ජිනීවා මානව හිමි­කම් කඩ­තු­රා­වෙන් වැසුණු සැබෑව | සිළුමිණ

ජිනීවා මානව හිමි­කම් කඩ­තු­රා­වෙන් වැසුණු සැබෑව

ඡායාරූපය රුක්මල් ගමගේ
ඡායාරූපය රුක්මල් ගමගේ

දැනට වසර කිහිපයක් තිස්සේ සාකච්ඡාවට ලක්වෙමින් ඇති, සාමාන්‍ය ව්‍යවහාරයේදී ජිනීවා යෝජනාව, ජිනීවා උගුල, මානව හිමිකම් යෝජනාව ආදී නම් වලින් හැඳින්වෙන සංසිද්ධියේ ඉතිහාසය පළමුව, සංක්ෂිප්තව හඳුනා ගනිමු. මෙහිදී ලංකාවට එල්ල වන අභියෝගය හා ඊට ඇති පිළිතුර ගැන සාකච්ඡා කිරීමට එය ප්‍රවේශයකි.

 

අප කවුරුත් දන්නා පරිදි තිස් වසරකට ආසන්න කාලයක් අපේ රටේ සන්නද්ධ ගැටුමක් තිබිණි. එය නිර්මාණය වන්නේ එල්.ටී.ටී.ඊ. ය විසින් වාර්ගික පදනමක් මත රටේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල වෙනම රාජ්‍යයක් බිහිකිරීම සඳහා ගෙන ගිය ව්‍යාපාරය මතය. මෙය බෙදුම්වාදී ව්‍යාපාරයකි. මේ බෙදුම්වාදී සන්නද්ධ සටනේදී එල්.ටී.ටී.ඊ. ය මහා පරිමාණ වශයෙන් ත්‍රස්තවාදය උපයෝගී කර ගත්තේය. මේ ප්‍රශ්නය ආරම්භයේ පටන්ම මෙරට බලයේ සිටි ආණ්ඩු එහි කෙළවරක් දැකීමට වෑයම් කළේය. ඒ ක්‍රම දෙකක් අනුගමනය කරමිනි.

විටෙක සාකච්ඡා මාර්ගයෙන් විසැඳුමක් සෙවීමට වෑයම් කළ අතර ජේ.ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ මෙන්ම මහින්ද රාජපක්ෂ පවා මේ මාර්ගය තෝරා ගත්හ. එහෙත්, එය සාර්ථක වූයේ නැත. එසේ අසාර්ථකවීමට බලපෑ ප්‍රධාන හේතුව එල්.ටී.ටී.ඊ. ය අනුගමනය කළ අතිශය අනම්‍ය, දඩබ්බර, අන්තවාදී පිළිවෙතය. එය සාක්ෂි සහිතව පැහැදිලි කළ හැකි කාරණයකි. එල්.ටී.ටී.ඊ. සෑම විටෙකම සාකච්ඡා මේසයෙන් නැගිට ගියේ ස්වාධීන, ස්වෛරී රාජ්‍යයකට කිසිසේත් ඉටුකළ නොහැකි බෙදුම්වාදී ඉල්ලීම මේසය මත තැබීම නිසාය.

මේ ගැන කිසිවකුට හෝ සැකයක් තිබේ නම්, එය නිරාකරණය කර ගැනීමට හොඳ නිදසුනක් දැක්විය හැකිය. එල්.ටී.ටී.ඊ. ය එලෙස සාකච්ඡාවෙන් ඉවත්ව සිටිමින් එහි නායකයා කළ සෑම කතාවක්ම අවසානයේ නොවරදවා කියූ වාක්‍යක් තිබිණි. දෙමළ ඊළාම් විමුක්ති කොටින්ගේ පිපාසය දෙමළ ඊළම බව ය. සාකච්ඡා බිඳ වැටීම ගැන සිංහල සමාජයේ ඇතැම් දෙනා, සාමය ගැන කතා කරන අය ආණ්ඩුවල අඩුපාඩු ගැන කතා කරනු දැකිය හැකිය. ඔවුන් කියන අයුරින්ම නොවුණද ආණ්ඩුවල අඩුපාඩු ද නොතිබුණා නොවිය හැකිය. සාකච්ඡා බිඳ වැටීමත් සමඟ මේ ආණ්ඩු ගණනාවක්ම වෑයම් කළේ ප්‍රශ්නය යුධ ක්‍රියාමාර්ගයකින් විසැඳීමටය.

ජයවර්ධන ආණ්ඩුවේ සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දක්වා මේ ආණ්ඩු අතරින් එවැනි ක්‍රියා මාර්ගයකට නොගියේ, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පමණි. තිම්පු, ඔස්ලෝ, ජිනීවා වැනි තැන්වලදී සාකච්ඡා සිදුවූ අතර ජයවර්ධන සමයේ මීට මිලිටරි විසැඳුමක් සෙවීමේ වෑයමක් දිගටම තිබිණි. එම ප්‍රයත්නයේ තීරණාත්මක කඩඉම 1987 මැද භාගයේ ක්‍රියාත්මක කළ ‘නිදහස් මෙහෙයුමය‘ (ඔපරේෂන් ලිබරේෂන්) මේ මෙහෙයුම හමුවේ එල්.ටී.ටී.ඊ. පසු බැස්සේය. පරාජය කරා ගමන් කරමින් සිටියේය. පෙරළා පාහර දුන්න ද ඔවුන් ප්‍රපාතය කරා යන බව පෙනිණි. ඔපරේෂන් ලිබරේෂන් පෙරටම ගෙනයාමට ඉඩ දුන්නේ නම්, එල්.ටී.ටී.ඊ. ය එදා පරාජය කළ හැකිව තිබිණි. එහෙත්, ඉන්දියාව මැදිහත්විය. ගුවනින් පරිප්පු දමා ලංකා ආණ්ඩුවට බලපෑම් කර එම මෙහෙයුම නතර කළේය. ඉනුත් නොනැවතී ඔවුන්ගේ අභිමතය පරිදි සැකසූ පළාත් සභා නමැති විසැඳුමක් අප මත ආරෝපණය කිරීම ද සිදුවිය.

මෙහිදී ද එල්.ටී.ටී.ඊ. යේ අනම්‍ය බවට සාක්ෂි හමුවේ. මෙරට ගුවන් සීමාව බලහත්කාරයෙන් උල්ලංඝනය කරමින් ඉන්දියාව බලහත්කාරයෙන් අත්සන් කළ ‘ඉන්දු, ලංකා ගිවිසුම‘ එල්.ටී.ටී.ඊ යද පිළිගත්තේය. පිළිගත්තා පමණක් නොව පරණ ආයුධ කිහිපයක් ද බාර දුන්නේය. ඊට ටික දිනකට පසු ඔවුන් කළේ, ඉන්දීය සාම හමුදාවට එරෙහිවද සටන් කිරීමය. රණසිංහ ප්‍රේමදාස, එල්.ටී.ටී.ඊ. යට පුළුවන් තරම් උදවු කළේය. නායකයන්ට ද උදවු කළ අතර, අන්තිමේ එය කෙළවර වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ද ඝාතනය කරමිනි. එල්.ටී.ටී.ඊ. ය දිගින් දිගටම ශක්තිමත් විය.

චන්ද්‍රිකා කුමාරතුංග 1994දී බලයට පත්වීමෙන් පසු පෙනී සිටියේ, සාමයේ දූතිකාව වශයෙනි. ජනතාව ද විශාල ලෙස බලාපොරොත්තු දල්වා සිටියහ. ඇය ද සාකච්ඡා ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූවාය. මාස කිහිපයකට පසු එල්.ටී.ටී.ඊ. ය යළි පහරදීමට පටන්ගත්තේය. එවර චන්ද්‍රිකා ද මිල්ටරි ක්‍රියාමාර්ගය තෝරා ගත් අතර, යාපනය එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මුදවා ගැනීමට ඇයට හැකි විය. එසේ වුවද, ඉන්පසු ඇයට අත්වූයේ දරුණුතම පරාජයක්ය. ඉන්පසුව අගමැති රනිල් වික්‍රමසිංහ සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබීය. ජනාධිපතිනි චන්ද්‍රිකාට එම 2001 - 2004 ආණ්ඩු සමයේ බලයක් නොතිබිණි. මේ සටන් විරාමය ද එල්.ටී.ටී.ඊ. ය භාවිත කළේ, සිය පිරිස් බලය, අවිබලය, මුදල් බලය වැඩිකර ගැනීම පිණිසය.

2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වන විට එල්.ටී.ටී.ඊ. යට නොනිල වෙනම රාජ්‍යයක් තිබිණි. භූමිය මෙන්ම පාබල, නාවික හා යම් ගුවන් බලයක් ද තිබිණි. පොලීසිය හා උසාවි ද විය. බැංකු, මුදල් නෝට්ටු තිබූ අතර වෙනම රාජ්‍යයක් නොවුණේ නමින් පමණි. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ද සාකච්ඡා මේසයට ගියේය. ජිනීවා මෙන්ම ඔස්ලෝ සාකච්ඡා අසාර්ථක විය.

එල්.ටී.ටී.ඊ. ය මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔවුන්ට මිලිටරි වශයෙන් උත්තර දීමට තීරණය කළේය. එකී මිලිටරි ක්‍රියාමාර්ගය ආරම්භ වූ වහාම අමෙරිකාව, යුරෝපා සංගම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බටහිර රටවල අරමුදල්වලින් යැපෙන සිවිල් සමාජ කණ්ඩායම් ආදී සියල්ල මානව හිමිකම් උල්ලංඝණය වන බවට හා අන්තර්ජාතික මානුෂීය හිමිකම් නීති උල්ලංඝනය වන බවට චෝදනා නඟන්නට පටන්ගත්හ. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ සමයේ ද මිලිටර් ක්‍රියාමාර්ගයට යනවිට ඔවුන් හැසිරුණේ එලෙසය. රාජපක්ෂ ජනාධිපතිවරයා මේ චෝදනා නොතකමින් පළමුව නැගෙනහිර එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් නිදහස් කර ගැනීමට සමත් විය. එය දුෂ්කර මෙන්ම දහස් ගණනක් ජීවිත පූජා කළ සටනකි. අනතුරුව තවත් දුෂ්කර හා ජීවිත පරිත්‍යාගයෙන් කළ සටනක කෙළවර උතුර ද ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගනිමින් 2009 මැයි 19 වැනිදා රට එක්සේසත් කිරීම සිදුවිය. එල්.ටී.ටී.ඊ. නායකයා ඇතුළු ප්‍රබල­‌ෙයා් සියල්ල පාහේ එම සටනින් මිය ගියහ. මෙම සටන සිදුවන විට යුද අපරාධ චෝදනා ද නැඟෙන්නට විය. එය කොතරම් ද යත් 2009 පෙබරවාරියේදී එවකට මෙරට සිටි අමෙරිකා තානාපති රොබට් ඕ බ්ලේක් එවක විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමට කීවේ මේ සටන සිදු වුවහොත් කවදා හෝ ඔබේ රටට යුද අපරාධ චෝදනා එල්ල විය හැකි බවය. ජිනීවා උගුල නිර්මාණය වූයේ කෙසේදැයි මේ කාරණාවලින් පැහැදිලි වේ. යුද්ධය නිමාවී දින 3කට පසු එවක එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මුන් ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙහි විශේෂයක් තිබේ.

ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් ඉරාකය ආක්‍රමණය කළේ 2003 දීය. මේ දක්වා බැන් කී මුන් හෝ වෙනත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයකු එහි සිදුවන යුද අපරාධ සොයා බැලීමට එරටට ගොස් තිබේද? මෙහි පැමිණි, බැන් කී මූන් ලංකාණ්ඩුවට කියා සිටියේ විශාල වශයෙන් වගවීමේ ප්‍රශ්න නිර්මාණය වී ඇති බවය. අන්තර්ජාතික සබඳතාවලදී භාෂාව රැවටිලිකාරී ලෙස භාවිත වන බව පැහැදිලි කාරණයකි. “වගවීම“ ද එවැනි වදනකි. මෙහි හරය, යුද අපරාධ සිදුවී ඇති බව සහ ඒවා කළ අයට දඬුවම් කළ යුතු බවය. ඊට දින කිහිපයකට පසු මැයි 26 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ගැන විශේෂ සැසිවාරයක් පැවැත්වීය. එවකට සිටි මානව හිමිකම් මහකොමසාරිස්වරිය, නවනීදම් පිල්ලේ මහත්මිය ඊට වීඩියෝ පණිවිඩයක් එවා තිබිණි. ඉන් ඇය කියා සිටියේ, මේ යුද්ධයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා යුද අපරාධ කළ බවට “පිළිගත හැකි සාක්ෂි“ ඇති බවය. පුදුමය නම්, මේ සටන සිදුවන විට ඇය මෙහි සිටියේ නැත. මේ කිසිවකුත් එය බලා සිටියේ නැත. එසේ වුවද යුද්ධය අවසන් වී සතියක් ගතවන විට, කොමසාරිස්වරිය කීවේ “පිළිගත හැකි සාක්ෂි“ ඇති බවයි. මෙලෙස දිගහැරෙන්නේ මේ ව්‍යාපෘතිය විකාශනය වූ හා නිර්මාණය වූ අයුරුය. මේ ව්‍යාපෘතියේම දිගුවක් ලෙස ලොව බලවත් රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැඟීමට වේදිකාවක් කරගත්හ. ඔවුන් හඬ නඟන්නට වූයේ, මේ චෝදනා විභාග කර දේශපාලන හා මිලිටරි නායකත්වයට දඬුවම් කළ යුතු බවටය. එවක් පටන් දිගින් දිගටම මානව හිමිකම් කවුන්සිලය වේදිකාවක් කර ගනිමින් මෙරට දෙමළ ජාතික සන්ධානය හා සිවිල් සමාජ කණ්ඩායම්, දෙමළ ඩයස්පෝරාව ආදියේ ද සහාය ලබා ගෙන චෝදනා නැඟීම සිදුවිය.

ජිනීවා පළමු යෝජනාව ශ්‍රී ලංකාවට පක්ෂව සම්මත කර ගැනීමට හැකිවිය. ඉන්පසු යෝජනා වලින් කියැවුණේ, මේ සටනේදී යුද අපරාධ කර ඇති බවය. එනම්, මානව හිමිකම් නීතිය සහ අන්තර්ජාතික මානුෂවාදී නීතිය බරපතළ ලෙස කඩකර ඇති බවය.

මුල් යෝජනා වලින් කියැවුණේ මෙම චෝදනා විමර්ශනය කිරීමට පරීක්ෂණයක් කරන ලෙසයි. ඉන්පසුව, ලංකාවේ ආණ්ඩුව උගත්පාඩම් හා සංහිඳියාව කොමිසම (LLRC), පරණගම කොමිෂන් වැනි කොමිෂන් පත්කළ අතර ඒවා විමර්ශනය කර නිර්දේශ ද ඉදිරිපත් කෙරිණි. ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක ද විය. එසේ වුවද, මානව හිමිකම් කවුන්සිලය හා එය වේදිකාවක් කර ගත් බලවේග ලංකාණ්ඩුව විසින් ගත් එම කිසිදු පියවරකින් සෑහීමට පත්වූයේ නැත. ඔවුන් කියන්නට වූයේ වගවීමේ ක්‍රියාදාමය ඉටුවී නැති බවය, ප්‍රශ්නය හරි හැටි ආමන්ත්‍රණය කර නැති බවය, වැරැදි කළ අයට දඬුවම් කර නැති බවය.

2014 සැප්තැම්බර් 25 සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස්ට බලය පවරමින් තවත් යෝජනාවක් සම්මත කෙරිණි. ඉන් කියැවුණේ සමස්ත මානව හිමිකම් හා මානුෂවාදී නීතිය කඩකිරීම් පිළිබඳ පරිපූර්ණ විමර්ශනයක් කළ යුතු බවය. එම පරීක්ෂණ වාර්තාව 30 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කෙරිණි. OISL යනුවෙන් ප්‍රකටව ඇත්තේ මේ වාර්තාවය. මේ වාර්තාව ඉදිරිපත් කරන විට ලංකාවේ ආණ්ඩු වෙනසක් සිදුව තිබිණි. 2015 ජනවාරි 8 වැනිදා යහපාලන ආණ්ඩුව බලයට පත්ව සිටියේය. OISL වාර්තාව මත පදනම්ව එම 30 වැනි සැසිවාරයට ඉදිරිපත්වූ අලුත් යෝජනාව කෙටුම්පත් කිරීමට මූලිකත්වය ගත්තේ අමෙරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව ආදී රටවල් සමූහයකි. මේ යෝජනාව මගින් බරපතළ චෝදනා නඟා ඇති අතර නිර්දේශ වලින් ද යුක්තය. මෙහි හරය එල්.ටී.ටී.ඊ. ය සමඟ සටනේදී අවසාන භාගයේ (පසුව මෙය 2000 ගණන්වල සිට යනුවෙන් වෙනස් කෙරිණි.) ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා යුද අපරාධ කළ බවට පිළිගත හැකි සාක්ෂි ඇති බවය. මේ කියන යුද අපරාධ මොනවාද? සිවිල් වැසියන් ඝාතනය කිරීම, නිරායුධ සටන්කරුවන් ඝාතනය කිරීම, නඩු විභාගයකින් තොරව සැකකරුවන් ඝාතනය කිරීම, අල්ලා ගත් අයට වධ හිංසා පැමිණවීම, ළමයින් සෙබළුන් ලෙස යොදා ගැනීම, සැලසුම් සහගත ස්ත්‍රී දූෂණය, රෝහල්වලට බෝම්බ හෙළීම, වෛද්‍ය හා ආහාර සැපයුම් නතර කිරීම ආදී වශයෙනි. කිසිවකු හෝ සිදු කළේ නම් මේවා කුරිරු දේවල්ය. ඔවුන් කීවේ, මේවා කර ඇති බව හා ඊට වගකිවයුතු අයට දඬුවම් කළ යුතු බවය. එම නඩු විභාග කිරීමට විදේශීය විනිසුරුවරු සහ නඩු මෙහෙයවන්නකු යොදාගත යුතු යැයිද ඒ වෙනුවෙන් අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවද කියැවිණි.

අප කතා කරන මේ මානව හිමිකම් කවුන්සිල යෝජනාව වඩා ප්‍රකට 30 යෝජනාව යනුවෙනි. එය සම්මත වූයේ, 2015 ඔක්තෝබර් 1 වැනිදාය.

යුද අපරාධ චෝදනාවට අමතරව මෙරට සුළු ජනයාට බලපාන ජාතික ප්‍රශ්නයක් ඇත. ඊට දේශපාලන විසැඳුමක් දිය යුතුය. ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය, මැතිවරණ ක්‍රමය හා අධිකරණ පද්ධතිය සංශෝධනය කළ යුතුය, මිලිටරිව්‍යුහය ප්‍රතිව්‍යුහගත කළ යුතුය, ඉඩම් අයිතිය පිළිබඳ සංශෝධන කළ යුතුය ආදී වශයෙන් මානව හිමිකම් වලින් ඔබ්බට ගිය මෙරට ස්වාධීනත්වයට ස්වෛරීභාවයට බරපතළ ලෙස හානි කරන වගන්ති ගණනාවක් ද මෙහි තිබේ. මේ කතිකාවේදී මෙවැනි කාරණා ගැන කිසිවකු හෝ විශේෂයෙන් සඳහන් කරනු දැක නැත. කතා කරන්නේ මානව හිමිකම් හෝ යුද අපරාධ ගැන පමණි. 30/1 යෝජනාව යනු ශ්‍රී ලංකාවේ දේශපාලන, මැතිවරණ, අධිකරණ, පරිපාලන නෛතික ව්‍යුහය මුළුමනින් පාහේ වෙනස් කරන නිර්දේශ ඇතුළත් එකක් බව අප තේරුම්ගත යුතුව තිබේ. මෙරටට අතිශය හානිකර, අන්තර්ජාතික නීතියට පවා පටහැනි මේ යෝජනාවට එවක බලයේ සිටි යහපාලන ආණ්ඩුව එකඟ විය. ඊට සම අනුග්‍රාහකත්වය ද දැක්වීය. එය හරියට තමන්ගේ ගෙල සිඳීමට එන අයකුට සිය කැමැත්තෙන්ම ගෙල දීම බඳුය. ඇතැම් දෙනාගේ විශ්වාසය මෙය මංගල සමරවීර ඇමැතිවරයාගේ තනි කැමැත්තට සිදු වූවක් බවය. එසේ වුවද ඇත්ත නම්, එය යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවය. ඔවුන් එකී ප්‍රතිපත්තිය පිළිගත් හා අනුගමනය කරන බව පැහැදිලි වූ බැවින් 2015 දී අමෙරිකාව, යුරෝපා සංගමය, ඉන්දියාව ඔවුන්ට බලයට පැමිණීමට උපකාරී විය.

30/1 යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට යම් කාලයක් ලැබිණි. යහපාලන ආණ්ඩුව යම් යම් දේ ක්‍රියාවට ද නැඟීය. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය ඇති කිරීම අන්තර්ජාතික සම්මුති කිහිපයකට අත්සන් තැබීම ආදිය ඒ අතර තිබේ. උතුරේ හමුදා භාරයේ තිබූ ඉඩම් නිදහස් කිරීම වැනි දේද සිදුවිය. සියල්ල කළ නොහැකි වූ නිසා ඒවා සම්පූර්ණ කිරීමට ලබාදුන් කාලය ද විටින් විට දීර්ඝ කෙරිණි. මානව හිමිකම් කවුන්සිලය යහපාලන ආණ්ඩුව කෙරෙහි දැක්වූයේ ඉතා නම්‍යශීලී ආකල්පයක් බව පැහැදිලි විය. 2019 පැවැති සැසිවාරයේදී 30/1 යෝජනාවට දිගුවක් සම්මත කෙරිණි. 40/1 නම් එම දිගුවට ද ශ්‍රී ලංකා ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දැක්වීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ලබන 22 වැනිදා ඇරැඹේ. එය ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මකය. ඒ, මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ලබාදුන් කාලය අවසන් වන බැවිනි. එබැවින්, ඉදිරි සැසි වාරයේදී අලුතෙන්ම යෝජනාවක් ඉදිරිපත් කිරීම, තිබෙන යෝජනාව දීර්ඝ කිරීම, දඬුවම් ක්‍රියාමාර්ගයකට යාම වැනි පියවරක් ගනු ඇත.

එය කුමක්දැයි ඉදිරියේදී පැහැදිලි වනු ඇත. සිදුවිය හැක්කේ කුමක්ද යන්න ගැන ඉඟි දැනටමත් පහළවී තිබේ. ප්‍රධානම ඉඟිය මෑත කාලයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, වරින්වර ලංකාවට පැමිණෙන විශේෂ විමර්ශකයන්, අන්තර්ජාතික සංවිධාන, අමෙරිකාව හා ඇතැම් බටහිර රාජ්‍ය පවසන දෑ වලින් පැහැදිලි වේ. එළැඹෙන මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන මහ කොමසාරිස්වරියගේ වාර්තා කෙටුම්පත දැනටමත් එළිදක්වා ඇත. එය කියවන විට ඉන් බරපතළ චෝදනා නඟා ඇති බව පමණක් නොව බරපතළ නිර්දේශ ද ඇති බව පෙනී යයි. ලංකාවට හා යම් යම් පුද්ගලයන්ට යම් සම්බාධක පැණවීම, ලංකාව සතු වත්කම් අත්හිටුවීම ආදී වශයෙනි.

ව්‍යවහාරයේ ඇති ජිනීවා උගුල යනු මෙයයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය. මෙය එනමින් ප්‍රකටව ඇත්තේ එබැවිනි. පැහැදිලිවම මෙය උගුලකි. ලංකාව මෙන්ම එක්සත් ජාතීන්ගේ සෙසු සාමාජික රටවල් විසින් කළ යුතු නිර්දේශ ද මේ වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ යුද අපරාධ නඟා ඇති අයට නඩු පවරන ලෙසට ද එම රටවලින් එය ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ යුතු දේ පිළිබඳ ද එහි නිර්දේශ ඇතුළත්ය.

30/1, 34/1, 40/1 ආදී මේ යෝජනා සියල්ල හා ඒ පිටුපස ඇති මානව හිමිකම් කතිකාව දේශපාලන ව්‍යාපෘතියකි. ඊට ඇත්තේ දේශපාලන අරමුණුය. අපට මේ චෝදනාව නැඟීමට මුල්වන රටවල් අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද මානව හිමිකම් කඩකළ රටවල් බව පැහැදිලිය. අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය ආදී රටවල් ඉරාකය, සිරියාව ඇෆ්ගනිස්තානය, යේමනය ආදී වශයෙන් කොපණ යුද්ධවල යෙදී තිබේද? බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර්ට යුද අපරාධ චෝදනා තිබේ. මානව හිමිකම් කවුන්සිලය හෝ මේ කිසිවෙක් ඔහුට දඬුවම් කරන්නැයි කතා නොකරයි. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම කාශ්මීරයට ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද 2019 දී අහිමි කළ ද ඒ ගැන ද මේ කිසිවෙක් හඬක් නැඟුවේ නැත.

එල්.ටී.ටී.ඊ. ය දිගින් දිගටම මිනිසුන් ඝාතනය කරනවිට නාමිකව එය හෙළා දැකීමක් කළ ද එය වැළැක්වීමට කිසිවක් කළේ ද නැත. සටන අවසානයේ ලංකා හමුදා පරාජය වනු ඇත යන්න ඔවුන්ගේ අපේක්ෂාව විය. එසේ නොවන බව දැනගත් විට ඔවුන් කළේ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමට සලස්වා ප්‍රභාකරන් බේරා ගැනීමට වෑයම් කිරීමය.

මේ සියල්ලෙන් පැහැදිලි වන දෙය නම් මෙය මානව හිමිකම්, වගවීම හෝ සංහිඳියාව සඳහා නොවන අතර ශ්‍රී ලංකාව නමැති උපායමාර්ගික වශයෙන් වාණිජමය වශයෙන් ද අතිශය වැදගත් ස්ථානයක පිහිටි රාජ්‍යය තමන්ගේ ග්‍රහණයට ගැනීම සඳහා එම කඩතුරාවට මුවාවීමක් පමණි. කිසිවකුටත් මානව හිමිකම් වලට එරෙහිවිය නොහැකිය. නමුත් මේ ව්‍යාපෘතිය පෙරට යන්නේ දේශපාලන වුවමනාකම් මතිනි. මානව හිමිකම්වල හරය මිනිසුන්ට ජීවත්වීමට අයිතිය තිබීමය. එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීමත් සමඟ මිනිසුන්ට ජීවත්වීමට ඇති අයිතිය තහවුරු විය.

මිනිසුන්ට ජීවත්වීමට නම් යහපත් ආර්ථිකයක් ද අවැසිය. එය ගොඩනඟා ගැනීමට ද මේ අය ඉඩ දෙන්නේ නැත. අප මුහුණ දී සිටින දුෂ්කර අභියෝගය මෙයයි. ඉන් ගැලවීම පහසු නැත. මේ උගුලට අපේ රට ඇද දැමීමේ වගකීමෙන් විශාල කොටසක් යන්නේ යහපාලන ආණ්ඩුවට සහ ඔවුන්ට සහාය දුන් අයටය.

අනෙක් අතට, මේ ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිය. මානව හිමිකම් කවුන්සිලය පිහිටුවීම සඳහා සම්මත කළ මහා මණ්ඩල යෝජනාවේ ඇතුළත් මූලධර්මවලට ද පටහැනිය. එක රටක් ඉලක්ක කොට යෝජනා සම්මත නොකළ යුතු බව එම මූලධර්මවල කියැවේ. එහෙත්, මේ කරමින් සිටින්නේ ඒ නොකළ යුතු දෙය නොවේද? රටක අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මූලධර්මයකි. මානව හිමිකම් මහකොමසාරිස්වරිය මෙමඟින් එම මූලධර්මයට එරෙහි වී නොමැතිද?

මෙය, මේ රටේ සාමයට, සමගියට, ස්වාධීනත්වයට, ස්වෛරීභාවයට එල්ල වී ඇති බියකරු තර්ජනයක් ලෙස අපේ රටේ ජනතාව අවබෝධකරගත යුතුය. අප මෙහි හඬ නැඟුවද ඔවුන් මෙය වෙනස් කරන්නේ නැත. එසේ නම්, අප කළ යුතු වන්නේ මේ සටන සිදුවූයේ එල්.ටී.ටී.ඊ, බෙදුම්වාදය නිසා බව ඒත්තු ගැන්වීමය. රට තුළ බෙදී නොසිටිමින් සියලු ජනකොටස් සමගියෙන් නැඟී සිටීමය. මානව හිමිකම් කවුන්සිලයේ වැට උඩ සිටින පිරිසට මේ සත්‍ය අවබෝධ කර දීමය.

හැකිතාක් දුරට අපට මිත්‍ර රටවල් දිනා ගැනීමය. මේ යුද්ධයේදී මානව හිමිකම් කඩවී නැතැයි ද සීමාව ඉක්මවා යාම් සිදුව නැතැයි ද අපට කිව නොහැකිය. ඕනෑම යුද්ධයකදී ඒවා සිදුවිය හැකි බැවිනි. ඒ නිසා මේවා ගැන විමර්ශනය කළ යුතුය. එසේ වුවද එම විමර්ශනය සිද්ධියකට, දෙකකට හෝ වසරකට, දෙකට සීමා නොකර සමස්ත බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරයට මුල් වූ ගමන් මඟ සිටම විමර්ශනය කළ යුතුය.

එවිට මෙය නිදහසටත් පෙර පොන්නම්බලම්, චෙල්වනායගම් වැනි නායකයන් දෙමළ ජනයාට ස්වයං පාලනය ඉල්ලා කළ උද්ඝෝෂණයේම විකාශනයක් බව පෙනී යනු ඇත. මහකොමසාරිස්වරිය සිය වාර්තාවෙන් කියන්නේ ලංකාවේ ආණ්ඩු විශේෂයෙන් දෙමළ ජනයාට තදබල වෙනස්කම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බවය.

බෙදුම්වාදී යුද්ධය ඔවුන් කවුරුත් සාධාරණීකරණය කරන්නේ එතැනිනි. එහෙත්, නිදහස ලැබීමට පෙර එවැනි වෙනස්කම් කිරීමක් නොවූ බව පැහැදිලිවේ. එසේ තිබියදී මේ උද්ඝෝෂණ මතු වූයේ ඒ අවදියේ පටන්මය. පොන්නම්බලම් 50 ට 50 ඉල්ලූ අතර චෙල්වනායගම් කීවේ, සිංහල මිනිසුන්ට ඉංගිරිසින්ගෙන් නිදහස් වීමට අවශ්‍ය නම් දෙමළ ජනයාට සිංහල මිනිසුන්ගෙන් නිදහස් වීමට බැරි ඇයි කියාය.

සන්නද්ධ ත්‍රස්තවාදී බෙදුම්වාදයක් බවට පරිවර්තනය වූයේ මේ ප්‍රවාදයයි. නිදහසින් පසු බලයට පත් සිංහල බහුතරය සහිත ආණ්ඩුවලින් ඇතැම් වැරැදි සිදුවුවද ඒ බොහොමයක් නිවැරදි කර තිබේ. බ්‍රිතාන්‍ය පාලකයන් ලංකාව බෙදා වෙන්කර පාලනය කිරීම ද මේ විමර්ශනයේදී සැලකිල්ලට ලක්විය යුතුය. දෙමළ ජනයාට බොහෝ වරප්‍රසාද තිබිණි. නිදහස ලබනවිට මෙරට හමුදාවේ ඉහළ නිලධාරීන් විශාල ප්‍රමාණයක් දෙමළ ජාතිකයන්ය. ජන අනුපාතය අනුව මේවා වෙනස් විය. ඉන්දීය සාධකයේ බලපෑම පවා මේ විමර්ශනයේදී අවධානයට ලක්විය යුතුය.

මේ කවර හෝ විමර්ශනයක පරමාර්ථය විය යුත්තේ කවරකුට හෝ දඬුවම් කිරීම නොව ඇත්ත හඳුනාගෙන නැවත මෙවැනි ඛේදවාචකයක් ඇති නොවීමට වගබලා ගැනීමය. ලංකාවේ දෙමළ ජනයාට ප්‍රශ්න තිබේ නම් ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් දුප්පත් සිංහල මිනිසාට මෙන්ම දුප්පත් මුස්ලිම් මිනිසාට ද තිබේ.

එබැවින් මෙය වාර්ගික ප්‍රශ්නයක් ලෙස ලඝු කිරීම නොකළ යුතු අතර මෙය ආර්ථික හා සමාජ ප්‍රශ්නයකි. අප එක්ව පිළියම් යෙදිය යුත්තේ එයටය.

Comments