තැපැල් මුද්ද­ර­යක් හෙළි කළ ඝාත­න­යක් | සිළුමිණ

තැපැල් මුද්ද­ර­යක් හෙළි කළ ඝාත­න­යක්

ඝාතනය වූ ඒ. ජී. විජේරත්න
ඝාතනය වූ ඒ. ජී. විජේරත්න

ලංකාවේ උස් කදු මුඳුන් වලින් වටකරගත් සුන්දර පළාතක් පිළිබඳව කන වැකෙන්නේ නම් මාතලේ දිස්ත්‍රික්කය නිනැතින්ම කා හටත් සිහිපත් වෙයි. වසර දහස් ගණනක ඉතිහාසයක ප්‍රකට සාධක වලින් පිරි ගිය මේ මාතලේ දිස්ත්‍රික්කයේ රජ්ගම්මන නම් වු ප්‍රදේශකට මීට මාස හතකට පෙර පැවති වැසි සමයේ උදෑසන කාලයේ වෙඩි හඩක් ප්‍රදේශය පුරා ගිගුම් දෙන්නේය.

ඒ 2020-07-20 දිනයයි. උස් වූ කඳු හා වන ලැහැබ් වලින් වටවු ආටිස්මලේ ප්‍රදේශයේ වන සතුත් දඩයම් කරන පිරිස් සිටින බවත් වෙඩි හඬවල් ඔවුන්ට නිතර හුරු නිසාත් මේ වෙඩි හඬ පිළිබඳව කිසිවකුත් ගණන් නොගත්තා විය හැකිය. මේ අතර තුර මාතලේ - මඩවල උල්පත රජ්ගම්මන - ප්‍රදේශයේ පදිංචි ඒ.ජි. විජේරත්න (66) නැමැති පුද්ගලයකු උදලු මිටක් කැපීම සඳහා වනයට ගොස් තිබිණි.

තමන්ට හුරු පුරුදු වන පෙත දිගේ හේ ඇවිද ගොස් තිබේ. කොහේ ගියද හැමදාම දහවල් දොළහ වන විට නිවෙසට එ්මේ පුරැද්දක් පැවති ඔහු එදා නිවසට පැමිණියේ නැත.

විජේ­ර­ත්නගේ බිරිද සුම­න­ලතා විජේ­සිංහ

ඔහුගේ බිරිඳ ප්‍රදේශයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ වැසි තුරන් වන තුරු කොහේ හෝ සිට සිය සැමියා පැමිණේවි යැයි සිතා සිය සුපුරුදු කටයුතු නිවෙසේ ඉටුකරන්නට විය.

සවස් වන විටත් නොපැමිණෙන සැමියා සම්බන්ධයෙන් නිවසෙන් බැහැර රැකියාවල නිරත තම පුතුන් තිදෙනාට පවසන ඇය ගම්මු කිහිප දෙනෙකුම සමඟ සැමියා සොයා යන්නේය. සවස් කලය වන විට දරුවන්ද ගම් වාසීන්ද මේ සදහා එක් වන අතර ඔවුනගේ උත්සාහය කළුවර විසින් වළකා දමනු ලබයි. රාත්‍රියට ප්‍රදේශයේ පවතින වන අලි ගැටලුව ඇතුළු කාරණා හේතුවෙන් ඔවුන් විජේරත්නව සෙවීමේ කටයුතු පසෙක දමන්නේය.

මේ අතර වාරයේ තමන්ට ආසන්න පොලිස්ථානය වන මහවෙල පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරන පවුලේ පිරිස පසු දින ද විජේරත්න සොයා යන්නේ ද ගමේ තුන්සීයකට අධික පිරිසක් සමඟය.

පොලිසිය ද වෙනම කණ්ඩායමක් ලෙසින් මේ කටයුත්තට දායක වන්නේය. පසුව පොලිස් සුනඛයකුගේ සහායද ලබා ගනිමින් මෙම මෙහෙයුම් පුළුල් වුවද විජේරත්න සොයා ගැනීමට නොහැකි වන්නේය.

පසුව දඹුල්ල පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායමක් ද යාබඳින් පිහිටි අඹන් ගගේ කිමිදී විජේරත්නව සොයා මෙහෙයුම් ඇරඹුව ද හෝඩුවාවක් ලබාගැනීමට නොහැකි වී තිබේ.

දින මාස සති බවට පත්වී කාලය ඔහේ ගලා ගියේය. මාස හතකට පසු මඩවල උල්පත උප තැපැල් කාර්යාලයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලිපියක් තැපැල් වන්නේය. වෙනදා සුපුරුදු පරිදි කන්තෝරුවේ සීල් එක මෙම ලියුමට ද වදින අතර එහි දිනය සහ ස්ථානය පැහැදිලිව සටහන් වන්නේය. නිර්ණාමික ලිපියක් වන මෙය තැපැල් කරන්නා මෙම ලිපිය තුළින් තමන්ට අවැඩක් වන බව කිසි විටෙකත් සිතන්නට නැත.

කෙසේ නමුත් අදාළ ලිපිය ලද සැණින් ආරක්ෂක අංශ වල අවධානය යොමු වන්නේ අතුරුදන් සිදුවීමේ තවත් පැති කිහිපයකටය.

මිනිස් අස්ථි කොටස් කිහිපයක් ආටිස් මලේ ගසක් ආසන්නයේ (ගල් පොත්තක් ආසන්නයේ) පවතින බව එම ලිපියේ ලියා තිබිණි. වහා ක්‍රියාත්මක වන කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ලිපිය තැපැල් වූ මඩවල උල්පත තැපැල් කාර්යාලය අවට සියලු ආරක්ෂිත කැමරා පරික්ෂාවට ලක් කරන්නේය.

අසල පිහිටි පෞද්ගලික ආයතනයක සවිකර තිබු කැමරාවක සටහන් වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් අවධානය යොමුවන ආරක්ෂක අංශ ඔහු පොලිසියට කැඳවා දිර්ඝ ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි. එහි දී අනාවරණය වන ආකාරයට විජේරත්ත සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනවාරණය වන්නේය.

වෘත්තියෙන් ගොවියකු වූ විජේරත්න පුතුන් තිදෙනකුගේ ආදරණීය පියෙක් මෙන්ම යහපත් ස්වාමි පුරුෂයෙකි.

ආටිස්මලේ ප්‍රදේශයේ දඩයක්කරුවකු වූ සැකකරු විසින් බඳින ලද තුවක්කුවකින් විජේරත්නට වෙඩි වැදී මිය ගිය බවත් ඔවුගේ සිරුර පසුව යාබදව පිහිටි මිනිරන් පතලකට දැමූ බවටත් සැකකරු පොලිසියට පවසා තිබේ.

ඒ අනුව පසුගිය දා (25) සැකකරු අදාළ ස්ථානයට රැගෙන ගොස් සිදුකරන ලද ස්ථානීය පරික්ෂාවේ දි සැකකරු විසින් සිදුකරන ලද පාපොච්චාරණයකට අනුව ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලිසිය කියයි.

පසුව සැකකරු විසින් මරණකරුගේ අස්ථි කොටස් කිහිපයක් දමා තිබූ ස්ථානය මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ධර්මකීර්තිගේ පරික්ෂාවට ලක වූ අතර, ඇගේ නියෝග යටතේ මිනිස් අස්ථි කොටස් කිහිපය මාතලේ මහ රෝහලට යැවීමට පොලිසිය පියවර ගන්නා ලදී.

අනතුරුව පසුගිය දිනෙක මාතලේ දිසා විනිසුරු චාමර වික්‍රම නායක සහ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රසන්න අප්පුහාමි යන අය ඉදිරියේ සැකකරු අනාවරණය කළ මිනිරන් පතලේ කැණීම් සිදුවූ අතර, එහිදි මරණකරු ඇඳ සිටි සරම, ෂර්ට් එක සහ අත රැඳි පිහියක්, පාවහන් යුගල, ඔහුගේ දරුවන් ඇතුළු පවුලේ අය විසින් හඳුනාගන්නා ලදී. විජේරත්න ගේ දූ දරුවන් පවසන ආකාරයට ඔවුන් උස් මහත් කර සමාජයේ හොඳ තැනකට ඔසවා තබන්නට ඔහු දැරු වෙර වීර්යය අපමණය.

මහනුවර මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ උපදෙස් පරිදි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ මග පෙන්වීම යටතේ මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි 1 අජිත් වංශනාත යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් මෙම පුද්ගල අතුරුදන් සිද්ධියේ පරික්ෂණ සඳහා සහභාගී වීය.

අමතර සහාය කණ්ඩායම් ලෙස සැරයන්වරුන් වන කපිල 21905, ගුණතිලක 8552, විජේකෝන් 57121, කොස්තාපල්වරුන් වන කිත්සිරි 75474, ජගත් 33852, ප්‍රසාද් 84684, පොලිස් රියදුරැ රවින්ද්‍ර 80568 මහත්වරු පරික්ෂණය සඳහා එක් විය.

මීට අමතරව මහවෙල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍රසිරි නවගමුව ඇතුළු කණ්ඩායමක් සහ මාතලේ රජ්ගම්මන වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක පි. එම්. බී. විජේකෝන් ඇතුළු කණ්ඩායමක් ද මෙම පුද්ගල අතුරුදන් වීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පරික්ෂණ පවත්වන ලදී.

මෙම සිද්ධියට අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පොලිස් පරික්ෂණ තව දුරටත් ක්‍රියාත්මකය.

ඡායාරූප - උකුවෙල සංචාරක සහ නාඋල සමූහ

 

Comments