‘එක රටක් - එක නීති­යක්’ | Page 2 | සිළුමිණ

‘එක රටක් - එක නීති­යක්’

අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ ඇමැතිවරයා විසින් අධිකරණ පියස ගොඩනැගිල්ලට මුල්ගල තැබු අවස්ථාව
අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ ඇමැතිවරයා විසින් අධිකරණ පියස ගොඩනැගිල්ලට මුල්ගල තැබු අවස්ථාව

ලෝකයේ ඕනෑම රටක, සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී නීතියේ ආධිපත්‍යය හා කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් පවත්වා ගැනීම බොහෝ සෙයින් ඉවහල් වන සාධකයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශය ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අන්තර්ගත චතුර්විධ අරමුණු අතර විනය ගරුක හා සාධාරණ සමාජයක් බිහි කිරීම ප්‍රමුඛ අරමුණක් ලෙස දක්වා ඇත. එකී අරමුණු සාක්ෂාත් කර ගැනීමෙහිලා අධිකරණ අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීන හා මධ්‍යකාලීන සැලසුම් සහගත ඵලදායි වැඩපිළිවෙළක් මේ වනවිට ඉදිරිපත් කර ඇත. ඒ තුළ යල් පැනගිය නීති සංශෝධනය කර නීතිය යාවත් කාලීන කිරීම හා ඩිජිටල්කරණය තුළින් අලුත් තාක්ෂණය උපයෝගි කරගැනීම හරහා මහජන හිතෛෂී කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ඇති කිරීම නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම ආදී බහුවිධ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.

කොළඹ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණය මේ වනවිට ඇත්තේ ඉතා අබලන් තත්ත්වයේය. මැදින් පුපුරා ගිය බිත්ති අතරින් වන්දනාමාන කිරීමට තරම් බෝගස් පැළ වී ඇත. මෙයින් වසර සිය ගණනක ඈත අතීතයකට නෑකම් කියන මහාධිකරණයේ බිත්ති දෑතින් බැදිය නොහැකි තරමට පුළුල් වුව ද ඒවා පුපුරා ඉරිතලා ගොසිනි. අනෝරා වැස්සට කෙසේ මුත් සුළු වැස්සකට පවා තෙමෙන මහඅධිකරණ දකින මට සිහිවන්නේ ගම්පෙරළියේ එන මහගෙදරයි.

එදා මෙදාතුර කොළඹ මහ අධිකරණයෙන් ලබාදී ඇති ඓතිහාසික නඩු තීන්දු බොහොමයකි‍. එමෙන් ම තවත් චිරාත් කාලයකට මෙම අධිකරණ පද්ධතීන් රැකගත යුතුව ඇත. මෙම දීර්ඝකාලීන සංවර්ධන සැලැස්මේ එක් පියවරක් ලෙස කොළඹ අලුත්කඩේ ඇති ඉපැරණි අධිකරණ සංකීර්ණයන් වර්තමාන හා අනාගත අවශ්‍යතා සපුරාලීම සඳහා පුළුල් කිරීමේ කටයුත්ත ඉතා බැරෑරුම් හා කාලීන අවශ්‍යතාවයක්ව පවතී. ඒ අනුව මෙකී අධිකරණ පද්ධතිය පුළුල් කිරීම හරහා නවීන අ‍ංගෝපාංගයන්ගෙන් යුක්ත විධිමත් අධිකරණ පද්ධතියක් සකස් කිරීම හරහා මහ ජනතාවට ඵලදායි සේවයක් ලබාදීමට ද ස්ථාවර රටක් තුළ ආර්ථික සමෘද්ධිය ළඟාකර ගැනීම සඳහා එහි ඵල ප්‍රයෝජන ලබාගැනීම ද මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා අරමුණු කෙරේ.

එමෙන් ම දිනෙන් දින ‍ ගොඩනැ‍ඟෙන නඩු නිමිති පිළිබඳ විමසා බලන කළ මේ වනවිටත් අධිකරණ ගබඩා කාමරය පිරී ඉතිරී යන තරමට නඩු ෆයිල් ගොඩ ගැසී ඇත. ඇතැම් නඩු වසර 20 තරම් දිග්ගැසී ඇති අතර සමහර නඩුවල පැමිණිලිකරුවන් මියගොස් ය. තවත් නඩුවල විත්තිකරුවන් පරලොව ගොස් ය. එහෙත් නඩු නිමිත්ත තාමත් අධිකරණය හමුවේය. මෙසේ දිගින් දිගටම සිදුවන නඩු ප්‍රමාදයට නඩු ගොඩගැසීම, නඩු ඇසීමට, ඉඩකඩ සම්පත් හා පිරිස් ප්‍රමාණය අඩුවීම බලපා ඇත.

කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ අධිකරණ ගොඩනැගිලිවල පවතින අබලන් තත්ත්වයට විසඳුම් වශයෙන් හා නඩු කටයුතු කඩිනම් කර නඩු ප්‍රමාදය අවම කිරීමේ අරමුණින් රට ගැන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනාධිපතිතුමා ලබාදී තිබෙන ඉලක්ක කරා ගමන් කිරීමේ වැඩසටහනට සමගාමීව ‘අධිකරණ පියස’ නව සංකීර්ණය සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ඇරයුමින්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පසුගිය 25 වැනිදා මුල්ගල තබන ලදී.

අධිකරණ පියස නව ව්‍යාපෘතිය ප්‍රධාන අදියර 04 ක් යටතේ ක්‍රියාත්මක වෙයි. ඉදිකිරීම් ආයතනය ලෙස ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයයි. මෙම ව්‍යාපෘතියේ මුළු වටිනාකම රුපියල් මිලියන 16500 කි‍. මේ සඳහා අක්කර 06 පමණ භූමි ප්‍රමාණයක් වෙන්ව ඇති අතර ව්‍යාපෘති කාලය වසර 03 පමණවේ. 2021 ජනවාරි 25 දින සිට ඇරඹී 2024 ජනවාරි 25 දින ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.

මේ වනවිටත් වත්මන් රජය මඟින් අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඊට නවීන තාක්ෂණය එක් කිරීම තුළින් (Digitilization) එහි කාර්යක්ෂමතාව වර්ධනය කිරීම යනාදී කරුණු ගණනාවක් සඳහා අඩිතාලම දමා ඇති අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ.

ගෙවී ගිය මාස 04 කාලය තුළ නීති 40 ක් සංශෝධනය කිරීම සංකල්ප පත්‍රිකාවක් සකස් කොට අමාත්‍ය මණ්ඩලය වෙත අනුමැතියට ඉදිරිපත් ‍ කොට ඇත. අධිකරණ පද්ධතිය මඟින් ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට, මහජනතාව අධිකරණය මඟින් අනාගතයේදී සහන ලබාගැනීමට අවශ්‍ය වන්නාවූ පසුබිම කෙරෙහි අවධානය යොමු කර ඇත.

නව අධිකරණ පියස ස්ථාපිත කිරීමේ කටයුතු අප රටේ අනාගතය වෙනුවෙන් සිදු කරන අතර 1947 පසු මෙරට නීති පද්ධතිය නිසි ලෙස යාවත් කාලීන කිරීමට ද කටයුතු යොදා තිබේ. සෑම වසරකම අධිකරණ අමාත්‍යාංශයට ලබාදෙන රුපියල් මිලියන 4500 ප්‍රාග්ධන ප්‍රතිපාදනවලට අමතරව 2021 අයවැය ලේඛනය මඟින් රුපියල් මිලියන 20,000 ක් යටිතල පහසුකම්, ඩිජිටල්කරණය හා අනෙකුත් කාර්යයන් සඳහා වෙන්කරන ලදී‍.

අධිකරණ පියස නව ව්‍යාපෘතිය තුළින් පහත සඳහන් ආකාරයේ පහසුකම් ඇති කරනු ලබයි.

01. මහේස්ත්‍රාත් අධිකරණ පිහිටුවනු ලබන අධිකරණ සංකීර්ණය

මේ යටතේ ස්ථාපිත කරනු ලබන මහේස්ත්‍රාත් අධිකරණ 12 කි. නීති ආධාර කොමිසන් සභා කාර්යාලය, රෙජිස්ටාර් කාර්යාල හා ලේඛනාගාර ද ඊට ඇතුළත්ය.

02. අධිකරණ අමාත්‍යාංශය, විනිසුරු පුහුණු මධ්‍යස්ථානය, ස්ථාපිත කරනු ලබන සංකීර්ණය අමාත්‍යවරයාගේ හා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාල, අමාත්‍යාංශ කාර්යාලය, සම්මන්ත්‍රණ කාමර මීට අයත්ය.

03. මහාධිකරණ හා දිසා අධිකරණ සඳහා ඉදිකරනු ලබන සංකීර්ණය

මෙයට අපරාධ මහාධිකරණ 08 ක්, වාණිජ මහාධිකරණ 04 ක්, සිවිල් අභියාචන මහාධිකරණ එකක්, දිසා අධිකරණ 10 ක්, කම්කරු අධිකරණ 06 ක් ඇතුළත් ය.

04. නිල නිවාස සංකීර්ණයට (Quarters Complex) විනිසුරු නිල නිවාස 40 ක් අමාත්‍යාංශ හා නිලධාරි නිල නිවාස 10 තුළ ළඟා කරගත් ඉලක්ක ඇතුළත් වේ.

මේ මුල්ගල් තබන අවස්ථාවට එක්වුණු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ අලුත් අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිට පනත ජනතා පියස බවට පත්විය යුතු බවයි. ‘එක රටක් එක නීතියක්’ වෙනුවෙන් ජාතික අවශ්‍යතාව ගොඩනැඟීමේ කාර්යයට රජය මුල පුරා තිබෙනවා. නීතියේ ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම ක්‍රමවේදයකින් ආරවුල් විසඳා ගැනීමට නම් අධිකරණය නීතිඥවරුන් හා මහජනතාව යන අය සියලු දෙනා එක්ව යල් පැනගිය ක්‍රමවේදවලින් එළියට බැස ආකල්පමය වෙනසක් කළයුතු යැයි ද මෙහිදී අගමැතිවරයා පැවසීය. මෙහිදී පැවැති උත්සවය ඇමතූ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පැවසුවේ යල් පැනගෙන ගිය නීති සංශෝධනය කොට වර්තමානයට ගැළපෙන පරිදි නීති හඳුන්වා දී නවීන තාක්ෂණය මඟින් නීති ගැටලු විසඳා ගැනීමට දිගුකාලීන වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.‍

මෙහිදී වර්තමාන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා යටතේ පසුගිය සිවුමසක කාලහෝරාව තුළ ළඟා කර ගත් අධිකරණ ක්ෂේත්‍රයේ ඉලක්ක, ජයග්‍රහණ හා වැඩකටයුතු ප්‍රමාණය විශාල බව සඳහන් කළ යුතුය.

Comments