
කොවිඩ් වසංගතයෙන් අනතුරුව රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ බස්නාහිර පළාතේ පාසල්, එළඹෙන මාර්තු මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පසුගිය දා විවෘත වූ අතර සිසුන්ගේ පැමිණීමෙහි සාධනීය තත්ත්වයක් සෑම අධ්‍යාපන කලාපයකින්ම වාර්තා වී තිවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවැසුවේය. සති ආරම්භයේදී පාසල් සිසුන්ගේ පැමිණීම සියයට 50 ඉක්ම වූයේ මිනුවන්ගොඩ,මීගමුව,කළුතර, මතුගම හා හෝමාගම යන අධ්‍යාපන කලාප පමණි. එයිනුත් වැඩිම සිසුන්ගේ පැමිණීමක් වාර්තා වූයේ මතුගම අධ්‍යාපන කලාපයේ වන අතර ඒ 65.08% කි.
කොවිඩ් වසංගතය දැඩි ව්‍යාප්තියක් ඇති කොළඹ නගර සිමාවේ සාමාන්‍ය පෙළ පාසල් සිසුන්ගේ පැමිණීම ඉතා අඩු අගයක් පෙන්නුම් කළ අතර, එය 26.81% කි. ශ්‍රී ජයවර්ධනපුර,ගම්පහ මෙන්ම පිළියන්දල හා හොරණ අධ්‍යාපන කලාපවලද අඩු සිසු පැමිණීමක් පෙන්නුම් විය. එසේ විවෘත වූයේ පාසල් 1356 ක් අතුරින් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සිදුකරන පාසල් 907 ක් පමණි.
මේ වන විට බස්නාහිර පළාත හැර ලංකාවේ සියලු පාසල් විවෘතව ඇති අතර බස්නාහිර පාසල් විවෘත කිරීම පිළිබඳ නිල සාකච්ඡා මේ වන විට පැවැත්වෙයි. කොවිඩ් වැඩිම තර්ජනයක් පවතින බස්නාහිර පළාතේ පාසල් අතරින් දැඩි අවදානමක් පවතින්නේ ගම්පහ,කොළඹ මෙන්ම කළුතර නගර සිමාවේ පවතින පාසල්වලට පමණි. ඊට අමතරව හොරණ අටලුගම, බේරුවල ආදි කලාපවලට ද මේ තර්ජනය පවතියි.
පාසල් දරුවන්ගේ පසුගිය වසරේ අධ්‍යාපන කටයුතු ගෙවුණේ කොවිඩ් වසංගතය හේතුවෙන් දුරස්ත අධ්‍යාපනය හරහා ඉගෙනිම් කටයුතු සිදු කරමිනි. නමුත් දුරස්ථ අධ්‍යාපනයේ පවතින අඩුපාඩු හා තාක්ෂණික දුර්වලතා හේතුවෙන් බොහෝ දෙනෙක් මේ ක්‍රමයේ සාර්ථකත්වයක් දුටුවේ නැත. මේ හේතුව නිසාවෙන් බස්නාහිර පළාත් පාසල් සෞඛ්‍යාරක්ෂිතව කෙසේ හෝ ආරම්භ කිරිමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයට විය.
මේ අනුව පෙබරවාරි මස 15 වැනිදා වන විට බස්නාහිර පළාත් පාසල් විවෘත කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳ අවසන් තීරණය 10 වැනිදා ගැනීමට නියමිතය.
“ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේම අධ්‍යාපන කලාප11ක්, කොට්ඨාස කාර්යාල 36 ක්, වගේම පාසල් 1356 ක් තියෙනවා. මේ පාසල් සියල්ලටම කොවිඩ් තර්ජනය එක හා සමාන නැහැ.
පසුගිය දිනවල සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් විවෘත වුණු පාසල්වල පැමිණීම සති අන්තය වන විට සියයට 67% යි. ගුරු පැමිණීම 90%කට ආසන්න වුණා. මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සෞඛ්‍ය, අධ්‍යාපන බලධාරීන් හා පාසල් ප්‍රධානීන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙනවා. මෙහිදි තීරණය කෙරෙනවා, ලබන15 වැනිදා වන විට කුමන පාසල් විවෘත කෙරෙනවාද යන්න පිළිබඳ.
එම පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය අනුමැතිය ලැබුණොත් මුළු පාසලම විවෘත කෙරෙනවා.
නමුත් කොවිඩ් තර්ජන දැඩිව පවතින පාසල් විවෘත කිරීම පසුව සිදුවන අතර සිසුන්ගේ පාසල් පැමිණෙන ක්‍රමය ගැනද මෙහිද සොයා බැලිය යුතු වෙනවා. මම යෝජනා කරන්නේ නැවතත් අපේ අතීතයේ පාසල් ගියා සේ පාපැදියෙන් ළඟම පාසලට යන්න පුළුවන් නම් එය මේ අවධියේ හොඳ විසඳුමක් වේවී....“ ඒ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරාය.
මේ වන විට බස්නාහිර පළාතේ ලබන මස වන විට විවෘත කිරිමට සුදුසු පාසල් පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් පවතින අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නොනිස් පැවැසුවේ මෙවන් අදහසකි.
“ සාමාන්‍ය පෙළට බස්නාහිර පාසල් විවෘත කිරීමේදි යම් යම් ගැටලු මතුවුණා. කොවිඩ් ආසාදනය වූ පාසල් ළමයි ගැන අසන්නට ලැබුණා. අපි ඉදිරියට මේ පාසල් ආරම්භ කරන්නෙත් සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි අවසරය ඇතිවයි.
විවෘත කිරීමට සුදුසු පාසල් පිළිබඳ ලේඛනය ප්‍රාදේශීය සංවර්ධන කමිටු මඟින් 3 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දෙනවා. අනුමැතිය ලබා දෙන පාසල් සම්පූර්ණයෙන්ම එකවර විවෘත කෙරෙනවා. ඒවා විවෘත කිරීම බොහෝ විට 15 වැනිදා වන විට සිදුවේවි.“ ඒ ශ්‍රීලාල් නෝනිස් ය.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට දරුවන්ගේ ප්‍රවාහන සේවා පිළිබඳවද අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇත.එහෙත් තවමත් අඩු සිසු ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් බොහෝ පාසල් වෑන් රථ ධාවනය වූයේ නැත.
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලිං පවසන්නේ මෙවන් අදහසකි.
“ මේ වන විට පාසල් සිසුන් ගණනාවක්ම කොවිඩ් රෝගයට ගොදුරු වෙලා. ගාල්ල පාසල් 26ක සිසුන් 43 දෙනෙකුට කොවිඩ් වැලඳිලා. බොස්කෝ විදුහල සිසුන් 9 දෙනෙකු ආසාදනය වීම නිසා පාසල වහලා. පස්සර මහා විදුහලේ සිසුන් 10 කට කොවිඩ්. මේ වන විට ගෙවී ගිය සති දෙකේ සිසුන් 70 ක් පමණ කොවිඩ් වසංගතයට ගොදුරු වුණා. ගුරුවරු බහුතරයකට ආසාදනය වුණා.
මේ නිසා පාසල් සුරක්ෂිතව විවෘත කරන්න නම් අපි කියා සිටින්නේ සමස්ත පාසල් සිසුන් අතරින් අහඹු ලෙස තෝරා ගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරන ලෙස. ඒ වගේම රජය විසින් සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ ළමයින්ට නොමිලයේ ලබා දිය යුතුයි.
එසේම දරුවකු රෝගියකු වුණොත් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ගැන රට දැනුම්වත් කළ යුතුයි. අපිට පේන්නේ රජය එන්නත් ගෙන්න දක්වන උනන්දුව පාසල් දරුවන් අසනීප වුවහොත් දක්වන්නේ නැහැ කියලයි. මේ නිසා පාසල් විවෘත කරන්න පෙර නිසි පිළිවෙළක් සැකසිය යුතු වෙනවා...“ ඒ ස්ටාලිං ය.
කෙසේ වෙතත් රටේ අනාගතය දරුවෝය. දරුවන්ට අධ්‍යාපනය මග හැරීමට නොදි සෞඛ්‍යාරක්ෂිතව පාසල් පරිසරයක් ගොඩ නඟාදීම සැමගේම වගකීමක් වන්නේය.
ඡායාරූප-සමන් ශ්‍රී වෙදගේ