
ළමා අධිකරණවලට පෙනී සිටින දරුවන්ට මෙයින් සහනයක්
කොවිඩ් පැමිණ අපේ ජිවිත බොහෝ සෙයින් වෙනස් කළේය. වෙනස් නොකළ දෙයක් නොමැති තරම්ය. බොහෝ දේ සිදු වන්නේ අපේ හොඳට යැයි සිතෙන තරමට සිහිනෙන් පවා නොසිතූ අත්දැකීම්ද කොවිඩ් නිසා අපට විඳින්නට සිදුවිය. දුරස්ථ අධ්‍යාපනයට අප හුරු විය. ගෙදර සිට රැකියාව කිරීමට අප හුරු විය. කඩයට, බැංකුවට නොගොස් ගෙදර සිට ගනුදෙනු කරන්නට හුරුවිය. එසේම සැකකරුවන් පැමිණිලිකරුවන් නොමැතිව නඩු අසන්නටද හුරුවිය.
කොවිඩ් නිසා පසුගියදා අධිකරණ පද්ධතියේ අමුතුම ආකාරයේ නඩු ඇසීමක් ආරම්භ වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ඒ සැකකරුවන් පැමිණිලිකරුවන් නැතිව නවීන තාක්ෂණය ඔත්සේය. කොවිඩ් පළමු රැල්ලෙන් අධිකරණ 23 කදී ස්කයිප්, වට්ස් ඇප් තාක්ෂණය ඔත්සේ දුරස්ථ අධිකරණ නඩු විභාග කිරීම ආරම්භ වූ අතර සැකකරුවන් ඉදිරිපිට නැතිව රිමාන්ඩ් කිරීම් සිදුවිය.
කොවිඩ් දෙවැනි රැල්ලෙන් අනතුරුව රටේ ප්‍රථම වරට කඩදාසි කොළයක් රහිත අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ විය. ඒ විද්යුත් තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඇප ඇයැදුම්පත් සලකා බැලීමේ ක්‍රමවේදය ආරම්භ වීමය.
යම් සැකකරුවකු රිමාන්ඩ් ගත කිරීමෙන් පසුව මහාධිකරණයකින් ඇප ලබා ගැනීමේදී ඔහු වෙනුවෙන් ඇප ඇයදුම්පතක් ලිඛිත පෙත්සමක් සේ ඉල්ලා සිටීමේ නීතිමය ප්‍රතිපාදන ඇත. නමුත් කොවිඩ් සමඟ ගෙවී ගිය වසරේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීමේ ක්‍රමවේදයේ යම් යම් පසුබෑම් සිදුවූයේ පවත්නා කොවිඩ් වසංගතය හේතුවෙනි. විශේෂයෙන්ම අධිකරණ බල ප්‍රදේශ ලොක් ඩවුන් කිරීම, නඩු ඇසීමට අධිකරණවලට සැකකරුවන් ගෙන්වා ගැනීමට නොහැකි වීම, බන්ධනාගාරවල කොවිඩ් රෝගය පැතිරීයාම මේ පසුබැමට ප්‍රධාන හේතු විය.
කෙසේ වෙතත් අධිකරණ පද්ධතියේ නඩු කල් යෑම, රිමාන්ඩ්ගත කර සිටින සැකකරුවන්ගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් කොවිඩ් බාධාවක් කර නොගත් අතර ඊට අභියෝගයක් වශයෙන් ස්ථීරසාර වැඩ පිළිවෙළකට යෑමේ අරමුණින් මෙම නව e - filling systems හෙවත් Remote Court Hearing හෙවත් ඇප අයැදුම්පත ඊ - තැපැල හරහා ගොනු කිරීමත්, තාක්ෂණය භාවිතයෙන් නඩු ඇසීමත්, අනතුරුව නවීන තාක්ෂණ මෙවලම් හරහා ඇප ලබා දීමේ ක්‍රමවේදයට විනිසුරුවරුන් මුල පිරීමක් සිදුවිය. මෙහි මුල් අඩිතාලම පසුගියදා කොළඹ මහාධිකරණයේ පැවැති මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ නඩුවක ඇප දීමෙන් ආරම්භ විය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති රොහාන් සහබන්දු, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඇතුළු විශාල පිරිසකගේ සහය ඇතිව මේ පද්ධතිය හඳුන්වා දීම වේගවත් කළේය.
මේ අනුව නීතිඥයන් විසින් නියමිත ඇප අයැදුම්පත මහාධිකරණ රෙජිස්ටාර් වෙත යවන්නේ ඊ මේල් හරහාය. මේ වෙනුවෙන්ම සකස් වූ ඊ තැපැල ලිපින හඳුන්වා දී ඇත්තේය. එම ඇප පෙත්සමට අදාළ ලේඛනද ස්කැන් කිරීමකින් අනතුරුව මෙම පෙත්සම සමඟ යැවේ. මෙහිදි එම නීතීඥයා ලියාපදිංචි වූ අංකය ඇතුළත් කිරීමෙන් මෙහි නිරවද්‍යතාව හොඳින්ම සනාථ වන්නේය. ඉන්පසුව යැවු ඇප පෙත්සමට ලියාපදිංචි අංකයක් ලබා දීම මහාධිකරණ රෙජිස්ටාර් හරහා සිදු වන්නේය. ඉන්පසු මෙ ලිපි ගොනුව අදාළ අධිකරණයේ විනිසුරුට යැවෙන අතර අනතුරුව ඊ මේල හරහා නීතිපති දෙපාර්තමේන්තුවට හා පොලීසියට එම ගොනු යැවෙන්නේ එයට විරෝධතා ගොනු කිරීමටය. ඉන්පසු මෙම අපැල විභාග කිරීම සඳහා අධිකරණයෙන් දින තුනත් ලබා දෙන්නේ පහසු දිනක් අදාළ පාර්ශ්වයන්ට තෝරා ගැනීමටය. අනතුරුව අධිකරණයෙන් ලබා දෙන දිනයකදී මෙය විභාග වන්නේ විවෘත අධිකරණයේ නොව නවීන තාක්ෂණය හරහා තමන්ට පහසු ස්ථානයක සිටය. මෙහිදි යොදා ගත් දිනයේ විනිසුරුවරයා සිය නිල මැදිරියේ සිට හෝ තම නිවසේ සිට සම්බන්ධ වන අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයා හා පැමිණිලිකරුගේ නීතීඥයා තමන්ට පහසු ස්ථානයක සිට සම්බන්ධ වෙයි. ඇප විභාගයෙන් අනතුරුව අදාළ ඇප ලැබුණහොත් එම අයැදුම්පත් ඇප ලබා දීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට යැවෙන්නේද ඊ තැපෑල හරහාය.
“මෙම වැඩසටහන ක්‍රියාත්ම කරන්න බොහෝ පිරිස් එකතු වුණා. කොවිඩ් නිසා ඇප ඉල්ලුම්පත් ගොනු කිරීමේ ගැටලු ඇති වුණා. UNDP ආයතනය තාක්ෂණය ලබා දී මේ කටයුත්තට දායක වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ අවශ්‍ය රීතින් සකස් කර මේ ක්‍රමවේදය සැකසුවා. මේ හරහා විනිසුරුට සිය නිවසේ සිටම ඇප ඉල්ලුම්පත සලකා බැලීමේ හැකියාව තියෙනවා. මේ සඳහා වෙනමම ඊ මේල් ලිපින ආරම්භ කළා. මෙහිදි ලැබෙන ලියවිලි සියල්ල මහාධිකරණ රෙජිස්ටාර්වරුන්ට අනුයුක්ත විශේෂ ඊ මේල් ගිණුමකට යැවෙනවා. දැනට මෙය නියාමන වැඩ සටහනක් ලෙස කොළඹ මහාධිකරණයේ නඩු විභාග කෙරෙනවා. ලබන ජනවාරියේ අභියාචනාධිකරණ ආරම්භ කිරීමෙන් පසු එහිත් මේ ක්‍රමය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ...“ ඒ නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වාය.
“කොවිඩ් නිසා උසාවි අඩපණ කරන්න බැහැ. කොව්ඩ් මුල් අවස්ථාවේදි අපි zoom හරහා රිමාන්ඩ් දික්කිරීම් කළා. මේ සඳහා UNDP ආයතනයෙන් මහේස්ත්‍රාත් උසාවිවලට පරිගණක 30 ක් ලබා දුන්නා. ඊට පසු අපි මේ ක්‍රමවේදය තව ඉදිරියටත් අත්හදා බැලුවා. දැන් අපි ඇප ඇයැදුම්පත් සලකා බැලීමේ ක්‍රමවේදය මහාධිකරණවලට හඳුන්වා දුන්නා. දැනට නියාමන වැඩ සටහනක් ලෙස කොළඹ මහාධිකරණයට මෙය හඳුන්වා දුන්නා. ඉදිරියේදී අනිකුත් මහාධිකරණ වලටද මෙය හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. එසේම මෙය අභියාචනාධිකරණයට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඉදිරියේදි හඳුන්වා දෙනවා. එවිට කොවිඩ් නැති විටත් අපිට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන්....“ ඒ නීති ආධාර කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දුය.
මෙම දුරස්ථ නඩු ඇසීමේ ක්‍රමය සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දෙන්නේ UNDP ආයතනයයි.මාර්තු මාසයේ රට ලොක් ඩවුන් කළ පසු අපි මේ ගැන සාකච්ඡා කළා. මේ කාලයේ ඇඳිරී නීති කඩකළ බොහෝ දෙනෙක් අත් අඩංගුවට ගත්තා.මේ නිසා මේ අයට අසාධාරණයක් නොවන අකාරයෙන් ඔවුන්ගේ අයිතීන් සුරැකෙන ආකාරයෙන් රිමාන්ඩ් කහෝ ඇප ලබා ගැනීම් කරන අකාරය අපි සාකච්ඡා කළා. මේ නිසා අපි මේ ක්‍රමවේදය මුලින්ම මහේස්ත්‍රාත් උසාවි 23 ක ක්‍රියාත්මක කළා. මේ ක්‍රමය සාර්ථක වූ නිසා දෙවනි වටය ලෙස අපි මහාධිකරණ වල ඇප ගොනු කිරිම් කරන්න පටන් ගත්තා. තුන්වැනි වටය ලෙස අපි මේ ක්‍රමය අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවල ක්‍රියාත්මක කළා. ඒ වගේම ළමා අධිකරණ වලත් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මේ ක්‍රමය නිසා දරුවන් උසාවි ගෙන ඒමට අවශ්‍ය වන්නේ නැහැ. කොවිඩ් වලින් අනතුරුවත් මෙයම ක්‍රියාත්මක කළ හැකි වෙන නිසා වින්දිතයින්ගේ මානසික පීඩා අවම කරන්නටත් මේ ක්‍රමය හැකි වෙනවා. මීට අමතරව නීති ආධාර කොමිසම සමඟ එකතු වී දුරස්ත උපදේශන සේවා ක්‍රියාත්මක කරනවා.....“ ඒ UNDP ආයතනයේ නීති අංශයේ ප්‍රධානි හා ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්නි උපදේශක නීතීඥ චන්ද්‍රිකා කරුණාරත්නය.
කොවිඩ් නිසා හඳුන්වා දුන් මේ නව ක්‍රමවේදය කොවිඩ් නොමැතිව වුවද අධිකරණ නඩු ඇසීමේදී භාවිතා කරන්නට බලාපොරොත්තු වෙයි. නොවැම්බර් 14 වැනිදා සිට මහාධිකරණය විසින් ඇප අයදුම්පත් 250ක් සකස් කර ඇති අතර, කෙටි කාලයක් තුළ ඇප අයදුම්පත් 70කට වැඩි ප්‍රමාණයක් විද්යුත් තැපෑලෙන් ගොනු කර ඇති බවද වාර්තා වෙයි. එසේම අඩු සේවක සංඛ්‍යාවක් යොදා ගෙන වුවද මේ ක්‍රමය හරහා නඩු ඇසීමේ අවස්ථාව උදා වෙයි. යම් හෙයකින් අධිකරණය වසා ඇති විටක හෝ මෙවැනි අවස්ථාවක් උදාවූයේ නම් එදිනට මේ ක්‍රමය බොහොවින් උපකාරී වනු ඇත.