
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය නිසා මෙරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව දැන් 350 සීමාවටද ආසන්න වී ඇති බවක් අසන්නට ලැබේ .ඒ අතර සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් පිළිබඳවද ඉකුත්දා අසන්නට ලැබුණේය. එනම් රාගම මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු වූ ගයාන් දන්තනාරායනගේ මරණයයි.
කුමන පුද්ගලයකුගේ වුවද මරණයක් පිළිබඳව අසන්නට ලැබීම අතිශය කනගාටුදායක සිද්ධියක් බව සැබෑය. ඒ අතරින් ගයාන් දන්තනාරායනගේ අභාවය සුවිශේෂ සිද්ධියක් වන්නේ එතුමා අන්‍යයන් මරණයෙන් ගලවා ගැනීම සඳහා ඇපකැප වී සිටින වෛද්‍ය වෘත්තිකයකු වන බැවිනි. රටට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් අවශ්‍ය කරන මොහොතක සිදුවූ මෙම වෛද්‍යවරයාගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
එතුමන්ගේ මරණයත් සමඟ අසන්නට ලැබුණ තවත් බරපතළ කරුණක් වන්නේ මේ මොහොත වන විටත් සජීවී වෛද්‍ය සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන් සිය දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි. ඒ අතරින් පනස් දෙනෙකුම සිටින්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමිනි.
එසේම මෙරට සෞඛ්‍ය සේවකයන් දහසකට ආසන්න පිරිසකට මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවක් ද අසන්නට ලැබේ. ඒ අතර හෙද හෙදියන් ද සෑහෙන සංඛ්‍යාවක් සිටිති.
මේ හැම දෙනෙකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා යැයි කිසිවකුට හෝ චෝදනා කළ නොහැකිය. මන්ද ඒ සියලුම දෙනා ඒ තත්ත්වයට පත්වී ඇත්තේ තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කිරීමට උත්සුක වීම හේතුවෙන් වන බැවිනි.
මේ වන විට රට පුරා විසිරී සිටින කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැත්තෑ දහසකට ආසන්නය. ඔවුන් තව දුරටත් එලෙස නිදැල්ලේ පසුවීම බරපතළ ප්‍රශ්නයකි. එසේ වන්නේ තමන් කොරෝනා ආසාදිතයන් බව නොදැන සාමාන්‍ය ජීවිත ගත කරන පිරිසගෙන් තවත් අයට එම රෝගකාරකය ආසාදිත වීමට ගතවන්නේ තත්පර ගණනක කාලයක් වන බැවිනි.
සැබැවින්ම කොවිඩ් 19 හෙවත් කොරෝනාව යනු මාරාන්තික වයිරසයකි. අප අතර සිටින වැඩි දෙනෙකු කොරෝනා වයිරසය ගැන සුළුවෙන් සලකා කටයුතු කරන බවක්ද අසන්නට ලැබේ. ඇතැම් විට ඔවුන් සිතනවා ඇත්තේ තමන් මනා ශරීර සුවතාවකින් සිටින නිසා තමන්ගේ ශරීරය තුළට කොරෝනා වයිරසය ඇතුළු වීමට ඉඩක් නොමැති ලෙසය. එහෙත් එය මුළුමනින්ම සාවද්‍ය අදහසකි. වෛද්‍යවරුන් සිය දෙනෙකු ඇතුළු සෞඛ්‍ය සේවකයන් දහසකටත් වැඩි පිරිසක් අද මෙලෙස කොරෝනා ආසාදිතයන් බවට පත්වී ඇත්තේ වයිරසයේ ඇති අනුකම්පා විරහිත අසීමිත බලය නිසා බව මොහොතකටවත් අමතක නොකළ යුතුය.
අනෙක් අතට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මේ දක්වා සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව පනස් ලක්ෂයකට ආසන්නය. එලෙස මියගොස් ඇති බෝහෝ දෙනෙක් ලෝකයේ දියුණු යැයි සම්මත රටවලට අයත් වූවෝ වෙති. ලෝකයේ දියුණු රටවල වෙසෙන ජනතාවටත් එවැනි කනගාටුදායක ඉරණමකට මුහුණ පෑමට සිදුවූවා නම් ශ්‍රී ලංකාව වැනි රටක වෙසෙන ජනතාවගේ තත්ත්වය ගැන අමුතුවෙන් කිවයුතු නොවේ .
කෙසේ වෙතත් අදටත් අපේ රටේ වෙසෙන බොහෝ දෙනා කොරෝනා වයිරසය ගැන සිතන්නේ ඉතා සුළුවෙනි. නැතහොත් එය එතරම් ගණන් ගතයුතු දෙයක් නොවන අයුරිනි. ඒ සඳහා අවශ්‍ය උදාහරණ අපට මඟ තොටේදී කොතෙකුත් දැකිය හැකිය. බොහෝ දෙනෙකු මුව පලඳනාව රඳවා ගෙන ඇත්තේ නිකටෙහිය. එමඟින් අදාළ පුද්ගලයාගේ මුව සහ නාසා කිසිසේත්ම ආවරණය නොවේ. එලෙස ඔවුන් නොදැනුවත්ව හෝ සිදුකරනු ලබන්නේ කොරෝනා වයිරසයට අතවනා ළඟට කැඳවා ගෙන මරණය සිය කැමැත්තෙන්ම වැලඳ ගැනීමය.
ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල සිටින වැඩිදෙනෙකුට දුරස්ථභාවය ගැන කිසිදු අවධානයක් ඇති බවක් නොපෙනේ. ඔවුන් අදටත් මඟතොටේදී එක දුම්වැටිය කීපදෙනෙකු අතරේ බෙදාගෙන දුම් උරන අයුරු ඕනෑ තරම් දැකිය හැකිය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන අන්දමට රජයේ හා පෞද්ගලික ආයතන 1268ක් කොරෝනා නීති උල්ලංඝණය කිරීම නිසා නීතිය හමුවට පමුණුවා තිබේ. එයද කිසිසේත්ම සිදු නොවිය යුතු බරපතළ තත්වයකි. එසේ වන්නේ කොරෝනා නීති රෙගුලාසි උල්ලංඝණය කිරීමේ ප්‍රතිඵලය වන්නේ කොරෝනා වයිරසය තව තවත් පැතිරිම වන බැවිනි. එයද කොරෝනා වයිරසයට කරන අතවැනීමකි.
දැනටමත් පෙනෙන්නට ඇති අන්දමට මෙරට සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රශ්නයක්වී තිබෙන්නේ කොරෝනා වයිරසය රටපුරා ව්‍යාප්තවීම ගැන නොවේ. ඔවුන් කෙස් පැෙළන තර්ක ගෙනහැර දක්වන්නේ කොරෝනා වයිරසය මෙරට සමාජගතවී නැති බව තහවුරු කිරීම පිණිසය. එසේම ඔවුන් අදටත් සතුටුවන්නේ ශ්‍රී ලංකාවේ දිනකදී වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහසක් නොඉක්වීම ගැනය. එහෙත් එහි ඇති සැබෑ තත්වය නම් මෙරට එක් දිනයක් ඇතුළත වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහසකට ආසන්න වී ඇති බවය . එය කිසිසේත්ම සතුටුවිය හැකි හෝ උදම් විය යුතු තත්වයක් නොවේ.
මේ අතර ආණ්ඩුව දැන් කොරෝනා රෝග මර්දන එන්නතක් ඉන්දියාවෙන් ආනයනය කර මෙරට ජනතාවට එන්නත් කිරීමට පටන්ගෙන ඇත.
තවත් රටවල් කීපයක්ම අපට එවැනි එන්නත් සංඛ්‍යාවක් ලැබීමට ඇතැයි ද ආණ්ඩුව පවසයි. රජයේ සෞඛ්‍ය බලධාරීන් එලෙස බලාපොරොත්තු රදවා ඇතත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරියටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බවක් අසන්නට ලැබේ. එයද කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි තත්ත්වයකි.
කෙසේ වෙතත් ඉකුත් වසරේ ආරම්භයේදී මෙරට පැතිරුණු කොරෝනා පළමු රැල්ල මර්දනය කිරීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් ප්‍රශස්ථ මෙහෙවරක් ඉටුකළ බව සඳහන් කළ යුතුය.