ඒ අරුන්ගේ එකා ! මේ අපේ එකා! | Page 4 | සිළුමිණ

ඒ අරුන්ගේ එකා ! මේ අපේ එකා!

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින කවර රටක වුවද පැවතිය යුත්තේ එක නීතියකි. එසේම එම නීති පද්ධතිය කාටත් සමාන විය යුතුය. ඒ අනුව එක් පාර්ශ්වයකට එක නීතියක්වත් තවත් පාර්ශ්වයකට ඊට වඩා හාත්පසින්ම වෙනත් නීතියක්වත් තිබිය නොහැකිය. නීතියේ සමානත්වය වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා තහවුරුව තිබෙන බව ප්‍රකට කරුණකි. රටේ පවතින නීතිය එසේ වුවද එය නොනිල වශයෙන් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අයුරකිනි.

ඒ සඳහා හොඳම උදාහරණයක් ඉකුත් සතියේ විද්‍යුත් මාධ්‍යයෙන් අපුරුවට පෙන්නුම් කෙරුණේය. එනම් විවිධ අපරාධ සහ වෙනත් නීති විරෝධී ක්‍රියාවන් සිදු කළ බවට චෝදනා ලැබ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් බන්ධනාගාරය තුළ මත්පැන් සාද පවත්වමින් සිටින අයුරු දැක්වෙන රූපරාමු පෙළකි. එම රූපරාමු පෙළත් සමඟ අසන්නට ලැබුණු පසුබිම කථනයෙන් කියැවුණු අන්දමට එම රැඳවියන් පිරිස එලෙස සාද පවත්වා ඇත්තේ එකී බන්ධනාගාරයේ උසස් නිලධාරියකුගේ කාරුණික අනුග්‍රහයෙනි.

එකී රැඳවියන් පිරිසට මීගමුව බන්ධනාගාරයේ ප්‍රධානීන්ගේ ලැබුණ කාරුණික අනුග්‍රහය කොපමණදැයි කිවහොත් තමන්ගේ දාහය නිවා ගැනීම සඳහා අවශ්‍ය විදුලි පංකා, ශීතකරණ පමණක් නොව තමන්ට සිතැඟි පරිදි ආහාර පාන , කට ගැසුම් වැනි දෑ පිළියෙල කර ගැනීම සඳහා යොදා ගැනෙන ගෑස්කුකර්, බ්ලෙන්ඩර් සහ ටෝස්ටර් ආදිය නිර්ලෝභිව සපයා තිබුණේය. මෙරට පවතින බන්ධනාගාර නීතියට අනුව කිසිදු මත් පැන් වර්ගයක් සිපිරි ගෙය තුළට ගෙනයාම සපුරා තහනම්ය. එහෙත් විද්‍යුත් මාධ්‍යයන් විකාශය වූ අදාළ රූපරාමු අතර තිබූ මත්පැන් බෝතල් මෙන්ම එම සිරමැදිරිය තුළදීම සකස් කර ගන්නට ඇතැයි සැලකෙන කටගැසුම් වර්ගද පැහැදිලිවම පෙනෙන්නට තිබුණේය.

එම රූපරාමු පෙළ දුටු අපගේ සිතට නැඟුණේ මෙරට පිහිටි හැම බන්ධනාගාරයකම තත්ත්වය මීට සමානදැයි යන ප්‍රශ්නය යි. එහෙත් සිදුවී ඇති බවට අසන්නට නොලැබේ.

ඇතැම් විට එම ක්‍රියාවලිය සඳහා රුපියල් ගණනක මිලක් ගෙවීමට බන්ධනාගාර රැඳවියන් පිරිසකට සිදුවූවා විය හැකි ය. කෙසේ වෙතත් වටින් ගොඩින් ආරංචි ලැබෙන අන්දමට එකී පාලකයාගේ අවිචාරවත් පාලනය යටතේ මීගමුව බන්ධනාගාරය තුළ මීට පෙරද මෙවැනි සිදුවීම් කොතෙකුත් ප්‍රතිරූපණය වී තිබේ. ලොක්කන් පමණක් නොව ඊට පහළින් සිටින සොක්කන්ද එම අසාමාන්‍ය ක්‍රියාවලියට හවුල් වී ඇති බව නොරහසකි.

ඒ සඳහා මුල්වී තිබෙන ප්‍රධාන සාධකය වී ඇත්තේ මුදල් විය හැකිය. නොමසුරුව පිළිගැන්වෙන රුපියල් ලක්ෂ ගණනක්වූ මුදල් බණ්ඩලයකට හෝ රහමෙර ඇතුළු රස මසවුලෙන් සපිරි දොළ පිදේනියකට බන්ධනාගාර නීතිය මෙලෙස කණපිට හරවා ගත හැකි නම් එමගින් ගම්‍ය වන යථාර්ථය අතිශයින් කනගාටුදායකය.

දිගු කාලීන සිර දඬුවම් විඳිමින් සිටින ඇතැම් සුපිරි සිරකරුවන් රාත්‍රී කාලයේ අගනා ඇඳුම් ආයිත්තම් වලින් සැරසී බන්ධනාගාර රටවලින්ම තම නිවෙස්වලට හෝ රාත්‍රී සමාජශාලා වලට ගොස් රැයපුරා විනෝදයෙන් ගතකර උදෑසනම යළි බන්ධනාගාරය වෙත පැමි­‌ෙණතැයි කියන පුවතකට කලකට ඉහත තටු ලැබී තිබුණෝය.

එම සිද්ධිය සත්‍යයක් නම් එකී සුපිරි සිරකරුවන්ට මනුෂ්‍ය ඝාතන පවා සිදු කර නීතියෙන් ගැලවී සිටීමට පහසුවෙන්ම ඉඩ තිබුණ බව නොරහසකි. කෙසේ වෙතත් මෙවැනි අමනෝඥ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ මුදල් බලයට හෝ දේශපාලන බලයට රටේ පොදු නීතිය නැවීමට තිබූ සහ තිබෙන ඉඩ ප්‍රස්ථාවයි. එසේම මෙවැනි දෑ ශිෂ්ටසම්පන්න සමාජයක සිදු නොවිය යුතු ක්‍රියාවන්ය.

එසේම මේ සියලු නොපහත්කම් සිදුවී ඇත්තේ ඉකුත් යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී යැයි කියමින් වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන්ටද පහසුවෙන් අතපිස දමාගත නොහැක. අප එසේ කියන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව වුවද සිදුවී තිබෙන ඇතැම් අමනෝඥ ක්‍රියාවන් ගැන කොතෙකුත් අසන්නට ලැබී ඇති බැවිනි. ඇතැම් විට එවැනි නොපහත්කම් වලට සම්බන්ධ වී ඇත්තේ රජයේ ප්‍රබලයන් නොවිය හැකිය. අඩුම වශයෙන් ඔවුන් එක් වචනයකින් හෝ අනුබලයක් නොදුන්නා වීමටද පුළුවන . එසේ වුවද අද රටපුරාම ක්‍රියාත්මක වන්නේ පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් නිසා තම ගෝලබාලයන් නිසි පරිදි මෙච්චල් කර ගැනීම ආණ්ඩුවේ ප්‍රබලයන් සතු වගකීමකි.

වගකිව යුතු ආණ්ඩුවක් සතු කාර්යභාර්ය විය යුත්තේ රටේ පොදු නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත්වීමය. එම ක්‍රියාවේදී ඒ අරුන්ගේ එකා හෝ මේ අපේ එකා යැයි කියමින් පක්ෂග්‍රාහිව කටයුතු කිරීමට වගකීමක් සහිත කිසිදු ආණ්ඩුවකට නොපුළුවන. යම් ආණ්ඩුවක් එලෙස පක්ෂග්‍රාහිව කටයුතු කිරීම යනු එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවන්ට අනුව රටේ පොදු නීතිය නැවීමක් වේ.

එහෙයින් වත්මන් පොදුජන පෙරමුණ ආණ්ඩුව විසින් සිදු කළ යුත්තේ තම ගෝලබාලයන් හට රටේ පොදු නීතිය තමන්ට අවශ්‍ය පරිදි නවා ගැනීමට ඉඩ සැලසීම නොව ස්වාධිප්‍යය සුරක්ෂිත කරවීමය. වත්මන් ආණ්ඩුවට ඒ සදහා අවශ්‍ය හැකියාව ඉහටත් උඩින් තිබෙන බව අපගේ විශ්වාසයයි. අවශ්‍ය වන්නේ උනන්දුව සහ ක්‍රියාත්මක වීම පමණී.

 

Comments