කොබෙ­යි­ගනේ සුරූ­පි­නි­යගේ රටක් තිගැස්සූ නඩු තීන්දුව | සිළුමිණ

කොබෙ­යි­ගනේ සුරූ­පි­නි­යගේ රටක් තිගැස්සූ නඩු තීන්දුව

නිලන්තිගේ මරණය වූ ස්ථානයේ කිසිදු සලකුණක් නොවූවද ඇට කටු කිහිපයක් හා සුදු සුරයක් හමුවිය. මෙහිදි විත්තියේ තර්කවලට පිළිතුරු දෙමින් රජයේ අධිනීතීඥ සරත් ජයමාන්නයන් කියා සිටියේ සුරය ඇයගේම බවත් මෙය බොරුවක් කිරීමට අවැසි වූයේ නම් ඊට ඇයගේ නම, වේලපත්කඩ තොරතුරුද සාවද්‍ය ලෙස ඇතුළත් කිරීමේ හැකියාව තිබූ බවකි. එසේම මෙහිදි හමු වූ ඇට කැබලි මහාචාර්ය ජීන් පෙරේරා අධ්‍යයනය කළ අතර මේවා වයස අවුරුදු 25 කට අඩු කාන්තාවකගේ බව සනාථ විය.

ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න විසින් මෙහි පරිවේෂණාත්මක සාක්ෂි ගළපන්නට විය. පරිවේෂණාත්මක සාක්ෂියේදි ඝාතන වේලාව ඉතා වැදගත් විය. සාක්ෂිකරු කිවේ නිලන්තිගේ ඝාතන වේලාව රාත්‍රි 8 බවය. ඝාතන ස්ථානයට හැතැප්ම කාලකට එහායින් පදිංචි උපාසක ජෝඩුවකගේ ප්‍රකාශය මෙසේ විය. “ ඈතින් දැක්කා කිතගම හන්දිය පැත්තට වාහනයක් යනවා. ඉන්පසු එය නතර කළා. වෙඩි හඬක් ඇසුණා. ගින්දර පත්තු වෙනවා දැක්කා. වාහනය පණ ගන්වනවා ඇසුණා. ඒ එක්කම ලයිට් පත්තු වුණා. ඒ වාහනය පිටවෙලා ගියා. මේ වෙනකොට අපි බණ අහමින් හිටියේ . .....“ රූපවාහිනියක් නොතිබු එදා අද මෙන් විවිධ චැනල්වල බණ ගියේ නැත.

ගුවන් විදුලි සේවයෙන් බණ ඇසෙන්නේ සතියකට වතාවක් බඳදා දිනකය. මේ අනුව ඔක්තෝම්බර් මස අවසාන සතියේ බණ ප්‍රචාරය වී ඇත්තේ ඝාතනය වූ බඳාදා රාත්‍රි 8 ට පමණය. මේ පරිවේෂණාත්මක සාක්ෂායෙන් සනාථ කළ හැකි වූයේ සාක්ෂිකරු සිදුවීම වූ ස්ථානයේ සිටි බවකි. දෙවනුව මුරකරුගේ ප්‍රකාශය වැදගත් විය. ‘ වෑන් එකට ටයර් දැම්මා. රාත්‍රි 8.15 ට තමන්ට වෑන් එක නැවත ලැබුණා. සාක්ෂිකරුත් සැකකරුත් වෑන් එකේ සිටියා. කාන්තා කොණ්ඩා කටුවක් හමුවුණා...‘වශයෙනි.

මේ අතර විත්තිකරුට විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට අවස්ථාව දීම පැමිණිල්ලට වාසියට හේතු විය. “ මම ඒකාලේ OIC. මට මේ පළාතේ ලොකු බලයක් තිබුණා. එහෙව් මම කෙක්කෙන් පොල් කඩන මේ ඇත්තගේ දුවත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ගොඩ නඟයිද?මේක අමූලික බොරුවක්....“ OIC ගේ එම ප්‍රකාශයට රජයේ අධිනීතීඥ සරත් ජයමාන්න බිඳ දැමුවේ මේ අයුරිනි. “ අත් අකුරු පරික්ෂණ වලින් එය හොඳින්ම ගැළපුණා. තාත්තා දැක්කා දුව විත්තිකරු සමඟ තැන් තැන්වල යනවා. ඔබ නිලන්තිට පෙම් කළේ ඇය කෙක්කෙන් පොල් කඩන ඩිංගිරිගේ බව දැනගෙන. පසුව දරුවෙක් ලැබන්න ඉන්න බව දැන දැන ඇය මැරුවා. සාලිය අශෝකමාලා, රොමියෝ ජූලියට් වැනි සදාදර ප්‍රේමයන් ලොව තිබුණා. එසේනම් ඇයි ඔබට ඇයත් සමඟ යාළු වෙන්න බැරි...?“මෙහිදී සාක්ෂිකරු අපරාධයට සම්බන්ධ නොවූවකු බවත්, වසර එකහමාරක් පමණ ප්‍රමාද වූයේ ඔහුට කිරීමට කිසිත් නොවූ නිසා බවත් ඔප්පු විය.

සියල්ල අවසානයේ 1997 මාර්තු 10 වැනිදා මහාධිකරණයේදී විත්තිකරු වැරදිකරු කර මරණිය දඬුවම තීන්දු විය. තීන්දුවට විරුද්ධව අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු විය. මෙම නඩුව අභියාචනාධිකරණයේදි විභාග වෙද්දී විශේෂඥයකුගේ සාක්ෂි විශ්ලේෂණය කරන අන්දම වැදගත් පාඩමක් ගෙන දුනි. අභියාචානාධිකරණ විනිසුරු එෆ්.එන් ඩී ජයසූරිය හා පි.එච්.කේ කුලතිලක යන විනිසුරුවරු යටතේ මහාධිකරණ තීන්දුව යළි සලකා බැලෙන්නට විය. අදටත් මෙම අභියාචනාධිකරණ නඩු තීන්දුව නීති ක්ෂේත්‍රයේ කවුරුත් ගරු කරති.

ඒ පැමිණිල්ලක් කිරීම ප්‍රමාදවීමත්, එයට සාධාරණ හේතු දිය හැකි නම් පැමිණිල්ලේ සාක්ෂිය ප්‍රතික්ෂේප කළ යුතු නොවන වග, විශේෂඥ සාක්ෂි විශ්ලේෂණය කළ යුතු අන්දම පමණක් නොව මෙම අභියාචනාධිකරණ නඩු තීන්දුවේදි ඉතිහාසයේ ප්‍රථමවරට වැදගත් නීතිමය කරුණු රැසක් අර්ථ විග්‍රහ විය. ඒ ඉතිහාසයේ ප්‍රථම වරට නිලන්ති අවසන්වරට මවට පැවසු දේ මරණාසන්න ප්‍රකාශයක ලෙස තීන්දු කිරිමයි.

ඇයි ගියේ, කවුරු හමුවටද, ඇයි බඳින්නේ යන මේ සියල්ල මරණාසන්න ප්‍රකාශ ලෙස අධිකරණය තීන්දු කළේය. දෙවැනි නීතිමය කරුණ වන්නේ විත්තිකරු පැයක් තුළ විත්ති කුඩුවේ සිට කළ ප්‍රකාශය එනම් හිතාමතා බොරු කීම හා අපරාධමය වශයෙන් ගැලවීමට උත්සාහ කිරීම පැමිණිල්ලේ සාක්ෂියට වාසිදායක ලෙස ගත හැකි බවය. සියල්ල අවසානයේ අභියාචනාධිකරණයෙන්ද මරණ දඬුවම තීන්දු වූ අතර මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගියේ නැත .

පසු සටහන -මෙහි අවසානය සනිටුහන් වන්නේ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්නයන්ගේ වෘත්තීය දිවියේ අමකත නොවන අත්දැකීමක් සමඟය. ගමේ OIC ට විරුද්ධව නඩු කතා කර ජය ලැබීම ඩිංගිරියා තුළ ඇති වූයේ කිව නොහැකි සතුටකි. ඔහු වෙනුවෙන් කුරුණෑගලට පැමිණ නඩුව කතා කරන මේ මහතා හමුවීමේ උවමනාව ඩිංගිරියා තුළ විය. නිරන්තරයෙන් ඩිංගිරියා රජයේ අධිනීතීඥ නිල මැදිරිය වටේ කැරකෙන්නට වූයේ අවස්ථාවක් ලබා ගැනීමටය. සිය වෘත්තීය ආචාර ධර්මයන්ට අනුව එය කළ නොහැකි වුවත් සියලු කටයුතු අවසානයේ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නයන් හමු වීමට ඔහුට ඉඩ සැලසුණි. ඔහු අසලට ගිය ඩිංගිරියා සිය කමිස සාක්කුවෙන් ලියුම් කවරයක් අත් තබන්නට සුදානම් වූයේ කිසිදු මුදලක් නොගෙන සිය දියණියගේ මිනිමරුවා එල්ලුම් ගස් යැවූ මේ රජයේ අධිනීතීඥයාට සැලකීමේ අව්‍යාජ චේතනාවෙනි. එය ප්‍රතික්ෂේප කළ ද අදටත් සරත් ජයමාන්නයන්ගේ රාජකාරි දිවියේ මෙය නොමැකෙන අත්දැකීමකි.

 

Comments