
කොහොම වුණත් මෙම වසරේදීත් සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය, නැරඹීම තීරණය වන්නේ කොරෝනා තත්ත්වයේ යහපත් අයහපත් බවම තමයි. එහි වගකීමක් පැවරෙන්නේ ජනතාවටම තමයි.
දශක හතක් ඉක්මවූ අපේ සිංහල සිනමා ඉතිහාසය එහෙම පිටින්ම කනපිට පෙරළීමට වැඩිම බලපෑම සිදුවූයේ පසුගිය 2020 වසරේදීය.ගෙවුණු වසර පුරාවටම පාහේ ලංකාවේ, ලෝකයේ සියල්ලක්ම අක්‍රිය වූවා සේම සිනමාව ද රසිකයන්ගෙන් ඈත් කරලීමට කොරෝනාව සමත්විය.
පොදු ජනතාවට එකම විනෝදාස්වාදය සපයන එකම මාර්ගය සිනමාව බවටපත්වූ යුගයක් විය. එසේම චිත්‍රපට නැරඹීම බොහෝවිට පවුලේ කටයුත්තක් බවට පත්ව තිබුණු යුගයක දරු මල්ලන් ද කැටුව බොහෝ දෙමවුපියෝ සිනමා ශාලා කරා ඇදුණහ.එහෙත් පසුකාලීනව සිනමා ශාලා වෙත යන ප්‍රේක්ෂක ජනගඟ සිඳීගිය මුත් කෙසේ හෝ ඇදගෙන යන සෙයක් දෘෂ්‍යමාන විය. විස්සයි විස්ස මාර්තු මාසයේ චිත්‍රපට ශාලාවල දින ගණනක් පමණක් ප්‍රදර්ශනය කළ චිත්‍රපට තිරගත කිරීම අත්හිටවූවත් මාස ගණනක් ම ශාලා ඉදිරිපස වූ එකම සිනමා කෘතියේ කටවුට් පමණක් දිස්විය. වසර අවසානයට සිදුවූයේ ද එයමය. එමනිසා බොහෝ සිනමා ප්‍රේක්ෂකයන් චිත්‍රපට නැරඹුයේ නිවසේ සිට පුංචි තිරයෙන්ය. කෙසේ වෙතත් උදාවන 2021 නව වසරේ ජනවාරි 08 සිට සිනමා ශාලා යළි විවෘත කිරීමට රජය අවසර ලබා දුන් අතර මේ වනවිට සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් ලංකාව මුහුණපා සිටින්නේ ඉතාම අර්බුදකාරී තත්ත්වයකය.
නව වසරේ සිනමා ශාලා විවෘත කිරීමට රජය අවසර දුන්නත් ආරංචියේ හැටියට මුලින්ම විවෘත වන්නේ සිනමා ශාලා සුළු ප්‍රමාණයක් පමණි. සිනමා පටයක් දිනක් විවෘතකර තැබුවහොත් වැයවන අවම පිරිවැය රු. 10,000 පමණ වේ. විදුලිය, වායුසමීකරණ ප්‍රොජෙක්ටර් ක්‍රියා කරවීම, සේවක වැටුප් හා නඩත්තුව වෙනුවෙනි. එක් දිනක රු. 15,000ක් ආදායමක් ලැබෙන්නේ අඩුම තරමේ 50 දෙනෙක්වත් චිත්‍රපටය නැරඹුවහොත් පමණි.කොරෝනා භීතිකාව නිසා රටම අඩපණ වූ සමයෙක ජනේරුවේ මුල් දිනවලම සිනමා ශාලාවකට 50 දෙනෙක්වත් පැමිණීමේ සම්භාවිතාවක් නැතැයි ඇතැම් ශාලා හිමියන් මේ වනවිටත් තීරණය කර හමාරය. එම නිසා කොළඹින් දුර බැහැර පළාත් කෙසේ වෙතත් අගනුවර ප්‍රධාන පෙළේ සිනමා ශාලා පවා ජනවාරි 08 දින සිටම විවෘත කරනවාද යන්න පිළිබඳව ඔවුන් වරක් දෙවරක් පමණක් නොව කීප වරක්ම සිතා බලයි. මේ සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස පැවසුවේ මෙවැන්නකි.
“කොරෝනා වසංගතය නිසා ලංකාවේ වැඩිම බලපෑම සිදුවුණේ සිනමා කර්මාන්තයට බව තවත් කර්මාන්ත කිහිපයකම නියැළෙන මම හොඳින්ම දන්නා කරුණක්. අනික් කර්මාන්ත මඳ වශයෙන් හරි කෙරුණා. සිනමාව මුළුමනින්ම අඩපණ වුණා. සාමාන්‍යයෙන් චිත්‍රපට ශාලාවක තියන ප්‍රොජෙක්ටර් දවසකට දෙකකට වරක්වත් සුද්ද කරන්න ඕනෑ. ශාලා වහලා තිබුණා කියලා ප්‍රොජෙක්ටර් මේන්ටේන් නොකළොත් ඒවා ඉක්මනට කැඩිලා යනවා. අනික ශාලා විවෘත කරන්න අවසර දුන්නත් සමහර සිනමා ශාලාවල ප්‍රොජෙක්ටර් ක්‍රියාකරවන අය ඉන්නේ තාමත් ලොක් ඩවුන් කරලා තියන ප්‍රදේශවල නිසා ඔවුන්ට එන්න බැහැ. ඒ නිසා ජනවාරි මුල් දවස්වලම හැම සිනමා ශාලාවක්ම විවෘත කරන්න බැරිවෙයි. පොළවට සමතලා වෙච්ච සිනමාව ආයෙත් ගොඩගන්න වෙන්නෙ ක්‍රම ක්‍රමයෙන් මිසක් දවසෙන් දෙකෙන් නෙමෙයි. ශාලා හිමියන් වෙත සංස්ථාවෙන් රජයෙන් ලැබෙන සහන ගැන මා විමසුවෙමි.
සිනමා ශාලා හිමියන්ට චිත්‍රපට සංස්ථාව මගින් මූල්‍යමය සහනයක් ලබා දුන්නා. හැබැයි හැමෝටම නෙමේ තේරුණු අයට. සමහර අය චිත්‍රපට සංස්ථාවට ගෙවිය යුතු මුදල් සේරම ගෙවලා නිම කරලා නෑ. ඒ නිසා ඒ අයට මුදල් සහන දුන්නෙ නෑ.”
සිනමාවේ දිගු කාලීන කඩාවැටීම පිළිබඳව ද සභාපතිවරයාගෙන් විමසුවෙමි.
“සිනමාවේ කඩා වැටීම අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි.මීට අවුරුදු 20 පමණ පෙර සිනමාවේ තිබුණු ප්‍රගමනය ක්‍රමානුකූලව පල්ලම් බැස්සා. සිනමා කෘතිවල ප්‍රමිතිය ප්‍රේක්ෂකයාගේ රස වින්දනය මත තමයි චිත්‍රපට දුවන්නේ. සමහර චිත්‍රපට box office වාර්තා පිහිටුවමින් දුවද්දි සමහර චිත්‍රපට දවස් දෙකෙන් ගලවන්න සිදුවුණා.
අපි රජයෙන් 4% සහනාධාරය ඉල්ලුවා චිත්‍රපට ශාලා හිමියන් වෙනුවෙනුත් කඩා වැටුණු සිනමාව ගොඩගන්න සංස්ථාවක් විදිහට උපරිම සහාය අපි ලබා දෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ දිගින් දිගටම සාකච්ඡා කරනවා මේ ගැන.
ඉස්සරට වඩා සිනමා ශාලාවල තත්ත්වය සැප පහසුකම් වැඩිකරලා තියෙන්නේ.ඒ වගේ ම අලුත් සිනමා ශාලාත් විවෘත කරලා තියනවා උපරිම සැප පහසුකම් සහිතව. ඒ දේවල් තුළින් සිනමා ශාලා වෙත ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කරගන්න පුළුවන්.
අනික මේ සියල්ල කළ යුත්තේ නිරෝධායන නීති රීති යටතේයි. ඒනිසා ශාලාවල මීටරේ දුර පවත්වා ගැනීම, සනීපාරක්ෂක පහසුකම් උෂ්ණත්වය මැන බැලීම ආදී කටයුතුවලටත් හුරුවෙන්න කාටත් සිදුවෙලා.
ඒ කොහොම වුණත් මෙම වසරේදීත් සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය, නැරඹීම තීරණය වන්නේ කොරෝනා තත්ත්වයේ යහපත් අයහපත් බවම තමයි. එහි වගකීමක් පැවරෙන්නේ ජනතාවටම තමයි.”
වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවේ කළමනාකරු අරවින්ද වීරකෝන් යළි සිනමාහල් විවෘත කිරීම සම්බන්ධයෙන් මෙසේ කීය.
“ඇත්තටම කොරෝනා නිසා රට වසා තැබීමෙන් සිනමාවටත් මරු පහරක් වුණා. මාර්තු මාසේ ශාලා වහලා නැවත විවෘත කළාට පසුවත් බොහෝ පිරිසක් ආවා චිත්‍රපට බලන්න. අවසානයට දිව්වෙ රූකඩ පැංචි. පාසල් ළමුන් බොහොමයක් පැමිණෙමින් පැවති කාලෙක තමයි නැවත දෙවැනි රැල්ල නිසා එක් එක් ප්‍රදේශ ලොක් ඩවුන් කළේ. ඒ නිසා ඒ චිත්‍රපටයක් ලොක් ඩවුන් වුණා.
ශාලා වහලා තිබුණත් පිට පළාත්වල තියන අපි කුලියට ගත් ශාලාවලට කුලිය ගෙවිය යුතුයි. සේවක වැටුප්, අඩු වුණාට ප්‍රොජෙක්ටර් නඩත්තුව,වායු සමීක්ෂණ ශාලා නඩත්තුව,විදුලිය සඳහා මුදල් වැය වෙනවා. අපේ බෙන් හෝල්ඩින් ආයතනය යටතේ,සැවොයි නමින් ලංකාව පුරා ශාලා 15 විතර තියනවා.
ඇත්තටම කොරෝනා නිසා සිනමා ශාලා තමයි මුලින්ම වැහෙන්නේ. අන්තිමටම ඇරෙන්නෙත් අපි තමයි. ඒ නිසා විශාලම පාඩුවක් අපිටයි.
කර්මාන්තයක් ලෙසට සිනමාවේ නළු නිළියන්, අතිරේක ශිල්පීන් අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයන් ඇතුළුව බොහෝ පිරිසකට කොරෝනාව මරු පහරක්. සිනමාවට විතරක් නෙමෙයි; වේදිකාව හා අනිකුත් කලාවන්ටත් මෙය තදින්ම බලපෑවා. කොරෝනා පළවැනි රැල්ලෙන් පස්සේ අපි ශාලාවල ප්‍රේක්ෂකයන් වාඩි කළේ පුටුවක් ඇර පුටුවක්. දෙවැනි රැල්ලෙන් පස්සෙ පුටු දෙකක් ඇර වාඩි කරගන්න වෙන්නේ අඩු පිරිසක්. ශාලා වහලා තිබුණොත් ඒකත් නැති නිසා එහෙම හරි විවෘත කරන්න අපි සූදානම්. ඒ විතරක් නෙමෙයි නිරෝධායන නීති, සෞඛ්‍යාරක්ෂිත නීති සියල්ල පිළිපදිමින්. අපිට නම් රජයෙන් සහනාධාර ලැබුණේ නෑ. සාමාන්‍යයෙන් අනුරාධපුරය, පොලොන්නරුව වගේ දුර පළාත්වල ඉඳලා බස් එකක එද්දි පැය ගාණක් බස් එක ඇතුළේ එන්න වෙන්නේ.ඒත් සිනමා ශාලාවක් ඇතුළේ උපරිම පැය 2 යි රැඳී ඉන්නේ.ඒ අනුව බලද්දී සිනමා ශාලා ආරක්ෂිතයි. ඒත් සමහර පිරිස් බයයි ශාලාවලට එන්න.”
බොරැල්ල ලීඩෝ සිනමා ශාලාවේ කළමනාකරු ජී. පද්මරාජ් පැවසුවේ පොදුවේ සියලුම සිනමා ශාලා හිමියන් පසුගිය වසර මුළුල්ලේම අසරණ භාවයට පත්වූ බවයි. කොරෝනාවලට කලින් වුවද ශාලා වෙත ප්‍රේක්ෂකයන් පැමිණීමේ අඩුවක් තිබූ අතර ඉන්පසුව එම පසු බෑම දෙගුණ තෙගුණවූ බව ද පැවසීය.
හෝල්හිමියන්ට කිසිම ඉන්කම් එකක් නැහැ. දිගටම පාඩුයි. ඉස්සරහටත් තියෙන්නේ අවිනිශ්චිත භාවයක් තමයි. මේ කඩා වැටීම ගොඩගන්න සෑහෙන කාලයක් යයි. සෑහෙන කැපවීමක් කරන්න වෙයි.”
සිනමා එන්ටර්ටේන්ට්මන්ට් ආයතනයේ නිෂ්පාදන කළමනාකරු ගයාන් පෙරේරා සිනමා ශාලාවල පුනරාගමනය ගැන‘සිළුමිණ’ට මෙසේ කීය.
“ජනවාරි 08 දා සිනමා ශාලා විවෘත කරන්න ඉඩ දුන්නත් සියලුම ශාලා හිමියන් තම ශාලා විවෘත කරන්න මනාප නෑ. සාමාන්‍යයෙන් දවසක වියදම විතරක් 10 – 15 දාහක් වෙනවා. සුළු පිරිසක් ආවොත් අතින් පාඩුයි. ඒ නිසා තත්ත්වය බලා විවෘත කරන්නයි සමහර සිනමාශාලා හිමියන් තීරණය කරලා තියෙන්නේ මේ තත්ත්වය කොළඹටත් වඩා තදින්ම බලාපාන්නේ පිට පළාත්වලටයි.
ඒ වගේම සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයන් අද්දවා ගන්න නම් ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කළ යුතුයි. ආදායම් ලබන්න බැහැ. පසුගිය කාලේ චිත්‍රපට 100ක් නිෂ්පාදනය කළා නම් එයින් ආදායම් උපයන්න පුළුවන් වුණේ චිත්‍රපට10 පමණයි. අනිත්වා ගලවන්න වුණා.
පසුගිය කාලේ සිදුවූ පාඩුව මකාගන්න,සමහර තියටර්වලට රජයෙන් සහනයක් ලබාදුන්නා. පසුගිය කාලේ රජය සහන දුන්නා තමයි. ඒත් එන්ටර්ටේන්ට්මන්ට්වලට රජයෙන් අය කරන ටැක්ස් එක අඩු කරල දෙනවා නම් සිනමා ශාලා හිමියන්ට ලබාදෙන ලොකු අනුග්‍රහයක්. ප්‍රොජෙක්ටර්, ඒ. සී. සේවක වැටුප් නිසා ඉදිරියට පවත්වාගෙන යන්න බැරි සමහර සිනමා ශාලා වහලා දාන්නත් පුළුවන්. ඒ වගේම සමහර අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු චිත්‍රපට මේ වෙලාවේ එළියට දාන්නෙත් නෑ; ප්‍රේක්ෂක පිරිස මදි නිසා. පළමු කොරෝනා රැල්ල නිසා 60% පාඩුවට චිත්‍රපට දිව්වා දෙවැනි රැල්ල නිසා 30% අඩු වුණා. මිලියන ගණනක් පාඩුයි. කිසිම ආදායමක් නෑ. තව මාස 6 ක් මෙහෙම වැහුවොත්, වහලම දාන්න තමයි වෙන්නේ.
ජනවාරි 08 දින සිට තිරගත කරන චිත්‍රපට ගැන ඔහු මෙසේ පැවසීය.
“දැනට තියන රූකඩ පැංචි නැවත පෙන්වීම කල් දාලා මිස් ජෙනිස් හා සෙරීනා චිත්‍රපට දෙක තමයි මුලින් පෙන්වන්නේ. ඒත් ශාලා කීපයක පමණයි. කොරෝනා තාම ඉවර නැහැනේ. විදේශීය චිත්‍රපට වුණත් ටිකක් පහුවෙයි” පණ අදින සිනමාව පුනර්ජීවනයට ඔක්සිජන් වැඩියෙන් ලබාදිය යුතු වේ. ඒ සඳහා කොයි කා හටත් සුවිශාල වගකීමක් පැවරී ඇත.