
ලොව පහළ වුණේ අතිවිශිෂ්ට මහා වියතකු, පුරාවිද්‍යාඥයකු ලෙස පරණවිතාන ශ්‍රීමතාණන් හැඳින්විය හැකිය. 1966 – 67 වකවානුව තුළදී උපාධිධාරි ගුරුවරයෙක් ලෙස සීගිරිය මහා විදුහලේ කටයුතු කළ සමයේදී, පරණවිතාන නම් ‘ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා’ පිළිබඳ ලබාගත් තොරතුරු මත මේ ලිපිය සකස් කර ඇත්තේ ප්‍රවීණ ක්‍රිකට් විචාරකයකු වන ප්‍රේමසර ඈපාසිංහයන් විසිනි.
අතිශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ අපදානය යනු ලෝක ඉතිහාස වංශ කතාවයි.
(ඉහත දැක්වූයේ ස්කොට්ලන්ත ජාතික දර්ශනවාදියකු හා ඉතිහාසඥයකු වූ තෝමස් කාර්ලයිල් (1798 – 1881) ගේ අපූරු කියමනකි.
ශ්‍රී ලංකාවේ බිහිවුණු අද්විතීය, උගත්, වියත් විශ්ව කීර්තියට පත් ඉතිහාසඥයෙක් - පුරාවිද්‍යාඥයෙක් ලෙස සෙනරත් පරණවිතාන ශූරීන් අවිවාදයෙන් අපට නම් කළ හැකිය. වර්ෂ 1940 දී එතුමා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් ධූරයට පත්විය. එයට පෙරාතුව මෙකී සම්භාවනීය තනතුර හොබවන ලද්දේ එච්. සී. පී. බෙල් සහ දොන් මරියෝ ද ෂිල්වා විසිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ වංශ කතාවේ රන් අකුරෙන් සටහන් වන නාමයකි සෙනරත් පරණවිතාන යන ශ්‍රී නාමය. එම ශ්‍රේෂ්ඨ නාමය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයට බද්ධව පවතී. මෙයට වසර එකසිය විසි හතරකට පෙර 1896 දෙසැම්බර් 26 වැනිදා සෙනරත් පරණවිතාන ශ්‍රීමතාණෝ දකුණු සිරිලක, ගාල්ලේ මැටරඹ ගම්මානයේදී ජන්ම ලාභය ලැබීය. හෙට්ටිගොඩ මෙතෝදිස්ත පාසලේ හා ගාල්ල බොනවිස්ටා පාසල්වල මොහු අධ්‍යාපනය ලැබීය. ඉන් අනතුරුව, හීනටිගල රන්වැලිගොඩ පිරිවෙනේ සිංහල - පාලි - සංස්කෘත භාෂා දැනුම ලබා ගත්තේය.
සෙනරත් පරණවිතානයන් මුලින්ම රැකියාව සඳහා තෝරා ගත්තේ ගුරු වෘත්තියයි. උඩුගම්පොළ රජයේ විදුහලක ගුරුවරයෙක් ලෙස දිවිය අරඹන ලදී. ඉන් අනතුරුව 1923 ජූනි 13 වැනිදා පරණවිතාන මැතිතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුණි. එතුමා, සෙල්ලිපි කියවීම පිළිබඳ දැනුමක් (Epigraphy) ලබාගෙන, එම කාර්යයන්ට හවුල්විණ. එවකට, මෙම දෙපාර්තමේන්තුව පාලන කරන ලද්දේ ඉංග්‍රීසි ජාතික නිලදරුවන් විසිනි.
වර්ෂ 1940 ඔක්තෝබර් 01 වැනිදා, හතළිස් තුන්වන වියේදී සෙනරත් පරණවිතාන, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත්විය. එදා සිට 1956 දක්වා එතුමා මෙකී සම්භාවනීය තනතුර දැරීය. එතුමා අතිවිශිෂ්ට සේවාවක් ඉටු කළේය.
ඉන් අනතුරුව, 1957 වසරේදී පරණවිතානයන්, පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයට පත්විය. ශ්‍රී ලංකාවේ සීගිරිය පවතින තාක් - සෙනරත් පරණවිතාන යන නාමය - සීගිරි මහා මේකුළ සමඟ බද්ධව පවතිනවා ඇත. ශ්‍රී ලංකාවේ හැත්තෑ වන (70) රජුවන කාශ්‍යප රජුගේ රාජධානිය සීගිරිය පසුකලෙක ජාත්‍යන්තර කීර්තියට පත්වූයේ සීගිරි බිතු සිතුවම් සහ සීගිරිය නරඹන්නට පැමිණි අයවළුන් සීගිරි ගලේ රසික, රසිකාවියන් සටහන් කළ කුරුටු ගී වලිනි. පරණවිතාන ශූරීන්ගේ අතිවිශිෂ්ටතම නිර්මාණය ලෙස හැඳින්විය හැක්කේ කුරුටු ගී කියවා, එය EPIGRAPHIA ZEYLANICA නමින් බිහිකළ අතිවිශිෂ්ට ග්‍රන්ථයයි. මෙයට අමතරව, දෙවුන්දර උපුල්වන් දෙවිදුන් පිළිබඳවත්, සමනල කන්දේ දෙවිදුන් පිළිබඳවත්, ලංකා - මලයාසියා ඉතිහාසය, ලංකා ඉතිහාසය ආදී ග්‍රන්ථ, පරණවිතාන ශූරීන් අතින් ලියැවුණු අගනා පුස්තකයන්ය. පරණවිතානයන් වැනි විශිෂ්ට, දක්ෂ, පුරාවිද්‍යාඥයෙක් ශ්‍රී ලංකාවේ තවත් පහළවේ දැයි යන්න සැකයකි.
සීගිරිය සහ සෙනරත් පරණවිතාන වෙන් කළ නොහැකිය. පරණවිතාන නාමය සීගිරිය සටන බද්ධව පවතී. එය මා හට සක්සුදක් සේ පැහැදිලි වූයේ 1960 ගණන්වලදී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වත්මන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස සිංහල - ඉංග්‍රීසි - අධ්‍යාපන විද්‍යාව - ඉතිහාසය විෂයයන්ගෙන් හදාරා කලා උපාධිය ලබාගෙන 1966 වසරේදී සීගිරිය මහා විදුහලේ උපාධිධාරි ගුරු භවතෙක් ලෙස සේවය කළ වකවානුවේදීය. එදා දඹුල්ල ප්‍රදේශයේ සේවය කළ ප්‍රථම උපාධිධාරි ගුරුවරයා ලෙස ද මා හඳුන්වනු ලැබීය.
සීගිරියේ උපාධිධාරී ගුරුවරයෙක් ලෙස සේවය කළ වසර දෙක තුළදී සෙනරත් පරණවිතාන ශ්‍රීමතාණන් පිළිබඳ අධ්‍යයනයක් කෙරුවෙමි. දඹුල්ල, සීගිරිය, කායවෙල, තල්කොටේ, පිදුරන්ගල, කිඹිස්ස, රොටවැව ආදී පෙදෙස්වල හේන් ගොවිතැන් කරන අයවළුන්ගෙන් සහ සීගිරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුයුක්ත සේවක මහත්ම මහත්මීන්ගෙන්, මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා පිළිබඳ තොරතුරු ගොනුකර ගත්තෙමි. සීගිරි ජනතාව පරණවිතාන මැතිතුමා හැඳින්වූයේ සීගිරි දෙවියෝ යන ගෞරව නාමයෙනි.
සීගිරියේ අහිංසක ගැමි ජනතාව අතර දැඩි විශ්වාසයක් තිබුණේ පරණවිතාන ශ්‍රීමතාණන් සීගිරිය ආශ්‍රිත ප්‍රදේශයට වැස්ස ලබාදෙන ‘වැසිවලාහක දෙවියෙක්’ ලෙසය. 1967 වසරේ, සීගිරි මහා විදුහලේ උපාධිධාරි ගුරුවරයෙක් ලෙස මා කටයුතු කරන කාල පරාසයේදී විශ්‍රාම ලබා සිටි පරණවිතාන මැතිතුමා, අධ්‍යාපන අමාත්‍යය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිතුමා සහ අධ්‍යාපන ලේකම් එම්.ජේ. පෙරේරා මැතිතුමාත්, සීගිරියට පැමිණුනි.
සීගිරි මහා විදුහලේ උගන්වන කාලයේදී එම ප්‍රදේශයේ අහිංසක ගැමි ජනතාව ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබුණි. සෙනරත් පරණවිතාන සූරීන් පිළිබඳ ඔවුන් දැක්වූ අදහස් කීපයක් මෙහි පහත දක්වමි.
එතුමා සීගිරිය අවට ප්‍රදේශවලට ගිය බක්කි කරත්තය පැදවූ තැනැත්තා මා සමඟ කියා තිබුණු කරුණු කීපයක් මෙහි පහත දක්වමි. මොහුගේ පුතා සහ දියණිය සීගිරි මහා විදුහලේ ශිෂ්‍යයෙක් හා ශිෂ්‍යාවකි.
“දවසක් ‘පරණවිතාන දෙයියා’ මගේ බක්කි කරත්තයෙන් පිදුරන්ගලට එක්කන් ගියා. ටික දුරක් යනවිට, එතුමා කරත්තය නවත්තන්න කියලා මා සමඟ කිව්වා. ‘අනේ, කරත්තය අදින ගොනාට තෙහෙට්ටුයි - වෙහෙසයි වගේ.” එතුමා කරත්තෙන් බැහැලා, තමා කෑමට අරන් ගිය කෙසෙල් ඇවරිය, සතාට කව කවා පයින් පිදුරන්ගලට ගියා. මේ බුදුවන උත්තමයා, අපට විතරක් නොවෙයි - සතා සිවුපාවුන්ටත් ආදරය කළා”යැයි ඔහු පැවසීය.
තවත් දිනයක සිදුවුණු සිදුවීමක්, සීගිරිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක මහත්මයෙක් ද මෙසේ පැවසීය.
දිනක් සෙනරත් පරණවිතාන මැතිතුමා, සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයේ බඩු භාණ්ඩ රැස්කොට තබා ඇති ස්ථානය පරීක්ෂා කළේය. එහිදී, එහි තිබුණු සිමෙන්ති කොට්ට තොගයෙන් දෙකක් අඩු බව දුටුවේය. කවුරු හරි මෙතැනින් සිමෙන්ති කොට්ට දෙකක් ගත්තා දැයි ඇසූවිට, එක්තරා සේවකයෙක් තමා එය ගත් බව පැවසීය.
“හොඳින් මතක තබාගන්න, කවදාවත් තමාට අයිති නැති කිසිවක් අරගන්න එපා. මේවා අයිති රජයට. රජයේ, ආණ්ඩුවේ කිසිම දෙයක් හොරෙන් ගන්න එපා. මේක හොරකම් කිරීමක්. මට පුළුවන් මේ වරදට ඔබේ සේවය නතර කරන්න. තම කාමරයට ගොස් පැමිණ පරණවිතානයන්, අදාළ සේවකයාට මුදල් දෙමින් “දැන්මම, දඹුල්ලට ගිහිල්ලා, සිමෙන්ති කොට්ට දෙකක් ගෙනැත් ස්ටෝරුවට දමනවා යැයි කීය.
සෙනරත් පරණවිතාන ශ්‍රීමතාණන්ට තිබුණේ එවන් රන් හදවතකි.
සීගිරිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ තවත් සේවක මහතෙක් කී කතාවක් අදත් මට මතකය.
“පරණවිතාන දෙයියා” සමඟ අප ඒ දවස්වල කැණීම්වලට යනවා. එතුමා, යම් ස්ථානයක ගිහිල්ල - මෙන්න මෙතෙන හාරනවා කියල අපට කීවිට, අප ඒ ස්ථානය හාරනවා. විශ්වාස කරන්න, අඩි දහයක් පහළොවක් හාරන විටදී, විවිධ පැරණි මෙවලම්, භාණ්ඩ අපට හමුවෙනවා. අප ඒවා රැස් කරලා, පරණවිතානයන් ඉදිරියෙන් තබනවා. එතුමා පොඩි පුටුවක වාඩිගෙන, මුලින්ම අපෙන් අහනවා මේ භාණ්ඩ ගැන අපේ අදහස්. අප නිශ්ශබ්දව සිටින විට, එතුමා, ඒ සියල්ල ගැන තොරතුරු අපට පවසනවා” යයි එම සේවක මහතා පවසා සිටියේය.
ලෝක පුදුමයක් ලෙස සැලකෙන සීගිරි මහා මේකුළ, පරණවිතාන ශූරීන්ගේ කාලයේදී දිවා - රෑ මුරකරුවන් යොදා රැකබලා ගත්තේය. එතුමාගෙන් පසුව පත්වුණු, නිලධාරීන් වියදම් අඩු කරන්න යැයි කියා රාත්‍රි කාලයේ මුරකරුවන් එම සේවාවෙන් ඉවත් කළේය. සීගිරියේ ආරක්ෂාව බිඳ වැටුණි.
වර්ෂ 1967 ඔක්තෝබර් 15 දිනය අදත් මට මතකය. සුපුරුදු පරිදි එදත්, පෙරවරු 7.15 ට පමණ සීගිරි මහා විදුහල බලා යමින් සිටියෙමි. ඉතා වේගයෙන් මා වෙත බයිසිකලයක් පැදගෙන ඇදී ආ සීගිරි විදුහලේ මගෙන් ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.
“සර්, ඊයේ රාත්‍රියේ සීගිරි බිතු සිතුවම් විනාශ කරලා” යයි පැවසීය.
මොහොතකට මා ගොළු විය.
එම ශිෂ්‍යයා සමඟ සීගිරියේ චිත්‍ර කලාගාරයට ගියෙමි. ඒ වනවිට, සීගිරියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි නුගේගොඩ මහතා, එහි රැඳී සිටිමින් සිටි අන්දම දුටුවෙමි.
“ඈපාසිංහ මහත්තයෝ ඇතුළට එන්න එපා යැයි කීය.
සීගිරි විනාශය වාර්තා කිරීම සඳහා ලේක්හවුස් ආයතනයෙන් අතිදක්ෂ පුවත්පත් කලාවේදියෙක් වන දයාසේන ගුණසිංහයනුත්, විශිෂ්ට ගණයේ ඡායාරූප ශිල්පියෙක් වූ වොලී පෙරේරාත්, පස්වරු 4.30 ට පමණ සීගිරිය තානායමට පැමිණියහ. පසුදා 1967 ඔක්තෝබර් 15 වැනිදා පෙරවරු 9.00 ට පමණ සීගිරි විනාශයට අදාළ ඡායාරූප වොලි පෙරේරාත් කැමරාවට හසුකරගත් අතර, දයාසේනත් මාත්, සීගිරිය මුරකරුගෙනුගෙන්, නුගේගොඩ මහතාගේත් විස්තර ලබාගත්තෙමු. ඉන්පසුව, පෙරවරු 10.15 ට පමණ ආරියරත්න රියදුරු පැදවූ වාහනයෙන් පස්වරු 1.30 පමණ වනවිට අපි ලේක්හවුස් ආයතනයට ළඟා වුණෙමු.
ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කතුවරුන් වන එස්. සුබසිංහ, ධර්මපාල වෙත්තසිංහ, විමලසිරි පෙරේරා, සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලක සහ ඩී.සී. රණතුංග, යූ.එල්.ඩී. චන්ද්‍රතිලක, යූ.ඒ. අමරසේන, පූජිත විජේතුංග, ඩේලිනිවුස් කර්තෘ සිසිල් ග්‍රැහෙම්, ඔබ්සර්වර් කර්තෘ ඩෙන්සිල් පීරිස්, ක්‍රීඩා කර්තෘ කාල්ටන් සෙනෙවිරත්න ආදීන් සීගිරි සිද්ධි වාර්තාව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට විශේෂ වාර්තාවක් ලෙස ලබාදීම ගැන තුති පළ කළේය.
විමලසිරි පෙරේරාගේ ඉල්ලීම පරිදි, නුගේගොඩ රේමන්ඩ් පාරේ නිවසක පදිංචි වී සිටිය මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් මුණගැසිණ. එතුමා, කඳුළු පිරිදෙනෙතින් කී වදන් අදත් මට මතකය.
“ඈපාසිංහ, සීගිරිය මා රැකබලාගත්තේ මගේ ඇස් දෙක වගෙයි. ඒ කාලේ මං, මුරකරුවන් ලවා සීගිරිය දිවා - රෑ පැය විසි හතරම ආරක්ෂා කළා යැයි පැවසීය.
ශ්‍රී ලංකාවේ බිහිව ජාත්‍යන්තර කීර්තියට පත්වුණු මහා පඩිවරයෙක් හා පුරාවිද්‍යා කොමසාරිස් ධුරයෙන් පිදුම් ලද මහාචාර්ය සෙනරත් පරණවිතානයන් වර්ෂ 1972 ඔක්තෝබර් 04 වැනිදා අභාවප්‍රාප්ත විය.
අමරණීයත්වයකට පත්වීම අසීරු ය. ලේඛකයා, විද්වතා, කලාකරුවා, තමන්ගේ නිර්මාණ මඟින් සදාකාලිකව අමරණීයත්වයට පත්වේ. එංගලන්තයේ සාන්ත පාවුළුවේ රෙන්ද (Wren) (Old vic) ඕල්ඩ් වික්හි විලියම් ශේක්ස්පියර් ද, ජාතික කලාගාරයේ මොසරාටා සහ සැඩ්ලර්ස් ද එමෙන්ම, ශ්‍රී ලංකාවේ මාර්ටින් වික්‍රමසිංහයන් ගම්පෙරළිය නවකතාවෙන් ද සිංහල සාහිතයේ මහා ඉසිවරයා - පංචශිකයා වන සුනිල් ශාන්තයන් ඕලු පිපීලා යන ගීතයෙන් ද චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් ද සීගිරියෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශ්‍රීමතුන් ද අමරණීයත්වයට පත්ව ඇත.