
මේ බටහිර වෙරළේ මාදැල් වරායයි. මාදැල් හිමිකරුවන්ගේ අතමිට සරු වන්නේත්, මාදැල් ඇදීමට එක්වන විශාල පිරිසකගේ සාක්කුව පිරෙන්නේත්, ප්‍රදේශයේ ජනතාව කටට රහට මාළු හොද්දක් සමඟ බත් කටක් කන්නේත් මේ මාදැල් වරාය නිසාය.
බහුදින ධීවර යාත්‍රාවලින් ගොඩබිමට ගෙන එන මාළු දීර්ඝ කාලයක් පරිභෝජනය කළ ජනතාව මේ දැන් අල්ලපු මාළු කන්නේ මාදැල් වරාය නිසාය.
මාදැල් වරාය සාමාන්‍යයෙන් පවතින්නේ වසරේ නොවැම්බර් සිට ඊළඟ වසරේ ජනවාරි අග හෝ ඊටත් ටිකක් එහාට පමණි. වෙනදා රළු පරළුවී සිටින මුහුද මේ කාලයට ‘සාමකාමි‘ වේ. ධීවරයන් එය හඳුන්වන්නේ ‘වළාල‘ කාලය ලෙසය.
මෙම මාදැල් වරායේ ද බටහිර වෙරළ තීරයේ මාදැල් වරායන් කීපයකම සරු මාළු අස්වැන්නක් ලැබුණි. ඉන් වඩාත්ම කැපී පෙනුණු මාදැල් වරායන් වූයේ අහුන්ගල්ල සහ බලපිටියයි. මෙම වරායවල පසුගිය දිනවල සැලකිය යුතු පරව් මාළු අස්වැන්නක් ලැබුණි. කිලෝ හයකට වඩා බරැති පරව් මාළුවකු රුපියල් 1000/- ක් පමණවූ ඉතාමත් වාසිදායක මිලකට වෙරළේදීම මිලදී ගැන්මට එම අවස්ථාවල පාරිභෝගිකයාට අවස්ථාව ලැබුණි.
බටහිර වෙරළේ මාදැල් හිමියන් හා පාරිභෝගිකයන් එවන් වාසිදායක තත්ත්වයන් උරුම කර ගනිද්දී ඊට හාත්පසින්ම වෙනස්වූ ඉරණමකට මුහුණ දුන් මාදැල් වරායක් පිළිබඳ කතාවයි මේ. ඒ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලමුල්ල ගම්මානයේ පිහිටි සීනික්කර මාදැල් වරායයි. මේ වනවිට එම වරායේ සෑහෙන ප්‍රමාණයක් මුහුදට බිලිවී තිබේ.
සීනික්කර මාදැල් වරායේ මාදැල් හිමිකරුවන් පස් දෙනෙකි. ඒ.එස්. පෙරේරා, එම්. නන්දසේන මැමොන්සා, නන්දන සමිත් කුමාර මැඩොන්සා, ජේ.ඒ. සුනිල් පෙරේරා සහ ඇන්ඩෘ ජස්ටින් සිල්වා නම් වූ අයයි.
මෙහිදී මාදැල් හිමිකරුවකු වන එස්. පෙරේරා යන අය අදහස් දක්වමින් මෙසේ කීය.
1965 වසරේ සිටම මගේ පියා මෙම සීනික්කර මාදැල් වරායේ මාදැල් හිමියෙක්. 2003 වසරේ සිදුවූ මුහුදු ඛාදනය වළක්වා ගැන්මට වෙරළට සමාන්තරව වෙරළේ සිට මීටර් 100 ක් දුරින් මීටර් 120 ක් දිගට මුහුදට ගල්වැටි දැමීම නිසා අපේ මාදැල් වරාය දෙකඩ වුණා.
ඒ අනුව මීටර් 60 ක පමණ ප්‍රමාණයක් ගල් වැටියෙන් උතුරු දිශාවටත්, මීටර් 300 ක් පමණ ගල් වැටියෙන් දකුණු දිශාවටත් වෙන් වුණා. මේ අතර මාදැල් වරායේ මීටර් 100 කින් පමණ ගලක් සහ උතුරු දෙසින් මීටර් 200 කින් පමණ ගල් වැටියක් ද මතුවී තිබෙනවා. අපේ දැල් මේ ගල්වල පැටලිලා හානි වෙනවා. දිය අත සැර වුවහොත් මාදැල් වට කිරීම අපහසුයි. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ අපට මාදැල් ඇදීමට හැකි වන ලෙස අපේ සීනික්කාර වරාය මැන වෙන් කර දෙන ලෙසයි.
මෙහිදී මාදැල් හිමිකරුවකු වන ජේ.ඒ. සුනිල් පෙරේරා යන අය මෙසේ කීය. මාදැල් වරාය තිබෙන්නේ වසරේ එක් කාලයක් පමණයි. ඒ කාලයෙනුත් දැන් වැඩි හරියක් ගෙවී ගිහින්. මෙවර මුහුදු ඛාදනය නිසා අපේ සීනික්කර වරාය මාදැල් කර්මාන්තය කළ නොහැකි තත්ත්වයට පත්වුණා. වෙරළ මුහුදට සේදී ගියා.
කොළඹ පෝට්සිටි ව්‍යාපෘතිය මෙසේ වන්නට හේතු වුණාදැයි කියල සිතනවා.
මෙහිදී මාදැල් හිමිකරුවකු වන නන්දන සමිත් කුමාර මැඩොන්සා යන අය අදහස් දක්වමින් මෙසේ කීය.
මෙම මාදැල් වරායේ අපි මාදැල් වට කරන්නේ මාරුවෙන් මාරුවට. එක් වාරයක් තුළ එක් අයකුට ලැබෙන්නේ අවස්ථා කීපයක් පමණයි. මේ යන විදියට අපට මේ මාදැල් වරායම අහිමි වන්නට ඉඩ තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කළුතර ප්‍රාදේශීය ලේකම් සිසිර කුමාර සේනාධීර කියා සිටියේ මෙම මාදැල් වරායේ සීමා ලකුණු කර දෙන ලෙස මිනින්දෝරු කාර්යාලයට දන්වා ඇති බවයි. ඒ අනුව එම සීමා වෙන්කර දීම ධීවර දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවද ඔහු කීවේය.