
රටේ ජාතික ආරක්ෂාවේ ප්‍රධාන වගකීම දරන ආරක්ෂක ලේකම් හා ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නයන් අද සිළුමිණ සමඟ කතාබහට එක් වන්නේ වත්මන් රටේ ආරක්ෂාව ගැන මෙන්ම ඉදිරි ආරක්ෂක කටයුතු සම්බන්ධව කරුණු දැක්වීමටයි.
ඔබ ආරක්ෂක ලේකම් ධුරයට අමතරව රාජ්‍ය අමාත්‍යාංශයක ලේකම් ධුරය දරනවා. ඊට අමතරව නැඟෙනහිර පුරා විද්‍යා හා සංස්කෘතික භූමි ආරක්ෂා කිරීමේ වගකීමත් ඔබට තියෙනවා. රාජකාරි අධික නැද්ද?
ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ වගකීම් සම්භාරයක් ඇති අමාත්‍යාංශයක්. ඒ වගේම මට බාරදීල තියෙන රාජ්‍ය අමාත්‍යාංශයත් වගකීම් සම්භාරයක් ඇති රාජ්‍ය අමාත්‍යාංශයක්. බොහෝ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි වැඩ වැඩි නැද්ද කියලා.
අපිට හමුදාවේ උගන්වපු ක්‍රමවේදයක් තියෙනවා. යම් කාර්යයක් කරන්න සුදුසු කෙනා, විශ්වාසයක් තැබිය හැකි පුද්ගලයන් ඒ ඒ තනතුරුවලට පත් කරන්න කියලා. ඒ ලෙසින් කටයුතු වගකීම් ලබාදුන්නහම රාජකාරි කටයුතු කරගැනීම අපහසු නැහැ. නිසි පුද්ගලයා නිසිතැනට නිසි කාර්යභාරය සඳහා යෙදවීමයි අවශ්‍ය වන්නේ.
රජයේ නිලධාරීන් ගත්තහම හැමෝම එක වගේ ක්‍රියාශීලී නැහැ. දක්ෂ ක්‍රියාශීලී අය වගේම මන්දගාමී අයත් ඉන්නවා. මම ඉතාම වේගයෙන් වැඩ කරන පුද්ගලයෙක්. වැඩ මොන තරම් වැඩ තිබුණත් එදා කළ යුතුදේ මම එදාම අවසන් කරනවා.
මම අවිවේකී වුණත් සුදුසු කැපවීම් කළ හැකි නිලධාරීන් අවශ්‍ය ස්ථානවල රාජකාරි පිණිස යොමු කර තිබෙන්නෙ. ඒ ක්‍රියාශීලී අයත් එක්ක මේ ගමන යන එක මට අපහසු නැහැ. මම උදේ 8.30ට ඇවිත් හවස 4.30ට යන කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට යන්නෙ රෑ 10.00ට විතර ගෙදර ගිහිල්ලත් ෆයිල් වැඩ අවසන් කරල පහුවදා ඒව අදාළ ස්ථානවලට යවනවා. ඒක නිසා ප්‍රමාදයක් වන්නේ නැහැ.
මේ අධික රාජකාරි කටයුතු මැද ආරක්ෂාව සම්බන්ධව අවධානය යොමු කරන්න ඔබට හැකියාවක් තියෙනවද?
රටේ ආරක්ෂාව ගැන අවධානය යොමු කිරීම තමයි මගේ ප්‍රමුඛ රාජකාරිය වන්නේ. ඒ වගකීම දැරීමට මා සුදුසුයි කියල තමයි ජනාධිපතිවරයා මාව ඒ තනතුරට පත් කරලා තියෙන්නේ.
ඒ අනුව මගේ හමුදාපතිවරුන් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහභාගි කරගෙන අපි මේ කටයුත්ත බොහොම සාර්ථකව කරගෙන යනවා.
ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියන්නේ පහසු කාර්යයක් නෙමෙයි. ආරක්ෂාව පිළිබඳව විශේෂඥයෙක්ම තමයි ආරක්ෂක ලේකම් ධුරය දැරිය යුත්තේ.
අවුරුදු 35යි දවස් 5ක් හමුදාවේ හිටපු නිලධාරියෙක් විදිහට මම හිතනවා ඒ දැනුම් සම්භාරය මට තියනවා කියලා. ඒ වගේම ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඉතාම දුෂ්කර කාර්යයක් සිදු කළ හමුදා නිලධාරියෙක් විදිහට ඒ දැනුම මට තියෙනවා. ආරක්ෂාව පිළිබඳ දැනුමක් නැති අය මේ තනතුරේ සිටීමේ හොඳම විපාකය පාස්කු ප්‍රහාරයේදී අපි දුටුවා. ඒ වගේ අඩුපාඩු සිදු නොවෙන්න අපි මෙහිදී බොහොම වගකීමෙන් යුක්තව කටයුතු කරනවා.
මගේ ධාරිතාවය අනුව අනෙකුත් රාජකාරි ලැබීම ගැටලුවක් නෙමෙයි. පැය 24ම වුණත් වැඩ කරන්න පුළුවන් කෙනෙක් මම. අපි ඒ ලෙසින් පැය 24ම වැඩ කරලත් තියෙනවා. ඒක නිසා මට රාජකාරි කටයුතු කරන්න ඕනතරම් වෙලාව තියෙනවා.
වර්තමානයේ රටේ ආරක්ෂාව ගැන ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
මම වගකීමෙන් කියනවා පුළුවන් කියලා. කොවිඩ් වසංගතය හැරුණහම ජාතික ආරක්ෂාවට බාධා වෙන ප්‍රධාන අනතුරු දෙකක් තියෙනවා. ඒ අනතුරු දෙකම පුද්ගල මතධාරීන්. ඒ දැඩි මතධාරීන් හා බෙදුම්වාදීන්. එයින් වැඩියෙන්ම බලපෑම් ඇති කරන්නේ දැඩිමතධාරීන්. අපි අවධානය යොමු කළ යුත්තේ මේ දැඩි මතධාරීන් කවුද යන්න සෙවීමටයි.
ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආගම්වලින් එකක් වැරැදි විදිහට අර්ථ දක්වමින් වැරැදි ලෙස අර්ථ නිරූපනය කරමින් වැරැදි ලෙසින් උගන්වමින් තරුණ පිරිස් වැරැදි මාර්ගයේ යැවීම නිසා තමයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ.
සිංහල දෙමළ මුස්ලිම් ජනතාව වසර සිය දහස් ගණනක් සහෝදරත්වයෙන් ජීවත් වුණා.
නමුත් වැරැදි ඉගැන්වීම් හමුවේ තමයි පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් වුණේ. එසේ වැරැදි මාර්ගයේ ගිය පිරිස් මේ වන විට අත්අඩංගුවේ ඉන්නවා. අපට අවශ්‍ය වන්නේ නොමඟ ගිය ඒ පිරිස් හැකි ඉක්මනින් පුනරුත්ථාපනය කර සමාජ ගත කරන්න. එය අධිකරණයේ අනුමැතිය පරිදි නිසි නීතිමය රාමුවක් ඇතුළේ සිදු කළ යුතුයි.
ඉදිරියේදී පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් නොවෙන්න ගෙන ඇති පියවර මොනවාද?
විශේෂයෙන්ම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එහෙමත් නැත්නම් මහජනතාවට හානි පැමිණිය හැකි ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති නොවන සේ ආරක්ෂක කටයුතු අප සම්බන්ධීකරණය කර තිබෙනවා.
මෙහිදී විශේෂයෙන්ම කිව යුතුයි අපි බොහොම මහන්සියෙන් ගොඩනැංවූ බුද්ධි අංශ පසුගිය රජය සමයේ විනාශ කර දැමුවා. අපි යළිත් එම අංශ ප්‍රති සංවිධානය කර ශක්තිමත් කරමින් ඉන්නේ. ඒ ඒ බුද්ධි අංශ අතර සහයෝගය ඇති කර තිබෙනවා. සෑම සතියකම වරුවක්ම ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. එක් එක් බුද්ධි අංශ විසින් අනාවරණය කර ගත් කරුණු සම්බන්ධව සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබා දෙන්න අපි පියවර ගන්නවා.
ඔබ බෙදුම්වාදී තර්ජන ගැනත් කතා කළා....
දෙමළ ඩයස්පෝරාව අතරේ ඊළාම් සංකල්පය ප්‍රවර්ධනය කරන පිරිස් ඉන්නවා. ඔවුන්ගේ අරමුණ වන්නේ බෙදුම්වාදය ඉස්මතු කිරීමයි. මේ වන විට එල්ටීටීඊ සාමාජිකයන් 12,242ක් පුනරුත්ථාපනය කර සමාජයට මුදාහැරල තියෙනවා. ඩයස් පෝරාවේ පිරිස් කිහිපයක අරමුණ වන්නේ ඔවුන් යළි නඟාසිටුවීමයි. එලෙස බෙදුම්වාදයට පණ දෙන්න හදපු හැම අවස්ථාවකම අප ඒ අය හඳුනාගත්තා. ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළා.
ඊට අමතරව ආරක්ෂාවට තර්ජනයක් වන තවත් සිදුවීමක් තමයි උතුරේ ක්‍රියාත්මක වූ අවිගත් කුඩා කල්ලි. ‘ආවා‘ වැනි කුඩා කණ්ඩායම් 10කට වැඩි සංඛ්‍යාවක් එහි ක්‍රියාත්මක වුණා. ඔවුන් ආවේගශීලීව සමාජයේ හැසිරුණා. ජනතාවට පහර දෙන්න, කපා කොටා තුවාල සිදු කර භයානකත්වයක් පෙන්නුම් කළා.
ඒ තත්ත්වයන් මේ වනවිට බොහෝ දුරට පාලනය කරන්නට හමුදාවත් පොලිසියත් සමත් වුණා. මේ අවස්ථාවේදීමම කියන්න ඕන ඇතැම් දෙමළ දේශපාලන නායකයන් කිව්වා. හමුදාව උතුරින් අයින් කරන්න ජනතාවට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍යයි කියලා. නමුත් කඩුකල්ලි පාලනය කෙළේ හමුදාව සහ පොලිසිය බව මතක් කර දෙන්න ඕන.
ජනාධිපතිතුමාගේ සංකල්පය වන්නේ එකම රටක් එකම නීතියක් යන්න වුණත් පොතුවිල් කාත්තන්කුඩි වගේ ප්‍රදේශවල ජනතාව වෙනම ආකල්පවලින් කටයුතු කරන්නේ. යතුරු පැදිවල යන්නෙ හෙල්මට් නැතුව. රජයේ කාර්යාල පවා සිකුරාදා දිනවල වසා දමන තත්ත්වයකට ඇවිත්...
අපි ඒ තත්ත්වය හඳුනාගෙන තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර රාශියක් ගෙන තියෙනවා. නමුත් වසර ගණනාවක් තිස්සේ එකම ජනකොටසක් එකම පෙදෙසක වාසය කිරීම නිසා තමයි ඒ ලෙසින් අරාබි භාෂාවෙන් නාම පුවරු යොදා ගෙන රටඉදි ගස් වවලා වෙනත් සංස්කෘතියක් කරා යන්නට කටයුතු කර ඇත්තේ.
මේ වන විට ආරක්ෂක අංශ මෙන්ම බුද්ධි අංශ තොරතුරු ඔස්සේ ඊට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. මමත් අනිවාර්යෙන්ම එකම රටක් එක නීතියක් යන්න තහවුරු කරනවා.
සංචාරකයන් ගෙන්වීම, විශේයෙන්ම යුක්රේන සංචාරකයන් ගෙන්වීම ආරක්ෂාවට බලපෑමක් නැත්ද?
අපි කොවිඩ් කියලා අවුරුද්දකට ආසන්න කාලයක් රට වහගෙන හිටියා. මේ නිසා පෞද්ගලික අංශයේ අයට රැකියා ප්‍රශ්න ඇති වුණා. විශේෂයෙන්ම දෛනික ආදායම් ලබපු අයගේ පවුල්වලට විශාල ගැටලු මතුවුණා. ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අඩාළ වුණා. ඒ වගේම ලක්ෂ 3කට වඩා පිරිසක් සංචාරක කර්මාන්තය නිසා ජීවත් වෙනවා. එමෙන්ම සංචාරක හෝටල් නිකේතන මේ සියල්ලම විශාල අර්බුදයකට පත් වුණා.
තව දුරටත් රට වහගෙන හිටියානම් සංචාරක කර්මාන්තය නිසා ජීවත් වුණු අයට ජීවත්වෙන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම රටේ ආර්ථිකයත් විශාල ලෙසින් හානියට පත් වෙනවා.
එම නිසයි ජනාධිපතිතුමා තීරණය කෙළේ පාලනයක් ඇතිව සංචාරකයන් ගෙන්වීමට. යුක්රේන සංචාරකයන් ගෙන්වීමේදී යම් අඩුපාඩුවක් වුණා. ඒක අපි පිළිගන්නවා. නමුත් වැඩක් කරනකොටයි අඩුපාඩු මතුවෙන්නෙ. අපි ඒ අඩුපාඩු ඇතිවෙන්න වූ හේතුව හඳුනා ගෙන එම අඩුපාඩු හදාගෙන කටයුතු කළ යුතුයි.
උතුරු නැඟෙනහිර භූමි අල්ලා ගැනීම් බහුලව සිදු වෙනවා. මෙය ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් නේද?
භූමිය අල්ලා ගැනීම් සිදු කෙරෙන්නේ උතුරු නැඟෙනහිර පමණක් නෙමෙයි. අනෙක් ප්‍රදේශවලත් වෙනවා. භූමිය අල්ලාගැනීමේ කටයුතු ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට දැනුම් දීලා තියෙනවා.
ඒ වගේම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මේ වන විට සියලුම දිසාපතිවරුන්ට උපදිසාපතිවරුන්ට දැනුම් දීල තියෙනවා රජයේ ඉඩම් අල්ලා ගැනීම නැවැත්වීමට අවශ්‍ය සියලුම කටයුතු කරන්න කියලා. භූමිය අනවසරයෙන් අත්පත් කර ගැනීම් මේ විට විශාල පාලනය වෙලා තියෙන්නෙ.
භූමිය අල්ලා ගැනීම් විතරක් නෙමෙයි පුරා විද්‍යා ස්මාරක සහිත ස්ථාන පවා අල්ලා ගැනීම් සිදුවුණා. ඒ ස්ථානවලට හානි කිරීම් වළක්වන්න නැඟෙනහිර පළාතේ පුරා වස්තු රැක ගන්න ස්ථාපිත කළ ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපතිවරයා ලෙස මම හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය එහි ආරක්ෂාව වෙනුවෙන් යොදා තිබෙනවා.
ඒ වගේම පුරා විද්‍යා භූමිවලට හානි පමුණුවන මෙන්ම ඉඩම් කොල්ලයන්ට උපකාර කරන දූෂිත නිලධාරීන් කිහිප දෙනකුත් ඉන්නවා. ඒ අයට විරුද්ධවත් අපි නීතිය ක්‍රියාත්මක කරනවා.
ජාතික ආරක්ෂාව ගැන ආණ්ඩු පක්ෂය එක් අර්ථ දැක්වීමක් කරනවා. විපක්ෂය තව එකක් කියනවා. විද්වතුන් තව එකක් කියනවා. මේ ගැන නිසි පැහැදිලි කිරීමක් කළොත්....
රටක පැවැත්ම රඳා පවතින්නෙ ජාතික ආරක්ෂාව මතයි. රටක සංවර්ධනය රඳාපවතින්නෙ ජාතික ආරක්ෂාව මතයි. රටක ජාතික ආරක්ෂාව නිසි පරිදි ස්ථාපිත නොවුණොත් ආයෝජකයො රටකට එන්නෙ නැහැ. කිසිම ආයෝජනයක් කරන්නෙත් නැහැ. පසුගිය රජය සමයේ ආයෝජකයො නොඑන්න හේතුව ජාතික ආරක්ෂාව නිසි පරිදි ලබා නොදීමයි.
ඒ වගේම පෙර කියූ පරිදි දැඩි මතධාරී හෝ බෙදුම්වාදී ලෙසින් හෝ ත්‍රස්තවාදී තත්ත්වයක් ඇති වුවහොත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක්, එමෙන්ම වෙනත් රටකින් ආක්‍රමණයක් ඇතිවුවහොත් එයත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එමෙන්ම වෙනත් රටක ඔත්තු සේවාවක් මඟින් අපේ රටේ ජන ජීවිතය අඩාළ වන යම් සිදුවීමක් වන්නේ නම් එයත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්. කොවිඩ් 19 වැනි වසංගතයක් පැමිණ රටේ ජනතාව මැස්සන් මදුරුවන් මෙන් තැන් තැන්වල මියයන්නේ නම් එයත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්.
ඒ වගේම ස්වභාවික උවදුරක් හෝ කෘත්‍රිම උවදුරකින් රටේ ජනතාව මිය යන්නේ නම් එයත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එවන් තත්ත්වයන් මැඬ පැවැත්වීමට අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අනුව සෑම සඳුදා දිනකම ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ අප සියලු දෙනා අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කළ කරුණු අඟහරුවාදා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නවා.
පාතාලය තවමත් හිස ඔසවා තිබෙනවා. මේ සතියේත් මහ දවල් පාණදුරදී ඝාතනයක් සිදුවුණා. පොලිසියේ නොහැකියාවද මේ? පාතාලය මර්දනයට හමුදාව යෙදවීමේ හැකියාවක් නැත්ද?
හමුදාවක් යොදවන්නේ යුද තත්ත්වයක් පාලනය කිරීම සඳහායි. පාතාලය මර්දනය සඳහා හමුදාව යෙදවීමට අප කිසිසේත්ම බලාපොරොත්තු වන්නේ නැහැ.
ඒ වෙනුවෙන් තමයි පොලිසියත් හමුදාවත් අතර ඇති විශේෂ කාර්ය බළකාය යොදවන්නේ. පොලිසිය තමයි මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට සහාය ලබා දෙන්නේ. අවුරුදු 150ක් සේවා සැපයූ පොලිසිය නිසා තමයි මහජනතාව එදිනෙදා ආරක්ෂිතව රැකීරක්ෂා පිණිස යන්නේ. දරුවන් පාසල් යන්නේ පොලිසිය උත්තරීතර ආයතනයක්. එහෙත් ඉතා සුළු පිරිසක් දූෂිතයන් ඉන්න පුළුවන්. අපේ රටේ පාතාලය දවසින් දෙකෙන් ඉවර කරන්න බැහැ. කෙසේ හෝ අවසන් කරනවා. පාතාල කල්ලි නායකයන් රැසක් මේ වනවිට අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පාතාලය පමණක් නෙමෙයි මත්කුඩුත් මේ රටේ ආරක්ෂාවට තර්ජනයක් නේද?
මත්කුඩු ගෙන්වීමේ හා බෙදාහැරීමේ කුඩු රජුන් බන්ධනාගාර තුළ සිට ඉතා පහසුවෙන් ඔවුන්ගේ කටයුතු කරගෙන ගොස් තිබෙනවා. ඔවුන් බන්ධනාගාරයේ සිට චන්ද්‍රිකා දුරකතන භාවිත කරගෙන මේ කටයුතු පහසුවෙන් සිදු කර තිබෙන්නේ. ඒ කටයුතු අපි වළක්වා තිබෙනවා. ඒ වගේම 2020 වසරේදී මත්කුඩු ඇල්ලුවේ මහා පරිමාණයෙන් වරක් කිලෝ 300ක් අත්අඩංගුවට ගත්තා. පසුව කිලෝ 400ක් ඇල්ලුවා. ඉන් පසුව කිලෝ 1400ක් හා ඊටත් පසුව කිලෝ 300ක් හා 200ක් බැගින් ඇල්ලුවා. පොලිසිය හා විශේෂ කාර්ය බළකායත් නාවික හමුදාවත් එකතුවෙලා මේ මෙහෙයුම් කරන්නේ. පෙර ඔබ පැවසූ ඝාතනයට අදාළ පුද්ගලයන් හා වෙඩි තැබූ පුද්ගලයන් මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ බවට මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා. කොහොම නමුත් එවැනි සිදුවීම් පවා ඇති නොවන්නට අපි ඉදිරියේදී වග බලාගන්නවා.
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන ඔබ දරන මතය කුමක්ද?
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ ඉතාම මන්දගාමීව සිදුවෙමින් තිබුණෙ. එම නිසා ඒ පරීක්ෂණ යළිත් ආරම්භ කරන්න පියවර ගත්තා. මන්දගාමී ලෙසින් වගේම නිසි මාර්ගය තිබියදී වෙනත් මාර්ගවල ගමන් කරපු නිලධාරීන් ඉවත් කරල සුදුසු නිලධාරීන් පත් කරල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ මේ වන විට අවසන් කරල තියෙන්නෙ.
අදාළ පුද්ගලයන්ට නඩු දාන්න ලිපි ගොනු නීතිපතිවරයාට යොමු කරල තියෙන්නෙ. නීතිපතිවරයා මේ වන තෙක් බලා සිටින්නේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවත් ලැබෙන තුරු. ඒ වාර්තාවත් ලැබුණු විගස අදාළ නීතිමය කටයුතු සිදු කෙරෙයි.
ඒ වගේම මෙතනදි තවත් විශේෂ කාරණාවක් ගැන පැවසිය යුතුයි. ඇමරිකාව විසින් එරට අධිකරණවල නඩු දාල තියෙනවා මේ ප්‍රහාරයට අදාළ පුද්ගලයන් තිදෙනකුට විරුද්ධව. ඇමරිකාව නඩු ගොනු කෙළේ අපේ පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි. ඒ වගේම අදාළ පුද්ගලයන් ඉන්නෙත් අපේ භාරයේ.
ආබාධිත සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවක් ගැන වාර්තා වෙනවා. ඔබ මේ ගැන දැනුම්වත්ද?
ආබාධිත සෙබළුන් වෙනුවෙන් විශාල හඬක් නඟපු කෙනෙක් තමයි මම. ඒ වගේම පැහැදිලිවම කියන්න ඕන අද ජනතාව මේ විදිහට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්නේ ජීවිත පූජා කළ රණවිරුවන් වගේම ආබාධිත තත්ත්වයට පත් වුණු ඒ රණවිරුවන් ඇතුළු යුද වැදුණු රණවිරුවන් නිසා බව. ඔවුන්ට හිමි එක සත 5ක මුදලක් අහිමි වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.
ඔබ පවසන ඔය සිදුවීම ගැන මට ආරංචි වුණා. ආබාධිත රණවිරුවන් දෙදෙනෙක් මාධ්‍යයට පවසා තිබුණා ඔවුන්ගේ වැටුප් කප්පාදු කර ඇති නිසා ජීවත් වෙන්න නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවට.
මම ඒ ගැන දැඩි සේ කලබලයට පත් වුණා ඉක්මනින් ඒ ගැන සොයා බැලුවා. එහිදී මට දැනගන්නට ලැබුණේ ඔවුන්ට එකම දීමනාව දෙවරක් ගෙවා ඇති බවයි. මහජන මුදලින් වැටුප් හෝ විශ්‍රාම වැටුප් ලබන අයකුට වැඩිපුර මුදලක් ගෙවා ඇත්නම් එය ආපසු අය කර ගන්නවා. ඔවුන් ජීවත් වෙන්න විදිහක් නෑ කිව්ව නිසා මම වැටුප් වාර්තා ගෙන බැලුවා එක් අයකුට දෙසැම්බර් මාසයේ විශ්‍රාම වැටුප් ඇතුළු දීමනා සියල්ලේ එකතුව රුපියල් 94,000ක් අනෙක් තැනැත්තාට රුපියල් 92,000ක්. ඕනෑම ආබාධිත රණවිරුවකුට මම පැහැදිලිවම කියන්නේ යම් ගැටලුවක් වෙලා තියෙනවනම් මා හමුවන්න.
ඔබට මේ වෘත්තීයේදී දේශපාලන බලපෑම් එන්නෙ නැත්ද?
මට කිසිම දේශපාලන බලපෑමක් නැහැ. ඒ වගේම මම දේශපාලනයට එන්නෙත් නැහැ. මම ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහතාට සහාය දැක්වූයේ අපි අවුරුදු 30ක් දුක් විඳල අපේ තරුණ කාලයම යුද්ධය වෙනුවෙන් වැය කරල රැක ගත්ත රට වැරැදි මාර්ගය යනව දැකපු නිසයි. බුද්ධි අංශ අකර්මණ්‍ය කරල සිදු වූ දේ අපි හොඳින් දැක්ක. ජනතාවගේ වචනයෙන් කියවනම් ‘ආරක්ෂාව බල්ලට ගියා‘. ඒ වෙලාවෙ අපට විශ්‍රාමික හමුදා නිලධාරියෙක් විදිහට උණු වතුර බිබී කකුල් දෙක උඩ තියාගෙන හාන්සි පුටුවෙ ඉන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ.
ජාතික ආරක්ෂාව ගැන මට දැනුමක් තියෙන නිසයි ජනාධිපතිතුමා මා ආරක්ෂක ලේකම් ධුරයට පත් කෙළේ. එතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් අනුව මම කටයුතු කරනවා. මට දේශපාලන බලපෑම් එන්නෙ නැහැ. එල්ල කරන්නත් බැහැ.
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නෙ