විල්පත්තු යළි වවන්න බදි­යු­දීන් කෝටි 11ක් ගෙවයිද... | සිළුමිණ

විල්පත්තු යළි වවන්න බදි­යු­දීන් කෝටි 11ක් ගෙවයිද...

විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගෙවිය යුතු වන්දිය තක්සේරු කර නීතිපති දෙපාර්තමේන්තුවට බාර දුන් පුවතක් පසුගිය සතිය ආරම්භයේදී ම වාර්තා විය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කළ වන්දි මුදල නීතිපති දෙපාර්තමේන්තුවට සහ රිෂාඩ් බදියුදීන්ට යවා තිබුණේ පසුගිය 23 වැනිදාය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙවැනි තක්සේරුවක් කිරීමට සිදු වූයේ 2020 නොවැම්බර් 16 වැනිදා ලබා දුන් අධිකරණ නියෝගයකට අනුවය. වන වැවීමට වැය වන මුදල නඩු තීන්දුව ලබා දුන් දිනයේ සිට මාස 2ක් ඇතුළත ගණනය කර වගඋත්තරකාර පාර්ශ්වය වන රිෂාඩ් බදියුදීන්ට දැනුම් දෙන ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණය විසින් නියම කළේ විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

2015 වසරේදී පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම නඩුව ගොනු කළේ විල්පත්තු මහ වනයේ උතුරට මායිම්ව පිහිටි කල්ලාරු වන රක්ෂිතයේ අක්කර 3000ක් පමණ අනවසරයෙන් එළිපෙහෙළි කර එහි නිවාස ව්‍යාපෘති රැසක් ඉදි කිරීමේ නීති විරෝධි කටයුත්තට එරෙහිවයි. මෙසේ විනාශය කළ කල්ලාරු වන රක්ෂිතයට මරිච්චුකඩ්ඩි රක්ෂිතයේ අක්කර 2500ක් ද ඊට යාබදව පිහිටි විලාත්තිකුලම් රක්ෂිතයේ අක්කර 700ක්ද චෙප්පාල් සහ මාවිල්ලු රක්ෂිතවලින් අක්කර 100 බැගින්ද අයත් වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම වන රක්ෂිත එළිපෙහෙළි කර නීත්‍යානුකූල නොවන ආකාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නිවාස ඉදිකිරීම ආරම්භ කර තිබුණේ “නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ“ යටතේ ය. 2010 වර්ෂයේ ආරම්භ කළ මෙම මහා වන සංහාරය පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය මගින් අනාවරණය කරද්දි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙය නිවැරදි මාවතකට ගෙන ඒම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. එමෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙම රක්ෂිත ප්‍රදේශ අයත් බැවින් දිස්ත්‍රික් ලේකම්වරයාට මීට මැදිහත් වීමට නීතිමය බලය තිබුණත් ඔහු ද මුනිවත රැක්කේය. පරිසර යුක්ති කේන්ද්‍රය නඩුව ගොනු කිරීමේදි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ඇතුළු පාර්ශ්ව 9ක් වගඋත්තරකරුවන් කළේ එබැවිනි. වන සංරක්ෂණ ආඥා පනතේ 7 වැනි වගන්තිය උල්ලංඝනය වී ඇති බව පෙන්වමින් මෙම නඩුව ගොනු කරනු ලැබීය.

2020 නොවැම්බර් 16 වැනි දින නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී වනය එළිකර ජනාවාස ඉදි කළ ප්‍රදේශ හා සමාන ප්‍රදේශයක රිෂාඩ් බදියුදීනට සිය පෞද්ගලික වියදමින් ශාක වැවීමට වැය වන මුදල නඩු තීන්දුව ලබා දුන් දිනයේ සිට මාස 2 ක් ඇතුළත ගණනය කර වගඋත්තරකාර පාර්ශ්වය වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනුම් දෙන ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන ලදී. තවද දැනුම් දී මාසයක් ඇතුළත අදාළ මුදල ගෙවිය යුතු බවටත් පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ගෙවීමටත් නියම කෙරිණි.

වන සංරක්ෂණ ආඥා පනතට අනුව වනයක තහනම් ක්‍රියාවකට ලබා දිය හැකි උපරිම දඬුවම වසර 5 නොඉක්මවූ බන්ධනාගාරගත කිරීමක් හෝ රු: ලක්ෂය - ලක්ෂ 10ක දඩ මුදලක් හෝ මේ දෙකම විය හැකිය. එසේ වුවද මෙම නඩු තීන්දුව ලබා දුන්නේ දූෂකයා විසින් ගෙවීමේ මූලධර්මය වන රියෝද ජැනයිරෝ ප්‍රකාශයේ 16 වැනි වගන්තියට අනුවය. ඊට අනුකූලව පරිසරයට හානි කළ පුද්ගලයා විසින් ම ඊට වන්දි ගෙවිය යුතුය.

මේ අනුව රිෂාඩ් බදියුදීන්ට ගෙවීමට සිදුවන මුදල රු: මිලියන 107 ක් බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබිණි. එහි නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇමතූ විට ඔහු සඳහන් කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගෙවිය යුතු මුදල තක්සේරු කර නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බැවින් එම තක්සේරු මුදල ප්‍රසිද්ධියට පත්කිරීම සුදුසු නොවන බවය. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“අපේ ආයතනයේ නම පරිසර යුක්ති කේන්ද්‍රය. නමේ තේරුමට උචිත විදිහට පරිසරයට යුක්තිය ඉටු කරන්නට අපට හැකි වුණා. ඒ ගැන අපිට අවංකවම සතුටු වෙන්න පුළුවන්. තීන්දුව ගැන අපි සෑහීමකට පත් වෙනවා. රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ 10ක දඩයක් ගහනවාට වඩා පරිසරයෙන් නැති වුණු දේ පරිසරයට ලබා දීමට හැකි නම් කොයි තරම් හොඳද“ යනුවෙන් සඳහන් කළේ පරිසර යුක්ති කේන්ද්‍රෙය් සභාපති, නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ය.

අක්කර දසදහස් ගණනින් කැලැ ලෙස පවතින භූමිවලින් ගස් කැපීමට එරෙහිව මේ සා හඬක් නඟන්නේ ඇයිදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. වයඹ මහ මුහුදින් සහ අනුරාධපුර, මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටි විල්පත්තුව වන රක්ෂිතය හෙක්ටයාර් 1,31,693.7ක වපසරයකින් යුතු භූමි කලාපයකි. මෙපමණ භූමි ප්‍රමාණයකින් අක්කර 3000ක් පමණ අහිමි වීම නඩු මඟට යෑමට තරම් ප්‍රබල කාරණයක්දැයි විමසන අය ද නැතිවා නොවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අංශයේ මහාචාර්ය බුද්ධි මාරඹේ සම්බන්ධ කර ගනු ලැබුවේ ඒ පිළිබඳව කතාබහ කිරීමටය.

“කාර්මීකරණයත් සමඟ පරිසරයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩියි. ගස් තිබෙන විට ගස් ආහාර නිපදවා ගැනීමට කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගෙන ඔක්සිජන් පිට කරනවා. අපිට ජීවත් වීමට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ ගස් නිසා. ගස් නැති වුණාම ඔක්සිජන් ලැබෙන්නේ කොහොමද? අද වන විට දේශගුණික විපර්යාස ඇති වී තිබෙනවා. ජල මූලාශ්‍ර ජල ද්‍රෝණිවල ආරක්ෂාවේ ගැටලු මතු වී තිබෙනවා. ලොකු කැලෑ විනාශ කළොත් ඔක්සිජන් වගේම ජලයත් නැති වෙන්න පුළුවන්.

විල්පත්තු වන විනාශයට එරෙහිව අභියාචනාධිකරණයට යෑම අගය කළ මහාචාර්ය බුද්ධි මාරඹේ, අධිකරණයෙන් ලැබුණු නඩු තීන්දුව ගැන කතා කළේ ප්‍රසාදයකිනි. නෛතික පද්ධතිය මගින් මෙවැනි වන සංහාර නැවැත්වීමට උත්සාහ ගැනීම රටේ සෙසු වනාන්තර ආරක්ෂා කර ගැනීමට හොඳ පූර්වාදර්ශයක් බව ඔහුගේ අදහසය.

“පුද්ගලයා කවුරු වුණත් කැලෑව විනාශ කරපු කෙනාට නැවත වගා කිරීමට අණ කිරීම ඉතාමත් හොඳයි. ඒත් මේ වගාව කරන්නේ කොහොමද කියන කාරණාව ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි. විශාල වනාන්තරයක් කපලා පොඩි පැළ රෝපණය කරනවාද? වැඩුණු ශාක නැවත සිට­ුවනවාද, භූමි ප්‍රමාණය ගන්නේ කොතනින්ද කියලා අපි සොයා බැලිය යුතුයි. පොඩි පැළ හිටෙව්වොත් ඒවා ලොකු වෙන්න ගත වන කාලය වැඩියි. එතකොට අපිට වන වියන ආරක්ෂා කර ගැනීමට හැකි වන්නේ නැහැ. ඒ වගේම පැළ හිටෙව්වාම ඒවාට සතුන්ගෙන් වතුරෙන් හානි වෙන්න පුළුවන්. වතුර නැතිව හානි වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ.“ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අංශයේ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසීය.

කෙසේ නමුදු අධිකරණයෙන් දුන් ගස් සිටුවීමේ තීන්දුව සම්බන්ධයෙන් මහාචාර්ය බුද්ධි මාරඹේ පළ කළේ වන රක්ෂිත යථා තත්ත්වයට ගෙනෙන්නට නොහැකි වුවත් තිබුණු තත්ත්වයට ළඟා විය හැකි විසඳුමක් වශයෙනි. මහාචාර්ය බුද්ධි මාරඹේ දේශගුණික විපර්යාසවට අනුහුරුවීමේ විශේෂඥ කමිටුවේ සාමාජිකයෙකි.

විනාශ වූ භූමි ප්‍රදේශයේ වර්ගඵලයට සමාන භූමි ප්‍රදේශයක හිටවනවාද, දේශගුණික වශයෙන් සමාන ප්‍රදේශයක් ද කියලා අපි නිරීක්ෂණය කරනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදිව කටයුතු කරනවාද කියලා අපි නිරීක්ෂණය කරනවා. ඒ අයට කරගන්න බැරි වුණොත් අපි ඒ අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා.“ යනුවෙන් සඳහන් කළේ පරිසර යුක්ති කේන්ද්‍ර‍ෙය් සභාපති, නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ය.

යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම යටතේ මේ වන විට විල්පත්තු රක්ෂිතය එළිපෙහෙළි කර නිවාස 1893ක් ඉදිකර ඇත. එයින් නිවාස 1592ක පුද්ගලයෝ 5000ක් පමණ පදිංචි වී සිටිති. ලැබී ඇති නඩු තීන්දුවට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය නම් මෙම පවුල් ඔවුන් පදිංචි භූමිවලින් ඉවත් කළ හැකිය. ඔවුන් ඉවත් කර, අත්පත්කර ගන්නා භූමි ප්‍රදේශවල ගස් සිටුවිය හැකිය. එහෙත් එය හිතන තරම් පහසු නොවන්නේ මෙම ජනාවාසවලට විදුලිය ලබාදීම, පදිංචිකරුවන් පොල් වැනි ගස් වගා කර තිබීම වැනි කාරණා නිසාය. නමුදු විනාශ කළ වනයෙන් 50%ක්වත් තවමත් නැවත පදංචි කිරීම සඳහා යොදවා නැත. එමෙන්ම ඇතැම් නිවැසියන් නිවෙස් අත්හැර දමා ගොස් තිබෙන්නේ පහසුකම් නොමැති නිසාය. මේ අනුව විනාශ කළ විල්පත්තු භූමියෙන් 2/3ක් පමණ නැවත ගස් සිටුවීම සඳහා යෙදවිය හැකිය.

 

Comments