙන නැත.

“මේ සේනා දළඹුවන් ලංකාව ආක්‍රමණය කළේ 2018 වසරේ. එදා සිට මේ අය ලංකාවෙන් ගියේ නැහැ. ගොවි මහතුන් මොවුන් මර්දනය කරමින් සිටියා. කෙසේ වෙතත් නොවැම්බර් මාසය ඔවුන් හඳුන්වන්නේ පණු මාසය කියලා. අපි මේ සේනා දළඹු මර්දනය කරන්නේ බහුවිධ ක්‍රමයක් යටතේ. මේ සතුන් සිය ජීවන චක්‍රයේ විවිධ අවස්ථා ගත කරනවා. එහෙත් මොවුන් ශාකයට හානි කරන්නේ පණු අවස්ථාවේ. ඒ නිසා කීටයෝ පමණක් නොව සලඹ අවස්ථාවේදීත් ඔවුන් මර්දනය කළ යුතුයි. සලඹයන්ගේ පිරිමි සතා අල්ලා ගැනීමෙන් මොවුන්ගේ ජීවන චක්‍රයට හානි කරන්න පුළුවන්. දෙවනුව කීටයන් මර්දනය කළ යුතුයි. භෞතික ක්‍රම, ජෛව විද්‍යාත්මක ක්‍රම, රසායනික ක්‍රම මේ සඳහා යොදා ගත යුතුයි. මේ වන විට ජෛව විද්‍යාත්මක ක්‍රමයක් ලෙස ඇමරිකාවෙන් කෘමි නාශකයක් ගෙන්වූවා. අනිත් උපක්‍රමය තමයි, රසායනික ද්‍රව්‍ය ඉසීම. මේ වන විට සේනා දළඹු වසංගතය යම් මට්ටමකට පාලනය විමක් සිදු වෙලා. නමුත් සමහර ගොවීන් වන්දි ගැනීමේ බලාපොරොත්තුවෙන් සිය වගාවන් අත් හරින්නට පටන් ගෙන. මෙය විශාල අපරාධයක්....“ ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංගය.

කෘෂි කර්ම දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ වන විට මොවුන් කහ වගාවට එතරම් දුරට අවතීර්ණ වී නොමැති බව වාර්තා වෙයි. නමුත් මෙම සේනා දළඹුවන්ගේ ප්‍රියතම ආහාරය බඩ ඉරිගු බැවින් අන් වගාවන් වලට පැතිර යාමේ අවකාශය යම් තරමකට වළක්වා ගත හැකි වන්නේ මේ පිළිබඳ අවධානයෙන් සිටියොත් පමණි.

අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය. රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ද පසුගියදා මෙම ව්‍යසනයට ලක් වු හේන පරීක්ෂා කිරීමට ගියේය. ඔහු පවසන්නේ මෙම දළඹු විශේෂය මර්දනය කර ගැනීම සඳහා රජයේ සහය ගොවීන්ට ලබා දෙන බවකි. ගොවි ජනතාවද මේ වන විට මේ මර්දන කටයුතු සාර්ථකව දියත් කර තිබෙන බවකි.

“ආණ්ඩුව පැත්තෙන් ලබා දිය යුතු සහන ලබා දිය යුතුයි. ඒ වගේම ගොවි මහත්වරුන්ගේ පැත්තෙනුත් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගත යුතුයි. ඒ නිසා සියලුම ගොවි මහතුන්ගෙන් ඉල්ලීමක් කරනවා ආණ්ඩුවේ සහයෝගය ලබා දෙන ගමන්ම අපි අපේ වගාවන් සේනා දළඹු හානියෙන් ආරක්ෂා කර ගන්න උපරිමයෙන් උත්සහ කරමු කියා.“

මේ වන විට සේනා මර්දනය කිරීමට බලසේනා නමින් වයිරසයක් ආනයනය කර ඇති අතර, එය මේ වන විට ගොවීන්ට බෙදාදීම ආරම්භ කර ඇත.

Comments