
ආයුර්වේද ක්ෂේත්‍රය වැඩි දියුණු නොවී උපාධිධාරී වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක් බිහිවීම ගැටලුවක්
රටේ ආර්ථිකයට ගැළපෙන පරිදි රැකියා අවස්ථා පුළුල් විය යුතුයි
උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් 973 ක් හිටියත් බඳවා ගන්නේ 157යි.
වර්තමානයේ ‘රැකියා විරහිත උපාධිධාරීන්’ කවුරුත් දන්නා පොදු මාතෘකාවකි. එහෙත් රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් යැයි කියූ විට එහි නුපුරුදු ගතියක් තිබේ. සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් රැකියා විරහිත තත්ත්වයට පත් නොවන බව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟී තිබීම ඊට හේතුවයි. බටහිර වෛද්‍යවරුන්ගේ තත්ත්වය එසේ වුවද ආයුර්වේද වෛද්‍යවරුන්ගේ තත්ත්වය ඊට වෙනස් වේ. මේ වනවිට ලංකාවේ රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු 973 දෙනෙක් සිටිති. මීට කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යායතනයෙන් පිටවන ආයුර්වේද හා යුනානි උපාධිධාරීන් ද කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් පිටවන ආයුර්වේද උපාධිධාරීන් ද යාපනය විශ්වවිද්‍යාලයෙන් සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් පිටවන සිද්ධ වෛද්‍ය උපාධිධාරීන් ද අයත්ය.
රැකියා විරහිත උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන් 973 ක් දක්වා ඉහළ ගියේ වසර 3 කදී පිටවූ අය එකතු වීමෙනි. රැකියා ලබාදෙන ලෙස පවසමින් ඔවුන් සිදුකළ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් රජය මේ වනවිට 157 දෙනකුට රැකියා ලබා දීමට එකඟ වී සිටියි. එහෙත් තවත් 816 දෙනෙක් රැකියා නොලබා රැකියා විරහිත උපාධිධාරීන් ලෙස ඉතිරි වී සිටිති.
“ආයුර්වේද වෛද්‍යවරයකු බිහි කිරීමට රජය රු. ලක්ෂ 35 ක් විතර වැය කරනවා. ඒ තරම් මුදල් වියදම් කරලා බිහි කරපු ආයුර්වේද වෛද්‍යවරුන්ව එළියෙ තියන්නේ නැතිව රටේ ඵලදායිතාවට එකතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටියා. දැන් එයාලා 157 දෙනෙකුට විතරක් රැකියා දෙනවා. දැන් දෙන්නෙත් 2019 දෙන්න නියමිතව තිබූ පත්වීම්. එහෙම නැතිව අලුත් පත්වීම් නොවෙයි. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙනවිට ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළත් වෙන්නේ නැහැ. මොකද වෛද්‍යවරුන් මාණ්ඩලික ශ්‍රේණියට අයිති නිසා. ඒ නිසා උපාධිධාරීන් 50,000 කට රැකියා ලබාදෙන අවස්ථාවේදී ආයුර්වේද වෛද්‍යවරුන් ඒකට ඇතුළත් වුණේ නැහැ.” යනුවෙන් පැවසුවේ රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, ආයුර්වේද වෛද්‍ය පවන් පූර්ණ විජේරත්න ය.
ආයුර්වේද වෛද්‍ය පත්වීම් ලබාදෙනු ලබන්නේ රජයේ ආයුර්වේද රෝහල් සහ බෙහෙත් ශාලාවලටය. දීප ව්‍යාප්තව සේවය කරන රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් ප්‍රමාණය 2500 කටත් අඩුය. නගර සභා, ප්‍රාදේශීය සභා මගින් පවත්වාගෙන යනු ලබන නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවල සේවය කරන්නේ ආයුර්වේද ඩිප්ලෝමා වෛද්‍යවරුන් මිස උපාධිධාරී වෛද්‍යවරුන් නොවේ. මේ අනුව උපාධිධාරී ආයුර්වේද වෛද්‍යරුන්ට ඇති රැකියා අවස්ථා ප්‍රමාණය ඉතා සීමිත බව පෙනේ.
“උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා අවස්ථා පුළුල් කළ හැකි ක්‍රම තියෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය පුනරුත්ථාපනය කරන කඳවුරුවලට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවය ලබාදෙන්න පුළුවන්. අනුරාධපුර බන්ධනාගාරයෙන් එය ආරම්භ කරන්න සැලසුම් කර තිබෙනවා. මහර බන්ධනාගාරයත් අපි ඉල්ලා තියෙනවා. දැන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පල්ලේකැලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යනවා. බටහිර වෛද්‍යවරුන්ට වගේම ආයුර්වේද වෛද්‍යවරුන්ටත් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථාන, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයට පුනරුත්ථාපන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්න පුළුවන්. ඒ සඳහා අපිටත් අවස්ථාවක් දෙන්න ඕනෑ. ත්‍රිවිධ හමුදාවට පොලිසියට බටහිර වෛද්‍යවරුන් බඳවා ගන්නවා වගේම ආයුර්වේද වෛද්‍යවරුන්වත් බඳවා ගන්න පුළුවන්. අපේ රටට එන විදේශීය සංචාරකයන් දේශීය වෙදකමට හරි කැමැතියි. විදේශිකයන් වෙනුවෙන් ආයුර්වේද රෝහල් ආරම්භ කළොත් රටට විදේශ විනිමය හොයා ගන්නත් පුළුවන්. මේ දවස්වල කොවිඩ් වසංගතය එක්ක ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් විශාල වැඩකොටසක් කරනවා. එයාලාට කරගන්න බැරි තරම් වැඩ තියෙනවා. ආයුර්වේද පළාත් කොමසාරිස්වරුන් මඟින් අපි ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද වෛද්‍යවරුන් ගැන සොයා බැලුවා. දැනට 372 ක් බඳවා ගැනීමේ හැකියාව තියෙනවා. බොරැල්ල ආයුර්වේද රෝහලේ සය මහල් ගොඩනැඟිල්ලේ දැනට නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. ඒ ගොඩනැඟිල්ල වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය තනතුරු 75 ක් අනුමත වෙලා තිබෙනවා. මේ විදිහට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ රැකියා අවස්ථා පුළුල් කරන්න පුළුවන්” යනුවෙන් තවදුරටත් විස්තර කළේ රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය පවන් පූර්ණ විජේරත්නය.
මේ සම්බන්ධයෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගෙන් විමසූ විට උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසක් රැකියා විරහිතව සිටීම රටක් වශයෙන් කනගාටුදායක තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය. රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් මේ සා විශාල සංඛ්‍යාවක් සිටීමට ‘යහපාලන’ රජය සම්පූර්ණයෙන් වගකිව යුතු බව ඔහු අවධාරණය කළේය.
“ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්න අපේ රටේ ජනතාව වගේම විදේශිකයිනුත් කැමැතියි. ඒ සඳහා අපි අවස්ථා පුළුල් කළ යුතුයි. සංචාරක හෝටල් කීපයක් ආයුර්වේද රෝහල් බවට පත් කරලා රැකියා අවස්ථා ලබා දෙනවා වගේම විදේශ විනිමය උපයන්නත් පුළුවන්. ආරක්ෂක හමුදා අංශ, ශ්‍රී ලංක පොලිසියට සහ රජයේ කාර්යාල පවත්වාගෙන යන ගොඩනැඟිලි පරිශ්‍ර තුළ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අපි කතිකා කරගෙන තිබෙනවා. පසුගිය ආණ්ඩුව රටට ගැළපෙන විදිහට අලුත් අවස්ථා සම්පාදනය කළේ නැහැ.
අපි දැන් ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කරනවා. එය රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් වගේම රටම ආර්ථික වශයෙන් ඉහළට ගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා.” යනුවෙන් පැහැදිලි කළේ දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිය.
එහෙත් මේ දිනවල ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය හේතුවෙන් සැලසුම් කළ වැඩපිළිවෙළවල්වලට බාධා එල්ල වූ බවත් සාකච්ඡා අතරමග නැවතුණු බවත් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කළේ අයහපත් වාතාවරණය මඟ හැරුණු වහාම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ රැකියා අවස්ථා පුළුල් කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද පවසමිනි.
“මේ රජය බලයට පත්වුණේ දේශීයත්වයට මුල් තැන දෙනවා කියලා. සියලුම උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වා. ඒත් දේශීය වෛද්‍ය ක්‍රමයට තැනක් නැහැ. උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් මහ පාරේ. අපි 2018 වනතුරු මහ පාරේ උද්ඝෝෂණය කළා. අරගල කළා. 2018 දී ආයුර්වේද වෛද්‍යවරුන් 657 කට පත්වීම් දුන්නා. 2019 දෙන්න තිබුණු පත්වීම් ප්‍රමාද වුණත් 2020 දී අපි ක්‍රියාමාර්ගයක් නොගත්තේ කොවිඩ් වසංගතය නිසා. අවුරුදු 5 ක් ආයුර්වේද වෛද්‍ය උපාධියට ඉගෙන ගෙන අවුරුද්දක් සීමාවාසික පුහුණුව ලබලා රැකියාවක් නැතිව ඉන්නවා කියන්නේ හරි අපරාධයක්.” යනුවෙන් පැවසුවේ රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය ප්‍රියන්ත වලවිටය.
රැකියා විරහිත උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ පළාත් මට්ටමින් අනුමත කරගත යුතු නව තනතුරු 300 ක් පමණ පවතින බවයි. ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංගගෙන් ඒ බව විමසුවේ එබැවිනි.
“සෞඛ්‍ය සේවයේ ඇති පුරප්පාඩු අනුවයි අපි තනතුරුවලට බඳවා ගන්නේ. දැනට අනුමත වී තිබෙන්නේ 157 ක් පමණයි. දැන් ආයුර්වේද වෛද්‍ය පීඨවලින් වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව පිටවෙනවා. ඒත් ඊට සාපේක්ෂව ආයුර්වේද රෝහල් පද්ධතිය වැඩිදියුණු වෙලා නැහැ. ඒ නිසා පුරප්පාඩු ඇති වෙන්නේ අඩුවෙන්. සෞඛ්‍ය සේවයේ ඇති අවස්ථා වැඩිදියුණු වුණා නම් මීට වඩා වැඩි පිරිසක් බඳවා ගන්න තිබුණා. 2018 වර්ෂයේ අපි 657 ක් බඳවා ගත්තා.
පළාත් මට්ටමින් ඇති පුරප්පාඩු ගැන නම් මට වාර්තා වෙලා නැහැ. කොහොම වුණත් මේ පුරප්පාඩුවලට බඳවා ගැනීම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත වුණාට පසුවයි බඳවා ගැනීමට සිදුවෙන්නේ. එයින් අනුමත නොකළොත් අපිට බඳවා ගන්න බැහැනේ.” යනුවෙන් ආයුර්වේද කොමසාරිස්, චතුර කුමාරතුංග පැහැදිලි කළේය.
මෙම අවස්ථාවේදී ඔහු තවදුරටත් පැවසුවේ උපාධියක් ලබාගත් පසුව රජයේ රැකියාවක් බලාපොරොත්තුවීමේ මානසික තත්ත්වයක් දක්නට ලැබෙන්නේ අපේ රටේ පමණක් බවය. සීමාවාසික පුහුණුව අවසන් කර, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී පෞද්ගලික මට්ටමෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගෙන යෑමට බාධාවක් නොමැති බව ඔහු සඳහන් කළේ රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට විසඳුමක් වශයෙනි.
එහෙත් රාජ්‍ය සේවයෙන් හිමිවන වරප්‍රසාද, දීමනා, වාහන බලපත්‍ර, විශ්‍රාම වැටුප් පෞද්ගලික බෙහෙත් ශාලා පවත්වා ගෙන යන වෛද්‍යවරුන්ට හිමි නොවන බව ද අප අමතක නොකළ යුතුය.