නාච්චිකුඩා කල්වාරිය අන්තවාදීන්ට බිලි වෙයි | සිළුමිණ

නාච්චිකුඩා කල්වාරිය අන්තවාදීන්ට බිලි වෙයි

 

නීතිය බල­පෑවේ නාච්චි­කුඩා කල්වාරි ඉඩ­මට පම­ණද?

 

ශ්‍රී ලංකා වරාය අධි­කා­රියේ අව­ස­ර­ය­කින් තොරව වරාය අධි­කා­රි­යට අයත් ඉඩම් වල කිසිදු ඉදි කිරී­මක් කළ නොහැකි වුවද නාච්චි­කුඩා කල්වා­රිය අවට ඉඩම් වලට එම නීතිය එත­රම් බල­නොපෑ බවක් පෙනේ. මේ හේතු­වෙන් 90 දශ­කයේ දී නාච්චි­කුඩා කල්වා­රිය අවට භූමිය මුස­ල්මා­නු­වන්ගේ ගොදු­රක් බවට පත්විය.

අප රටේ කිතුණු බැතිමතුන් අතිමහත් ගෞරවාදරයෙන් පාද නමස්කාර කරන කල්වාරි කිහිපයකි. හිනිදුම කල්වාරිය හා මග්ගොන කල්වාරිය ඉන් වඩාත් ප්‍රකට වන අතර, ත්‍රිකුණාමලය චීන වරාය නාච්චිකුඩා කුරුස කන්ද හෙවත් නාච්චිකුඩා කල්වාරිය මෙරට පිහිටි කල්වාරි අතරින් ස්වභාවික පිහිටීමකට හිමිකම් කියන කල්වාරි අතළොස්සෙන් එකකි. අන්‍ය ආගමිකයන්ගේ ප්‍රහාර රැසකට ගොදුරු වූ නාච්චිකුඩා කුරුස කන්ද පුදබිම මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී ඇත්තේ, මෑත කාලයේ අන්‍ය ආගමිකයන්ගේ ප්‍රහාරයට ලක්වූ මෙරට පිහිටි එකම කිතුණු පුදබිම නාච්චිකුඩා කුරුස කන්ද වීම හේතුවෙනි.

 

වසර දහයක පමණ කාලයක් තුළ අවස්ථා හතරකට වඩා නාච්චිකුඩා කුරුස කන්ද පුදබිම හෙවත් නාච්චිකුඩා කල්වාරිය ප්‍රහාරයට ලක්වීම සුළුකොට තැකිය නොහැකි බව චීනවරාය ශාන්ත අන්තෝනි දේවස්ථාන මීෂම බාර ගරු ජෝර්ජ් දිසානායක පියතුමාගේ අදහසයි.

නාච්චිකුඩා කුරුස කන්ද පුදබිමේ ඉතිහාසය දෙවන ලෝක යුද සමය කරා දිවෙන්නකි. 1942 අප්‍රේල් 09 දින ජපන් ජාතිකයන් ත්‍රීකුණාමලය වරායට හා තෙල් ටැංකි සංකීර්ණයට ගුවනින් බෝම්බ හෙළු අවස්ථාවේ මෙම ස්ථානයටද බෝම්බයක් වැටී ඇති බවත්, එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් අනුස්මරණය කිරීම සඳහා ඉංග්‍රිසි ජාතිකයන් එම කඳු මුදුනේ කුරුසියක් සිටවූ බවත් ජනප්‍රවාදයේ කියැවේ. පසුව 1971 කාලයේදී පමණ චීනවරාය ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාලක ජෝෂප් මේරි පියතුමන් විසින් එම ස්ථානයේ යම් යම් පරිවර්තනයන් සිදු කොට, එය නාච්චිකුඩා කල්වාරිය නමින් කිතුණු ජනතාවගේ ගෞරවාදරයට ලක්වූ ස්ථානයක් බවට පත් කරවූ බව කියවේ.

චීනවරාය නාච්චිකුඩා කුරුස කන්ද පුදබිම බාර චීනවරාය ශාන්ත අන්තෝනි දේවස්ථානය, දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යන් විසින් ස්ථාපිත කළ චීනවරායේ රාජකීය ගුවන් හමුදා කඳවුරේ දේවස්ථානයයි. එසේම නාච්චිකුඩා කුරුස කන්ද පුදබිමට ආසන්නව පිහිටි වෙල්ලමනල් සුදෝත්තමයානන්ට කැප කළ දේවස්ථානයද නාච්චිකුඩා කුරුස කන්ද පුදබිමට සමගාමීව ආරම්භ වූවකි.

ජෝෂප් මේරි පියතුමා විසින් 1971 වසරේදී චීනවරාය නාච්චිකුඩා කල්වාරිය ආරම්භ කෙරෙන විට ඒ අවට ප්‍රදේශය එතරම් ජනාකීර්ණ ප්‍රදේශයක් නොවූ බව කියවේ. කෙසේ වෙතත් ඒ අවට අන්‍ය ආගමිකයන් වැඩි වශයෙන් වාසය කළද, කුරුස කන්දට ඔවුන්ගෙන් කිසිදු බලපෑමක් එල්ල නොවූ බව අදටත් වෘයෝවෘධ වියේ පසුවන චීනවරාය, නාච්චිකුඩා කල්වාරියේ මෑතකාලීන පුරෝගාමියා වූ ජෝෂප් මේරි පියතුමා කියා සිටී. මේ වන විට 91 වන වියේ පසුවන ජෝෂප් මේරි පියතුමා මඩකලපුව වාසය කරයි.

චීනවරාය, නාච්චිකුඩා කල්වාරියට පළමු ප්‍රහාරය එල්ල වන්නේ 2001 වසරේදීය. එහිදී කල්වාරියේ කුරුස 14 ක් සංවිධානාත්මක පිරිසක් විසින් කඩා බිඳ දමා තිබු අතර, ඒ හේතුවෙන් ඒ අවට ජීවත්වන කිතුණුවන් හා මුස්ලිම් ජාතිකයන් අතර විටින් විට ආරවුල් ඇතිවිය. කෙසේ වෙතත් මෙම කාලය වන විට මෙම ප්‍රදේශයේ ඉඩම් වල අයිතිය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පැවරී තිබුණ අතර, නාච්චිකුඩා කල්වාරිය අවට ඉඩම්ද එම ප්‍රදේශයේ ජීවත් වන අන්‍ය ජාතිකයන්ගේ ගොදුරු බවට පත්ව තිබුණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවසරයකින් තොරව වරාය අධිකාරියට අයත් ඉඩම් වල කිසිදු ඉදි කිරීමක් කළ නොහැකි වුවද නාච්චිකුඩා කල්වාරිය අවට ඉඩම් වලට එම නීතිය එතරම් බලනොපෑ බවක් පෙනේ. මේ හේතුවෙන් 90 දශකයේ දී නාච්චිකුඩා කල්වාරිය අවට භූමිය මුසල්මානුවන්ගේ ගොදුරක් බවට පත්විය. එම කාලයේ වරාය බාර අමාත්‍යවරුන් ලෙස පත්වූ ඒ. එම්. එච්. අෂ්රොෆ් හා රාවුෆ් හකීම් යන අයගේ බලපෑමද ඊට පාදක වූ බවක් පෙනේ.

මුල් කාලයේදී පාස්කු දේව මෙහෙයට පමණක් සීමාවූ මෙම නාච්චිකුඩා කල්වාරියේ වතාවත් පසුකාලීනව මසකට දෙවතාවක් දේව මෙහෙය පැවැත්වීමට එහි වත්මන් පාලක ගරු ජෝර්ජ් දිසානායක පියතුමා කටයුතු කර තිබේ. මෙහි පාස්කු පාද නමස්කාරය සඳහා 3500 ට අධික කිතුණුවන් ප්‍රමාණයක් සහභාගී වන අතර ත්‍රිවිධ හමුදාව ඒ සඳහා අනුග්‍රහය දක්වයි. කෙසේ වෙතත් විවිධ බාධා කිරීම සහ ආක්‍රමණ හමුවේ මසකට දෙවතාවක් පැවැත්වෙන දේව මෙහෙයන් සඳහා ඒ අවට වෙසෙන කිතුණුවන් විශාල පිරිසක් එක්වීම සාමාන්‍ය තත්ත්වයක් විය. එහෙත් මෙම තත්ත්වය ඒ අවට ජීවත් වූ ඇතැම් අන්‍ය ජාතිකයන්ට එතරම් රිසිවූ බවක් නොපෙනේ. 2015 පසු මෙම තත්ත්වය වඩාත් සංකීර්ණවූ අතර 2017 පමණ වන විට නාච්චිකුඩා කල්වාරියට එරෙහි අන්‍ය ජාතිකයන්ගේ ආක්‍රමණය කල්වාරියේ එලිපත්තටම පිවිස තිබුණි.

කෙසේ වෙතත් එම භූමියේ අයිතිය සතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය නාච්චිකුඩා කල්වාරියට යම් යම් සීමා පැනවුවද, ප්‍රදේශයේ ජනතාවට එරෙහිව එබදු තීරණ ගන්නා බවක් දකින්නට නොතිබූ බව නාච්චිකුඩා කල්වාරියේ පැරණිතම බැතිමතකු වූ චීනවරායේ ඇන්ටනී කුමාරපේලි කියා සිටි.

“මේ පැත්තේ ගොඩක් ඉඩම්වල අයිතිය තියෙන්නේ වරාය අධිකාරිය යටතේ. මේ කල්වාරිය තියෙන ඉඩමත් වරායට අයිති බව තමයි වරාය කියන්නේ. හැබැයි ඔය වරාය අධිකාරියට අයිති කතාව එන්නේ 1990 පස්සෙයි. ඊට කලින් අපි එහෙම කතාවක් දැනන් හිටියේ නැහැ. කොහොම වුණත් අපිට ඒ කාලේ ඉදන්ම මෙතන පාස්කු පූජාව තියන්න පොඩි ආවරණයක් හදාගන්න උවමනාවක් තිබුණා. ඒත් වරාය අධිකාරියෙන් ඒකට ඉඩක් ලැබුණේ නැහැ.“

නාච්චිකුඩා කල්වාරියට එරෙහිව මුල් කාලයේදී ඉතාමත් සුළුවෙන් ඇරඹි එදිරිවාදිකම් 2019 වන විට වඩාත් තීව්‍ර බව ජෝර්ජ් දිසානායක පියතුමාගේ අදහසයි. 2019 වසරේ මාර්තු 29 දින නැවත වරක් නාච්චිකුඩා කල්වාරි භූමිය අන්‍ය ජාතිකයන්ගේ ආක්‍රමණයට නතු වී තිබුණි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් එකල පැවති යහපාලන රජය එතරම් උනන්දුවක් දක්වා නැත.

කෙසේ වෙතත් නාච්චිකුඩා කල්වාරියට එරෙහි මෑතකාලීන සිදුවීම් මාලාවේ ආරම්භය සිදුවනුයේ 2019 අප්‍රේල් 09 දිනයි. එදින එම ස්ථානයේ නඩත්තු කටයුත්තක් සඳහා සහභාගි වූ ජෝර්ජ් දිසානායක පියතුමන් ඇතුළු පිරිසට කල්වාරිය අවට අන්‍ය ආගමික ජනතාව විසින් පහර දීමට උත්සාහ කරනුයේ එම ස්ථානය ඔවුන්ට අයිති ස්ථානයක් බව ඒත්තු ගන්වමිනි.

2019 අප්‍රේල් මස 19 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදාව නාච්චිකුඩා කල්වාරියට අදුරු මතකයක් එකතු කළ දිනයක් විය. එදා පාස්කු ඉරිදා පාද නමස්කාරය සඳහා 3000 ට ආසන්න කිතුණුවන් පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි නමුදු සංවිධානාත්මකව එම ස්ථානයට කඩා වැදුණු අන්‍ය ආගමික ගම්වාසීන් ප්‍රචණ්ඩව හැසිරෙමින් පාද නමස්කාරය කඩා කප්පල් කර මහත් කලබගෑනියක් ඇති කළේය. නාච්චිකුඩා කල්වාරි ඉතිහාසයේ පාස්කු ඉරිදා පාද නමස්කාරය අතර මග නවතා දැමීමට සිදුවු පළමු අවස්ථාව එය විය.

“ ඇත්තටම මේ වගේ වෙලාවට වරාය අධිකාරියෙන් එන ආරක්ෂක අංශ නිලධාරීන් වැඩි දෙනෙක් මුස්ලිම් ජාතිකයන්. ඔවුන් එම අවස්ථාවේ අපිට නීතිරීති උපදෙස් ගැන කියනවා මිසක්, ගම්වාසීන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා. “ එසේ කියන්නේ නාච්චිකුඩා පදිංචිකාරිනියක් වන අන්තෝනි අම්මායි.

මෙසේ විටින් විට කුරුස කන්දට එල්ල වන ප්‍රහාරයේ තීරණාත්මක දිනය එලඹෙන්නේ ඉකුත් ඔක්තෝම්බර් මස 5 වන දිනයි. එදින සවස එම ස්ථානයේ යෙදී තිබූ දේව මෙහෙය සඳහා පියතුමා ඇතුළු පිරිස එම ස්ථානයට යන විට දකින්නට ලැබෙන්නේ දේව මෙහෙය පැවැත්වෙන ස්ථානයේ පිහිටි කුරුස වලට හා බැතිමතුන් වෙනුවෙන්ට හිඳ ගැනීමට ඉදිකර තිබූ ගල් බංකු කඩා හානි කර තිබු අන්දමයි.

මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වු ජෝර්ජ් දිසානායක පියතුමා ඇතුළු බැතිමතුන් මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් දැනුවත් කළද මොන යම් හෝ හේතුවක් මත අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව කටයුතු කරන බවක් දකින්නට නොලැබුණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ගෙන ගිය පුළුල් ප්‍රචාරය නිසා නාච්චිකුඩා කුරුස කන්ද පුදබිම මේ වන විට මුහුණ දී සිටින ඛේදනීය තත්ත්වය පිළිබඳව දැඩි කතා බහක් නිර්මාණය විය.

“ඇත්තටම මම මේ සම්බන්ධයෙන් වැඩියෙන්ම ස්තුතිවන්ත වෙන්නේ මාධ්‍යයට. මොකද බොහෝ දෙනකු අන්‍ය ජාතිකයන්ගේ නොහොබිනා කටයුතු සම්බන්ධයෙන් කටයුතු නොකරන්නේ ඒක සංහිඳියාවට බාධාවක් කියලා. නමුත් ඒකෙන් වුණේ මෙවැනි අනිසි ක්‍රියා කරන සුළු පිරිසක් ඔවුන්ගේ ජන සමාජය තුළ වීරයන් බවට පත්වීමයි. හැබැයි මාධ්‍ය මේ සම්බන්ධයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළා. ඒ නිසා බොහෝ දෙනෙකුගේ අවධානය නාච්චිකුඩා කුරුස කන්දට යොමු වී තිබෙනවා“ එසේ කියන්නේ චීන වරාය මීෂම භාර ගරු ජෝර්ජ් දිසානායක පියතුමායි.

මෙම සිදුවීම මාධ්‍ය මගින් හෙළිදරව් වීමත් සමඟ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඉකුත් 24 වන දින මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණ තිබේ. එහිදී මෙම ‍‍‍ස්ථානයේ ඓතිහාසික තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අමාත්‍යවරයා නාච්චිකුඩා කුරුස කන්ද පුදබිම වරාය භූමියෙන් නිදහස් කිරීමට ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගැනීමට ජෝර්ජ් දිසානායක පියතුමාට එහිදී පොරොන්දු වී තිබේ.

මෙහිදී වරායට අයත් භූමි භාගය තුළම මෑතකාලීනව ඉදිවී ඇති පාසල, මුස්ලිම් දේවස්ථානය හා පෙර පාසලට අනුමැතිය හිමිවූයේ කෙසේද යන්න පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබුණි.

කිතුණු බැතිමතුන්ගේ ‍ඵෙතිහාසික ස්ථානයක් වූ නාච්චිකුඩා කුරුස කන්ද හෙවත් නාච්චිකුඩා කල්වාරිය අන්තවාදීන්ගෙන් රැක ගැනීම අප සියලු දෙනාගේ යුතුකම විය යුතු බව චීනවරාය බෝධිපාදාරාමයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී අලුත්ඔය සද්ධාතිස්ස හිමියන්ද අවධාරණය කර සිටිති.

“මම දන්න හැටියට මේ ස්ථානය දිගු ඉතිහාසයක් සහිත ස්ථානයක්. මෙවැනි ස්ථාන අපි ආගම්වාදයෙන් තොරව ආරක්ෂා කර ගත යුතුයි. මෙවැනි ප්‍රහාර බෞද්ධ සිද්ධස්ථාන වලට එල්ල වීම කාලයක සිට සිදුවෙනවා. මේ ජාතිවාදි පිරිස්ට ඕන වෙලා තියෙන්නේ ජාතීන් අතර තිබෙන සාමය හා සමගිය විනාශ කරලා ඔවුන්ගේ පටු පරමාර්ථ මුදුන්පමුණුවා ගැනීමට බව පෙනෙන්ට තිබෙනවා. අපි ඒවා පරාජය කළ යුතුයි.මෙවැනි ස්ථාන රැක ගැනීමට අප අත්වැල් බැඳගත යුතුයි.“ යනුවෙන් කියා සිටියේය.

Comments