
බුලත්සිංහල පාහියංගල ගම ආසියාවේ ආදිතම මානව ජනාවාසය ය. පුරාවිද්‍යා කැණීම් ප්‍රකාරව අවුරුදු 48,000 ක් ඒ ජනාවාසය පැරණිය.
වර්ෂ 2017 – 05 – 25 දින ඒ පාහියන්ගල ගැන යළිත් ලෝකය කතා කරන්නට ගත්තේය. ඒ සිදුවූ බිහිසුණු ඛේදවාචකයක් සමඟිනි.
මෙම ප්‍රදේශයට මිලිමීටර් 503 ක මහා වර්ෂාපතනයක් ලැබී කුකුළු, මගුරු පැළැන් - යටගම්පිටිය ගංගා උතුරා ගොස් මහා ජල ගැල්මත් සමඟම මහා නායයෑම් වැලක් සිද්ධවී දැනට අවුරුදු තුනකි. එහිදී මේ විපතට ස්ථාන 436 ක් ගොදුරු විය. 41 දෙනෙක් මරණයට පත්ව තවත් 36ක් අතුරුදන් විය.
නික්ගහ, දෙමටපිටිය, පාහියංගල, තිබ්බොට්ටාව, බඹර අතුල - ඉහළ වෙල්ගම, මහගම පොලේගොඩ වේයන්ගල්ල, කුඩලිගම, පරගොඩ, මොරවක ට්‍රැපර්ගාර්වත්ත, කොබවක යන කඳු පන්තීන් ද එදින මහා වර්ෂාව සමඟ පුපුරා දෙදරා වැටුණි.
මෙම ඛේදනීය කතාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සොයන්නට අප කළ සංචාරයක සටහනකි මේ.
මල්ටි බැරල්, රොකට් වෙඩි, ප්‍රහාරයකට ගොදුරු වූ ගමක් ලෙස ජයලත් ගොඩ ගම්මානය අදත් පාළුවට ගොස් තිබේ. මිනිස් ජනාවාසවල නටබුන් ද කඩා වැටුණු ගෙවල් ද වාහනවල සුන්බුන් ද මැදින් අප ගමන් කළෙමු.
පාළුවට ගිය ඉඩමක අද්දර සුසුම් හෙළමින් පසුවන වියපත් මිනිසෙකි. මම ජේ.ඒ. විජේදාස (57). මගේ ලේ ඥාතියෝ දරුවෝ දූලා පුතාලා, මේ කන්ද පාමුල ගෙවල්වල සිටියේ. පාහියංගල ගල් ලෙනේ පහළ පොළවත් පුපුරලා ගියා. අපේ නෑදෑයෝ 25 දෙනකු මහා කන්ද ගෙවල් මතට පෙරළිලා අතුරුදහන් වුණා. අපිට හමුවුණේ එක දරු පැටියෙකුගේ ශරීරයක් විතරමයි. මමත් පූරුවේ කර්මයක් කරලා. මේ විපත හිතින් අත් හැරලා හිත හදාගන්නට කොහොමවත් බැහැ.
නොමැරුණ හින්දා මම ඔහේ කනවාට කනවා. ජීවත් වෙනවාට ජීවත් වෙනවා. මගේ එකම දුවත් මැරුණා. නෑදෑයෝ 25 ක් මැරුණා.
අනතුරුව අපට හමුවූයේ රුපියල් කෝටි ගණනකින් පවා නිම කළ නොහැකි සුවිසල් නිවාසයක පිපිරී ගිය බිත්ති හා නටබුන් ළඟ තේ වගාවක වල් නෙළමින් සිටි අඹු සැමි යුවළකි.
ඒ බියකරු ඛේදවාචකය සිහි කළේ මෙසේය. ''මම එදා මේ ගෙදරින් උදේම ගියා. මගේ භාර්යාව මහරගම පිළිකා රෝහලේ නතර වෙලා ප්‍රතිකාර ගනු ලබනවා. මම ඔය 2017.05.25 උදේ පාන්දර ම අවදි වෙලා මගේ භාර්යාවගේ දුක සැප බලන්නට පිළිකා රෝහලට ගියා. පසුදා ගමට එන කොට මගදීම ආරංචි වුණා ජයලත්ගොඩ කන්ද පුපුරලා, දෙදරා වැටිලා, පදිංචි වෙලා සිටිය ඔක්කෝම ආගිය අතක් නැතිය කියලා.
මම බාගෙට මළා වාගේ අප්‍රාණික වුණා. ඒත් ගෙය තිබුණු තැනට ආව. ජයලත්ගොඩ ගෙවල් කැඩිලා පස් කඳු වැටිලා යට වෙලා. නෑදෑයෝ මිහිදන් වෙලා. අපිට වෙනත් තැනකින් ඉඩමක් අරන් ගෙයක් හදාගන්නට සල්ලි ලැබුණා. ඒත් ආදරේ කරපු මිනිස්සු කවුරුවත් නැහැ. මාගේ භාර්යාවට පිළිකාවක් වැලඳිලා තිබුණු නිසා ඇයත් මවත් අද ජීවත් වෙනවා. ඉතිරිවී ඇත්තේ ඔවුන්ගේ ජීවිතවලින් අඩකි. අර්ධය තුළ ද ජීවිතය නැත.
ගුරු ගෙදර ග්‍රන්ථ කේන්ද්‍රයේ නිර්මාතෘ ප්‍රවීණ ලේඛක ග්‍රන්ථ කර්තෘ ඉන්දික සංජීව විතාන අප හා කතාවට එක් විය. මේ සිද්ධිය වෙච්චි දවසත් ඊට පසු හා පෙර දවසත් මට හොඳට මතකයි.
පාහියංගල කන්ද තියෙන්නේ අපේ ගේ ඉදිරිපිටයි. දවසම වැස්ස තිබුණා. උදේත් වැස්ස තදින්ම. පාහියංගල කන්ද කඩාගෙන ගෙවල් යටකරගෙන යටගම්පිටිය ගඟට වැටිලා. මිනිස්සුත් ගෙවලුත් එක්කම කිසිම... කෙනෙක් ආ ගිය අතක් නැහැ කියලා උදේම පණ බේරාගෙන ආපු ඥාතියකු කිව්ව.
මම හනිකට අවදිවෙලා බැලුවා. කන්ද තිබුණු ලකුණක්වත් නැහැ. ගෙදර මිදුල ළඟටම මහා ගංවතුරකුත් ඇවිදින්. මමත් ඒ මොහොතේ ඉඳලා කියන්න ලියන්න ඕන හැම තැනටම කිව්වා; ලිව්වා. මේ විපත නිසා අතුරුදහන් වෙච්ච අවතැන් වෙච්චි පවුල් ගොඩගන්න කියලා.
මෙම ආපදාවත් සමඟම විපතට පත් ජනතාව සඳහා සහන සැලසීම සඳහා තවමත් කැපවෙමින් සිටින පාහියංගල ගල් ලෙන් විහාරාධිකාරි ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති මාතර ආනන්ද සාගර හිමියෝ මෙසේ කීහ.
එදා මේ නාය යෑමත් සමඟම පාහියංගලට ලෝක අවධානය යොමුවුණා. මම හෙලිකොප්ටර් ගෙනැවිත් දාලා තමයි ගංවතුරට කොටුවෙලා වහලවල් උඩ හිඳිමින් ජීවිතය ඉල්ලපු ජනතාව බේරා ගත්තෙ. සහන ලබාදුන්නා විපතට පත් වෙච්චි පවුල් වලට. අවදානම් කලාප වලින් බැහැරව නිවාස ඉදිකර දෙන්නට අපි මැදිහත් වුණා. රජය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තවමත් මේ පිළිබඳව ප්‍රමුඛස්ථානය දෙනවා.
ඒ වුණාට මොකද සමහරු ගෙවල් අරගෙන ආයිත් මේ අවදානම් ප්‍රදේශවලට පැමිණෙන බවක් පෙනෙනවා. කොහොම වුණත් කඳු බෑවුම්වල පදිංචිවීම වැලි ගොඩ දැමීම වන සංහාරය වැනි ක්‍රියාවන් නිසා මේ අවදානම යළි යළිත් මතුවේවි.
අනිත් කාරණාව තමයි නාය යෑම ගංගා ගැලීම ආදී විපත් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් කඩිනමින් මේ කලාපය තුළ ආරම්භ කළ යුතු වෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය අනුව කොට්ඨාසයේ අවදානම සහිතව සිටි පවුල් 750 ක් ඉවත් කිරීමට තීරණය විය. ඒ නිර්දේශ මත ඔසින්ටන් වත්ත, හල්වතුර, කෝන්ගස්තැන්න යන ප්‍රදේශ තුළ අලුතින් ජනාවාස ආරම්භ කර නව නිවාස 350 ක් ඉදිකර පදිංචි කිරීමට පියවර ගෙන තිබුණි.
මේ පවුල් අතරින් පවුල් 100 ක් ම පදිංචි කර ඇති ඔසින්ටන්වත්තේ නිවාස සංකීර්ණයට අපි ගියෙමු.
ඉඩම් කච්චේරියක් පවත්වා තෝරා ගත් අපිට පර්චස් 10 ඉඩම් කැබැල්ලක් සමඟ රුපියල් ලක්ෂ දොළහක වන්දි මුදලක් ලබා දුන්නා. දැනට පවුල් 60 ක් පමණ ගෙවල් හදලා තියෙනවා. නිවාස හදාගත්තු සමහර අය තම ඉඩම් කැළෑවටම යන්න ඉඩ ඇරිය තියෙනවා. මොකද පහසුකම් මදි. පොදු ජල නළ පද්ධතියක් නැහැ. පොදුවේ ප්‍රයෝජනයට ගන්නට කියල ප්‍රජා ශාලාවක් අවශ්‍යයි. පෙර පාසලක් ඕනේ. අපිට ස්වයංරැකියා කරන්නට පහසුකම් කිසිවක් නැහැ. අඩුම තරමේ සහනදායක ලෙස ණය මුදලක් රජයෙන් දෙනවා නම් හොඳයි.”
නම් ගම් හෙළි කිරීමට අකමැතිවූ බොහෝ දෙනා කියන කතාව එයයි.
අපි බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික හේවාගෙන් විමසුවෙමු. “මේ පවුල් ජීවත්වන අලුත් ගම්මානවල ජනතාවගේ ගැටලු සොයා බලලා සභාවෙන් ඉටු කළ යුතු සංවර්ධන කාර්යයන් අතපසු කරන්නේ නැතුව විසඳුම් ලබාදීමට අප ක්‍රියා කරනවා. මේ ප්‍රදේශවල සිටින රාජ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය සභා නියෝජිතයින් සහ පදිංචිව සිටින ජනතාව මේ සඳහා අපට උනන්දුවෙන් උපරිම සහයෝගය ලබාදේවිය කියලා සිතනවා. තවද මේ ගම්මානවලට ගොස් ගැටලු විසඳා දෙන ලෙස අපි රාජ්‍ය නොවන සංවිධාන හා දානපතීන් ගෙන් ද ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරාය. මේ ඔහු කියන කතාවය.
කෝන්ගස්තැන්න හල්වතුර ඔසින්ටන් වත්ත ප්‍රදේශවල නව ගම්මාන 03 ක් හැදුව. මේ අය පදිංචි කළ නව නිවාස 350 ක් තියෙනවා. අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට පියවර රැගෙන පවතිනවා. විපතින් මිය ගිය හා ආපදාවට පත් වුණු පුද්ගලයන් වෙනුවෙන් දැනට රුපියල් කෝටි 3150 මුදලක් වන්දි ලෙස ප්‍රදානය කර තිබෙනවා. සමහරු මුලින් සිටිය ගම්මාන අත හරින්නේ නැහැ. මිල්ල කන්ද - හල්වතුර ප්‍රදේශවල පෙර සවි නිවාස ආරම්භ කරලා පවුල් 72 පදිංචි කරන්න සිටියදී තමයි කොරෝනාව ආවේ. අනාගතයේදී ඒ කාර්යය කරනව.
ශ්‍රී ලංකා පරිසර සම්මේලනයේ ලේකම් අශෝක හරිස්චන්ද්‍ර ය.
පස් යොදුන් රට ජනතාවට අනාගතයේදී මුහුණදෙන්නට සිද්ධ විය හැකි නාය යෑම්, ජල විපත්, දුර්භික්ෂය, නියඟ, ජල හිඟය ආදී කරුණු ගැන අපි දශක තුනක හතරක ඉඳලා අනතුරු අඟවනවා. අක්කරය දෙක වවා ගෙන නිදහසේ ජීවත් වෙච්චි මුතුන් මිත්තන් ගේ දූ දරුවෝ අද පර්චස් 05 ඉඩම්වල කොටුවෙලා. ග්‍රාමීය හැදියාව, සංස්කෘතිය, සාරධර්ම විනාශ කරගන්නවා.
නායයෑම් ආපදාවලට ලක්වුණු පවුල් වලට ඔය රජයේ පුද්ගලික අංශයේ අතහැර දාලා තියෙන තේ, රබර්, වතුවලින් ඉඩම් අක්කර භාගය බැගින් දෙන්න කියල අපි යෝජනා කරනවා.