
ඔහු තමන්ට සිදුවන්නට යන දේ හොඳින්ම දැන සිටියේය. ඇහැටවත් නොපෙනෙන කොරෝනා වයිරසය තම සිරුරට ඇතුළු වූ මොහොතේ සිට තමන් ක්‍රමයෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙමින් සිටින බවත් ජීවිතය පවා අවදානම් බවත් ඔහු දැන සිටියේය. තමන්ට පමණක් නොව තම ආදරණීය බිරිඳට පියාට සහ මවට පවා මේ කොරෝනා වයිරසයෙන් ගැලවීමක් නොවූ බව ද ඔහු දැන සිටියේය.
ක්‍රමයෙන් අසාධ්‍ය වූ ඔහුගේ ජීවිතය බේරාගැනීමේ අවසන් ප්‍රතිකාරයට සහෝදර වෛද්‍යවරු ඔහු යොමුකරද්දී ඒ වනවිටත් කොරෝනා ආසාදනය වී සිටි සිය බිරිඳගේ මුහුණ දෙස බැලූ ඔහු ආයාසයෙන් වචන
![]() |
වෛද්‍ය ගයාන් සිය බිරිය සමඟ |
පිටකරන්නට වූයේය. කතා කිරීමේ පහසුව ඇතිකරගැනීම සඳහා අවශ්‍ය ඖෂධයක් ද ලබාගත් ඔහු සිය බිරිඳ අස්වැසුවේය. නමුත් තමන්ට යළි බිරිඳ හා කතා කිරීමට හැකිවනු ඇත්දැයි සැකයක් ඔහුගේ සිතේ තිබෙන්නට ඇත. කොරොනා ආසාදනය වූ බොහෝ රෝගීන් තමන්ට සිදුවෙමින් තිබෙන දේ දන්නේ නැත. නමුත් ඔහු ඒ සියල්ල හොඳින් දැන සිටියේය.
මේ වයිරසය තමන්ට කොවිඩ් නිව්මෝනියා තත්ත්වය ඇතිකර තිබෙන බවත්, ඒ නිසාම පෙනහළුවල දී ඔක්සිජන් හුවමාරුව නිසිපරිදි සිදු නොවන බවත් ඔහු දැන සිටියේය.
කොළඹ අයිඩීඑච් රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට තමන් ගෙන ගියේ ශ්‍රී ලංකාවේ ඇති එකම “එක්මෝ” (Extra Corporeal Membrane Oxygenation) යන්ත්‍රයේ ආධාර ලබාදීමට බව ඔහු දැන සිටියේය.
රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉතා අඩුවී තිබී ප්‍රතිකාර ලැබෙද්දී එය 100% නිවැරදි වී ඇතැයි හෙදියක් කියූ විට ඔහු සන්තෝෂයෙන් අත්පුඩි ගැසුවේ තමන්ට ජීවත්වීමට අවකාශයක් ඇති බව ඒ මොහොතේ හොඳින්ම දැන සිටි බැවිනි. නමුත් මොහොතකින් ඒ සියල්ල යළි වෙනස් වූයේය. ජීවත්වීමේ අවස්ථාව ඔහුට අහිමිකරමින් කොරෝනා වයිරසය ඔහුගේ ජීවිතය උදුරාගත්තේය. ,මේ මරණය මෙරට තවත් එක් සාමාන්‍ය කොරෝනා මරණයක් වූයේ නැත.
ඒ කොරෝනා ආසාදනය හේතුවෙන් මෙරට දී මියගිය පළමු සෞඛ්‍ය සේවකයාය. ඔහු වෛද්‍යවරයෙකි. සමකාලීනයන් පවසන පරිදි ඔහු අසාමාන්‍ය වෛද්‍යවරයෙකි. මානව දයාවෙන් පිරි උත්තුංග මිනිසෙකි.
මේ පසුගිය දා ශ්‍රී ලාංකික සමස්ත ජනතාවගේම හදවත් සසල කරමින් මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායනයි.
රාගම තේවත්ත පල්ලිය පාරේ පදිංචිව සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මියයන විට යන්තම් 32 හැවිරිදි වියට පා තැබුවා පමණි. ගයාන් ඉගෙනුම ලබා ඇත්තේ නුගේගොඩ ලයිසියම් විද්‍යාලයේය. වයස අවුරුදු 16ක් වෙද්දී චීනයේ ටියැංජි වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ හෙතෙම වයස අවුරුදු 20ක් තරම් ළාබාල අවදියේ දී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළේය. ඔහු ටියැංජි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එම කණ්ඩායමේ සිටි ළාබාලම සිසුවා වූ බැවින් ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය සිසුන්ගේ ද ‘මල්ලී’ වූවේය. ඔහුගේ පියා වෛද්‍යවරයෙකි. ගයාන් ට වැඩිමහල් සහෝදරයකු, බාල සහෝදරයකු සහ සහෝදරියක සිටිය ද වැඩිමහල් සහෝදරයා ද දුම්රියේ සිදුවූ අනතුරකින් හදිසියේම දිවියෙන් සමුගෙන තිබිණි.
ගයාන් චීනයේ ඉගෙනුම ලබද්දී ඔහු සමඟ සිටි අහමද් රිෆ්කාන්ට මේ මරණයේ කම්පනය තවමත් දරාගත නොහැකිය.
![]() |
දේහය දඩල්ල ආදාහනාගාරයට රැගෙන යන අයුරු |
“ගයාන් අපි හැමෝගෙම මල්ලී කෙනෙක් වගේ හිටියේ. ඔහු රෝහල්ගත වෙලා සිටිය දී මම මුස්ලිම් ජාතිකයෙක් වුණත් අපි වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාස කරනවා වගේම ආගමික වත් පිළිවෙත් අනුවත් කටයුතු කරමින් බෝධි පූජා පවා තිවුවා. නමුත් අපිට ගයාන්ගේ ජීවිතය බේරාගන්න බැරිවුණා. ඔහුට ආගමක් ජාතියක් කියා වෙනසක් තිබුණේ නැහැ. ශ්‍රී ලාංකික ද විදේශීය ද කියලා මිතුරන් ආශ්‍රය කරද්දී වෙනසක් තිබුණේ නැහැ. අපිට ඔහුගේ ජීවිතය බේරාගැනීමට නොහැකිවීම ගැන තිබෙන්නේ විශාල කනගාටුවක්. ඉතාමත් හොඳ අවංක මිත්‍රයෙක් අපිට නැතිවුණා.” යනුවෙන් ඔහු පවසයි.
ගයාන්ට සුවිශේෂී හැකියාවක් තිබිණි. කුඩා කාලයේ සිට සංගීතයට හා ගායනයට ප්‍රිය කළ ගයාන් මිතුරන්ගේ සාද වලදී වෙනත් විනෝද උත්සවවල දී නැතිවම බැරි වූයේය. අන් අය මධුවිත තොලගාද්දී කිසිදා මත්පැන් පානය නොකළ ගයාන් ගිටාර් වාදනය කරයි. ඔහු දක්ෂ ගිටාර් වාදකයෙකි. එමෙන්ම ගීත ගායනයෙන් ද තම මිතුරු මිතුරියන් කුල්මත් කරන්නට ඔහු සමත්කම් දැක්වූයේය. චීනයේ ටියෑංජි විශ්ව විද්‍යාලයේ දී ද ඔහු සුවිශේෂී චරිතයක් වූයේ මේ නිසාය.
චීනයේ දී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර මෙරටට පැමිණ අදාළ සුදුසුකම් අනුව රජයේ වෛද්‍ය සේවයට එක්වූ ගයාන් දන්තනාරායන තරුණ වෛද්‍යවරයාට රැකියාව සඳහා ලැබුණේ හලාවත සහ අම්පාර වැනි දුෂ්කර රෝහල්ය. නමුත් ඔහු එය තම සේවාවට ආශිර්වාදයක් කරගත්තේය.
ළමයින් වෙනුවෙන් විශේෂ අවධානයකින් පසු වූ වෛද්‍ය ගයාන් අම්පාර රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ සේවය කරන කාලයේ දී ඔහු දැන හඳුනාගත් වෛද්‍ය ජනිත පේදුරුආරච්චි මෙසේ පවසයි.
“ගයාන් පුදුම ගතිගුණ තිබෙන වෛද්‍යවරයෙක්. මම දෙහිඅත්තකණ්ඩිය වැඩකරපු කාලේ අසාධ්‍ය ළමයි අරගෙන අම්පාර රෝහලට යන්න වෙනවා. මේ වෙනකොට යුද්ධය අවසන් වූ අලුත. පාරවල්වල තියෙන්නේ විශාල වළවල්. ගිලන්රථයකින් පවා කිලෝ මීටර 125ක් වූ මේ දුර යාම පහසු කාර්යයක් නෙවෙයි. ඇතැම් දවස්වලට යන්නේ මහ රෑට අරන් යන ළමයින් ඉතා අසාධ්‍යයි. මේ ගොඩක් දවස්වලට ළදරු දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ ගයාන් මල්ලී. අපි රැගෙන යන ළමයාව ඉතාමත් ඉක්මණින් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරලා ඔහු අහන පළමුවෙනි දේ තමයි ‘අයියේ කාලද ආවේ ?’ කියන එක. ඉතින් අපිව රෝහලේ ආපනශාලාවට එක්ක ගිහින් කෑමත් අරන් දීලා අර ළමයාව පරෙස්සමෙන් එක්කගෙන ආවාට අපිට ස්තූති කරන්නත් ගයාන් කවදාවත් අමතක කරන්නේ නැහැ.”
වෛද්‍ය ගයාන් දන්තනාරායන දරුවන් වෙනුවෙන් ම කැපවූ වෛද්‍යවරයකු බව බොහෝ දෙනකුගේ අදහසයි. ඔහු සියලු දරුවන් සැලකුවේ තමන්ගේ දරුවන් හා සමානව බව ඔවුහු කියති.
![]() |
කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති
ශ්‍රී ලංකාවේ එකම “එක්මෝ” යන්ත්‍රය
|
අම්පාරේ සේවය කරන කාලයේ ඇතැම් අවස්ථාවල දී වඩාත් අසාධ්‍ය වන දරුවකු ද රැගෙන ගිලන්රථයකින් මහනුවරට හෝ කොළඹට හෝ පැමිණීමට ඔහු පසුබට වන්නේ නැත. වෛද්‍යවරයකුගේ සේවයටත් වඩා එහා ගිය මානුෂීය සේවාවක් එහි තිබිණි.
මේ ගුණයට අමතරව ඔහුගේ වෙනත් දක්ෂතාවක් පිළිබඳ අප සමඟ පවසන්නේ වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ පවුලේ හිතවතකු වූ නිමේෂ් රාවණගේය.
“ගයාන් කියන්නේ පුදුමාකාර ගතිගුණ තිබුණු හැමෝටම සහෝදරයෙක් වගේ සලකපු මනුස්සයෙක්. ඔහු තුවාලවලට ප්‍රතිකාර කරන්න අති දක්ෂයෙක්. තුවාල පිරිසිදු කරලා ඒවාට බෙහෙත් දාන්නේ කිසිම රෝගියකුට දැනෙන්නෙවත් නැති විදියට. ඒ වගේම ඔහු තුවාලයකට අත තිබ්බොත් ඒක ටික දවසකින් හොඳ වෙනවා. සුළු මොහොතක් හෝ ඔහු සමඟ කතා කරපු හැම කෙනෙක්ම ඔහුට ආදරය කළා.”
ගයාන් තරුණවියේ දී ම දියවැඩියාව හා අධි රුධිර පීඩනයට ගොදුරුවීම කොරෝනා වයිරසයට ඔහු බිලිවීමට හේතුවක් වූ බව වෛද්‍යවරුන්ගේ මතයයි. උස මහත සිරුරකින් හෙබි ඔහු දීර්ඝකාලීනව ඖෂධ ගත් අයකු බවට පත්ව සිටියේය. බිරිඳ, මව හා පියා ඇතුළු පවුලේ කිහිප දෙනෙකුටම කොරෝනා ආසාදනය වී සුව වුව ද ඔහුට මෙලෙස දිවියෙන් සමුගන්නට සිදුවූයේ මේ දිගුකාලීන රෝග හේතුවෙනි.
කොරෝනා ආසාදනය වනවිට රාගම රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ගයාන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ අයිඩීඑච් රෝහලටත් එතැනින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරුකර යැව්වේ ඔහුට වැලඳුණු රෝගයට වෛද්‍ය විද්‍යාවේ ලබාදිය හැකි ඉහළම ප්‍රතිකාරය ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල වූ බැවිනි.
කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහලු ආසාදනය වී රුධිරයේ ඔක්සිජන් හුවමාරුව නිසි පරිදි සිදු නොවීමේ තත්ත්වයකට ඔහු පත්ව සිටීම හේතුවෙන් එක්මෝ යන්ත්‍රය මගින් එම කාර්යය කෘතිමව සිදු කෙරිණි. එය ආරම්භ වූයේ පසුගිය ජනවාරි 27 වැනි දා ය. එහෙත් පෙබරවාරි 02 වැනි දා උදෑසන අසන්නට ලැබුණේ ගායාන් දන්තනාරායන නම් මේ තරුණ වෛද්‍යවරයා තම දිවියෙන් සමුගත් බවයි.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චිගේ නිගමනය වූයේ දීර්ඝකාලයක් පුරා පැවැති දියවැඩියාව හා අධි රුධිර පීඩනය සමඟ කොරෝනා ආසාදනය වීමෙන් කොරෝනා නිව්මෝනියා තත්ත්වය වර්ධනය වී මරණය සිදුව ඇති බවයි.
රාගම රෝහලේ සේවය කළ මේ උත්තුංග වෛද්‍යවරයාට නොදන්නා ගාල්ල ප්‍රදේශයේ දී අවසන් ගමන් යන්නට සිදුවිය. කරාපිටිය ශික්ෂණ රෝහලේ සහෝදර වෛද්‍යවරුන් විසින් පහසුකම් සපයා බෞද්ධ ආගමික වතාවත් සිදුකෙරිණි. බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන්ගේ අවසන් ගෞරව දැක්වීමෙන් පසු වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ දේහය ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ දී නිරෝධායන නීති අනුව ආදාහනය කෙරිණි. වෛද්‍ය ගයාන් ඇසුරු කළ හා ඔහු ගැන දැනසිටි අය පමණක් නොව සිද්ධිය ඇසූ සුවහසක් ජනතාවගේ සෝ සුසුම් මැද ඔහු යන්නටම ගියේය. කොරෝනා වසංගතයේ භයානකත්වය ඔහුගේ මරණය අපට පසක් කළේය.