
කොවිඩ් 19 වයිරසයෙන් ලෝකයටම නිදහසක් නැති බව ගතවන මොහොතක් මොහොතක් පාසා සනාථ වෙමින් තිබෙන පසුබිමක ශ්‍රී ලංකාවේ 73 වැනි ජාතික නිදහස් සැමරුම පැවැත්වීමට රජය තීරණය කරනු ලැබුවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්වය. ඒ අනුව ජාතික නිදහස් සැමරුම ආවරණය කිරීමට නියමිත විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් 180දෙනකු ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පසුගිය 2 වැනිදා පී.සී.ආර් පරීක්ෂණයට ලක්කෙරිණි.
ගතවූ සතිය ආරම්භයේදී බොහෝ ලාංකිකයන්ගේ සිත් මත වේදනාවක් සනිටුහන් කළ සිදුවීමක් වාර්තා විය. ඒ කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන පසුගිය 2 වැනිදා උදෑසන මරණයට පත්වීමයි. රෝගාතුරවන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි එම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනක්ටද කොරෝනා ආසාදිත වී තිබුණි. කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී වෛද්‍යවරයකු මියගිය ප්‍රථම අවස්ථාව එය විය. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 4 වැනිදා මරණයට පත්විය. මිය යනවිට 89 වැනි වියේ පසුවූ හෙතෙම, කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ඉකුත් 2 වැනිදාය.
සෞඛ්‍ය අංශ හා අදාළ කාර්ය මණ්ඩල සඳහා කොරෝනා මර්දන එන්නත් කිරීමේ වැඩසටහන දිවයින පුරා සාර්ථකව සිදුකෙරෙන අතර පුත්තලම දිස්ත්‍රික්කය තුළ එය ආරම්භ වූයේ ඉකුත් 1 වැනිදාය. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, පුත්තලම හා මාරවිල ඇතුළු මුලික රෝහල් ඇතුළු සෙසු සියලුම රෝහල්වල කාර්ය මණ්ඩලවල 3,500කට ආසන්න පිරිසකට එන්තත් ලබාදීම ආරම්භ විය.
පාසල් සිසුන් අතර සිටින ආසාදිත සිසුන් හඳුනා ගැනීමේ අරමුණින් පාසල්වල අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව සෑම දිනකම පාසල් දෙකකින් හෝ තුනකින් සිසුන් 30 දෙනකු පමණ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට ලක් කරනු ඇත. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව පාසල් විවෘත කිරීම පිළිබඳව තීරණ ගන්නා බවත් පාසල් සිසුන් අතර කොරෝනා ව්‍යාප්ත වීමේ මට්ටම සහ ස්වභාවය හඳුනාගැනීමටද හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණි. එහිදී මෙම පරීක්ෂණ කොරෝනා වයිරසය ඉලක්ක කරගෙනම පමණක් නොව, සිසුන්ගේ මුළු ශරීරයම පරීක්ෂාවට ලක්කරන බවද හෙතෙම පැවසීය.
එම තීරණය ක්‍රියාත්මක කරමින් පළමුව කොළඹ පාසල් තුනක සිසුන්ට අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කර ඇත.
කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ පසුගිය 1 වැනිදා වන විට මෙරට පුද්ගලයන් 95,550 දෙනකුට ඉන්දියාවේනිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය. එදින පමණක් එම එන්නත ලබාදුන් සංඛ්‍යාව 36,396කි. එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ ජනවාරි මස 29 වැනිදා මුල් පෙළ සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 5,286 දෙනකුට එන්නත ලබාදී තිබිණි. මේ අතර චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ්-19 එන්නතින් මාත්‍රා ලක්ෂ තුනක් මෙරටට පරිත්‍යාග කරන බව චීනය පසුගියදා නිවේදනය කළේය.
කොවිඩ් -19 වයිරසය ආසාදිතයන්ගේ ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලයක් හුෙදකලා කර සංචරණ සීමා පනවා තිබූ අරණායක විල්පොළ මුස්ලිම් ගම්මානය 2 වැනිදා පෙරවරුවේ සිට හුදෙකලා තත්ත්වයෙන් මුදාහැරුණි.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේද කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය 2 වැනිදාය. ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා සහ රියැදුරා කොරෝනා ආසාදනයන් බව තහවුරු වීමත් සමඟ ආණ්ඩුකාරවරයා නිරෝධායනයට යොමු වූ අතර එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඔහුද ආසාදිත බව හෙළි වී ඇත. වැඩිදුර ප්‍රතිකාර සඳහා හෙතෙම කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කෙරිණි. හිටපු කථානායකවරයකු වූ වි.ජ. මු ලොකු බණ්ඩාරද කොරෝනා අසාදිතයකු වීම හේතුවෙන් මේ වන විට අගනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.
මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ඉදිරි මාස තුන තුළ කොවිඩ් - 19 රෝගයෙන් රටටම නිදහස ලබාදීමට රජය කටයුතු කරන බවත් ඉන්දියාවෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 18ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇණවුම් ඉදිරිපත් කර ඇති බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය. පසුගිය 3 වැනිදා වන විට එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට පුද්ගලයන් එක්ලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසකට එන්නත් ලබාදී තිබුණි. චීනයේ නිෂ්පාදිත සිනෝයිනෝ ෆාම් එන්නත ලබාගැනීම සඳහා මේ වනවිට අවශ්‍ය කටයුතු සුදානම් වෙමින් තිබෙන බවද වාර්තා විය.
කොරෝනා වයිරසය ආසාදනය වූ බිලිඳුන් 150 දෙනකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇත. දරුවකු ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මවුපියන්ගෙන් ඉල්ලා සිටී.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග සංචාරයට සහභාගී වීම සඳහා සූදානම් වෙමින් සිටින ක්‍රීඩකයන් 36 දෙනකුගෙන් සමන්විත තාවකාලික ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ළහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වීමත් සමඟ සෙසු ක්‍රීඩකයන් 35 දෙනා ස්වයං නිරෝධායනයට යොමුකරනු ලැබිණි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ කොදෙව් තරග සංචාරයද කල් දැමුණි.