
අගවිනිසුරුගේ නිර්දේශ නොසලකා හැරලා...
සාමාජිකයන් පත් කර ඇත්තේ පනතේ වගන්ති නොසලකමින්...
SLIIT හරහා බලවත් අක්‍රමිකතාවක්...
ලලිත් ඇතුළත්මුදලි හිටපු ඇමැතිවරයා විසින් උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹන ලදී. එතුමාගේ අභාවයෙන් පසුව වුවද පැවැති සියලුම රජයන් විසින් මහපොළ අරමුදල සිසු දරුවන් වෙනුවෙන් වැඩි දියුණු කරන ලදී. එහෙත් පසුගිය ‘යහපාලන‘ රජය සමයේ මහපොළ අරමුදලට කණකොකා හැඬුවේය. ඒ බව හෙළිවූයේ එම රජයේම ප්‍රබල ඇමැතිවරයකු ලෙස කටයුතු කළ ආචාර්ය විජයදාස රාජපක්ෂයන් විසින් මේ අපරාධය ගැන කරුණු සොයා හෙළිකිරීම නිසාය. එම අරමුදලේ සිදු වී ඇති රුපියල් බිලියන ගණනක අවභාවිතාව පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට ඔහු විසින් එකල පැවසුවද හොරාගේ අම්මාගෙන් පේන ඇසීම පලක් නොවන බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එම නිසා ඒ විමර්ශනය එලෙසින්ම යටපත් විය. එහෙත් මෙවන් අපරාධ වතුර යට පාගාගෙන සිටින රබර් බෝලයක් වැනිය. කකුල ඉවතට ගත් සැණින් වතුර මතුපිටට පැමිණේ.
දැන් රබර් බෝලය මතුපිටට පැමිණ ඇත. ඒ ‘යහපාලන‘ ආණ්ඩුව සමයේ රුපියල් කෝටි 100ක් හෙවත් බිලියනක අලාභයක් සිදු කර ඇති බවට වාර්තා වී ඇත. එහෙත් එය ගැඹුරින් සොයා බැලූ විට පෙනී යන්නේ මහපොළ භාරකාර අරමුදලේ රුපියල් බිලියන 23කට අධික මුදල් අවභාවිතයක් සිදුව ඇති බවයි. යහපාලන රජය සමයේ උසස් අධ්‍යාපන අමාත්‍යධුරය දැරූ විජයදාස රාජපක්ෂන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් මේ බව එදා හෙළි කෙළේය.
එය මහ බැංකු බැඳුම්කර වංචාවටත් වඩා බරපතළ වංචාවක් බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය. විජයදාස රාජපක්ෂයන් විසින් පෙන්වා දුන්නේ මහපොළ අරමුදල යටතේ පැවැති මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ඉන් ඉවත් කිරීමේදී (භාරකාර සමාගමකට පැවරීමේදී) රුපියල් මිලියන 20,000කට අධික අලාභයක් සිදුව ඇති බවයි.
එම ආයතනයේ පැවැති සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් මිලියන 20,000කට වැඩිවුවද අදාළ භාරකාර සමාගමට පැවරීමේදී මහපොළ අරමුදලට ලැබී ඇත්තේ රුපියල් මිලියන 408ක් පමණක් බවද ඔහු හෙළි කෙළේය.
එමෙන්ම විගණන වාර්තා අනුව ආයතනය පවරාදීමෙන් රුපියල් මිලියන 1,645ක පාඩුවක්ද, සමාගම් දෙකක සුරැකුම්පත් නිසි ලෙස ආයෝජනය නොකිරීම නිසා රුපියල් මිලියන 1,206ක්ද, ලොතරැයිකරුවකු සොයාගැනීමට රුපියල් මිලියන 688ක මුදල් වියදම් කිරීමත් මුදල් සුරැකුම්පත්වල ආයෝජනය නොකිරීම නිසා මිලියන 455ක අලාභයක් සිදුව ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපති ධුරය දැරූ අවදියේ මාලඹේ අක්කර 20ක භුමියක් මහපොළ වෙනුවෙන් ලබා දී එහි විශ්වවිද්‍යාලයක් (මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය - SLIIT ) ස්ථාපිත කර එයින් ලැබෙන ආදායම මහපොළ අරමුදලට බැර කිරීමට සැලසුම් සකස් කරන ලදී. මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ සභාපති ධූරය නිලබලයෙන් හිමි වූයේ අගවිනිසුරුවරයාටය.
ඒහි පාලන අධිකාරියේ නිලධාරීන් එම කටයුතු නිසි පරිදි කරගෙන ගියද එම නිලධාරීන් ඉවත්කර එය භාරකාර සමාගමකට පැවරීමට ‘යහපාලන‘ රජය කටයුතු කර තිබේ.
‘යහපාලන‘ රජය පසුව මහපොළේ හිමිකාරීත්වයෙන් සම්පූර්ණයෙන් ඉවත්ව ගොස් ඇති බවද විජේදාස රාජපක්ෂ විසින් හෙළිකරන ලදී. එහෙත් මහපොළ භාරකාර මණ්ඩලය එවන් කිසිදු තීරණයක් ගෙන නැති බවද පසුව අනාවරණය විය.
සිසු දරුවන් දහස් ගණනකගේ අයිතිය එසේ පවරා ඇත්තේ මිලියන 408කට වන අතර ඉඩම තබාගෙන කුලිය ලබාගැනීමේ අයිතිය පමණක් තබා ගෙන තිබේ. ඒඅනුව වසරකට මහපොළට හිමිවන්නේ රුපියල් මිලියන 20ක්පමණි.
එසේ සිදුකළ අක්‍රමිකතාව නිසා සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 20,000ක් හෙවත් කෝටි 2000ක් බවත් අනාවරණය විය.බැඳුම්කර වංචාව රුපියල් කෝටි 1000ක් වන අතර මේ වංචාව එමෙන් දෙගුණයක් වන මුදල් වංචාවකි.
රුපියල් මිලියන 20,000ක අයිතිය වෙනුවෙන් රුපියල් මිලියන 408කට ගෙවීම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විගණන විමසුමක් පවා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් එවා ඇති බවද රාජපක්ෂයන් විසින් පෙන්වා දෙන ලදී. එම වාර්තාවේ මහපොළ භාර අරමුදලට රුපියල් මිලියන 1645 ප්‍රතිලාභ අහිමිවීම ගැන දක්වා ඇත.
රුපියල් මිලියන 1645 ලෙස දක්වා ඇත්තේ එම ආයතනය නිර්මාණය කිරීමේදී ගිණුම්ගතව තිබුණු වෙළෙඳපොළ වටිනාකම වන අතර සිද්ධිය සම්බන්ධව ගැඹුරින් විමර්ශනය කළ විට එහි වටිනාකම රුපියල් මිලියන 20,000කට අධික බව තහවුරුවී ඇත. ඒ සම්බන්ධව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක්ද කරන ලදී.
පසුව මේ සම්බන්ධව පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව විසින්ද විශේෂ විමර්ශනයක් එවක සිදු කරන ලදී.එම කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී. පවන්ගේ වැල්ලවත්තේ පිහිටි නිවසටම ගොස් මේ සම්බන්ධව කරුණු විමසන ලදී.
2015 ‐ 2018 කාල සීමාවේ මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ සභාපති ධූරය දැරූ හිටපු අගවිනිසුරු කේ. ශ්‍රී පවන් පවසා ඇත්තේ මහපොළ භාරකාර අරමුදලට අයත්ව තිබූ මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) බදු දීමට අදාළ ගිවිසුම් ව්‍යාජ ගිවිසුම් බවත්, එම බදු ගිවිසුම් නීත්‍යානුකූල නොවන හෙයින් තමන් ඊට විරුද්ධ වූ බවයි.
එසේම එවකට භාරකාර මණ්ඩලයේ සිටි ආචාර්ය වික්‍රම වීරසුරිය අදාළ අමාත්‍යවරයාගේ පත්වීමක් බැවින් එම ගිවිසුම් අත්සන් කිරීමට බලයක් ඇති බව පවසා ඒවා අත්සන් කර තිබෙන බව ද හිටපු අගවිනිසුරුවරයා සඳහන් කර තිබේ.
අමාත්‍යවරුන් වශයෙන් මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකත්වය දැරූ ආචාර්ය සරත් අමුණුගම හා ගාමිණි ජයවික්‍රම පෙරේරා යන අය අදාළ බදු ගිවිසුම් සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක් වූ බවද හිටපු අගවිනිසුරුවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මහමැතිවරණයට පෙර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ධුරය දැරූ බන්දුල ගුණවර්ධනයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබුණි.
මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙන් රුපියල් බිලියන ගණනක් අවභාවිතා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට හා ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි විභාග වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් පැවසීය
ලලිත් ඇතුළත්මුදලි විසින් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට මුදල් රැස්කරන ලද්දේ මහපොළ සැණකෙළි සහ ප්‍රදර්ශන පවත්වමිනි. පසුව එය ක්‍රමයෙන් අභාවයට ගිය අතර රාජ්‍ය සුරුකුම්පත්වල මුදල් අයෝජනය කිරීමත්, මහපොළ ලොතරැයිය වැනි නව ලොතරැයි හඳුන්වාදීම හරහා මුදල් රැස්කර ගැනීම සිදු කෙරිණි.
රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීම ඕනෑම අයකුට තමන්ට හිතුමතේ කළ නොහැකිය. ඒ වෙනුවෙන් ස්ථාපිත ක්‍රමවේදයක් තිබේ.
එම ක්‍රමවේදයට අනුව National Wealth Corporation නමින් මහපොළ භාරකාර අරමුදලේම මැදිහත්වීමෙන් රාජ්‍ය සමාගමක් ලියාපදිංචි කර තිබේ. එහෙත් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කරන ප්‍රාථමික සමාගමක් හිමි මහපොළ භාරකාර අරමුදලේ පාලක මණ්ඩල සාමාජිකයකු අදාළ රාජ්‍ය සමාගම මඟහැර තම පෞද්ගලික සමාගම හරහා මහපොළ මුදල් රාජ්‍ය සුරැකුම්වල ආයෝජනය කළ බවට චෝදනාව එල්ල විය. අදාළ සමාගම වසරක් ඇතුළත රුපියල් මිලියන 522ක ලාභයක් ලබාගෙන තිබීමත් ඒ හරහා රජයට රුපියල් මිලියන 188ක පාඩුවක් සිදුව ඇති බවද අනාවරණය විය.
ආරම්භයේ සිටම මහපොළ භාරකාර අරමුදල වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පැවැති නමුත් ‘යහපාලන‘ රජය සමයේ එනම් 2015 සැප්තැම්බර් 21 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් මහපොළ භාරකාර අරමුදල මලික් සමරවික්‍රම අමාත්‍යවරයා යටතේ තිබූ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතට පත්කරන ලදී. මේ විනාශය ආරම්භ වන්නේ එතැන් සිටය.
මහපොළ භාරකාර අරමුදල් පනතේ සඳහන් ආකාරයට මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකයන් විය හැක්‌කේ වයස අවුරුදු 70 ට අඩු අයට පමණි. එහෙත් එවකට එහි සාමාජිකත්වය දැරූ වික්‍රම වීරසූරියට ඒ වන විට වයස අවුරුදු 76ද ඉක්මවා තිබුණි.
එසේම මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා ස්ථාපිත කළ Nat Wealth Securities Ltd. සමාගමේ සභාපතිවරයා වූයේද ඔහුමය.
ඔහු එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ඔහුටම අයත් Wealth Trust Securities Ltd සමාගමක් තිබීමද මෙහිලා ගැටලු සහගතය.
අදාළ සමාගම රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනය පිණිස ප්‍රාථමික වෙළෙඳුන් වශයෙන් ලියාපදිංචි කළ සමාගම් 16න් එකකි. ඒ සමාගමේ අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ සේනක වීරසූරිය සහ ප්‍රියන්ජිත් වීරසූරිය යන වික්‍රම වීරසූරියගේ පුතුන් දෙදෙනකුද සිටි බව වාර්තා වේ. ඒ අනුව අදාළ සමාගම පිය පුතු සමාගමකි.
මහපොළ භාරකාර අරමුදලේ මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය සඳහා මහපොළ භාරකාර අරමුදල විසින් ලියාපදිංවි කළ Nat Wealth Securities Ltd රාජ්‍ය සමාගම පවතිද්දීත් වික්‍රම වීරසූරියට අයත් Wealth Trust Securities Ltd පෞද්ගලික සමාගම හරහා මුදල් ආයෝජනයක් කර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇත.
මේ සියලු කටයුතු හරහා අපට පෙනී යන්නේ තම අධ්‍යාපනය හැදෑරීම පිණිස විශ්වවිද්‍යාලයට පැමිණෙන අඩුආදායම්ලාභී සිසු දරුවන්ගේ බත්පතෙන්ද ගසා කෑ අය සිටිනා බවයි. එසේ නීතිය නවා කටයුතු කළ අය තවමත් නිදැල්ලේය.
විජයදාස රාජපක්ෂයන් පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ ‘යහපාලන‘ රජය සමයේදීය. කොමිසම් පත් කෙරෙන්නේද එකල ය. එහෙත් තවමත් මේ වංචාකරුවන් නිදැල්ලේය. මහපොළ අරමුදලේ නියමිත ක්‍රමවේද නිර්ණායක නොසලකා කටයුතු කර ඇත්තේ කවුරුන්ද යන්න විමසා බලා ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොබලා කටයුතු කළ යුතු නොවේද? ඒ අනාගත දරු පරපුරක් වෙනුවෙනි. එසේ නොකළහොත් මහපොළ නැත්තටම නැති වී යන දිනය වැඩි ඈතක නොවනු ඇත.