සුපිරි පන්තියේ අව­ම­ඟුල් | සිළුමිණ

සුපිරි පන්තියේ අව­ම­ඟුල්

ජීවත්ව සිටින අතරතුර තමන්ගේ ම අවමඟුල් උත්සවය සැලසුම් කිරීමට ‍සාප්පු සවාරි යෑම තවමත් ‘පුදුමයක්’ ලෙසින් සලකන අය සිටිති. එහෙත් ජීවත්ව සිටියදී තම අවමඟුල් උත්සවයට සහභාගි වීම පිළිබඳ ඇසීමත් යමකු පුදුමයට පත් කරවන සුලුය. එය එක්තරා අන්දමකට‘අවමඟුල් පෙර සැලසුම් කිරීමට ‘ආදේශකයක්’ ලෙසින් සැලකෙයි.

 

 

මරණය පෙනෙන තෙක් මානයේ හෝ නොතිබුණ ද, ජීවත්ව සිටියදීම තම අවමඟුල් උත්සවය සඳහා සාප්පු සවාරියේ ‍යනවුන් ගැන ඔබ මෙතෙක් අසා නොතිබුණා වන්නට ඇත. එමෙන් ම ඔබ කිසිදු දිනෙක තමන්ගේම අවමඟුල සැලසුම් කරන්නට සිහිනෙකින් හෝ නොසිතුවා වන්නට ඇත.

එහෙත් බටහිර රටවල වෙසෙන මිනිසුනට නම් මේ කිසිවක් ‘අරුමයක්’ නොවේ. නිවසට අලුතින් ගෘහ භාණ්ඩ මිලදී ගැනීමකදී එසේත් නැත්නම් දරුවකුගේ අනාගතය පිළිබඳ වැදගත් තීරණයකට එළඹෙන විටදී පවුලේ සියලු දෙනා කෑම මේසය වටා අසුන්ගෙන, තේ කෝප්පයක රස බලන අතර තුර, ඒ පිළිබඳ කතිකාවෙහි යෙදීම අපට හුරු පුරුදු වූවකි.

එසේ වුවද, තම අවමඟුල් උත්සවය සැලසුම් කරමින්, අවමඟුලට සහභාගි වන්නවුන්ගේ ලැයිස්තු සකසන්නට, කැවිලි පෙවිලි මිලදී ගත යුත්තේ කොතැනින් ද? අවමඟුල සඳහා අවශ්‍ය කරන ඇඳුම්, මිනී පෙට්ටිය, සහභාගී වන්නවුන් සඳහා සිහිවටන, මෙකී නොකී දෑ ගැන පවුලේ සියල්ලන්ම එක්වී සාකච්ඡා කිරීම නම් එක්තරා විදිහක ‘උන්මාදයක්’ යැයි යමකු සිතන්නට පුළුවන.

නමුත්, අවමංගල්‍ය සේවා සැපයුම්, ආයතන මෙන්ම, අවමංගල්‍ය කටයුතු සඳහා ‘රක්ෂණාවරණ සපයන’ ආයතනයන්ට අනුව නම් එවැනි සැලසුමක් නොමැතිව මිය යාම අනුවණ කමකි.

“ජීවතුන් අතරේ සිටියදී තම අවමංගල කටයුතු සැලසුම් කිරීම පිළිබඳ සිතීම පවා එතරම් පහසු වූවක් නොවෙයි. එහෙත් ඔබ විශ්වාස කළත්, නොකළත් අවමංගල්‍යය සඳහා සැලසුම් කිරීමට සුදුසුම වේලාව මේ මොහොතයි” මෙසේ පවසන්නේ තරගකාරී අන්දමින් අවමංගල්‍ය සඳහා වන පැකේජ ජනතාවට අලෙවි කරන්නට පොලඹවමින් සිටින අවමංගල්‍ය සේවා සැපයුම් ආයතනයන්ය.

එයට හේතුව ලෙසින් ඔවුන් පවසන්නේ, එවැනි සැලසුමක් නොමැතිව යමෙකු හදිසියේම මිය ගිය විටෙක, අවමංගල්‍ය සඳහා විය පැහැදම් කොට දරා ගන්නට බැරි බිල්පත් ගොඩකට ‍යටවෙන්නට ඇති ඉඩකඩ ඔවුන් පණ පිටින් වළ දැමීමක් මෙන් විය හැකි බවකි.

ජීවත්ව සිටියදී ජීවිතය පිළිබඳ සිතනුවට වඩා ‘තරු පහේ අවමඟුලක්’ ගෙන වැළලෙන්නට සිතන මිනිසුන් සෑම සමාජයකම පාහේ වෙති. මෙවැනි ඇතැමකුගේ ආශාව නවීන පන්නයේ, සුඛෝපභෝගී මිනී පෙට්ටිය තම දේහය බහා අශ්ව කරත්තයෙන් එය කනත්ත වෙත රැගෙන යෑමටය. එසේත් නොමැති නම්, තම දේහය භූමදානය සඳහා ගෙන යන අතරතුර ඩයනා කුමරියගේ අවමංගල්‍ය උලෙළේදී එල්ටන් ‍ජෝන් ගැයූ ගීතය වාදනය කරන්නටය. ඔබේ අවමංගල්‍ය උත්සවයට ඇතුළු කළ යුතු අංග කුමක් වුවත්, ඒ සියල්ල ඇතුළත් පැකේජ අලෙවි කරන්නට මෙවැනි අවමංගල සේවා සැපයුම් ආයතන සූදානම්ව සිටිති.

අවමංගල්‍ය සේවා සැපයුම් ආයතනයකට පා තබන ඔබට එම ආයතනය විසින් සපයනු ලබන සේවා සටහන් මිල කැඳවුම් පතක් අනිවාර්යයෙන් ම ලබාදීමට ඔවුන් බැඳී සිටිති. එහෙයින් තමන් පළමුවෙන් ගොඩ වදින ආයතනයෙන් සෑහීමට පත් නොවී, සාප්පු ගණනාවකට ගොස් ලබාගත් මිල කැඳවුම් පත් සසඳා බලා, පවුලේ උදවිය සමඟ සාකච්ඡා කොට ‘හොඳ පැකේජයක්’ තෝරා ගැන්ම බොහෝ දෙනෙකුගේ උත්සාහයයි.

මෙවැනි අවමංගල්‍ය සේවා සැලසුම් ආයතන බටහිර සමාජයෙහි කොතරම් ජනප්‍රියද? යත්, එම ජනප්‍රියත්වය සඳහා එවැනි මහා පරිමාණ ආයතන හා රක්ෂණ සමාගම් ගෙන යනු ලබන සිත් ඇදගන්නා සුලු ප්‍රචාරණයන් ද බලපෑම් කර ඇති බව නම් වඩාත් පැහැදිලිය.

අවමංගල්‍ය කටයුතුවල නියැළෙන වෘත්තිකයන් කාලයක් තිස්සේම අවධානය යොමු කළ කාරණාවක් නම්, ‘මරණය’ පිළිබඳ කාරණාව සඳහා වඩාත් මෘදු, සුමට වදන් සොයමින් ‘මරණය’ යන්නෙහි ඇති බියකරු බව තුනී කරන්නට විය හැකිය. ඒ අනුව ‘MORTICIANS’ යන්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් වූ අතර, COFFIN යනුවෙන් හැඳින්වූ ‘මිනී පෙට්ටිය’ CASKETS ලෙසින් හඳුන්වන්නට විය.

මේ සියල්ල හමුවේ ‘මරණය’ යන්න ‘බියජනක’ කරුණකට වඩා එය කල්වේලා ඇතිව, හරි හැටි සූදානම් විය යුත්තක් බවට සමාජ මතයක් ඇති කිරීමට මෙවැනි ‘ඩොලර් බිලියන ගණන් උපදවන’ ආයතන ගත් උත්සාහයක් අසාර්ථක වී නැත. වැඩි විච්චූරණ නොමැති, සාමාන්‍ය තරමේ අවමඟුල් උත්සවයක් සඳහා එංගලන්තය වැනි රටක වැය කළ යුතු වන්නේ පවුම් තුන්දහසක්, හාර දහසක් අතර මුදලකි.

එහෙත් අවමංගල සේවා සැපයුම් ආයතන මගින් සපයනු ලබන භාණ්ඩ හා සේවා සඳහා ‘පැකේජ’ හඳුන්වාදීම බටහිර සමාජයෙහි තරගකාරීව සිදුවන බැවින්, තමනට අවශ්‍ය දෑ තෝරාගෙන, ඒ සඳහා ගැළපෙන ‘පැකේජ’ තෝරා ගැන්මට පාරිභෝගිකයන්ට හැකිය.

මෙවැනි අවමංගල සේවා සැපයුම් ආයතනයකට ගොඩ වදින ඔබට උණුසුම් ලෙස, ආචාරශීලීව පිළිගෙන සුව පහසු අසුනක් පනවනු ඇත. එය කිසිසේත්ම තැන් තැන්වල ගොඩ ගැසූ මගී පෙට්ටි, මල් වඩම් ආදී සහිත අප දැක පුරුදු ස්ථානයක් නම් නොවේ.

අනතුරුව ඔබේ අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡා කිරීම අරඹන්නේ ඉතාමත් සුහදශීලීවය‍. යම් හෙයකින් ඔබට එම කාර්යය සඳහා සාකච්ඡා කරගැන්මට එය පහසු අවස්ථාවක් නොවුණි නම්, ඔවුන් ඔබේ නිවසට පැමිණ එය ඉටුකර දෙනුයේ වඩාත් සුහදශීලී අන්දමිනි.

කෙසේ වුවත් මල්ටි බිලියන් ඩොලර් වටිනා ඇමෙරිකානු අවමංගල්‍ය ආයතන විසින් තම සේවාලාභීන් ‘අන්දමන්ද’ කොට, ඔවුන් මිල අධික පැකේජ සඳහා පොලඹවා ගැන්මට ඉතා වටිනා අවමංගල්‍ය භාණ්ඩ හා සේවා වෙළෙඳපළට ඉදිරිපත් කරනුයේ තරගකාරී අන්දමිනි.

තම ආදරණීයකු මිය ගිය විටදී ඔහුට ගෞරව දැක්වීමට ඉතා විශාල මුදලක් වැය කරමින් එම කාර්යය වඩාත් සංකීර්ණ කර ගැන්ම අනුවණකමකි. එසේ වුවත්, මෙම ආයතන කරා යන ඇතැමකු ‘වෙළඳ උපක්‍රමයන්ට’ හසුවන අතර ජීවත්වීමට අවැසි දේ මිලදී ගැන්මටත් වඩා ‘සුපිරි අවමඟුලක්’ වෙනුවෙන් සූදානම් වන්නේ, එම අවමඟුල කොතරම් උසස් අන්දමින් පැවැත්වුවද, එහි අසිරිය දකින්නට තමන් මෙලොව නොසිටින බැව් අමතක කර දමමිනි.

“සැමියාගේ බාල සොහොයුරිය පිළිකාවකින් පීඩා විඳිමින් සිටිය දී ඇගේ වෛද්‍යවරයා දිනක් පැවසුයේ ‘ලීසා ගේ මරණය වැඩි ඈතක් නොවන බවයි. ඇය වෙනුවෙන් අවමඟුල් උත්සව පැකේජයක් ගැන්මට ‘සාප්පු සවාරියේ’ යෑමට පෙර අප එකඟ වූයේ චාම්, ලස්සන අවමඟුලක් ගැනයි.

ඒත් සාප්පු සවාරියේ ගිය අප ඈ වෙනුවෙන් ඉතාමත් අගනා, අලංකාර, නවීන පන්නයේ මිනී පෙට්ටියක්; මනාලියකගේ ඇඳුමට සමාන වූ ගවුම, අත්වැසුම් පමණක් නොව, අවමංගල්‍ය සඳහා වන ආරාධනාපත් හා අවමඟුල් උලෙළේදී සංගීතය ඇතුළත් පැකේජයක් තෝරාගෙන එය වාරික වශයෙන් ගෙවීමට ගිවිස ගත්තේ, ඉතා ඉහළ මට්ටමේ අවමඟුල් උත්සවයක් ඇය වෙනුවෙන් සැලසුම් කරමින්...” විසිතුන් හැවිරිදි, අවිවාහක යුවතියක වූ ලීසාට දැඩි ලෙස ආදරය කළ ඇගේ සොහොයුරාට අවශ්‍ය වූයේ ‘මනාලියක’ වන්නට වාසනාව අහිමිවූ තම නැඟණිය මනාලියකගේ ඇඳුමින් අවසන් ගමන් යනු දකින්නටය. එහෙත් ඒ සඳහා ඒ වනවිටත් විශාල මුදලක් වැය කළයුතු පැකේජයක් ඔහු තෝරාගෙන තිබුණේ තමන් එතැනට එනවිට පැවති අදහස සම්පූර්ණයෙන් ම වෙනස් කර දමමිනි.

අවමඟුල් උලෙළකදී ‘ආහාර’ යන්නට ලැබෙන්නේ ද විශේෂත්වයකි. වසර දහස් ගණනක දුර අතීතයෙහි සිටම අවමඟුලකදී ආහාර යන්න එක්තරා අන්දමකට මිය ගිය තැනැත්තාට ‘ඔබේ සමුගැනීම පිළිබඳව මට කනගාටුයි’ යන්න ප්‍රකාශ කරන්නකි.

ඇමෙරිකාවෙහි විශේෂයෙන් ජර්මන් හා බ්‍රිතාන්‍ය කොලනිහි අවමඟුලකදී; ඊට සහභාගි වූවන් දේවස්ථානයෙන් පිටවී භූමදානය කරනු ලබන ස්ථානයට පිටව යද්දී ‘Funeral Biscuit’ හෝ ‘Molasses Cookies’ වැනි විශේෂිත කෑමක් සමඟ මත්පැන් අඩංගු බීම වර්ගයකින් සංග්‍රහ කිරීම පුරුද්දක්ව තිබිණි. මෙම කුකීස් වර්ග මත ‘හදවත’ ‘කුරුසිය’ මිය ගිය තැනැත්තාගේ හිස මුද්‍රාවක් මෙන් සටහන් කොට තිබිණි.

බොහෝ විට අවමංගල්‍ය උත්සවයට සහභාගි වූවන්ට යම් කිසි ‘සමරු තිළිණයක්’ පිරිනැමීමට ද ඇතැමුන් රුචියක් දක්වති. බොහෝ විට ඒ සඳහා තෝරාගනු ලබන්නේ මියගිය තැනැත්තා වඩාත් කැමැත්තක් දැක්වූ දෙයකි. ඇතැම් අවමංගල්‍ය ‘පැකේජ’ සඳහා මෙවැනි සමරු තිළිණයක් පවා ඇතුළත් ය‍.

ජීවත්ව සිටින අතරතුර තමන්ගේ ම අවමඟුල් උත්සවය සැලසුම් කිරීමට ‍සාප්පු සවාරි යෑම තවමත් ‘පුදුමයක්’ ලෙසින් සලකනවුන් සිටිති. එහෙත් ජීවත්ව සිටියදී තම අවමඟුල් උත්සවයට සහභාගි වීම පිළිබඳ ඇසීමත් යමකු පුදුමයට පත් කරවන සුලුය. එය එක්තරා අන්දමකට ‘අවමඟුල් පෙර සැලසුම් කිරීමට ‘ආදේශකයක්’ ලෙසින් සැලකෙයි.

‘Living Funeral’ නම් වූ මෙහිදී සිදුවන්නේ කිසියම් රෝගයක් වැනි තත්ත්වයක හේතුවෙන් ජීවත්වීමට ඉතා සීමිත කාලයක් නියම වී ඇති පුද්ගලයකු වෙනුවෙන් අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කිරීමයි. ‘මිනී පෙට්ටි, මිනී වළවල්; ආදිය සඳහා වන වියදම්වලින් තොර මෙවැනි අවමඟුලක් එක්තරා අන්දමකට වඩාත් ලාබදායි වූවකි.

මෙම අවමඟුල් උත්සවයේහිදී ‘මිය යාමට ආසන්නව සිටිනා, අවමඟුලේ හිමිකරුට ඔහුගේ කායික, මානසික සෞඛ්‍ය තත්ත්වයට අනුව හැකියාව තිබෙනුයේ නම් අවමඟුල් උත්සවය සඳහා ආරාධනා ලැබූවන් අමතා වචන කිහිපයක් කතා කොට තම හිතමිතුරනට සමුදෙමින් ‘ගුඩ් බායි’ කීමට අවස්ථාව සැලසෙයි.

කෙසේ වුවත්, මරණය සම්බන්ධයෙන් වන අවමඟුල් උත්සව පිළිබඳ සිතන විට ‘මැරෙන එකත් පණ යන වැඩක්’ යැයි ඇතැමුන් පවසන්නේ හේතුවක් නැතුවම නොවන බැව් මොනවට පැහැදිලිය.

මැරෙන තැනැත්තා ජීවිතයෙන් සමුගෙන යද්දී, ජීවත්ව සිටින ඔහුගේ සමීපතමයන් ‘සුපිරි පන්නයේ අවමඟුලක්’ වෙනුවෙන් අත ඇති සියල්ල වියදම් කොට අවසානයේ පණ පිටින් මිය යෑම නම් සංවේගයට කරුණකි.

Comments