
තනි භාවිත සහ කෙටිකාලීන භාවිත ප්ලාස්ටික් තහනම 2021 මාර්තු 31 වැනි දින සිට ක්‍රියාත්මක වන බව පසුගියදා නිවේදනය කෙරිණි. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 ද (1) (අ) වන වගන්තිය මගින් පරිසර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ප්ලාස්ටික් නියාමනයට අදාළව අංක 2211/50 - 2021 ජනවාරි මස 21 වැනි දින දරන ගැසට් පත්‍රය සහ අංක 2211/51 - 2021 ජනවාරි මස 21 වැනි දින දරන ගැසට් පත්‍රය මගින් මෙම තහනම නිකුත් කර තිබේ. මෙම නියාමන කටයුතු ක්‍රියාත්මක කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරියයි.
මෙසේ තහනමට ලක් වන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා යොදා ගනු ලබන පොලිඑතිලින් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය, ශුද්ධ බර මිලි ලීටර් 20ට හෝ ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ, හුළං පිරවිය හැකි සෙල්ලම් බඩු සහ ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් ය.
මාර්තු 31 වැනිදා සිට නීතිය ක්‍රියාත්මකයි
එහෙත් ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිත වන සැෂේ, දිය මත පාවෙන සහ පිහිනුම් තටාකවලදී භාවිත කරන හුළං පිරවූ සෙල්ලම් සහ ජල ක්‍රීඩා උපකරණවලට ද වෛද්‍ය, සායනික ප්‍රතිකාර සඳහා භාවිත කෙරෙන ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස්වලට ද මෙම තහනම අදාළ නොවේ.
“කෘෂි රසායනික ද්‍රව්‍ය ඇසුරුම් කර තිබෙන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීයකරණයට එකතු කරන්නේ නැහැ. ගොඩාක් දෙනා මේවා වගා බිම් ආශ්‍රිත ජල ප්‍රදේශවලට බැහැර කරන්නේ. එයින් අවට පරිසරයට වගේම ජලයේ සිටින ජීවීන්ටත් හානි වෙනවා. ජලය දූෂණය වෙනවා. ඒ නිසයි කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් සඳහා යොදා ගන්නා PET සහ PVC තහනම් කළේ. අනිත් කාරණය තමයි අද බහුලව භාවිතයට ගැනෙන සැෂේ පැකට් හැම තැනම විසි කරනවා.
ප්ලාස්ටික් බෝතල් එකතු කළත් සැෂේ පැකට් කොට්න් බඩ්ස් වගේ දේවල් එකතු කරන්නේ නැහැ. ඒවා පරිසරයට මුදා හරිනවා. ප්ලාස්ටික් දිරාපත් වෙන්න අවුරුදු 300ක් 400ක් ගත වෙනවා.
අද ගලාගෙන යන ජලයට බාධා ඇති වෙලා තිබෙන්නෙත් ප්ලාස්ටික් සහ පොලිතින් නිසා. ඒවා නොදිරන නිසා ගංවතුර තත්ත්වයක් ඇති වෙනවා. මංමාවත් යට වෙනවා.
මේවා පුලුස්සන විට පරිසරය දූෂණය වෙනවා. ඒ නිසයි පරිසර ඇමතිතුමා මෙම පියවර ගත්තේ.” යනුවෙන් පැහැදිලි කළේ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ ය.
මීට පෙර අවස්ථාවලදී ද ෂොපින් බෑග්, ලන්ච්ෂීට්, රෙජිෆෝම් කෑම පෙට්ටි භාවිතය, ප්ලාස්ටික් දහනය සහ ප්ලාස්ටික් සැරසිලි තහනම් කිරීමට පියවර ගත් බව සඳහන් කළ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ, පරිසරය සුරැකීමේ අරමුණින් ප්‍රතිචක්‍රීයකරණයේ පහසුව සඳහා පොලිතින් වර්ග නාමකරණය සිදු කළ බව ද පැවසීය.
පාලනය කළ යුතු බොහෝ තැන් තිබෙනවා
එළඹෙන මාර්තු 31 වැනිදා සිට තහනම් කර තිබෙන ප්ලාස්ටික් වර්ග ඇතුළත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම, විකිණීම සහ කර්මාන්තය සඳහා භාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙකී වරද සඳහා අධිකරණයට ඉදිරිපත් කර දඩ මුදලක් අය කිරීම හෝ බන්ධනාගාරගත කිරීම වැනි දඬුවම් පැමිණවිය හැකිය.
“ප්ලාස්ටික් සහ පොලිතින්වලින් විනාශ වන පරිසරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙවැනි නීති පැනවීම ඉතාමත් හොඳ දෙයක්. මෙය පරිසර හිතකාමි පියවරක්. තවම පොඩි පොඩි දේවල්වලින් පටන් ගත්තේ. පාලනය කළ යුතු ගොඩාක් තැන් තිබෙනවා. ප්ලාස්ටික් භාණ්ඩ සැහැල්ලුයි. මිලෙන් අඩුයි.
ඒ නිසා අද ජනතාව ප්ලාස්ටික් පාවිච්චියට හුරුවෙලා. ඉස්සර පන්සලේ තිබුණේ ඉරටු මල්වට්ටි. මැටි කළ.
ඒත් අද ප්ලාස්ටික් මල් කූඩ, ප්ලාස්ටක් කළ තියෙන්නේ. ප්ලාස්ටික් භාවිතය අවම කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් සිද්ධ විය යුතු දෙයක්. නීතිරීති දාලා මධ්‍යම පරිසර අධිකාරියට පස්සෙන් ගිහින් ප්ලාස්ටික් භාවිතය තහනම් කරන්න බැහැ. මේ ගැන ජනතා අවබෝධය ඉතා වැදගත්.” යනුවෙන් පැවසුවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර ය.
ප්ලාස්ටික් භාවිතය පාලනය කිරීම ජනතාවගේ වගකීමක් නම් මෙහි අහිතකර ප්‍රතිඵල ගැන ජනතාව දැනුම්වත් වී තිබීම ඉතා වැදගත් වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය, වෛද්‍ය සජිත් එදිරිසිංහගෙන් ඒ පිළිබඳව විමසුවේ ඔහු ප්‍රවේණි රෝග පිළිබඳ සායනික පරීක්ෂාවල නිරත වී සිටින අයකු වන බැවිනි.
“ප්ලාස්ටික් බැහැර කිරීමේදි හිරු එළියට නිරාවරණය වෙනවා. වැස්සට අහු වෙනවා. වතුරේ ගහගෙන යනවා. ඒවායේ ප්‍රතිඵලයක් වශයෙන් ප්ලාස්ටික් පොඩි පොඩි කෑලිවලට කැඩෙනවා. මිලි මීටර් 5ට වඩා අඩු කෑලිවලට කැඩුණාම ඒවා අපි ක්ෂුද්‍ර ප්ලාස්ටික් කියලා හඳුන්වනවා.
ඊටත් වඩා පුංචි කෑලිවලට කැඩුණම නැනෝ ප්ලාස්ටික් කියලා හඳුන්වනවා. ක්ෂුද්‍ර ප්ලාස්ටික්, නැනෝ ප්ලාස්ටික් හැම දෙයක්ම එකතු වෙන්නේ වතුරට. ගලාගෙන යන ජලය ඇළදොළට එකතු වෙලා ඇළදොළ ගංගාවලට එකතු වෙලා අවසානයේ මුහුදට වැටෙනවා.
මේ ප්ලාස්ටික් දිරාපත් වෙන්නේ නැහැ. මේවා ආහාර කියලා හිතාගෙන ජලයේ ජීවත්වන මාළුන් කනවා. පුංචි මාළුන්ගෙන් ලොකු මාළුන්ට ගිහින් ආහාර දාමයේ අවසාන පුරුක වන මිනිසාට ශරීරගත වෙනවා. භයානක තත්ත්වය පටන් ගන්නේ ඊට පසුවයි.
මෙම ප්ලාස්ටික් ගසාගෙන එනවිට අවට පරිසරයේ තිබෙන විෂ රසායනික ද්‍රව්‍ය, බැරලෝහ සියල්ලම උරා ගෙන එන්නේ. ඒ උරාගත්ත සේරම දේවල් මිනිසාගේ ශරීරයට ඇතුළු වෙනවා. මිනිසාගේ බඩවැල හරහා ලේවලට එකතුවෙලා මුළු ශරීරය පුරාම ගමන් කරනවා.
ඊට පස්සේ ශරීරයේ කොතැනට ද හානි වෙන්නේ කියලා නිශ්චිතව කියන්න බැහැ. අක්මාව, පෙණහලු, වකුගඩු, මොළය ආදි විවිධ ස්ථානවල රෝග ඇති වෙනවා. සමහරවිට පිළිකා විය හැකියි. සමහරවිට වකුගඩු රෝග විය හැකියි.” යනුවෙන් වෛද්‍ය සජිත් එදිරිසිංහ දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.
ප්ලාස්ටික් භාණ්ඩවලට ආදේශක අවශ්‍යයි
ප්ලාස්ටික් භාවිතය මේ මොහොතේ සිට තහනම් කරනු ලැබුවත් මෙතෙක් ඉවත දමා ඇති ප්ලාස්ටික් ප්‍රමාණයේ අහිතකර ප්‍රතිඵල අපට තවත් අවුරුදු දස දහස් ගණනක් භුක්ති විඳීමට සිදු වන බව වෛද්‍ය සජිත් එදිරිසිංහගේ අදහසය.
මේ වන විට ලංකාව වටා ඇති මුහුදු පතුළෙන් 50%ක් ප්ලාස්ටික්වලින් දූෂණය වී ඇති බවත් බස්නාහිර පළාත් සීමාවට අයත් මුහුදෙන් 80%ක් දූෂණය වී ඇති බවත් සඳහන් කළේ “ද පර්ල් ප්‍රොටෙක්ෂන්” සංවිධානයේ සම්බන්ධීකාරක මුදිත කටුවාවල ය.
“2020 ජූලි මාසයේ විතර ගල්කිස්ස වෙරළ තීරය කුණුවලින් වැහුණා. ඒ කුණුවල වැඩිපුර තිබුණේ ප්ලාස්ටික් බෝතල්, පොලිතින් බෑග් වගේ දේවල්. ඊටපසුව ප්ලාස්ටික් තහනම් කිරීම 2021 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ඔක්තෝබර් මාසයේ කැබිනට් තීරණයක් ගත්තා.
ඒත් දැන් එය ක්‍රියාත්මක වෙන්නේ 2021 මාර්තු 31 වැනිදා සිට. මේ තහනම ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. ඒත් ඔය නීතියෙන් පරිසර දූෂණය අවම කර ගැනීමට හැකි වන්නේ 1%කින් විතරයි. මොකද මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ශුද්ධ බර මිලි ලීටර් 20 සහ ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේවලට. එතකොට ඊට වඩා වැඩි සැෂේවලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනික ආහාර සහ ඖෂධ අසුරා ඇති සැෂේවලට මේ නීතිය බලපාන්නේ නැහැ.
මෙය සැලසුමකින් තොරව පටන් ගත් දෙයක්
මේ නීතිය ක්‍රියාත්මක වෙන සැෂේ ප්‍රමාණය මොන තරම් සීමාසහිතද? අනික කෘෂි රසායන ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බෝතල්වලට වඩා පරිසරයට දැඩි හානියක් වෙන්නේ ප්ලාස්ටික් වතුර බෝතල්, පැණිබීම බෝතල්වලින්. ඒත් ඒවාට නීතිය නැහැ. සුළං පුරවපු සෙල්ලම් බඩු තහනම් කළා කියලා කියනවා. ඒත් ඒවා දිය මත පාවෙන පිහිනුම් තටාකවල භාවිත කරන සෙල්ලම් බඩු කියලා කිව්වොත් නීතියෙන් නිදහස් වෙනවා.
ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් තහනම් කරලා තියෙනවා. ඒත් වෛද්‍ය / සායනික ප්‍රතිකාර වලට භාවිත කරනවා කිව්වොත් නීතියෙන් නිදහස් වෙනවා.
ප්ලාස්ටික් තහනම් කිරීමට යම් තැනකින් පටන් ගත්තු එක ෙහාඳයි. හැබැයි මේක සැලසුමක් නැතිව පටන් අරන් තියෙන්නේ.” යනුවෙන් විස්තර කළේ “ද පර්ල් ප්‍රොටෙක්ෂන්” ආයතනයේ සම්බන්ධීකාරක මුදිත කටුවාවල ය.
ප්ලාස්ටික් භාවිතය අවම මට්ටමෙන් පවත්වා ගැනීම මහජනතාවගේ වගකීමක් බව සඳහන් කරන මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ, සිය පාරිභෝජන රටාව පරිසර හිතකාමි අන්දමින් පවත්වා ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතු බව පැවසීය.
එහෙත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය, වෛද්‍ය සජිත් එදිරිසිංහ පැවසුවේ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමෙන් නොනැවතී ඒ වෙනුවට ආදේශක ඉදිරිපත් කළ යුතු බවයි. මේ අනුව ප්ලාස්ටික් භාණ්ඩවලට ආදේශක භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ වෙළෙඳපොළකට ද ඉඩකඩ විවර වනු ඇත.