නිදහස් දිනය චාම්ව අභිමානවත්ව සැමරුවේ මෙසේය... | සිළුමිණ

නිදහස් දිනය චාම්ව අභිමානවත්ව සැමරුවේ මෙසේය...

හැත්තෑතුන්වැනි (73) ජාතික නිදහස් සැමරුම ‘ඉසුරුමත් හෙට දවසක්, සෞභාග්‍යවත් මවුබිමක්‘ යන තේමාව මුල් කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ මූලිකත්වයෙන් පසුගිය 4 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් අයුරෙන් පැවැත්විණි.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය නිසා වෙනකවරාදාටත් වඩා වෙනස් නිදහස් සැමරුම් උලෙළක් පැවැත්වීමට සිදු වුණත් එය එහි පෞඩත්වයට හෝ අභිමානයට අබැටක් හෝ හානි නොකළ බැව් මේ සේයාරූ විමැසුම් ඇසෙන් බලන ඔබට පැහැදිලි වනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් අභිමානනීය ජාතික ධජය ඉහළට එසවීමෙන් ඉනික්බිති පාසල් සිසු සිසුවියෝ ජාතික ගීය ගායනා කළහ. මෘතෘ භූමියේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් දිවි පුද දුන් වීරෝධාර රණවිරුවන් සමරනු වස් මිනිත්තු දෙකක නිහඬතාවක් පැවැත්වීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාව විසින් ජනාධිපති සම්මාන වෙඩි මුරය පවත්වන ලදී. ජනපති වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් අහසට මුදා හැරුණේ ඉන් අනතුරුවය. 73 වැනි නිදහස් සැමරුම දා ඓතිහාසික කතාවක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පවසා සිටියේ, පාස්කු ප්‍රහාරකයන්ට, මහ බැංකු හොරුන්ට නීතියෙන් ගැලවීමක් නැති බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කළ හා එයට අනුබල දුන් කිසිවකුට නීතියෙන් ගැලවී යන්නට ඉඩ නොතබන බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දූෂණයට හා නාස්තියට ඉඩ නොතබන රටක් ගොඩනැංවීමේ ලා සිය අභිලාෂය ගැන පැවසූ ජනපතිවරයා දේශීයත්වය හා සෛවරීත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම ද මෙහිදී මතු කළේය.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජ්‍ය පක්ෂය, මැති අමැතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් හා විදෙස් තානාපති නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

රටේ ප්‍රෙෞඩත්වය, අභිමානය, ප්‍රතාපවත් බව විදහා දක්වන නිදහස් උත්සවයේ විවිධ අවස්ථා මෙසේ සිය කැමරා කාචයේ සටහන් කර ගත්තේ කමල් ජයමාන්න සහ සුලෝචන ගමගේය.

Comments