
මෙය පැරණි කතා පුවතකි. බොහෝ සාක්ෂින් හා ලේඛණ සැඟවී ගොසිනි. නැත්නම් විනාශ වී ගොසිනි. එහෙත් ලංකාවේ වාණිජ ගුවන් සේවාවේ මුල් අවදියේ සිදුවීම් හා ඒ ආශ්‍රිත රසවත් කරුණු බොහොමයක් තවමත් මිනිසුන්ගේ සිත්සතන් තුළ නිදන්ව ඇත.
“ඩැකෝටා” නමින් වන ඉතා සුපතළ නාමයක් දැරූ ගුවන් යානාවක් දෙවන ලෝක යුද සමයේ දී දැවැන්ත කාර්යභාරයක් ඉටුකළේ ය. දෙවන ලෝක යුද සමයේ කෙතරම් මෙම DC-3 ගුවන් යානා නිපදවූයේ ද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් නොවූවත්, යානා 16 000 ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් නිපදවන්නට ඇති බවට විශ්වාස කළ හැකි ය. පසුව මෙහි මුල් ආකෘතියේ මූලධර්ම පදනම් කරගනිමින් විවිධ යානා මාදිලීන් හඳුන්වා දෙන ලදී. එමෙන්ම යුද්ධයේ නිමාවත් සමගින්, මෙම යානා වලින් වැඩි ප්‍රමාණයක් මගී ප්‍රවාහන ගුවන් යානා බවට පරිවර්තනය විය. ලොව පුරා නව ගුවන් සමාගම් ආරම්භ කළ රටවල්, ඔවුන්ගේ වාණිජ ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට, යුද කටයුතු වෙනුවෙන් භාවිත කළ මෙම පරිවර්තිත ඩැකෝටා යානා යොදා ගන්නට කටයුතු කළේ ය.
1947 වසරේ දෙසැම්බර් 10 දින එයාර් සිලෝන් ගුවන් සේවය අපේ පුංචි දිවයින ජාත්‍යන්තරයේ සනිටුහන් කරමින් මංගල ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන සඳහා DC-3 ගුවන් යානාවක් රත්මලාන ගුවන්තොටුපලෙන් යාපනය හරහා ඉන්දියාවේ මදුරාසිය බලා පිටත් කර යැවී ය. එය ලංකා ගුවන්සේවාවේ ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් ආරම්භය සනිටුහන් කරවූ අවස්ථාව වූ අතර ඒ සමගම ඉතා සුපරික්ෂාකාරී විකාශනයක් මෙරට ගුවන්සේවාවේ ඇති විය.
මෙම වකවානුව හජ්ජි සහ උම්රා වන්දනාවේ යෙදෙන ශ්‍රීලාංකික බැතිමතුන් සිය වන්දනා කටයුතු සඳහා විශාල වශයෙන් රටින් බැහැර වන කාලයක් විය. ඔවුන්ගෙන් ඇතැම් පිරිසක් ඉන්දියාවේ මුම්බාය වෙත ගොස් ගුවනින් සෞදි අරාබියේ ජෙඩා නගරය වෙත පිවිස සිය අරමුණ ඉටුකරගත් අතර තව පිරිසක් මුහුදු මග ඔස්සේ කොළඹින් ජෙඩා නගරය වෙත ගියෝ ය. ජෙඩා නගරයේ සිට මක්කම දක්වා වූ ඉතිරි දුර ප්‍රමාණය ගුවනින් හෝ මාර්ගස්ථ ප්‍රවාහන ක්‍රමවේදයන් භාවිත කර යෑම ඔවුන්ගේ ඉදිරි සැලසුම විය.
මුහුදු මග ඔස්සේ ජෙඩා දක්වා ගිය පිරිසට තම ගමන් වෙහෙස හා කාලය අඩු කරගැනීමට අවස්ථාව සැලසුණේ එයාර් සිලෝන් ගුවන් සේවය විසින් තම DC-3 ඩැකෝටා මාදිලියේ යානා යොදාගනිමින් යාපනය හරහා ඉන්දියානු ගුවන්තොටුපලවල් කිහිපයක් වෙත ගුවන් ගමන් ඇරඹීමට ගත් තීරණයත් සමගිනි.
ඉන් නොනැවතුණ එයාර් සිලෝන් තම ගුවන් ගමන් සේවා ජාලය පුළුල් කල යුතු බවට තීරණය කළ අතර පනහ දශකය ආරම්භ වීමට ආසන්නවත්ම මක්කම බලා පිටත්වන ශ්‍රිලාංකික බැතිමතුන් අරමුණු කරගනිමින් ද කුලී ගුවන් ගමන් සේවාවක්(Charter Service) රත්මලානේ සිට ජෙඩා වෙත සහ යළි ආපසු ක්‍රියාත්මක කිරීමේ සැලසුම් ඒ අතර විය. ඒ ශ්‍රීලාංකික බැතිමතුන්ගේ ඉල්ලීම ද සැලකිල්ලට ගනිමිනි.
මෙම ගුවන් ගමනෙහි වාණිජ කොටස සංවිධානය කිරීම එයාර් සිලෝන් ප්‍රධාන කාර්යාලයෙන් සිදු කළ අතර ජෙඩා දක්වා වූ ගමන් මගෙහි සැලසුම සකස් කිරීමේ භාරදූර වගකීම පැවරුණ එයාර් සිලෝන් ගුවන් මෙහෙයුම් අංශයටය.ඔවුන් ගමන සඳහා අවශ්‍ය සුදුසුම ගුවන් මඟ සෙවීමේ වගකීම බාර ගත්හ. ගුවන් ගමන සැලසුම් කරන එයාර් සිලෝන් ගුවන් මෙහෙයුම් අංශයට ගුවන් ගමනට අවශ්‍ය සිතියම් කිසිවක් නොවීම ඒ අතර පැන නැඟුණ ප්‍රධානතම ගැටලුව විය. තම යානා ඇණියේ පැවති DC-3 ඩැකෝටා මාදිලියේ යානා තාක්ෂණික වශයෙන් ශක්තිමත් වුව ද නොනවත්වා රත්මලාන සිට සෞදියේ ජෙඩා දක්වා පියාසර කරවීමට හැකි නොවූයේ DC-3 යානා පැයක දී ඉන්ධන ගැලුන් 73 ක් පමණ එක් එන්ජිමක් ගිල දැමූ “Pratt & Whitney Twin Wasp Radial”එන්ජින් දෙකකින් බල ගැන්වූ මෙම යානා වල සමස්ථ ඉන්දන ධාරිතාවය ගැලුන් 822 ක් වීම ය. මෙම යානා යහපත් කාලගුණික තත්ත්ව යටතේ අඩි 6000 උඩින් නාවික සැතපුම් 1 500 ක පමණ දුරක් පමණක් අඛණ්ඩව පියාසර කරවිය හැකි වීම අනෙක් කාරණාව විය. මගීන් 21 දෙනෙකුට ගමන් පහසුව සැලසූ DC-3 ඩැකෝටා යානාවේ දැරිය හැකි උපරිම බර ප්‍රමාණය රාත්තල් 26 200 කි. ඩැකෝටා යානාවට නොනවත්වා පියාසර කළ හැකි දුර කරණ කොටගෙන රත්මලානේ සිට කෙලින්ම ජෙඩා නගරයට පියාසර කිරීම කිසිසේත් නොහැකි කාරණයක් විය.
එයාර් සිලෝන් ගුවන් මෙහෙයුම් අංශයට රත්මලානෙන් පිටත්ව මුම්බාය වෙත ගමන සැලසුම් කිරීම දුෂ්කර කාර්යයක් නොවිණි. නමුත් එතැන් පටන් ජෙඩා දක්වා ඉදිරි ගමන සැලසුම් කිරීම පිළිබඳ මනා අවබෝධයක් නොවන තරමට තාක්ෂණික වශයෙන් දුර්වල අවදියක් පනහ දශකය ආරම්භ වන විටත් පැවතුණි. එමෙන්ම කිසිදු එයාර් සිලෝන් ගුවන් නියමුවකු ඒ වන විටත් මැදපෙරදිග වෙත පියාසර කර අත්දැකීම් නොලබා තිබීම ගමන සැලසුම් කිරීම සඳහා අවාසිදායක තත්වයක පැවතුණි. මෙම තත්වයට යම් සැනසිල්ලක් දැනුණේ ඒ වන විටත් පවත්වාගෙන ගිය කටුනායක රාජකීය ගුවන් හමුදා අංශ සතුව ලොව බොහෝ ගුවන්තොටුපල පිළිබඳව වන සිතියම් ඇති බවට ලද තොරතුරත් සමඟය. එය සත්‍ය විය. එසැණින් ක්‍රියාත්මක වූ එයාර් සිලෝන් ගුවන් මෙහෙයුම් අංශ නිලධාරීන්, රාජකීය ගුවන් හමුදාවේ කටුනායක ගුවන් අංශ වෙතින් ලබාගත් සිතියම් පරිශීලනය කරමින් රත්මලානේ සිට ජෙඩා දක්වා ගමන් කළ හැකි වඩාත් කාර්යක්ෂම ගුවන් ගමන් මඟ සොයන්නට යුහුසුළු විය.
ඒ අනුව රත්මලාන සිට මුම්බාය දක්වා නාවික සැතපුම් 840 ක දුරක් ද, මුම්බායේ සිට කරච්චි දක්වා නාවික සැතපුම් 471 ක් ද, කරච්චි සිට ඕමානයේ සලාලා දක්වා නාවික සැතපුම් 871 ද, සලාලා සිට යේමනයේ ඒඩ්න් (Aden) දක්වා නාවික සැතපුම් 583 ක් ද, අනතුරුව එතැන් සිට සෞදි අරාබියාවේ ජෙඩා දක්වා නාවික සැතපුම් 627 ක් ද ලෙස මෙම ගුවන් ගමන සැලසුම් කිරීමට ගුවන් මෙහෙයුම් නිලධාරීහු සමත්වි ය. රාත්‍රී නැවතුම් ලෙස පකිස්ථානයේ කරච්චි සහ යේමනයේ ඒඩ්න් හඳුනාගෙන තිබූ එයාර් සිලෝන් ගුවන් සේවය, ගුවන් කාර්යමණ්ඩලය සහ මගීන් වෙත නවාතැන්, ආහාරපාන ඇතුළු පහසුකම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමුකර තිබීම විශේෂත්වයකි.
එයාර් සිලෝන් ඩැකෝටා යානාව නොහඳුනනා ගමනාන්තයකට, නොහඳුනානා දේශ සීමාවන් හරහා, නොහඳුනනා ආකාශයේ ජෙඩා ගමන යාමට සූදානම් විය.
ගමන ඇරඹිණ. ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 21 දෙනෙකු සමඟින් ජෙඩා බලා රත්මලාන ගුවන්තොටුපලින් යානාව ගුවන්ගත විය. අභියෝගාත්මක ගුවන් ගමන සඳහා එවක සිටි ප්‍රවීණතම ගුවන් නියමුවෙකු වූ පිටර් ප්‍රනාන්දු කපිතාන්වරයා ඉදිරිපත් විය. ඒ වන විට ඔහු එයාර් සිලෝන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් කලමණාකාරවරයා ලෙස ද කටයුතු කරමින් සිටියේ ය. එමෙන්ම සහායක නියමුවා ලෙස තෝරා ගැනුණ එමිල් ජයවර්ධන කපිතාන්වරයා දෙවන ලෝක යුද සමයේ රාජකීය ගුවන් හමුදාව (RAF) ස්පීට්ෆයර් (Spitfire) ප්‍රහාරක ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කර තිබූ විශ්‍රාමලත් දක්ෂ ගුවන් නියමුවෙකි. තවද ලයනල් සිරිමාන්න ගුවන්විදුලි සංඥා නිලධාරීවරයා හා ජී. වී. පෙරේරා ගගන ඉංජිනේරු නිලධාරීවරයා සිය රාජකාරී වපසරියන් තුළ ජ්‍යෙෂ්ඨත්වයක් ඉසුළු අය විය.
සුපුරුදු මුම්බාය ඔවුන්ගේ පළමු තාක්ෂණික නැවතුමයි. එහිදී ගුවන් යානාවේ ඉදිරි ගමන සඳහා අවැසි ඉන්ධන ලැබිණ. කාර්යමණ්ඩලය ඇතුළු මගීන් පිරිසට දිවා ආහාරය ද එහිදී පිරිනැමීම ගමනේ සැලසුම් අතර විය. ගමනෙහි දෙවන අදියර නිමකිරීමේ අරමුණින් පිරිස අනතුරුව කරච්චි බලා පිටත් විය. කරච්චි ගමන නිම වන විට සැලසුම් කළ පරිදි බටහිර අහසින් මළ හිරු බැස යාමට ආසන්නව තිබිය දී ඩැකෝටා යානාව කරච්චියේ ඩ්‍රයි රෝඩ් (Drigh Road) ගුවන්තොටුපලෙහි (දැන් එය හඳුන්වනු ලබන්නේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපල නමිනි) ධාවන පථයට පතිත කරවීමට සමීප වෙමින් තිබිණ. රාත්‍රී කාලය ගතකිරීම සඳහා කාර්යමණ්ඩලයට හා මගීන් හට, ගුවන්තොටුපල යාබදව පිහිටි ස්පීඩ්බර්ඩ් නම්වූ හෝටලය පිළියෙල වී තිබිණ.
![]() |
ඩැකෝටා මාදිලියේ ගුවන් යානාවක නියමු කුටිය |
මෙම හෝටලය ප්‍රකට ගුවන් සමාගමක් වූ B.O.A.C (British Overseas Airways Corporation) සමාගමේ ගුවන් කාර්යමණ්ඩලය ළැඟුම් ගන්නා හෝටලය විය. ඒ එයාර් සිලෝන් කාර්යමණ්ඩලයේ සහ මගීන්ගේ පළමු දින රාත්‍රි නැවතුම යි.
එලෙස කිසිදු අවහිරයකින් තොරව පළමු දිනයේ නිමාව දකින විට පිරිස නාවික සැතපුම් 1 311 ක දුරක් ගමන් කර තිබිණ. මේ සඳහා සීමිත ගගන සංතරණ සංඥා මධ්‍යස්ථාන ප්‍රමාණයක සහාය හිමිව තිබූ අතර ගමන් මගෙහි වැටී තිබූ භූ ලක්ෂණ ද උපයෝගී කරගැනීමට නියමුවන්ට හැකිවිය. මෙය ගුවන් නියමුවන් හට කිසිසේත් ලෙහෙසි කරුණක් නොවු බව, මා මෙහිදී සඳහන් කළ යුතුය.
දෙවන දිනට කරච්චි ගුවන්තොටුපලින් පිරිස ගමන අරඹන්නේ ඕමානයේ සලාලා ගුවන්තොටුපල වෙත පියාසර කිරීමේ අරමුණිනි. ඒ යේමනයේ ඒඩ්න් ගුවන්තොටුපල වෙත යාමට පෙර ඉදිරි ගමන සඳහා අවැසි ඉන්ධන ලබා ගැනීම සඳහා ය.
රාජකීය ගුවන් හමුදාව විසින් පාලනය කළ මෙම සලාලා ගුවන්තොටුපල අරාබි මුහුදට යාබදව පිහිටා තිබිණ. තමන් ගුවන්තොටුපල ආසන්නයට පැමිණි බව අනුමාන කළ නියමුවන් තමන් හා සලාලා ගුවන් ගමන් පාලන අංශය අතර සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට උත්සාහ කළහ. ගුවන් ගමන් පාලන කුටියෙන් (Air Traffic Control Tower) කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණේ ය. එමෙන්ම ගුවන් මාර්ගය සොයාගැනීම සඳහා වූ රේඩියෝ තරංග විහිදුවන NDB (Non Directional Beacon) මගින් ද කිසිම සහායක් ඩැකෝටා යානය වෙත නොලැබුණේ ය.
භූමිය කිසිසේත්ම නොපෙනී, අවදානමක් ගෙන වළාකුළු බිදගෙන යානය පහළට ගෙන ඒම මගින් යානය කන්දක හැපී සියලු දෙනාම මරණයට පත්විය හැකි බව නියමුවෝ හොඳින් දැනසිටිය හ.
සිරිමාන්න රේඩියෝ නිලධාරීවරයා යළි යළිත් උත්සාහ කළ ද ප්‍රතිඵලය එයම විය. ඒ වන විටත් අවට මුළු පොළොව තලයම ඝණ වළාකුලින් වැසී යාම හේතුවෙන් නියමුවන් හට තමන් සිටින ස්ථානය පිළිබඳව භූමි ලක්ෂණ අනුව හෝ නිශ්චිත හෝඩුවාවක් ලබාගත නොහැකි විය. වළාකුළු බිඳිමින් යානාව පහළට පැමිණීමට හැකියාවක් නොවූයේ සිතියමට අනුව අවට පවතින උස් කඳු පන්තිය නිසාය. කෙසේවෙතත් ගණනය කිරීම් හා වෙනත් තාක්ෂණික දත්ත අනුව තමන් සලාලා ගුවන්තොටුපල ආසන්නයේ සැරිසරන බව ඔවුන්ට ස්ථීරවම වැටහී තිබිණ.
“මා 80 දශකයේ කටුනායක සිට ජෙඩා දක්වා එවක නවීන ගුවන් යානා මාදිලියක් වූ Tri-Stars යානා යොදා ගනිමින් එයාර් ලංකා ගුවන් සේවය වෙනුවෙන් වාණිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කළා. අප නියමු කුටියේ වාඩිවී ගමනාන්තය වූ ජෙඩා දක්වා පරිගණකය සකස් කළා. ගුවන්ගත වූ පසු ස්වයංක්‍රීය නියමු පද්ධතිය යොදවමින් සහ ස්වයංක්‍රීයව මෙහෙයුම් කටයුතු සිදු කරමින් සැලසුම් කළ පරිදි ජෙඩා ගුවන්තොටුපල වෙත ගොඩබැස්වීම සිදු කරන විටත් එතරම් නවීන පහසුකම් තිබියදී පවා දූවිල්ලෙන් පිරුණු, දුඹුරුපාට මෙන්ම අපැහැදිලි වටපිටාවක් තිබූ බැවින් ගොඩබැස්සවීම සඳහා ගුවන් ධාවන පථයට ප්‍රවේශ වීම එතරම් පහසු වූයේ නැහැ. ඇත්තෙන්ම, මා පුදුම වුණා 1950 කාලයේ DC-3 වැනි යානාවක් එම ගුවන්තොටුපලට නිරුපද්‍රිතව ගොඩබැස්සවීම පිළිබඳව. ඔවුන් එම ගමන් මාර්ගයේ ගමන් කරන විට ගුවන් ධාවන පථය සොයාගන්න ඇත්තේ කෙසේ ද?, ඒ වගේම නිවැරදි ගණනය කිරීම්, සෙල්සියස් 40 තරම් ඉහළ උෂ්ණත්වයේ දී වායු සමනය නොකළ ගුවන් නියමු කුටියේ සිට යානාව නිවැරදිව මෙහෙයවන්න කොතරම් ඔවුන් වෘත්තීයභාවයෙන් දක්ෂ අය වන්න ඇත් ද, මෙම තත්ත්වය නවීන නියමුවන් ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තක් නොවේ ද ? “
ඒ එල්මෝ ජයවර්ධන කපිතාන්වරයාගේ අත්දැකීම් සමුදාය යි
නියමුවන් අවසන් තීරණයට එළඹුණෝ ය. ඒ සිටි තැනින් ගිනකොණ දෙසට පියාසර කිරීමයි. එසේ කිරීමෙන් ඔවුන් අරාබි මුහුදට ඉහළින් සිටිනා බව ස්ථීර විය. සැලසුම වළාකුළු බිඳ මුහුද දර්ශනය වන තෙක් යානාව ක්‍රමයෙන් පහළට ගැනීම යි. අනතුරුව අංශක 180 ක් ආපසු හැරී ගොඩබිම දෙසට පියාසර කිරීමයි. ඒ ඔවුන් නියමුවන් ලෙස කටයුතු කර ලබාගත් පන්නරය යි. සියල්ල සුබවාදීව සිදු විය. වළාකුල බිඳිමින් පහළට පැමිණි ඔවුනට ජල පෘෂ්ඨය සහ බෝට්ටු කිහිපයක් පැහැදිලිව දර්ශනය විය. සැලසුම සාර්ථක විය, කඳු පන්තියෙන් ද ආරක්ෂා විය. සැලසුමේ පරිදි අංශක 180ක් ආපසු හැරී ගොඩබිම දෙසට පියාසර කිරීම ඇරඹී ය. සලාලා ගුවන්තොටුපල කොයි මොහොතේ හෝ තමන් හට පෙනෙන බව ගුවන් නියමුවන්ගේ විශ්වාසය වූහ.
සියල්ල මෙසේ සිදුවෙමින් පවතින විට සිරිමාන්න රේඩියෝ නිලධාරීවරයා සිය උත්සාහය අත් නොහරිමින් අඛණ්ඩව කටයුතු කරමින් සිටියේ ය. ඒ සලාලා ගුවන් පාලන අංශ හා සන්නිවේදන සබඳතා ඇති කරගැනීම වෙනුවෙනි. යාබද වෙනත් ගුවන්තොටුපලකට ගමන් කිරීමට තරම් යානාවේ ඉන්ධන තොග නොවූ නමුත් නියමුවන් කිසිසේත් බියක් හෝ තැති ගැනීමකට පත්නොවිය. ඒ ඔවුන් තුළ තිබූ අසීමිත වූ පළපුරුද්ද හා දක්ෂතාව නිසාවෙනි. සියල්ලන්ගේ අපේක්ෂාවන් මල්පල ගන්වමින් සන්නිවේදන සබඳතා අනපේක්ෂිත මොහොතක ගොඩනැගින. ගුවන් ගමන් පාලකයන් නිහඩතාව බිඳ අහස් යානාවට කථා කළෝ ය. යානාව සලාලා වෙත ගොඩබැස්සවීම සිදු කළේ ඉපිලී යන සතුටිනි.
එයාර් සිලෝන් යානාවක් කරච්චි ගුවන්තොටින් සලාලා බලා පිටත් වන බවට යොමුකර තිබූ පිණිවුඩය සලාලා සන්නිවේදනය මධ්‍යස්ථානයට නොලැබී තිබිණි. සැලකිය යුතු කාල පරාසයක් සඳහා ගුවන් යානා පැමිණීමක් සටහන් නොවූ බැවින් ගුවන් ගමන් පාලකයන් සහ එහි සිටි අනෙකුත් නිලධාරීහූ උපාංග අක්‍රීය කර මුහුදේ නෑමට යාබද වෙරළ තීරයට ගොස් තිබිණ. එයාර් සිලෝන් ගුවන් කාර්ය මණ්ඩලයට, සලාලා ගුවන්තොටුපල සමඟින් සම්බන්ධ වීමට නොහැකි වී ඇත්තේ ඒ හේතුව නිසාවෙනි. නමුත් සිදුවී ඇත්තේ යානාවක් අහසේ ඝණ වළාකුළු වලට ඉහළින් ගමන් කරන ශබ්දය ඇසුන මුහුදේ නාමින් සිටි ගුවන්තොටුපල නිලධාරීන් තම වාහන වල නැග කඩිනමින් ගුවන්තොටුපොල වෙත පැමින උපාංග සක්‍රීය කොට යානාව ගොඩබැස්සවීමට අවැසි පහසුකම් සැපයීම යි.
කිසිදු අවහිරයකින් තොරව සැලසුම් කළ පරිදි සියල්ල සාර්ථක විය. ඒඩ්න් වෙත පියාසර කිරීමට අවැසි ඉන්ධන ලබාගත් පිරිස වෙත ත්‍යාග වශයෙන් බීර ද පිරිනැමූ ගුවන් තොටුපල නිලධාරීන් ඔවුනට ආරක්ෂිත ගමනකට සුභපතමින් සමුදුන් හ.
ඒඩ්න් දක්වා වූ ගමන ද තරමක අභියෝගාත්මක වූවකි. අයහපත් කාලගුණය මධ්‍යයේ නියමුවන් දැඩි වෙහෙසක් ගෙන යානාව මෙහෙයවූ හ. ඇතැම් අවස්ථාවල අකුණු ආලෝක ධාරා ඔවුනට මග සෙවීමට උපකාරී වූ බව පැවසුවහොත් ඔබ මවිතයට පත් වනු ඇත. ඒ පනහ දශකයේ ගුවන් ගමන් වල පැවති අභියෝගාත්මක තත්වයයි. වර්තමානය මෙන් රේඩාර් තාක්ෂණය එවක භාවිත නොවීය. ක්ෂණිකව ගුවන් ගමන් මගෙහි ක්ෂණික කාලගුණික වෙනස්වීම් පිළිබඳව තොරතුරු යාවත්කාලීන නොවීය. එමෙන්ම තාක්ෂණික අතින් දියුණු වූ රේඩාර් දර්ශන තිර නියමු කුටීයේ නොවීය. නමුත් නියමුවන් තම අත්දැකීම් හා විවිධ සිතියම් මෙන්ම මං සලකුණු ඔස්සේ තම අත්දැකීම් හා පරිණත බව උපයෝගී කරගනිමින් ගමනාන්ත නිවැරදිව සොයා ගත්හ.
ඒඩ්න් වෙත ආසන්න වී එම අභියෝගාත්මක ගමන් ඛණ්ඩය ද නිම කළ නියමුවන් සාර්ථකව සිය යානාව ගොඩබැස්වූ හ. සැලසුමට අනුව ගුවන් ගමනේ දෙවන රාත්‍රී නැවතුම සඳහා කාර්යමණ්ඩලයට සහ මගීන් හට යාබද හෝටලයක් වෙන්වී තිබිණ.
පසුදා උදෑසන පිරිසගේ අරමුණ සිය අවසන් ගමන් ඛණ්ඩය ලෙස සෞදියේ ජෙඩා වෙත පියාසර කිරීම ය. රතු මුහුදට ඉහළින් ගිය නාවික සැතපුම් 627 ක් වූ ගමන ඔවුනට පියකරු එකක් වන්නට ඇත. එමෙන්ම එම ගමන පෙර දින ලැබූ කටුක අත්දැකීම් වලට හාත්පසින් වෙනස් වූවක් ද වන්නට ඇති බව නොඅනුමානය. ඓතිහාසික ගුවන් ගමනක ඇරඹුමෙහි මංගල පියවර ගුවන් නියමුවන් නිම කළේ ජෙඩා ගුවන්තොටුපල වෙත නිරුපද්‍රිතව ගොඩ බසිමිනි.
මගීන් 21 දෙනා වෙත සමුදුන් ගුවන් කාර්යමණ්ඩලයේ අරමුණ ආපසු රත්මලාන වෙත පැමිණීම විය. එදිනම ජෙඩා ගුවන්තොටුපලින් පිටත් වූ යානාව ඒඩ්න් වෙත ආපසු ගොඩබස්වනු ලැබූවේ ඉදිරි ගමනට අවැසි ඉන්ධන ලබාගැනීමට මෙන්ම කාර්යමණ්ඩල විවේක ගැන්වීමක් වෙනුවෙන් වූ රාත්‍රී නැවතුමකට ය. එය ගමන් සැලසුමෙහි තෙවන සහ අවසන් රාත්‍රී නැවතුම ද විය.
යානාවේ කිසිදු මගියෙකු හෝ අයබඩු නොවූ හෙයින් ආපසු ගමන සැලසුම් කර තිබූයේ සලාල මගහරිමින්, ඇඩීන් සිට සෘජුවම කරච්චි දක්වා පියාසර කිරීමට ය. පසුදා සැලසුමට අනුව මුම්බාය හරහා ඉන්ධන ලබාගෙන රත්මලානට පැමිණියේ සැලසුමේ සිවුවන සහ අවසාන දිනය ලෙසිනි. සතියකට පමණ පසුව යළිත් වරක් ජෙඩා වෙත එයාර් සිලෝන් සමාගමට අයත් DC-3 ඩැකෝටා මාදිලියේ යානාවක් රත්මලානෙන් පිටත් කර යවනු ලැබූයේ ඉහත වන්දනාකරුවන් පිරිස සිය මව්බිම වෙත ආපසු රැගෙන ඒමේ අරමුණිනි. එම ගුවන් ගමනෙහි ගමන් මග, නැවතුම් ස්ථාන, ඉන්ධන ලබාගැනීම මෙන්ම රාත්‍රී නැවතුම් ද පෙර ගුවන් ගමන අනුවම විය.
මෙම ඉතිහාසගත ජෙඩා ගුවන් ගමනට සහභාගී වූ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාවම, මා බොහෝ කලක් සිට පෞද්ගලිකවම දැන සිටිය අය ය. කපිතාන් පීටර් ප්‍රනාන්දු පිදිංචිව සිටියේ මොරටුවේ උයන ගමේ සාන්ත ජුසේ මුණිදුන්ගේ දෙව් මැදුර අසල ය. ඔහු තමා සතු කළු සහ කහ පැහැති මෝටර් රථය පදවාගෙන ගිය අන්දම මට අද මෙන් මතකය. දෙවැනි ලෝක යුද සමයේ රාජකීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා පැදවූ කපිතාන් එමිල් ජයවර්ධන, මා උපන් දා සිට, ඔහු මෙලොව හැරයන තෙක් මා ඉතාම හොඳින් දැන සිටි ඔහු මාගේ ආදරණීය පියා ය.
මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා ගුවන් ගමන් ඉතිහාසයට නොමැකෙන සටහන් තැබූ අයවලුන් ය.
ලයනල් සිරිමාන්න රේඩියෝ නිලධාරිවරයා මේ වන විට වයස 101 සම්පූරණ කොට තම නිවසේ භූමියෙහි අත් යන්ත්‍රයකින් තණකොල කපනු කෙනකුට දැකගත හැකිය. ඔහු තම වාහනය පදවාගෙන වෙළඳ පොල වෙත නිතර යන එන්නෙකි. මොහුව මුහුණු පොතෙන් ඔබට හමුවිය හැකිය. මේ ලිපිය සකස් කිරීමේ දී ද ඔහු මා හට ලබාදුන් අතිමහත් සහාය මා ඉතා අගය කොට සලකමි. මෙම ගමනට ඉංජිනේරුමය ජවය දුන් ජී. වී. පෙරේරා ජ්‍යෙෂ්ඨ ගගන ඉංජිනේරුවරයා ද සිය දිවියට සමුදී ඇත. සුවිශේෂී හැකියාවන්ගෙන් අනූන වූ ඔහුට ගුවන් නියමු බලපතක් තිබීම ද විශේෂත්වයකි. එයාර් සිලෝන් ගුවන් සේවය විසින් මේ වකවානුවේ භාවිතා කළ DC-3 ඩැකෝටා වර්ගයේ ගුවන් යානා දෙකක් අදටත් ඔබ හට ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කෞතුකාගාරයේ ඉතා ආඩම්බර ලීලාවෙන් සිටිනු දැකගත හැකිය. අහස් යානා සහ ගුවන් නියමුවන් අගය කරන කාගේත් ගෞරවය මේ මේ ජෙඩා ගමනට සහභාගී වූ කාර්යමණ්ඩලයේ සැමට හිමිවනු ඇති බව නොඅනුමානය.
එල්මෝ ජයවර්ධන කපිතාන්වරයා යළිත් සිය මතකයන් ආවර්ජනය කළේ එලෙසිනි.
ෙම් ලිපිය සැකසෙන්නේ මෙරට සිටින කීර්තිමත් ගුවන් නියමුවකු මෙන්ම කෘතහස්ත ගුවන්සේවා විචාරකයකු සහ ගුවන්සේවා රචකයකු වන එල්මෝ ජයවර්ධන කපිතාන්වරයා විසින් ඉංග්‍රීසි බසින් පළ කරන ලද පුවත්පත් ලිපියක් ඇසුරෙනි.
විශේෂ ස්තුතිය - ඩන්කන් ජයවර්ධන