මුග්ධභාවයෙන් මිදීමට නම් | Page 2 | සිළුමිණ

මුග්ධභාවයෙන් මිදීමට නම්

 

“මම ආසියානු හා අප්‍රිකානු රටවල් රාශියක සැරිසැරුවා. ඒ රටවල්වල පවතින සංවර්ධන ගැටලු රාශියක් මට වටහා ගැනීමට වරම් ලැබුණා. මම දෑසින්ම දැක ගත්තා අසංවර්ධනය කියන්නේ මොකක්ද කියල. මම දෑසින්ම දැක ගත්තා නූගත්කම කියන්නේ මොකක්ද කියල. ඒ විතරක් නොවේ මම දැක ගත්තා දුප්පත්කම මොකක්ද කියල. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මට, ඔබේ අතේ තිබෙන ඔය පොත ලිවීමට පුළුවන්කම ලැබුණේ.“

මෙසේ ප්‍රකාශ කළේ සන්නිවේදන අධ්‍යයනයේ දැවැන්ත විශාරදයකු වූ මහාචාර්ය විල්බර් ශ්‍රාම් (Wilbar Schramm) මහතාය. ඒ වෙලවේ මගේ අතේ තිබුණේ මීට කලකට උඩදි මා අතට පත්වූ “ජාතික සංවර්ධනය හා ජනමාධ්‍ය“ (National Development and Mass Media) නමැති ඉහළ ගණයේ පර්යේෂණ කෘතියයි. අප දෙදෙනාගේ හමුව සිදු වූයේ හවායි (Hawaii) රටේ, හොනාලුලු (Honalulu) නගරයේ පිහිටා ඇති ඊස්ට් වෙස්ට් සෙන්ටර් (East West center) නමින් හඳුන්වනු ලබන සංසදයේදීය.

“ඔබ මූලික වශයෙන් මුග්ධභාවයය (Ignorance) සහ ඥානවන්ත භාවය (Knowledge) යන සංකල්ප දෙක ගැඹුරු විමර්ශනයට පාත්‍ර කරනවා නේද?“

“ඔව්. මම පෙන්වා දී ඇති අන්දමට අඥානකම නැතිනම් මුග්ධභාවය උපතින් හටගන්නා, උපතින් උරුමවූ සාධකයක් නොවේ. උපතින් මුග්ධභාවය රැගෙන එන කිසිම කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ නෑ.

මම, කල්පනාවේ නිගමග්නව අසා සිටිමි. මහාචාර්යතුමා කරුණු පැහැදිලි කිරීම පටන් ගනියි.

“හැම ජන කොටසක්ම තමන්ට උරුම වූ අත්දැකීම් (Experiences) වලින් සන්නද්ධයි. මේ අත්දැකීම් වලින් ඒ ජන කොටසට දැනුමක් (Knowledge) අත්පත් වෙනවා. මේ දැනුම කලින් කළ ඔප මට්ටම් කර ගැනීමට ඒ ජනකොටසට සිද්ධ වෙනවා. එහෙම නොවුනහොත් සිදුවන්නේ ඒකාකාරී ජීවිතයක් ගත කිරීමටයි. මට පෙනී ගිහින් තිබෙනවා, ඇතැම් ජන කොටස්, ජන සමූහයන්, වෙනත් ජන සමූහයන්ට වඩා ඉදිරියෙන් ඉන්න බවක්. මම, මේ ගැන හෙව්වා. හොයාගෙන හොයාගෙන යනකොට මට පෙනුණා අධ්‍යාපනය පසුබිම පිළිබඳ සාධක සමුදායක්. අපි අද අධ්‍යාපනය (education) යනුවෙන් පුළුල් අර්ථ සපයන්නේ, අපේ සමාජවල වඩාත් සංවර්ධනශීලී (developmental) උපක්‍රම වශයෙනුයි. මානව සංහතියට අධ්‍යාපනය තමයි, ලැබුණු මහා පුදුමාකාර ජීවන දායාදය. එහි මූලාකාංග තමයි, අකුරු ලිවීමට හා අකුරු කියවීමට ශක්තියක් ලැබීම. එය හඳුන්වන්නේ "ability to read and write letters"කියල. මට හමුවූ ඇතැම් මානව කණ්ඩායම්වල මේ හැකියාව පහළ මට්ටමක තිබෙනවා. ඒ නිසා මොකද සිද්ධ වෙන්නේ?“

“මොකක්ද සිද්ධ වෙන්නේ?“

“සිද්ධවෙන දේ අපේ ඇස් පනාපිටම අපට පේන්නට පටන්ගෙන තිබෙනවා. අකුරු කරවීමට පාසල් නැහැ. අකුරු කරවීමට ශක්තිය ඇති ගුරුවරුන් නැහැ. මේ නිසා මොකක්ද සිද්ධ වෙන්නේ?“

“සිද්ධවෙන දේ පැහැදිලියි. ඒ සිද්ධවීම තමයි, මානව චින්තනය (human thinking) පසුබානවා. තමන් වෙසෙන ජීවන කලාපය වැඩි දියුණු කළ හැකි මාර්ග ගැන හිතන්නට පුළුවන්කමක් නැහැ. භූමි භාගයන් තිබුණාට, ඒ භූමි භාග අස්වද්දන හැටි, එමගින් බව බෝග ලබාගත හැකි මාර්ග පුරුද්දෙන් දැනගෙන ඉන්නවා මිසක්, ඒවා වැඩිදුරටත් සංවර්ධනය කළ හැකි ආකාරය සාකච්ඡා කෙරෙන්නේ නෑ. කතිකාවක් ගොඩ නැගෙන්නේ නෑ. මේ නිසා මොකද වෙන්නේ?“

“මොකද වෙන්නේ?“

“සංවර්ධනය පහුබෑමක් ඇති වෙනවා. නූගතුන් වැඩි වෙනවා. නූගත්කමත් සමඟම දිළිඳුකමත් මිශ්‍රනය වෙනවා. මේ තත්වය වෙනස් කිරීමට සිදු වෙනවා. කොහොමද ඒක කරන්නේ?“

“කොහොමද ඒක කරන්නේ?“

“මුග්ධභාවය පලවා හරින මූලික කාර්යය වන දැන උගත්කම් ප්‍රචලිත කිරීමට සිදුවනවා. නූගතුන් බහුල ජන සමූහයක් වෙනස් මගකට හැරවීමට දැන උගත්කම් ඇති උදවිය පෙරමුණ ගත යුතුයි.“

මට මතක් වූයේ නෙල්සන් මැන්ඩෙලා මහතා වතාවක් කී දේකි.

“අධ්‍යාපනය වූ කලි ලෝකය අපට වෙනස් කළ හැකි උපකරණය වේ.“

(Education is He weapon with which we can change He World)

Comments