නිද­හසේ ආචා­ර­යට ණය නැති නාය­කයෝ | සිළුමිණ

නිද­හසේ ආචා­ර­යට ණය නැති නාය­කයෝ

“මව්බිම නැත්නම් මරණය”, පළමුව මව්බිම, දෙවනුව පාසල, පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම,තෙවනුවත් මව්බිම යන සටන්පාඨ ඇතුළු මව්බිම සම්බන්ධයෙන් තවත් කෙතරම් සටන් පාඨ තිබුණද ඒවායෙන් ප්‍රායෝගිකව මව්බිම වෙනුවෙන් ක්‍රියාත්මක වූයේ මොනවාද? එය ක්‍රියාත්මක කළේ කවුද? එය ක්‍රියාත්මක කිරීමට යාමේදී මතුවූ අභියෝග මොනවාද? යන්න මෙම 73 වැනි ජාතික නිදහස සමරන අවස්ථාවේ දී අවසානයට ලක්වීම ඉතාම වැදගත් වේ. 2002 වසරේ පෙබරවාරි 22 වැනි දා එවකට පැවැති එ.ජා.ප. ආණ්ඩුව සහ කොටි සංවිධානය අතර අත්සන් තැබුණු සටන් විරාම ගිවිසුමෙන් මේ රට පාවා දුන් අවස්ථාව මෑත කාලයේ දී රට පාවාදුන් අපකීර්තිමත්ම සිද්ධිය බව අමුතුවෙන් කිවයුතු නොවේ.

එවැනි සටන් විරාමයකින් රට පාවා දුන් අවස්ථාවේදී මේ රටට යළිත් ගැලවීමක් නොමැති බව බොහෝ දෙනකු ප්‍රකාශ කරද්දී රට කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමේ මෙහෙයුම 2005 වසරේ බලයට පත්වීමෙන් අනතුරුව ක්‍රියාවට නැංවූයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂය.

“කිලිනොච්චි කියලා මැදවච්චි යනවා, අලිමංකඩ කියලා පාමංකඩ යනවා, තොප්පිගල කියන්නෙ මහා විශාල කැලෑවක්, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්.” යනුවෙන් ඒ අවස්ථාවේදී විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් කෑගැසුවද මහින්ද රාජපක්ෂ තම නායකත්වය රටට නිවැරදිව ලබා දුන්නේ ය.

මහින්දගේ නායකත්වයට සෙවණැල්ලක් වූයේ එදා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂයි.

එදා ජනාධිපති මහින්ද අද අගමැතිය. එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය අද ජනාධිපතිය.

මේ මහින්ද - ගෝඨාභය සුසංයෝගය රට නිදහස් කරගැනීම වෙනුවෙන් දක්වන ලද දායකත්වය ජනතාවගේ සිත්වල හැමදාමත් පවතිනු ඇත.

අපට සිටි රණවිරුන් හැමදාමත් අති දක්ෂය. ඔවුන් රටට ආදරේය. ඔවුන්ට හැමදාමත් අත්‍යවශ්‍ය වූයේ මව්බිමේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය රැක ගැනීම පමණි.

අද වගේම එදත් දක්ෂ රණවිරුවන් සිටියද වසර 30 කට අධික කාලයක් යනතුරු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ඔවුන්ට නොහැකි වූයේ ඇයි?

කෙතරම් දක්ෂ රණවිරුන් සිටිය ද ඔවුන්ට නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා දේශපාලන නායකත්වයක් අත්‍යවශ්‍යයයි. එනම් කොන්ද කෙළින් තියෙන, බිය නැතුව තීරණ ගන්න, රටට ආදරේ කරන නායකයෙකු රටට සිටීමයි. 2009 වසරේ මැයි මාසයේ 19 වැනිදා ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුම ජයග්‍රාහී ලෙස අවසන් වූ බව සත්‍යයකි.

නමුත් සමහරෙකු තවමත් හරියට නොදන්නා කාරණයක් තිබේ. 2009 මැයි මස 10 වැනි දින හෝ ආසන්න දිනයක දී බ්‍රිතාන්‍ය විදේශ ඇමති ඩේවිඩ් මිලිබෑන් සහ ප්‍රංශයේ විදේශ ඇමති ජෝන් කුෂ්නන් මෙරටට පැමිණෙන්නේ යළිත් හිස් අතින් යෑමට සිතාගෙන නොවේ.

ඔවුන් දෙදෙනා පැමිණියේ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විනාශ කිරීම වළක්වා ගැනීම සඳහා අවසන් ජාත්‍යන්තර දැල එළා දැමීමටයි.

ඔවුන් දෙදෙනා ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව් තාවුල්ල අසලට ගෙන්වා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔවුන්ට මඤ්ඤොක්කා සහ ලුණු මිරිස් ද ආහාරයට ගැනීමට සලස්වා ඉතා හොඳ තේරෙන භාෂාවෙන් අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව තව දුරටත් ඔබලාගේ කොලනියක් නොවන බවයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ එඩිතර දේශපාලන නායකත්වයේ තීරණාත්මකම අවස්ථාව වශයෙන් මෙම සිදුවීම ඉතිහාසගතවී තිබේ. ඉන්පසුව ගත වූ දින කිහිපය තුළදී දුරකථන මාර්ගයෙන් කෙතරම් ජාත්‍යන්තර බලපෑම් සිදු වුව ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයකු ලෙස සිය යුතුකම් කොටස රට වෙනුවෙන් අකුරටම ඉටු කළේය. ඒ සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සොහොයුරාගෙන් ද ලැබුණේ විශාල සහයකි.

1987 වඩමාරච්චි මෙහෙයුමේ දී සිදු වූයේ කුමක්ද? දක්ෂ රණවිරුවන් සිටිය ද නිවැරදි දේශපාලන නායකත්වයක් නොමැති නිසා එදා අවසන් වර්ග කිලෝමීටරයට කොටුකළ කොටි නායක ප්‍රභාකරන් අත්අඩංගුවට ගැනීමට අපේ රණවිරුවන්ට හැකිවූයේ නැත.

ප්‍රභාකරන් අල්ලන්න ඔන්න මෙන්න තිබිය දී වඩමාරච්චි මෙහෙයුම නතර කරන ලෙසට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නායකයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වූ අවස්ථාවේදී ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව තම අතෙන් වැර යොදා පහරක් ජිප් රථයේ බොනට්ටුවට එල්ල කළ බවට වාර්තා පළ විය.

එදා 1987 වර්ෂයේදී ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලිගේ මෙහෙයවීමෙන් වඩමාරච්චි මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ඉන්දියානු රජයේ බලපෑම් හේතුවෙන් එම මෙහෙයුම නතර කිරීමට එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් තීරණය කරන ලදී.

මෙහිදී කාරණා දෙකක් මතු වේ.

එක් කරුණක් වන්නේ ජේ.ආර්. ගේ එඩිතර නොවන නායකත්වයයි. අනෙක් කාරණාව ඉන්දියාව කළමනාකරණය කර ගැනීමට ජේ.ආර්. අපොහොසත් වීමයි.

නමුත් 2009 වර්ෂයේදී කොටි නායක ප්‍රභාකරන් කොටු කිරීමේ කාර්යයේදී එක් පැත්තකින් බටහිර රටවල දැඩි බලපෑම්වලට යට නොවී සාර්ථකව මුහුණදෙන අතරතුර අනෙක් පැත්තෙන් ඉන්දියාව කළමනාකරණය කර ගැනීමට ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය.

එම අවස්ථාවේ දී ඉන්දියාව කළමනාකරණය කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂගේ අනෙක් සොහොයුරු බැසිල් රාජපක්ෂගේ සහයෝගය හිමිවීම ද වැදගත් ය.

මේ සඳහා බැසිල් කිහිපවතාවක්ම ඉන්දියාවට ගොස් එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මං මෝහන් සිං සහ ඉන්දිය කොංග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි සමඟ සාකච්ඡා කළේ ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද නිතරම ඉන්දීය අග්‍රාමාත්‍ය මං මෝහන් සිං සහ ඉන්දිය කොංග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි සමඟ ද නිතර සාකච්ඡා කරමින් මානුෂීය මෙහෙයුම සඳහා ඉන්දියාවේ සහයෝගය ලබා ගනිමින් එය නිවැරදිව කළමනාකරණය කළේය.

73 වසරක නිදහසේ අභිමානය රැකගැනීම සඳහා වැඩිම නායකත්වයක් දුන් පුද්ගලයන් දෙදෙනෙකු වර්තමානයේ රට පාලනය කිරීම ද විශේෂත්වයකි.

2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මෙරට 5 වැනි විධායක ජනාධිපතිධූරයට පත්වන විට ඊට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් 04 දෙනෙකුටම ජයගත නොහැකි වූ මෙරට දරුණුතම අභියෝගයට මහින්ද රාජපක්ෂට මුහුණපෑමට සිදුවිය.

කෙතරම් බලපෑම්, බාධක පැමිණිය ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට නායකත්වය දුන්නේ ය. එම දේශපාලන නායකත්වය නොවන්නට අද නිදහස් දිනය සැමරීමට රටක් අපට ඉතිරි වන්නේ නැත.

2004 වර්ෂයේදී සුනාමියෙන් විනාශ වූ රට 2005 වසරේ සිට ක්‍රමක්‍රමයෙන් ගොඩනඟන ගමන් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන උපාය මාර්ගික සැලැස්ම දියත් කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළේය.

2009 වර්ෂයේ කොටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා එක් පැත්තකින් රට පෙළගැසෙන විට අනෙක් පැත්තෙන් තවත් අභියෝග රැසක් එල්ල විය. දේශීය ව හා විදේශීයව ක්‍රියාත්මක වූ ඇතැම් NGO කල්ලි සමඟ ද මතවාදීමය වශයෙන් සටන් කිරීමට සිදුවිය.

ජාත්‍යන්තර බලපෑම්වලට යටත් නොවී කටයුතු කරන ලද්දේ තවත් අභියෝග රැසකට ද මුහුණ දෙමිනි.

ලෝක ආර්ථිකයේ ප්‍රබල කඩාවැටීමක් සිදුවූයේ බැංකු විශාල ප්‍රමාණයක් කඩා වැටීම හේතුවෙනි.

එපමණක්ද නොව ලෝක තෙල් අර්බුදයක් ද ඇති වූයේ මේ කාල වකවානුවේදීය.

‍මේ අර්බුද දෙකට සමගාමීව තවත් ලෝක අර්බුදයක් ඇතිවිය. ඒ ලෝක ආහාර අර්බුදයයි.

මේ හේතුවෙන් රටවල් බොහෝමයක ආහාර ප්‍රශ්නයක් ඇති වූ අතර ඇතැම් ආනයනික භාණ්ඩ හිඟතාවක් ද ඇති වූ නිසා බොහෝ රටවල බඩුමිල ද ඉහළ ගොස් තිබුණි.

ලෝක ආර්ථික, ලෝක ඉන්ධන, ලෝක ආහාර අර්බුද තුනකට ද සාර්ථකව මුහුණදෙමින් 2009 වසරේ මැයි මස 19 වැනිදා කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාවට නිදහස ලබාදීම සඳහා මහින්ද රාජපක්ෂ එවකට සිටි ජනාධිපතිවරයා කෙතරම් කළමණාකාරීත්වයකින් වැඩ කළා ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මහින්දට තම සොහොයුරු ගෝඨාභය එක් පැත්තකින් සහයෝගය ලබා දෙන විට රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අනෙක් පැත්තෙන් සහයෝගය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂගේ තවත් සොහොයුරකු වන බැසිල් රාජපක්ෂයි.

දිවිනැඟුම, අපි වවමු රට නඟමු, මඟ නැඟුම වැනි ග්‍රාමීය සංවර්ධනය හා ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කෙරුණු නිසා ආර්ථික අර්බුදයක් ඇති නොවීය.

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා එදා යෙදූ අඩිතාලම සහ වැඩසටහන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වූ තත්ත්වයන් මත රට තුළ යළි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ද උදා විය.

පෙර සඳහන් කළ පරිදි ලෝකය පුරා බැංකු කඩාගෙන වැටෙමින් ලෝක ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේදී මෙරට “සෙලාන්” බැංකුවේ ද යම් යම් ගැටලු මතු විය.

ඒ අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් දැනුම්දුන්නේ “සෙලාන්” බැංකුවේ පාලනය මුදල් අමාත්‍යාංශයට ගෙන එම අර්බුදයට විසඳුම් සපයන ලෙසයි.

අදටත් “සෙලාන්” බැංකුව සහ එහි ගනුදෙනුකරුවන් කිසිදු ගැටලුවක් නොමැතිව සිටින්නේ මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස දුරදිග බලා ඉතා කඩිනමින් තීරණගත් නිසාය.

එසේ නොමැතිවූවා නම් එදා සෙලාන් බැංකුවට සිදුවෙන්නේ යහපාලන ආණ්ඩුව සමයේදී ETI තැන්පත්කරුවන්ට සිදු වූ දේය.

මෙවැනි අභියෝග මධ්‍යයේ මේ රටට නියම නිදහස ලබා දීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළ බව රහසක් නොවේ. නමුත් 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන බලයට පත්විය.

යහපාලනයක් ගෙන එන බවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට දිවුරා පොරොන්දු වුණු යහපාලකයන්ට සිදුවූයේ කුමක් ද? ඔවුන් සිදු කළේ කුමක්ද? 2015 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රබලතම සොරකමක් වශයෙන් සැලකෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවෙන් පසුව එම යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද රැසක් ඇති විය.

මෛත්‍රීපාල සිරිසේන එවකට සිටි ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ එවකට සිටි අග්‍රාමාත්‍යවරයා අතර විරසකයක් හටගන්නේ මේ හේතුවෙනි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාල සීමාව වසරේ සිට වසර 4 1/2 ක් දක්වා දීර්ඝ කළ නිසා මෛත්‍රී - රනිල් විරසක වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි විය.

ඊට අමතරව කොටි හිතවාදීන්ගේ ඕනෑ එපාකම් සිදුකිරීමටද යහපාලකයන්ට අවශ්‍ය වූ නිසා දිගට හරහට බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීමට අවශ්‍ය වාතාවරණය සැකසුණු අතර මේ නිසා බුද්ධි අංශ ජාලය දැඩි ලෙස අකර්මණ්‍ය විය. මෙහි ප්‍රතිඵලයක් වූයේ අන්තවාදී බලවේග ක්‍රම ක්‍රමයෙන් හිස එසවූ අතර 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින අන්තවාදීන් බෝම්බ ප්‍රහාර හේතුවෙන් විශාල විනාශයක් මෙරට සිදු විය.

2015 වසර දක්වා දැඩි ජාතික ආරක්ෂක තත්ත්වයක් මෙරට තුළ මේ ක්‍රියාත්මක වුණු අතර එය බරපතළ ලෙස 2015 න් පසුව කඩා වැටී ඇති බව දැන ගත්තේ 2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වීමත් සමඟයි.

රටේ ජාතික ආරක්ෂාව ඉතා බරපතළ ආකාරයට බිඳී ගොස් ඇති බව සියලුම දෙනාට ප්‍රත්‍යක්ෂ විය. එවිට අශ්වයා පැනගොස් හමාරය. ඉස්තාලය වැසුවාට වැඩක් නැත.

ජාතික ආරක්ෂාවේ පමණක් නොව රටේ ආර්ථිකය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන ඇතුළු සියලුම දේවල් ඉතා බරපතළ ආකාරයට යහපාලන ආණ්ඩුව සමයේ දී කඩා වැටීමට ලක්විය.

රටේ අභිමානය රැක ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව පැමිණි විගසම සිදු කළේ එදා යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවෙන් ඉවත්වීමයි.

නව රජයේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනීවා නුවරට ගොස් දැනුම් දුන්නේ ශ්‍රී ලංකාව 30/1යෝජනාවෙන් ඉවත් වන බවයි. ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට එරෙහි පසුබිමක් ඇතිවන ආකාරයෙන් මංගල සමරවීර එවකට සිටි විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමරිකාවේ සම අනුග්‍රහකත්වය සමඟ ඉදිරිපත් කළ යෝජනාව කෙතරම් රටට අහිතකර වීද?

රටේ අභිමානය රැක ගනිමින් එම යෝජනාව වහාම ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම 73 වැනි ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාවේ දී කෙතරම් අගය කළ යුතු ද?

රටේ අහිමිකළ අභිමානය යළි රටට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුව ගනු ලැබූ මෙම තීරණය වුව අතිශයින්ම වැදගත් වේ. මෙමඟින් කොටි හිතවාදීන්, බෙදුම්වාදී සංවිධාන හා ඔවුන්ට උඩගෙඩි දෙන ඇතැම් ​NGO කල්ලි කෙතරම් කලබලයට පත් වූවා ද කීවොත් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදීම ශ්‍රී ලංකාවට පාඩමක් ඉගැන්වීමටයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාවට එරෙහිව නිවේදන නිකුත් කරන්නේ ඒ නිසාය. එම මාධ්‍ය නිවේදන සහ සජිත් ප්‍රේමදාසලාගේ, අනුර කුමාර දිසානායකලාගේ, සුමන්තිරන්ලාගේ මාධ්‍ය නිවේදන සමපාත වන්නේ ද එකම තැනකින් ශ්‍රී ලංකාවට එරෙහිව මෙම ක්‍රියාවලිය සිදු වන නිසාය.

මෙවර මාර්තු මාසයේ දී ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී කොටි දඟර නැටුම් කොපමණදැමුව ද ඊට පිළිතුරු දිය යුත්තේ කෙසේ ද? කියා ශ්‍රි ලංකා රජය දැනටමත් තීරණය කර ඇත.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව ප්‍රතික්ෂේප කරන බව හැරෙන තැපෑලෙන් ම ශ්‍රී ලංකා රජය දැනුම් දී තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුව කොන්ද නවාගෙන අපේම රටේ රණවිරුවන්ට එර­ෙහිව සම අනුග්‍රාහකත්වය දක්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ගෙන එද්දි වර්තමාන ආණ්ඩුව සිදු කළේ එම යෝජනා කුණු කූඩයට විසි කිරීමයි. එතනින් නොනැවතී අවශ්‍ය ප්‍රතිචාර හැරෙන තැපෑලෙන් ම ලබා දීමට ද වර්තමාන රජය කටයුතු කරමින් සිටි.

යහපාලකයන්ගේ, කොටි හිතවාදීන්ගේ, රටට එරෙහි NGO හිතවාදීන්ගේ සහ රාජපක්ෂවරුන්ගේ වෙනස එයයි.

Comments