ඒකීය මත­වා­ද­යක් නැත්නම් නිද­හස් නෑ | සිළුමිණ

ඒකීය මත­වා­ද­යක් නැත්නම් නිද­හස් නෑ

2021 පෙබරවාරි 04 වැනිදාට ශ්‍රී ලංකාව ධවල අධිරාජ්‍යයෙන් නිදහස ලබා වසර 73ක් සපිරේ. 1948 අප ලැබූ නිදහසේ ඇති වටිනාකම හා එහි වැදගත්කම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහයන් සමඟ කළ සාකචිඡාවකින් සැකසුණකි.

සෑම වසරකම පෙබරවාරි 04 වැනිදා රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ මාධ්‍ය මඟින් ශ්‍රී ලාංකේය ජනතාව නිදහස පිළිබඳව නැවත නැවත සිතන්නට පෙලඹී සිටිති. මේ ඓතිහාසික ක්‍රියාවලිය අපට අර්ථවත් වන්නේ කෙසේද යන්න විමසා බැලීමේදී වසර දහස් ගණනක් තිස්සේ ස්වෛරී ජන ප්‍රජාවක් ලෙස පැවති රාජ්‍යයක්, වර්ෂ1505ද සිට පැමිණි පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි ආදී යුරෝපීයන් විසින් ක්‍රමානුකූලව අත්පත් කරගෙන අවසානයේ මුළුමනින්ම ඔවුන්ගේ ආධිපත්‍යට නතු කර ගත්තේය.

 

මෙනිසා එතෙක් ගොඩනඟාගෙන පැමිණි ස්වෛරි රාජ්‍ය අපට අහිමි විය. විශේෂයෙන් ප්‍රාදේශීය ජනතාව විසින් තමන්ට අවැසි ආකාරයට සකස් කොට ගෙන ගිය සමාජ ආර්ථික දේශපාලන වටපිටාව සහ ඒ තුළ භුක්ති විඳි නිදහස අහිමි වූ අතර, මෙරට නිදහස අහිමි වීමේ ඓතිහාසික අවස්ථාව ලෙස එය සලකුණු විය.

යුරෝපයේ නැඟී සිටිමත් සමඟ සමස්ත ලෝකය පුරාම රටවල් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන්නේය. විශේෂයෙන් ම කාර්මික විප්ලවය සමඟ ඇති වූ සංවර්ධනයත් සමඟ විදේශීය වෙළෙඳ පොළවල්වල අවශ්‍යතාව ඔවුන්ට තදින්ම දැනෙන්නට විය. එසේම විදේශීය රටවලින් තම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම ද අවැසි විය. මේ සඳහා සැලසුම් සහගත ව්‍යාපාරයක් දියත් වූ අතර, එම ක්‍රියාවලිය හැඳින්වූයේ දේශ ගවේෂණය ලෙසය. ලෝකයේ බොහෝ රටවලට නිදහස අහිමිව ගියේ මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙමඟින් ඇති කළ ආර්ථික සමාජ දේශපාලන බලපෑම හේතුවෙන් ලෝක ආර්ථික ක්‍රියාදාමයේ කොටසක් බවට අප වැනි බොහෝ රටවල් පත් විය. ඒ අනුව යුරෝපීය ජාතීන් ගේ දේශ ගවේෂණ ක්‍රියාවලිය ඔස්සේ එතෙක් හුදෙකලාව පැවති ප්‍රාදේශීය, කලාපීය ජාතික ඉතිහාස ලෝක ඉතිහාසයක් බවට පරිවර්තනය වූ අතර, මුළුමහත් පෘථිවියේම ආර්ථික සමාජ දේශපාලන ක්‍රියාවලිය කේන්ද්‍රය හා පරිවාරය ලෙස බෙඳී වෙන් විය. යුරෝපීයන් කේන්ද්‍රීය රටවල් බවට පත් වූ අතර අප රට හා අනෙකුත් බොහෝ රටවල් පරිවාරයේ රටවල් බවට පත් විය.

ඒ අනුව වසර 400ක පමණ කාලයක සිට ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව ආදී බොහෝ රටවල ආර්ථික සමාජ දේශපාලන හා සංස්කෘතික ආධිපත්‍ය ඔවුන් විසින් පවත්වාගෙන ගියේය. එය ලෝක ඉතිහාසයේ හැඳින්වෙන්නේ අධිරාජ්‍යවාදී යටත් විජිත පද්ධතිය ලෙසය.

වර්ෂ 1919 පමණ වන විට සමස්ත ලෝක භූමි ප්‍රමාණයෙන් 75%ට ආසන්න ප්‍රමාණයක් එසේම ලෝක ජනගහනයෙන් 72% ක් පමණ පාලනය වූයේ මෙකී අධිරාජ්‍යවාදී පාලනයක් යටතේය. නමුත් 1980 පමණ වන විට කෙමෙන් මේ චිත්‍රය වෙනස් වීමට පටන් ගත්තේය. අධිරාජ්‍යවාදී පාලනයට නතු වූයේ ලෝක භූමි ප්‍රමාණයෙන් දශම 3%ක් සහ ලෝක ජනගහනයෙන් 2%ක් පමණ ය. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ යටත්විජිතවාදයට විරුද්ධව රටවල් තුළ මතු වූ අභ්‍යන්තර අරගලයය.

ස්වාධීනත්වය, දේශීයත්වය, ජාතිකත්වය සහ සංස්කෘතික සීමාවන් උල්ලංඝනය වන විට ඔවුන් අවිධිමත් ව හා විධිමත්ව තම අයිතීන් නැවත දිනා ගැනීම වෙනුවෙන් අරගල කළේය. එවැන් අවස්ථාවක් ලෙස 1818 දී මෙරට ඇති වූ ඌව වෙල්ලස්ස කැරැල්ල හැඳින්විය හැකිය. මෙලෙස බොහෝ රටවල කැරලි ඇති විය. එහෙත් 20 වැනි ශතවර්ෂය දක්වාම මේවා විවිධාකාරයෙන් මර්දනය කරමින් තම පාලන ක්‍රමය ක්‍රමානුකූලව තහවුරු කර ගනිමින් පවත්වාගෙන යෑමට යුරෝපීයන් කටයුතු කළේය.

එහෙත් 20 වැනි ශතවර්ෂයේ ආරම්භයත් සමඟ මේ තත්ත්වය වෙනස් විය. 1917 දී එතෙක් රුසියාවේ පැවති ඒකාධිපති සාර් පාලනය බිඳ දමා සමාජවාදී ආර්ථික දේශපාලන මාවතකට රුසියාව ප්‍රවිෂ්ට විය. මෙය රුසියානු විප්ලවය ලෙස හැඳින්වේ. සොවියට දේශය ලෙස යුරෝපීය අධිරාජ්‍යවාදී පද්ධතියෙන් එරට වෙන් ව, ස්වාධීන ස්වෛරී රාජ්‍යක් බවට පත් විය. මේ පූර්වාදර්ශය ලොව අනෙකුත් රටවල ජාතික සටන්වලටද මහත් ආස්වාදයක් මෙන්ම නව ජවයක් එක්කළේය. ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකානු රටවල් ඒ අනුව යමින් නැඟී සිටින්නට පටන් ගත්තේය. රුසියානු විප්ලවය ඉතා තදින් ම බල පෑ රටවල් වූයේ චීන සහ ඉන්දියාවයි. චීන සහ ඉන්දියානු ජාතික විමුක්ති ව්‍යාපාරවලට ජව සම්පන්නව ඉදිරියට යෑමට මෙය මහත් සේ බලපෑවේය.

ඉන්දියාවේ ජාතික නිදහස් සටනේ පිබිදීම අප රටටත් දැනෙන්නට පටන් ගත්තේය. අභ්‍යන්තරිකව තැනින් තැන කඩින් කඩ පැවති සටන් ක්‍රමානුකූලව විධිමත් සටන් බවට පරිවර්තනය විය. ඒ අනුව 1940 පමණ වන විට යටත් විජිත අධිරාජ්‍යවාදී පද්ධතිය දෙදරුම් කෑමට ලක්වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1947 දී ඉන්දියාවටත් 1948 දී අප රටටත් නිදහස හිමි විය. 1968 පමණ වන විට මුළුමහත් ලෝකයම අධිරාජ්‍යවාදයෙන් නිදහස් විය. නිදහස ලැබීමත් සමඟම මෙම රටවල් මුහුණ පෑ ප්‍රධානතම ගැටලුව වූයේ තම රටට ගැළපෙන ආර්ථික සමජ දේශපාලන සංස්කෘතික ව්‍යූහය කුමක් ද? යන්නය. එම රටවල් විවිධාකාරයෙන් මෙකී අභියෝගයට මුහුණ දුන් අතර, පශ්චාත් නිදහස් ඉතිහාසය ලෙස අප අද කතා කරන්නේ එයයි.

වසර 450ක පමණ කාලයක් යටත් විජිත බලපෑම්වලට ලක්ව ආර්ථික සමාජ දේශපාලන ව්‍යූහ වෙනස් වී පැවතීම හේතුවෙන් මෙකී ගැටලුව ඒ ආකාරයෙන්ම අප රටේ ද මතු විය. මින් රටේ ඉතිහාසය, ආර්ථිකය, සමජය සහ දේශපාලන ව්‍යූහ පමණක් නොව සංස්කෘතිය ද වෙනස් වී පැවතියේය. ඔවුන් විසින් බෙදා වෙන් කර පාලනය කිරීම මඟින් බෙදුම්වාදී ආකල්ප ද නිදහස සමඟ අප රටට උරුම විය. නිදහස් සටනේදී සියලු ජාතීන් එකාවන්ව සිය ජීවිත කැප කරමින් නිදහස් අරගලය ජය ගැනීමට කටයුතු කළ බව අපට අමතක විය. නිදහස සමඟ නැඟී ආ දේශපාලන සංස්කෘතික ප්‍රබෝධය නිසා ඊට අනුරූපව නව දේශපාලන ප්‍රවණතා රට තුළ නිර්මාණය විය. එසේම නව ආර්ථික සමාජ දේශපාලන හා සංස්කෘතික කතිකා වර්ධනය විය. මෙහිදී මතුව ආ ප්‍රධාන ගැටලු තුන වූයේ තමන්ට ගැළපෙන රාජ්‍ය ව්‍යූහය කුමක් ද?, ගැළපෙන ආර්ථික ක්‍රමය කුමක්ද? සහ ගැළපෙන නිවැරදි ජාතික මතවාදය කුමක්ද යන්නය.

ඒ අනුව අපට ගැළපෙන රාජ්‍ය පාලන ක්‍රමයක් සකස් කර ගැනීම උදෙසා ප්‍රධාන ජනවර්ග තුන ඇතුළුව අනෙකුත් ජනවර්ග සමඟ එ්කීය රාජ්‍යයක් තුළ එක්සිත්ව එකාවන්ව සංවිධානය විය යුතු විය. නමුත් නිදහසින් පසු මෙම ගැටලුව සාර්ථකව විසඳා ගැනීමට අපට නොහැකි විය. විවිධාකාරයේ වාර්ගික ගැටුම් රට තුළ උත්සන්න වූ අතර, වසර 30ක් පුරා පවතින යුද්ධයකට මුහුණ දීමටද අපට සිදු විය. අනෙක් අතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 20 වතාවක් සංශෝධනය වී 21 වන වරටත් එය සංශෝධනය වීමට නියමිතය. මින් පෙනී යන්නේ නිදහස ලබා වසර 73ක් ගෙවුන ද තවමත් අපට ගැළපෙන පාලන ආකෘතිය නැති නම් මාදිලිය කුමක්ද යන්න ගැටලුවක්ව පවතින බවය. ඒ පිළිබඳ පර්යාවලොකයකින් බලන්නේ නම් 21 වන ශතවර්ෂයට මුහුණ දීම සඳහා බහුවාර්ගික, බහු ආගමික බහු සංස්කෘතික රටකට ගැළපෙන පාලන ව්‍යූහය කුමක් ද යන්න පිළිබඳව නැවත සිතා බැලීමට අපට සිදුව තිබේ.

අපට ගැළපෙන සමාජ ආර්ථික සංවර්ධන මාදිලිය කුමක්ද? යන්න විමසා බැලීමේදී නිදහසින් පසුව අප කරපින්නා ගත්තේ යටත්විජිත උරුමයෙන් ලද ධනවාදී ආර්ථික මොඩලය වූ ආනයන අපනයන ආර්ථිකයයි. අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ සමාජවාදී නැඹුරුවකින් යුතු ආර්ථික ක්‍රමයක් හඳුන්වා දුන් අතර, පසුව ලිබරල් ධනේශ්වරයට මුහුණ දිය හැකි විවෘත්ත ආර්ථිකය මොඩලය ජේ.ආර් ජයවර්ධන පාලනය විසින් හඳුන්වා දුන්නේය. එය ආර්ථික රකුසකු බව පැවසූ ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊට මනුෂික මුහුණුවරක් දීමට උත්සාහ කළාය. නමුත් ඒ එකක්වත් සාර්ථක නොවීය. ඇත්තෙන්ම පසුගිය වසර 73 තුළ දියුණු වී ඇත්තේ අප නොව බටහිර ට්‍රාන්ස් නැෂනල් බැංකු පද්ධතිය සහ බටහිර සමාගම්ය. වර්තමානයේ ජාතික ආර්ථික මොඩලයක් පිළිබඳව සාකච්ඡාව ඉදිරියට පැමිණ තිබේ. එය ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බව සඳහන්ය. ජනතා කෙන්ද්‍රීය ආර්ථිකය නම් එය මූලිකවම ජනතාවගේ අවශ්‍යතා හා සක්‍යතා ස්පර්ශ කරන එකක් විය යුතුුය.

නූතනයේ ආර්ථිකය යනු හුදු භාණ්ඩ හා සේවා පමණක් නොව ඉන් එහා ගිය සංස්කෘතික මාදිලියකි. අප රටේ ගම හා නගරය අතර මෙකී සංස්කෘතික මාදිලිය පිළිබඳ ලොකු විෂමතාවයක් පවතී. එනිසා නව ගෝලීය ආර්ථිකයට ගැළපෙන ආකාරයට අපට ඇති හැකියාවන් සහ අවස්ථා හඳුනා ගෙනකටයුතු කළ යුතුය.

මෙරට තුළ ඇත්තේ බහු ව්‍යුහීය ආර්ථිකයකි. එනම් ඉතාම නොදියුණු වැඩවසම් ආර්ථික මට්ටමේ සිට දියුණු තාක්ෂණය සමඟ බද්ධ වූ ආර්ථික ව්‍යූහයකි. උදාහරණ ලෙස කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහ පරිමාණ කර්මාන්තශාලා, සමාගම්, කෘෂිකර්මාන්තය,ධීවර කර්මාන්තය, වෙනත් කාර්මික සහ සේවා ආදී බහු ආංශික සහ බහු ව්‍යූහයන්ය. මේ සියල්ලක්ම ඒකීය ආර්ථිකයක් තුළට ගෙන ඒකීය ජාතික ආර්ථික සංකීර්ණයක් ගොඩනගා ගත යුතුය. එවිට කුමන සම්බාධක පැනවුවද, බලපෑම් එල්ල වුවද රට තුළ ආර්ථිකය නොවෙනස්ව පවත්වාගෙන යා හැකිය. එවැනි ආර්ථිකයක් වර්ධනය කළහොත් අපට කොරෝනා තත්ත්වය වැනි ඕනෑම ලෝක අර්බුද තත්ත්වයකට මුහුණ දිය හැකිය.

තුන්වන ගැටලුව වන්නේ අපට නිවැරදි ජාතික මතවාදයක් නොවීමයි. අප තවමත් සිතන්නේ මම ශ්‍රී ලංකිකයෙක් කියා නොව, මම සිංහලයෙක්, මම දෙමළෙක්, මම මුසල්මානුවෙක්, ආදී වශයෙනි. නමුත් ඉන්දියානුවෙක්, ජපන් ජාතිකයෙක්, චීන ජාතිකයෙක් එසේ නොසිතති. අපට එම රටවල් මෙන් ජාතික රාජ්‍යයක් ගොඩ නැඟීමට නොහැකි වූ නිසාම පුරවැසියා තවම සිටින්නේ වාර්ගික මතවාදයක් තුළය. ඔහු කිසියම් ජාතියකට සීමා වී පවතිනු විනා සියලු දෙනා එක්ව එක රටක් එක ජාතියක් ලෙස නැඟී සිටීමට නොසිතති. ඇත්තෙන්ම ඔහු හෝ ඇය කල්පනා කළ යුත්තේ ජාතික රාජ්‍යයක පුරවැසියකු ලෙසය. මේ ආකල්පය ගොඩනැඟීමට එක රටක්, එක දෘෂ්ටිවාදයක්, එක අධ්‍යාපනයක්, සහ එක ශික්ෂණ මාදිලියක් තිබීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා අධ්‍යාපනය, ශික්ෂණය, ජාතික මතවාදය සහ කලා නිර්මාණ මේ ආදී සියල්ලක්ම වහල් කොටගත් පොදු වැඩ පිළිවෙළකට ගමන් කළ යුතුය. එදා අප සමඟ මේ තත්ත්වයේ සිටි බොහෝ රටවල් මේ අර්බුදය ඉතා හොඳින් ජය ගත්තේය. ඉන්දියාව, චීනය,ජපානය ආදී රටවල් අද වේගයෙන් ඉදිරියට පැමිණ ඇත්තේ මෙනිසාය. ඔවුන් ලොව ඕනෑම අර්බුදයකට මුහුණ දිය හැකි ආකාරයට රට දියුණුව කරා ගෙනගොස් ඇත. මේ සඳහා ඒ රටේ නායකයන් බුද්ධිමතුන් හා පුරවැසියන් කවරාකාරයේ භූමිකාවක් ඉටු කළේද? යන්න අප විමසා බැලිය යුතුය. ඔවුන් තමන් මුහුණ පෑ ලෝක තත්ත්වයන් හමුවේ සිය භූමිකා කවරාකාරයෙන් යොදා ගත්තේද? කළමනාකරණය කළේද යන්න විමසා බැලිය යුතුය.

එනිසා නිදහස ලබා ගැනීමේ අර්ථය තවම නිසි ලෙස අර්ථවත් කර ගැනීමට අපට නොහැකි වී ඇත. මේ වන විට ලෝක තත්ත්වය අතිශයින්ම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. ජාතික රාජ්‍ය දියකර පාරජාතික සමාගම් ඉදිරියට එමින් තිබේ. මීට මුහුණ දීම සඳහා බෙදී වෙන් වී කටයුතු කරනු වෙනුවට එකාවන්ව එක් සිත්ව රට ගොඩනැඟීම උදෙසා පෙරට ආ යුතුය. ඒ සඳහා නවමු ප්‍රවේශයකින් නව කතිතාවක් ආරම්භ කළ යුතුය. එසේ නොකට තව කොපමණ නිදහස් දින සැමරුව ද නිදහස් නිවහල් ස්වෛරී ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ නැඟී සිටීම අපට සිහිනයක් ම වනු ඇත.

Comments