
2002 වසරේ දිනයක පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලය මාධ්‍යවේදීන්ගෙන්, දේශපාලඥයන්ගෙන්, වෘත්තිය සමිති නායකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණේ නව විපක්ෂ නායකවරයකු එදින පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට පැමිණ සිටි නිසාය. ඉහත සඳහන් කරන ලද පිරිස්වලට අමතරව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් ද පැමිණ සිටියේ නව විපක්ෂ නායකවරයාට ආශීර්වාද කිරීමට ය. ඊට අමතරව සාමාන්‍ය පොදු මහජනතාවද සැලකිය යුතු පිරිසක් පැමිණ සිටි නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ තෙවැනි මහලේ පිහිටා තිබෙන විපක්ෂ නායක කාර්යාලයේ පැවතියේ දැඩි තදබදයකි. නව විපක්ෂ නායක ලෙස වැඩ භාර ගත්තේ මහින්ද රාජපක්ෂයි.
“විපක්ෂ නායකතුමා, මොකද කරන්නේ යූ.එන්.පී. ආණ්ඩුව ඉක්මනට පෙරළනවා ද?” යනුවෙන් මාධ්‍යවේදියකු විමසුවේය.
2001 වසරේ දෙසැම්බර් 05 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර මාස 06 ක්වත් ඒ වන විට ගත වී තිබුණේ නැත.
“මොකට ද ආණ්ඩුව පෙරළන්නේ. ජනතාව බලයක් යූ.එන්.පී. ආණ්ඩුවට දීලා තියෙනවනේ. අඩුම ගණනේ අවුරුදු 02 ක් වත් ඒගොල්ලොන්ට දුන් පොරොන්දු ඉටු කරන්න අවස්ථාවක් දෙන්න ඕන. ඊට පස්සේ ආණ්ඩුව නිවැරදිව කටයුතු නොකරනවා නම් විරෝධතා දියත් කළාට වරදක් නැහැ. අපිට ඉතින් විරෝධතා ගැන අමුතුවෙන් උගන්වන්න දෙයක් නැහැ.” යනුවෙන් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ මඳක් සිනා සෙමින්ය.
සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් බලයට පත් වූ විට එම ආණ්ඩුවට වැඩ කටයුතු සිදු කරගෙන යාමට යම් කාලයක් ලබා දීම සාමාන්‍ය දෙයකි. 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වී මෛත්‍රීපාල සිරිසේන මෙරට 06 වැනි විධායක ජනාධිපතිධුරයට පත් විය. මාස කිහිපයක් යන විට මෛත්‍රී - රනිල් දෙදෙනා අතර ගැටුම් උත්සන්න වීම නිසා යහපාලනය එතරම් හොඳ පාලනයක් නොවන බව කල්තියාම බොහෝ දෙනෙක්ට අවබෝධ වූහ. 2015 වසරේ පෙබරවාරි 18 වැනිදා නුගේගොඩින් ඇරඹී“මහින්ද සුළඟ” රටපුරා හඹා ගියේ යහපාලකයන්ගේ ශරීර සීතල කරමිනි. මහින්ද සුළඟ රටපුරා හඹා ගියේ ඕනෑම අවස්ථාවකදී කුමන හෝ ආකාරයේ මැතිවරණයක් පැවැත්වුණොත් යහපාලකයන්ට අන්ත පරාජයක් හිමිවන බව ඉතා මැනවින් පෙන්නුම් කරමිනි.
“මහින්ද සුළඟ රට පුරා යනවා. යහපාලන ආණ්ඩුව ඉක්මනට පෙරළෙන්න පුළුවන් නේද?” යනුවෙන් මාධ්‍යවේදියකු මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටියේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුවයි. “හදිසි වෙන්නෙ මොකටද? තව ටිකක් ඔහොම යන්. පුංචි ඡන්දෙත් එනවානේ.”යනුවෙන් මහින්ද පිළිතුරු ලබා දුන්නේ සුපුරුදු ළෙන්ගතු සිනහවෙනි.
ඒ කිව්වා වාගේම 2018 වසරේ පෙබරවාරි 18 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්විය. විපක්ෂයේ දේශපාලනය ඉතා හොඳින් ප්‍රගුණ කරන නායකයකු සූදානම් විය යුත්තේ මීළඟ මැතිවරණයෙන් තම කඳවුරට ජය ලබා ගැනීමටයි. පවතින ආණ්ඩුවට යම් කාලයක් ලබාදී ඊළඟ මැතිවරණයේදී ජයග්‍රහණය ලබා ගැනීම සඳහා සැලසුම් කිරීම නිවැරදි විපක්ෂයක කාර්යභාර්යයි.
එය හොඳින් ම ප්‍රගුණ කරමින් ක්‍රියා කළ දේශපාලඥයා වන්නේ මහින්ද රාජපක්ෂයි. ඔහුගේ ජයග්‍රහණයේ එක් රහසක් වශයෙන් එය හැඳින්වීමට පුළුවණි.
දෙවරක් මේ රටේ විධායක ජනාධිපතිධුරයටත්, තෙවරක් මේ රටේ අග්‍රාමාත්‍යධුරයටත් පත් වී තාමත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ කටයුතු කරන්නේ එම නිසා ය. මහින්ද රාජපක්ෂ විපක්ෂයට ගිය සැණින් සරුංගල් සෑදීමටවත් සරුංගල් යවමින් ජනතාව රැවටීමටත් ක්‍රියා නොකළේ ය.
කොවිඩ් - 19 හෙවත් කොරෝනා වැනි වසංගතයක් මුළු ලෝකය පුරා වෙළා ගනිමින් තිබෙන අවස්ථාවක දී එම අභියෝගය ජය ගැනීමට සෑම රටක්ම වෙර විරීය දරද්දි මුළු ලෝකයෙන්ම බොරදියේ මාළු බාන දේශපාලනඥයන් වශයෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයත්, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණත් සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සංවිධානයත් හැඳින්විය හැකි ය.
වර්තමාන ආණ්ඩුව බලයට පත් වී තවම මාස හයක්වත් ගත වී නැත. ආණ්ඩුව හොඳ ගමනක් යෑමට සූදානම් වනවාත් සමඟම මුළු ලෝකයම වෙළාගත් කොරෝනා වසංගතය පැමිණියේ ය. කොරෝනාවලට මුහුණ දෙන ගමන් රට ඉදිරියට ගෙන යාමේ අභියෝගයට වර්තමාන ආණ්ඩුව මුහුණ දී සිටින අවස්ථාවක දී බොරදියේ මාළු බාමින් සරුංගල් යැවීමේ ක්‍රියාව සජිත්, චම්පික, අනුර ඇතුළු පිරිස ආරම්භ කර තිබේ.
වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ දිනට පසු දින ආණ්ඩු පෙරළියක් ඔවුනට අවශ්‍ය වී ඇත.කොරේ පිටට මරේ වශයෙන් පැමිණි කොරෝනාවෙන් සජිත්ගේ, අනුරගේ, සුමන්තිරන්ලාගේ කල්ල මරේ ය.
ඇඩ්‍රස් නැති වීමට ගිය ඔවුන් මේ වන විට යම්තාක් දුරට ඇඩ්‍රස් බේරාගෙන ඉන්නේ කොරෝනාවට පින් සිදුවන්නටය. තව ටික දිනකින් කොරෝනා වසංගතය තුරන් වුවහොත් හෝ කොරෝනා ශතපහකට ගණන් නොගෙන ඉදිරියට ගමන් කිරීමට ලෝකය තීරණය කළහොත් සජිත්, අනුර, සුමන්තිරන් ඇතුළු විපක්ෂයට සිදුවන්නේ කුමක්ද? ඒ නිසා ඔවුන් එක දිගට සරුංගල් යවන්නේ විස්සයි, විස්ස ක්‍රිකට් තරගයක් මෙනි. නමුත් මෙම සරුංගල්වල නූල කැඩුණොත් සිදුවන්නේ කුමක් ද? මේ සරුංගල් දිහා බලාගෙන යන අයට සිදුවන්නේ කුමක්ද? සරුංගල් දිහා බලාගෙන ඇවිදින අය, දිවයන අය ගල් මුල් වල ගැටී තුවාල වන බව රහසක් නොවේ.
ආණ්ඩුවට සහය ලබා දුන් ඇතැම් සංවිධාන හා පිරිස් විපක්ෂය පෙන්වන සරුංගල් පසුපස ගියහොත් සිදු වන්නේ කුමක්ද?
එසේ තුවාල වන බව දැන දැනම වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ ඇතැම් සංවිධාන, පිරිස් හා පුද්ගලයන් මෙම සරුංගල් පිටුපස යෑම රටේ ජනතාව අනුමත කරනවා ද?විපක්ෂය පෙන්වන සරුංගල් පස්සේ ගියහොත් තුවාල සිදු වන්නේ ඔවුන්ටම පමණක් නොවේ. තුවාල සිදු වන්නේ රටට බව මේ සියලු දෙනාම ඉතා හොඳින් වටහා ගත යුතුය.
සරුංගල් ගැන අපූරු කතාවක් පසුගියදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් සිදුකර තිබුණි. “විපක්ෂය මවන සරුංගල් පස්සේ යන්න ගියොත් වෙන්නේ විශාල ප්‍රශ්නයක්. විපක්ෂය කරන්නේ සරුංගල් යවන එකයි. විපක්ෂයෙන් ම එදා මේ දේවල් විකුණන්න දාලා, ගිවිසුම් ගහලා ඔවුන් තීරණ අරගෙන රට හිර කෙරුවා.
හම්බන්තොට වරාය අවුරුදු 99 අවුරුද්දකට බදු දුන්නා. ඊළඟට ඉන්දියාව, ජපානය එක්ව ගිහින් ගිවිසුම් ගහලා, රට හිර කරලා ඉවරවෙලා දැන් විපක්ෂයෙන් ම කියනවා අපි වැරදි ක්‍රියා ක්‍රියාමාර්ග ගත්තා කියලා. ඔවුන් කරපු ඒවා පුළුවන් තරම් හොඳ පැත්තට හරවලා තමයි අපි තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගතහොත් අපි ඒ තීරණය උඩ හිට ගන්නවා. කිසිම අමාත්‍යවරයකුට පිල් බෙදෙන්න හේතුවක් නැහැ. තමන්ගේ දේශපාලන දර්ශන මොනවා තිබුණත් රජයේ තීරණ උඩ හිට ගන්න ඕනා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරවලා, මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරවලා අපි මේ රටේ අපේ ආණ්ඩුවක් පිහිටෙව්වේ. නිවැරැදි තීරණ ගත්තහම ඒ උඩ හිටගන්නයි.”යනුවෙන් ජොනී පැවසුවේ පසුගියදා මත්තේගොඩ ප්‍රදේශයේ මාර්ගයක් කාපට් කිරීමේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ජොනී සරුංගල් කතාව කීවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සිදුවන කතාබහ දිහා බලාගෙනය. කොරෝනා අභියෝගයට ආණ්ඩුව මුහුණ දෙන ගමන් ඊට දශමයකින්වත්, කතාවකින් හෝ සහය නොදෙන සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකටම හා ඔවුන්ගේ වෘත්තීය සමිතිවලට අවශ්‍ය වී ඇත්තේ කුමන හෝ ආකාරයකින් ආණ්ඩු විරෝධයක් මතු කිරීමට ය.
එම විරෝධය මතු කිරීමට සාධාරණ ද? අසාධාරණද? යනුවෙන් ඔවුන්ට අදාළ නැත. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ආණ්ඩු විරෝධයක් පමණි.
කොරෝනා නොව එය සුළි සුළඟකින් හෝ ගංවතුරකින්වත් ලබාගත හැකි නම් කිසිදු ලැජ්ජාවකින් තොරව එහි වාසිය ලබා ගැනීමට තරම් මේ වන විට විපක්ෂය බංකොලොත් වී සිටි.
මෙම බංකොලොත්කමෙන් සිදුවන්නේ ඔවුන්ට දේශපාලන වාසි හිමිවීම නොව තව තවත් බංකොලොත් තත්වයට ඔවුන් පත්වීමයි. විපක්ෂයේ දේශපාලනය ඉගෙන ගැනීමට සිටින සුදුසුම පුද්ගලයා වන්නේ මහින්ද රාජපක්ෂයි. මහින්ද රාජපක්ෂට අභියෝග කළ යුත්තේ මහින්ද රාජපක්ෂගෙන් ම දේශපාලනය ඉගෙන ගෙනය. එසේ නොකොට තව තව දේශපාලන වශයෙන් බංකොලොත් වීම සඳහා වර්තමාන විපක්ෂය සිදුකරමින් සිටින්නේ ආණ්ඩුවට සාධාරණ අවස්ථාවක් ලබා නොදී හැමදේකටම විරුද්ධ වීමයි.
එමඟින් සෑහීමකට පත් නොවී ඔවුන් සිදු කරන්නේ රාජපක්ෂ කඳවුර වෙනුවෙන් පෙනී සිටි විවිධ සංවිධාන මෙම සටන් පාඨ සඳහා එක් කර ගැනීමයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ විපක්ෂය හදන සරුංගල් දෙස ඉතා සුපරීක්ෂාකාරීව බැලිය යුතු බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු ආකාරයකට විකිණීමක් සිදු නොකරන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා දිගින් දිගට ම ප්‍රකාශ කර සිටියදීත් මෙම දේශපාලන පක්ෂ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ තවමත් එල්ලී සිටින්නේ ඇයි?
ඔවුන්ගේ දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීම සඳහා සටන් පාඨයක් සොයා ගැනීමට නොහැකි බංකොලොත් තත්ත්වයකට රාජපක්ෂ ආණ්ඩුව විසින් ඔවුන් මේ වන විට පත්කර තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් රටම වසා රට දැඩි ආර්ථික අර්බුදයකට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන වාසි ලබා ගැනීමේ අවස්ථාවක් විපක්ෂයට මේ වන විට ගිලිහී ගොස් ඇත්තේ ආණ්ඩුව මේ වන විට කොරෝනා කළමනාකරණය කරගැනීම ඉතා හොඳින් සිදු කරමින් සිටින නිසාය.
පසුගිය 28 වැනිදා ජාත්‍යන්තර වශයෙන් සිදුකරන ලද නවීනතම වාර්තාවකින් කියැවුණේ කොරෝනා වයිරසය කළමනාකරණය කිරීම අංශයෙන් ලෝකයේ ම රටවල්වලින් 10 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන බවයි.
එම වාර්තාවේ පළමු ස්ථානය හිමි වී තිබෙන්නේ නවසීලන්තයටයි.දෙවන ස්ථානය වියට්නාමයටයි. ලෝකයේ ප්‍රබලතම රටවල්වන ඇමරිකා එක්සත් ජනපදයට කොරෝනා වයිරසය කළමනාකරණය කිරීම අතින් හිමිවී තිබෙන්නේ 94 වැනි ස්ථානයයි.
බ්‍රසීලයට හිමි වී ඇත්තේ 98 වැනි ස්ථානයයි. මේ වාර්තා දකින විට සජිත්ලාට, අනුර කුමාරලාට, චම්පික රණවකලාට ඉන්නට බැරිය. කටවල් නළියන්නේ ය. “ඔය රාජපක්ෂගෙන් කවුරුහරි ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා හදපු වාර්තාවක්.” යනුවෙන් තව ටික දවසකින් මේ කට්ටිය කිව්වොත් එයද පුදුමයට කාරණයක් නොවනු ඇත.
කොරෝනා වයිරසය ආසාදිත මළ සිරුරුවලින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කළ එකම කණ්ඩායම සිටින්නේද මේ රටේ ය. රනිල්, සජිත්, අනුර කුමාර, සුමන්තිරන්, හකීම්, රිෂාඩ් කෙසේ හෝ ඊටද සරුංගල් නිර්මාණය කරමින් බැලුවේ ආණ්ඩුවේ ඇතැමුන් ද එම සරුංගල් පිටුපස දිවයෑමට අවශ්‍ය වාතාවරණය සකසමින්ය.
ආණ්ඩුවේ එක්කෙනෙක් දෙන්නෙක් එම සරුංගල් පිටුපස දිවගියද වැඩිදුරක් යෑමට පෙර ඔවුන් එම සරුංගලයේ ස්වභාවය තේරුම් ගෙන තිබුණි.
සෞඛ්‍ය උපදෙස් අනුව අවසානයේදී තීරණය වූයේ කොරෝනා වයිරසය සහිත මෘත දේහ ආදාහනය කිරීමට ය.
එහිදී මුස්ලිම් ජනතාව පමණක් නොව අනෙකුත් ජන කොටස් අතර අසහනය සහ උසිගැන්වීම් ඇති කිරීමට පාර්ලිමේන්තුවෙන් පමණක් නොව පාර්ලිමේන්තුව තුළදී සජිත් ප්‍රේමදාස කෙතරම් යටිගිරියෙන් කෑ ගැසුවද එය ඵලක් නොවීය. සජිත් ප්‍රේමදාස කෙතරම් බංකොලොත් තත්ත්වයකට සහ පහත් තත්වයකට වැටුණා දැ’යි කිවහොත් ඔහු එක් වරක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කොරෝනා වයිරසය මෙරට ව්‍යාප්ත කරන්නේ මුස්ලිම් ජනතාව බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙන බවයි. මෙය කෙතරම් බරපතළ ප්‍රකාශයක් ද? ජාතිවාදය ඇති කිරීම සහ ජාතිවාදය වෙනුවෙන් මේ ආකාරයේ පහත් ප්‍රකාශයක් කිසිදු විපක්ෂ නායකවරයකු සිදු කර නොමැත.
අඩුම ගණනේ විපක්ෂ නායක වශයෙන් සිටි දෙමළ ජාතික සංවිධානයේ නායක ආර්. සම්බන්ධන්වත් මෙවැනි ඉතා පහත් ජාතිවාදී ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී සිදු කළාද යන්න සැක සහිතය.
ආණ්ඩුව සජිත්ගේ චෝදනාව ප්‍රතික්ෂේප කළ බව ඇත්තකි. නමුත් සජිත්ගේ පටු දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් සිදුකරන ප්‍රකාශවලට නම් ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිචාර අඩුය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුගෙන් විමසූ විට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි.
“සජිත් වගේ දේශපාලනයෙන් නොමේරූ පුද්ගලයකු දිගින් දිගට ම එල්ල කරන චෝදනාවලට උත්තර දෙන්න ගියොත් ආණ්ඩුවට වෙන වැඩක් කරන්න හම්බවෙන්නෙ නැහැ. ඒක නිසා සජිත්ට පොඩි එකෙකුට වගේ ඔය යවන සරුංගල් යවන්න දීලා අපි අපේ වැඩේ කරමු.” යනුවෙනි. සජිත්ලා, අනුර කුමාරලා, සුමන්තිරන්ලා උඩ අරින ලස්සන ලස්සන සරුංගල් දිහා බලාගෙන ගියොත් කුමක්ද සිදුවන්නෙ කියා අමුතුවෙන් කිව යුතු නැත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් නිකුත්වන ඇතැම් නිවේදන සහ සජිත්ලාගේ, අනුර කුමාරලාගේ, සුමන්තිරන්ලාගේ නිවේදන අතර වෙනස්කම් නොතිබීම තවත් විශේෂත්වයකි. කොරෝනා වයිරසය ශරීරගත වී තිබෙන මෘත දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් සජිත්, අනුර කුමාර, සුමන්තිරන්, හකීම්, රිෂාඩ් ඇතුළු පිරිස් හා රටට එරෙහි ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ස්ථාවරය සමඟ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනය එක ඉස්පිල්ලක්, පාපිල්ලක් නෑර ගැළපීම ගැන ඉතා හොඳින් සමාජයේ අවධානය යොමු වී තිබේ.
කොරෝනා මළ සිරුරක් ගරානාවක් කර ගැනීම සඳහා විපක්ෂය නිවේදන නිකුත් කළ ආකාරයෙන් ම ඇමෙරිකාව ද නිවේදන නිකුත් කිරීමට ක්‍රියා කිරීම පිටුපස සිටින්නේ කවු ද?
එදා 2015 ජනවාරි 08 වැනිදා රටේ ඇතිවුණු දේශපාලන වෙනස වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනා මේ වන විට යළිත් එක් වී සිටින්නේ වර්තමාන ආණ්ඩුව පෙරළා දමා 2015 දී මෙන් යළිත් වරක් රට අරාජික කිරීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීමට ය.
ඒ සඳහා කොරෝනාව ඔවුන්ට කදිම ආයුධයක් වුවද මේ වන විට කොරෝනාව මර්දනය කිරීමේ අභියෝගයට රට සාර්ථකව මුහුණදී සිටී. එම නිසා කොරෝනාසරුංගලය නොමැතිව විවිධ සරුංගල් යැවීමට ඔවුහු සැරසෙති.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ද ඉන් එක් සරුංගලයක් පමණි. එසේ කියන්නේ ඇයි ද? යන කාරණය ඕනෑම කෙනෙකුට මතුවිය හැකිය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු ආකාරයකින් විකුණා නොදමන බවට ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙතරම් අවධාරණය කරද්දී ශත පහකට ගණන් නොගෙන මෙම පිරිස තවදුරටත් විරෝධතාවක් මතු කරන්නේ නම් ඊට කියන්නේ සරුංගල් යැවීම හැර වෙන කුමක්ද?
කොවිඩ් - 19 මර්ධන එන්නත් කවද්ද මෙරට ගෙන එන්නේ යනුවෙන් කෑගැසූ සජිත් දැන් කියන්නේ කුමක් ද?
“ලක්ෂ 05 ක් එන්නත් ලැබිලා තියෙනවා. මාත්‍රා 02 ක් ලබා ගන්නා විට ලක්ෂ 2 1/2 කට පමණයි මෙම එන්නත සෑහෙන්නේ. අනිත් අයට එන්නත් දෙන්නේ නැද්ද?”
යනුවෙන් මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි. සජිත් කියන විදියට මුළු ලංකාවේම සියලුම පුද්ගලයන්ට එකම වේලාවකදී එන්නත් ලබාදිය යුතුයි. මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ඕනෑම කෙනකුට වැටහෙන සරල කාරණයකි.
ඉන්දියාවෙන් ලැබුණු එන්නත්වලට අමතරව චීනයෙන් එන්නත් ලක්ෂ 03 ක් තව දින කීපයකින් ආධාර වශයෙන් ලැබීමට නියමිතයි. රුසියාවේ ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට ජනගහනයෙන් 20% කට නොමිලේ ලැබෙන එන්නත ඉදිරියේදී මෙරටට ලබා දීමට නියමිතයි. මෙම එන්නත් ප්‍රමාණවලින් සෑහීමකට පත්විය නොහැකි පුද්ගලයන් වෙනුවෙන් විදේශ රටවලින් එන්නත් මිලදී ගෙන එම එන්නත් ජනතාවට නොමිලේ ලබාදීම සඳහා රජය දැනටමත් සැලසුම් සකස් කර ඇත. එම එන්නත් තොගය ද ළඟදීම මෙරටට ලැබීමට නියමිතයි.
මේවා දැන දැනම සජිත් කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් උඩ අරින්නේ සරුංගල් නොවේද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලට් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය 28 වැනිදා ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් කියන්නේ කුමක්ද?
“රජයේ ක්‍රියාකාරකම් හමුදාකරණය වෙලා, බහුතරය ජාතිකවාදී ආකල්ප මතුකිරීම, සිවිල් සමාජ කෙරෙහි බලපෑම් ඇති කිරීම” ගැන කරුණු අනතුරුදායක පුවතක් යනුවෙන් මිෂෙල් බැෂෙලේ හඳුන්වයි.
සුදුසු තනතුරු සඳහා හමුදා නිලධාරීන් පත්කිරීම කිසිදු ගැටලුවක් නොමැති අතර ඊට මේ රටේ ජනතාව කැමැති ය. එය හමුදා හමුදාකරණයක් වශයෙන් හැඳින්වීම කිසිසේත්ම සාධාරණ නොවේ. ජාතිකවාදී ආකල්ප රටක් දියුණු වීමට අත්‍යවශ්‍යය. ජාතිවාදී නොවී ජාතිකවාදී වීම වරදක් වන්නේ කෙසේද?
සිවිල් සමාජය කෙරෙහි බලපෑම් ඇති කිරීම යනුවෙන් මිෂෙල් බැෂෙලේ පවසන්නේ බෙදුම්වාදී, කොටි හිතවාදී, රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන කල්ලිවලට එරෙහිව ක්‍රියා නොකළ යුතු බවයි. මිෂෙල් බැෂෙලේගේ වාර්තාව සහ සජිත්ලාගේ, රනිල්ලාගේ, අනුර කුමාරලාගේ, සුමන්තිරන්ලාගේ, හකීම්ලාගේ, රිෂාඩ්ලාගේ රටට එරෙහි NGO කල්ලිවල ප්‍රකාශ අතර කිසිදු වෙනසක් නොමැති බව දැන් ඉතා හොඳින්ම අනාවරණය වනු ඇත.
එපමණක් නොවේ ජනාධිපතිවරයා විසින් හිටපු යුද සහ බුද්ධි අංශ ප්‍රධානීන් 28 දෙනකු පරිපාලනය සඳහා පත් කර තිබීමද මිෂෙල් බැෂෙලේට ප්‍රශ්නයක් වී තිබේ.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයේ ද, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ධුරයේ ද කටයුතු කිරීමද මිෂෙල් බැෂෙලේට ඇති වී තිබෙන තවත් ප්‍රශ්නයකි. එපමණක් නොවේ, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කරගැනීම ද මිෂෙල් බැෂෙලේට ප්‍රශ්නයක් වී තිබේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවීමට කටයුතු කිරීමද මිෂෙල් බැෂෙලේට ඇති වී තිබෙන තවත් ගැටලුවකි. ජනාධිපති බලතල ශක්තිමත් කිරීම මිෂෙල් බැෂෙලේට ප්‍රශ්නයක් වී තිබෙන්නේ ඇයි?
රට අරාජික කර රට බෙදා වෙන්කරගැනීම සඳහා තිබෙන ප්‍රබලතම බාධකය විධායක ජනාධිපතිධුරය යි. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් විධායක ජනාධිපතිධුරයේ බලතල අඩු කිරීමට කොටි හිතවාදීන්, කොටි හිතවාදීන් වෙනුවෙන් කඩේ යන ඇතැම් NGO කල්ලි මේතරම් කෑ ගසන්නේ ඇයි?
ඒ වෙනුවෙන් රනිල්, සජිත්, අනුර කුමාර, සුමන්තිරන්, හකීම්, රිෂාඩ් ඇතුළු යහපාලන නඩය පෙනී සිටින්නේ ඇයි? 2015 දී බලයට පත් වූ මෛත්‍රී - රනිල් රූකඩ ලෙස නටවා රට අරාජික කර රට බෙදීමේ පියවර ඉදිරියට යෑම මහින්ද - ගෝඨාභය සුසංයෝගය බලයට පත් කිරීම නිසා නතර වී ඇත.
මිෂෙල් බැෂෙලේ ඇතුළු වර්තමාන විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ විවිධ සරුංගල් පෙන්වමින් රට යළි 2015 ට ගෙන යෑමට ය. එම සරුංගල් පස්සේ උඩ බලාගෙන දුවන්නේ කවුද කියා තවම ප්‍රකාශ කිරීමට කල් වැඩිය.