
වත්මන් රජය අපරාධ මැඬලීමේලා ගෙනයන ස්ථිරසාර වැඩපිළිවෙළ නිසාවෙන් මේ වන විට බොහෝ අපරාධ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා 'තිත' තබා තිබේ. පොලිසිය සහ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේ සියලු ඒකක එක්ව ගෙන යන එම වැඩපිළිවෙළ නිසා බොහෝ අපරාධකරුවන්ද යනඑනමං නැතිව සැඟවුණු දිවියක් ගෙවමින් සිටී. නැතිනම් මුළුමනින්ම පාතාල ක්‍රියාවන්ගෙන් ඈත්ව සිටී.
එහෙත් පසුගිය 25 වැනිදා පෙරවරු දහයට පමණ නැවතත් ගිනි පත්තු වූයේ දෙනෝදාහක් බලා සිටියදියි. ඒ, පාණදුර උතුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදීයි. පසුගිය කාලයේ වූ ගිනිඅවි සෙල්ලම් නැවත පසක් කරමින් එලෙස කළු පැහැති මුහුණු ආවරණද යොදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක්ගෙන් අයෙක් ගිනිඅවියක්ද අතැතිව යතුරුපැදියෙන් බැසගොස් පුද්ගලයකුට වෙඩි ප්‍රහාරයක් එල්ලකොට සැමටම පෙනෙන්නේ ගිනිඅවියද මානාගෙන ත්‍රාසජනක චිත්‍රපට දසුන් පෙළක් මවමින් පලා යන ආකාරය අසල සීසීටීවී කැමරාවක් මනා ලෙස සටහන් වී තිබිණි.
එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ පාණදුර, වළාන, ගැමුණු මාවතේ පදිංචිව සිටි 32 හැවිරිදි ලක්ෂාන් සඳකැලුම් හෙවත් ලසාය. ධීවර රැකියාවේ නිරතව සිටි ලක්ෂාන් විවාහකයෙකි. ඔහුට වයස අවුරුදු නවයක පමණ දරුවෙක්ද වේ.
![]() |
ලක්ෂාන් සමඟ ත්‍රිරෝද රථයේ ගිය සෙසු දෙදෙනා |
ලක්ෂාන් එදින පෙරවරුවේ මිතුරකුට අයත් AAC 1767 දරන නිල් පැහැති ත්‍රිරෝද රථයෙන් තවත් මිතුරෙක් සමඟ මොරටුව ප්‍රදේශයට ගොස් නැවත පාණදුර දෙසට පරණ ගාලු පාර ඔස්සෙ ගමන් කරමින් සිටියේය. ඒ මොහොතේ පාණදුර උතුර පොලිස් වසමේ පල්ලෙමුල්ල ප්‍රදේශයේ වෙළෙඳසලක් අසල ත්‍රිරෝද රථය නතරකොට ලක්ෂාන් තවත් පුද්ගලයෙක් සමඟ කතාබස් කරමින් සිටියදී පැමිණි ඝාතකයන් ත්‍රිරෝද රථය හරස්කොට යතුරුපැදිය නවතා ඉන් බැස ගත් අයෙක් වෙඩි ප්‍රහාරය එල්ලකොට පලා ගොස් තිබුණේය. වෙඩි තැබූ ඝාතකයා බිම වැටුණු බෑගයක්ද නැවත අහුලාගෙන පාණදුර දෙසට යන ආකාරය සීසීටීවී කැමරා දසුන්හි මනාව පෙන්නුම් කෙරිණි.
එම වෙඩි ප්‍රහාරයත් සමඟ ලක්ෂාන් සමඟ පැමිණි මිතුරන් දෙදෙනා දිව ගොස් සැඟවූ බව ඔවුහු පොලිසියට කීහ. හිස ප්‍රදේශයට සහ පිටට වෙඩි වැදුණු ලක්ෂාන් පාණදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.
එකී ඝාතනය පාණදුර උතුර පොලිසියට සැලවීමත් සමඟ පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහගේ සහ පොලිස් අධිකාරි උදය අමරතුංගගේ උපදෙස් මත පාණදුර උතුර පොලිස් ස්ථානාධිපති ඉන්දුල ගිනිගේගේ මෙහෙයවීමෙන් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පාලිත කන්නන්ගර ඇතුළු කණ්ඩායමක් මුලින්ම විමර්ශන ආරම්භ කළේය.
ලක්ෂාන්ට වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානය පරීක්ෂා කළ විමර්ශන නිලධාරින්ට එම ස්ථානයේ තිබී ටී56 පතොරම් කොපු හයක් සොයා ගැනීමට හැකි විණි. ඒ අනුව ලක්ෂාන්ගේ ඝාතනය ටී56 ගිනි අවියකින් සිදු කළ ඝාතනයක් බව තහවුරු විණි.
පාණදුර උතුර පොලිසියද විමර්ශන සිදු කරද්දී බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඝාතනය සිදුවූ ස්ථානයටද ගොස් විමර්ශන පිළිබඳ සොයා බලමින් ලක්ෂාන්ගේ ඝාතකයන් සොයා විමර්ශන පුළුල් කිරීමට කටයුතු කළේ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන සඳහා එක්කරමිනි. ඒ අනුව විශේෂ බුද්ධි නිලධාරි කණ්ඩායමක් සමඟ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සූක්ෂ්ම විමර්ශන නිලධාරින්ගෙන් සමන්විත බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය, පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද යෙදවිණි.
ඒ අනුව එක් විමර්ශන කණ්ඩායමක් ලක්ෂාන්ගේ දුරකථන දත්ත වාර්තා ඔස්සෙ විමර්ශන ආරම්භ කරද්දී තවත් විමර්ශන කණ්ඩායමක් ඝාතකයන් පලා ගිය මාර්ගයේ සීසීටීවී කැමරාවන්ද පුළුල් පරීක්ෂාවකට ලක් කළේය. ඒත් සමඟ පාණදුර උතුර පොලිසිය විසින් ලක්ෂාන් සමඟ ත්‍රිරෝද රථයේ පසුපස ගමන්ගත් චතුරංග හෙවත් චතු නමැත්තා මුලින්ම අත්අඩංගුවට ගත්තෙ පසුගිය 27 වැනිදා අලුයමයි. ලක්ෂාන්ගේ දුරකථනයට පැමිණ තිබූ 'වට්ස්ඇප්' දුරකථන ඇමැතුම් ඔස්සේ පරීක්ෂා කරද්දී විදේශයක සිට පැමිණි එක් දුරකථන ඇමැතුමකට උපාය දූතයකු යොදවා ඇමැතුම් ගත් විට දැනගන්නට ලැබී ඇත්තෙ ලක්ෂාන්ගේ ඝාතනය ඩුබායිහි වෙසෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙහෙයවා ඇති බවයි. ඔහු පාණදුර ප්‍රදේශයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. කොරෝනා තත්ත්වයට පෙර ඩුබායි රටට පලා ගොස් තිබේ. ලක්ෂාන්, ධීවර රැකියාවේ නිරත වන අතරේ චතු සමඟ එක්ව ඩුබායි පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට එක්ව බෝට්ටු මාර්ගයෙන් මෙරටට කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බවකි.
එලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හේතුවෙන් ලක්ෂාන්ට, ඩුබායි ජාවාරම්කරු විසින් ලක්ෂ ගණනක මුදලක් ගෙවන්නට තිබී ඇත. එහෙත් ලක්ෂාන් නිතරම ඩුබායි වෙත වට්ස්ඇප් දුරකථන ඇමැතුම් ගෙන මුදල් ඉල්ලුවත් ඔහු මුදල් ගෙවා නැත. ඒ අතරේ ලක්ෂාන් සහ ඩුබායි පුද්ගලයා අතර තවත් හුටපටද තිබී ඇත්තෙ 'ගෑනු' ප්‍රශ්න නිසාවෙනි.
ඒත් සමඟ ඩුබායි ජාවාරම්කරු, ලක්ෂාන් ඝාතනය කිරීමට තීන්දු කර තිබේ. ඒ අනුව ඩුබායි ජාවාරම්කරු විසින් මතුගම ප්‍රදේශයේ අයෙක් වන මත්ද්‍රව්‍ය ජාවාරමට කළුතර බන්ධනාගාරගතව සිටින සුද්දා නමැත්තා මඟින් කුලී ඝාතකයන් දෙදෙනෙකු යොදවා පසුගිය 25 වැනිදා ලක්ෂාන් ඝාතනය කෙරිණි.
![]() |
ඝාතනයට ලක්වූ ලක්ෂාන් සඳකැලුම්
|
![]() |
ලක්ෂාන් සඳකැලුම් වෙඩි වැදී ත්‍රිරෝද රථය තුළ වැටී සිටි ආකාරය |
මේ අතරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදුකළ සීසීටීවී කැමරා පරීක්ෂාවේදී ඝාතකයන්, ලක්ෂාන් ඝාතනයට දින දෙකකට පෙර, එනම් 23 වැනිදාද එම මාර්ගයේම ගමන්කොට පාණදුර, ගඟුල ප්‍රදේශයේ නිවෙසක් අසල නතර වන ආකාරයද අනාවරණය කරගැනීමට සමත් විණි. එම නිවෙස පිහිටි භූමියේ නිවෙස් තුනක් විය. ඉන් කුඩා නිවෙස් දෙක කුලියට දී තිබිණි. එක් කුලී නිවෙසක නිවැසියන්ගෙන් විමසූ විට ඔවුහු පොලිසියට කීවේ, එකී දෙදෙනා සිදුවීමට දින දෙකකට පෙර යතුරුපැදියකින් පැමිණ නතර වී සිටි බවයි.
අනතුරුව ඔවුන් දෙදෙනා පිළිබඳව බන්ධනාගාර ජේලර්වරයෙක් ලෙස රැකියාවකොට විශ්‍රාම ලබා සිටින නිවෙස් හිමියාගෙන් විමසූහ. එහෙත් ඔහු කිසිවක් දැන සිටියේ නැත. නිවෙස් හිමියාට තරුණ වයසේ පසුවන නිවුන් දරුවන් දෙදෙනෙක් වූහ. එක් අයෙක් දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි. ඔහු උමයංගය. මීට පෙරද උමයංග මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට කොටුවූ අයෙකි. පසුගිය 27 වැනිදා සවස් යාමයේ උමයංගගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි.
"මට ඩුබායි ඉන්න අසවලා කෝල් කරලා කිව්වා, මගේ යාළුවෝ දෙන්නෙක් ඒවි... උන් දෙන්නට දවස් කීපයක් උඹලගේ ගෙදරක නවතින්න දීපන්..." ඒ අනුව උමයංග විසින් රුපියල් දසදහසක කුලියකට ඔවුන් දෙදෙනාට නවාතැන් පහසුකම් සපයා ඇත. මේ වන විට පොලිසියට අනාවරණය වී ඇත්තෙ ඩුබායි ජාවාරම්කරුගේ මෙරට සියලු මුදල් ගනුදෙනු මෙහෙයවා ඇත්තෙ උමයංග බවටයි.
පසුව 25 වැනිදා ලක්ෂාන්ගේ ඝාතනයට කුලී ඝාතකයන් දෙදෙනා ගොස් තිබුණේ උමයංගලාගේ එම නිවෙසේ සිටයි.
ඝාතනය වූ ලක්ෂාන් ගල්කිස්ස ප්‍රදේශයේ අයෙකි. කලක් විදේශගතව සිටි ඔහු මෙරටට පැමිණීමෙන් පසු ගල්කිස්සෙ කීපදෙනෙකුටම ණයතුරුස් වීම හේතුවෙන් ගල්කිස්සෙම අයෙක් වූ චතු සමඟ එක්ව මෝදර ප්‍රදේශයට ගොස් ධීවර රැකියාවට යොමු වී තිබේ. පසුව මෝදර ප්‍රදේශයේ කාන්තාවක හා විවාහ වූ ලක්ෂාන් කලෙකට පෙර පාණදුර ප්‍රදේශයේ පදිංචියට පැමිණියේය. ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේ සිටි ප්‍රබල අපරාධකාරයෙක් වන රොහා නමැත්තාගේ විරුද්ධවාදියෙක් වන ලක්ෂාන්ගේ මිත්‍රයා වන චතු, රොහා ජීවත්ව සිටියදී සැඟවුණු දිවියක් ගතකර තිබුණේ රොහාට බියෙනි. පසුගියදා රොහා පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීමත් සමඟ චතු නැවතත් කරළියට පැමිණියේය.
අනතුරුව චතු හරහා ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනා ගැනීමට ලක්ෂාන්ට හැකිවී තිබේ. ඒ අනුව ලක්ෂාන් පසුගිය කාලයේ ඩුබායි ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය තොග බෝට්ටු මඟින් මෙරටට ගෙනැවිත් තිබෙන බවකි.
පසුගිය සිකුරාදා වන විටත් ලක්ෂාන් ඝාතනයට නවාතැන් දුන් උමයංග, ලක්ෂාන්ගේ මිත්‍රයා චතු ඇතුළු කුලී ඝාතකයන්ට ඔත්තු බැලු තිදෙනෙක් සමඟ පස්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වුවත් කුලී ඝාතකයන් දෙදෙනා කොටුකර ගැනීමට පොලිසියට නොහැකි වී තිබිණි. එහෙත් ඝාතනයේ සුලමුල සියල්ල මේ වන විට අනාවරණය කරගෙන ඇති බවත් ඉදිරි පැය කීපය තුළදී කුලී ඝාතකයන් දෙදෙනා කොටුකර ගැනීමට හැකි වනු ඇති බව විමර්ශනවලට එක්ව සිටින උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. කෙසේ හෝ ඝාතකයන්ට නවාතැන් පහසුකම් සැපයූ උමයංගගෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පසුගිය බ්‍රහස්පතින්දා සවස ඝාතනයට යොදාගත් ටී56 ගිනිඅවිය සහ ජීව උණ්ඩ 16ක් සොයා ගැනීමට හැකි වූයේ පාණදුර, වඳුරම්මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක තිබියදීයි. ඊට අමතරව එදිනම ඝාතනයට යොදාගත් යතුරුපැදියද පාණදුර ප්‍රදේශයේ ගංගාවක ගිල්වා තිබියදී කිමිදුම්කරුවන් යොදා සොයා ගැනීමට පොලිසියට හැකි විණි. තවද කළුතර බන්ධනාගාරයේ සිට කුලී ඝාතකයන් සහ ඩුබායි ජාවාරම්කාර පුද්ගලයා සම්බන්ධීකරණය කළ සුද්දා සතුව තිබූ ජංගම දුරකථනයක්ද පොලිස් බාරයට ගැනිණි. කෙසේ හෝ මේ වන විට අනාවරණය වන ආකාරයට ඝාතකයන් චතු ඉලක්ක කළේද නැතිනම් ලක්ෂාන් ඉලක්ක කළේද යන්න විමර්ශන කණ්ඩායම් පුළුල් ලෙස පරීක්ෂණ සිදුකරමින් සිටී. එය කුලී ඝාතකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් හෝ සුද්දා පොලිස් බාරයට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලින් නිශ්චිත ලෙස අනාවරණය කරගැනීමට හැකි වනු ඇතැයි එක් විමර්ශන නිලධාරියෙක් පැවැසීය.
ලක්ෂාන්ගේ ඝාතනය පිළිබඳව බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ඍජු අධීක්ෂණයෙන් කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත, පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, පොලිස් අධිකාරි උදය අමරතුංග සහ ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත පාණදුර උතුර පොලිස් ස්ථානාධිපති ඉන්දුල ගිනිගේ ඇතුළු විමර්ශන කණ්ඩායම් පහක් එක්ව සිදු කරති.
![]() |
ඝාතනය වූ ස්ථානයේ පොලිස් පරීක්ෂණ සිදුවෙමින් |