
අපේ රටේ පළමු රූපවාහිනී නාළිකාව වශයෙන් ස්ථාපිත වූයේ ස්වාධීන රූපවාහිනී සේවාවයි. කොටස් 1500කින් යුක්තව අග්නිදිග ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය විකාශය කිරීමේ ගෞරවය හිමිවූයේද එම නාළිකාවට වීම අතින්ද එය ඉතා වැදගත්ය. එමෙන්ම ආයතනයක් වශයෙන් සියලු දෙනාගේම ගෞරවාදරයට පත්ව වසර ගණනාවක් තිස්සේම ජන හද දිනාගත් ස්වාධීන රූපවාහිනී නාළිකාවට පසුගිය කාලයේදී කණකොකා හැඬූ අතර ඒ සම්බන්ධව අපි සොයා බලන්නට වීමු.
යහපාලන රජය සමයේ වුවද මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකයන් ස්වාධීන රූපවාහිනියේ සභාපති ධුරය හොබවද්දී ආයතනයේ පරිපාලනය යහතින් පැවතුණි. සියලු සේවක සේවිකාවන් සමඟ මෙන්ම වෘත්තීය සමිති සමඟ ඔහු සුහදව කටයුතු කෙළේය. මහාචාර්ය ගංගානාථයන් ස්වාධීන රූපවාහිනියෙන් ඉවත්ව යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතියෙන් පවා ඔහුට උපහාර තිළිණ ප්‍රදානය කෙළේ එම නිසාය.
![]() |
ස්වාධීන රූපවාහිනියෙන් නීති විරෝධී ලෙස 80%ක් වට්ටම් ලබා දී වැඩසටහන් විකාශය කළඅයුරු |
එහෙත් මහාචාර්ය ධම්මික ගංගානාත්ගෙන් පසුව ස්වාධීන රූපවාහිනියට පත්ව ආ සියලුම සභාපතිවරුන් ආයතනයේ දියුණුවට නොව විනාශයට කටයුතු කරන්නට විය. විශේෂයෙන්ම එම සභාපතිවරුන් වෙනත් ආයතනයක තනතුරු හොබවමින් කටයුතු කිරීම නිසා ආයතනය නිසි පරිදි පරිපාලනය කරන්නට ඔවුන්ට නොහැකි විය. ආයතනයේ ක්‍රියාකාරීත්වය ගැන ඔවුන්ට අවබෝධයක්ද නොමැති විය.
එමෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවය වූයේ තම මඩිය තර කර ගැනීම මිස ආයතනයේ දියුණුව රඳා පවත්වා ගැනීම නොවේ. මේ නිසා ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් නොව දිගට හරහට පහළ වැටෙන්නට විය. ආයතනයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් තිබුණු ස්ථාවර තැන්පතු ක්‍රමයෙන් මේ අයගේ ග්‍රහණයට පත් විය.
2018 වසර වන විට රුපියල් 67,73,01,677.88 ක්වූ ස්ථාවර තැන්පතු ප්‍රමාණයෙන් කෝටි 67ක්ම මේ වන විට ආයතනයෙන් විනාශ වී ගොසිනි. ඒ සියල්ල සභාපතිවරුන්ගේ ග්‍රහණයට ලක් වී ඇත. වසර ගණනාවක් සේවක යහපත පිණිස ඉතිරි කර තිබූ රුපියල් හැටහත් කෝටි හැත්තෑතුන් ලක්ෂයෙන් දැන් ඉතිරිව ඇත්තේ හැත්තෑතුන් ලක්ෂය පමණි.
එමෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ආදායමද එන්න එන්නම පහළ වැටෙන්නට විය. එයට බල පෑ හේතූන් රාශියකි. ආයතනයේ පූර්ණකාලීන සභාපතිවරයෙක් නොමැතිවීම ඊට බල පෑ ප්‍රධානම හේතුව විය. ස්වාධීන රූපවාහිනියේ යහපාලන සමයේම සිටියේ (මහාචාර්ය ධම්මික ගංගානාත් හැර) වෙනත් ආයතනවල තනතුරු දරන අය මිස පූර්ණකාලීනයන් නොවේ. මේ නිසා ඔවුන්ට ආයතනයේ ප්‍රවර්ධනය පිණිස සොයා බලන්නට හෝ ආයතනයේ සේවකයන්ගේ සුබසාධන කටයුතු ගැන සොයා බලන්නට හෝ හැකියාවක් නොවීය. එමෙන්ම ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා විසින්ම ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරූ අතර ඒ වෙනුවට ආයතනයෙන් වෙනම වැටුපක් ගෙවා ප්‍රධාන විධායක නිලධාරියකු පත් කරන ලද අතර 2016 සිට 2018 වසර දක්වා වූ කාලය තුළ ඔහුට වැටුප් වශයෙන් පමණක් ගෙවන ලද මුදල රුපියල් 36,47,100.කි.
එසේම ස්වාධීන රූපවාහිනී ආයතනයට පත් කර එවන ලද ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු විසින් ඔහුගේ තනතුර අවභාවිත කර ඔහුද සම්බන්ධ පෞද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ලද වැඩසටහන් ආයතනයට මිලදී ගෙන ඇත. ඒ අතර ඕවර් ෂෝල්ඩර්, මහාචාර්ය යෞවනය, හා සංචාරය වැඩසටහන් ඇතුළත් වේ. එයින් මහාචාර්ය යෞවනය වැඩ සටහනේ ඇතැම් විකාශයන් වෙනුවෙන් රුපියල් 160,000ක මුදලක් ගෙවා ඇති අතර සෙසු කොටස්වලට රුපියල් 159,000ක් හෝ රුපියල් 151,000ක් වැනි අති විශාල මුදලක්ගෙවා තිබේ. එම වැඩසටහන් කොටස් 14ක් වෙනුවෙන් පමණක් ගෙවා ඇති මුදල රුපියල් 2195000.00කි. එමෙන්ම සංචාරේ වැඩ සටහන සඳහා එක් වැඩසටහනක් වෙනුවෙන් රුපියල් 70250ක් බැගින් වැඩසටහන් 25ක් වෙනුවෙන් මුදල් ගෙවා තිබේ. එම වැඩ සටහන් සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් නොලැබී ඇති අතර ඒ වෙනුවෙන් අදාළ සමාගමට රුපියල් 47, 82,000.00ක් ගෙවා ඇත.
ස්වාධීන රූපවාහිනී ආයතනය විසින්ම නිෂ්පාදනය කළ සවණක් රැස් නමින් විකාශය වූ බෞද්ධ වැඩසටහන් මාලාව නවතා දමා ඒ වෙනුවට එම වැඩසටහන නවතාදැමූ සමයේ සිටි සභාපතිවරයාගේ සහෝදරයකු සම්බන්ධ පෞද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදනය කරන ලද ‘දඹදිව‘ වැඩ සටහනක් විකාශය කිරීම නිසා ඒ වෙනුවෙන් ආයතනයේ රුපියල් මිලියනගණනක් ගෙවන්නට සිදුව තිබේ.
![]() |
නොමිලේ වැඩ සටහන් ලබා දුන් අයුරු
(F.O.C- (Free Of Charge) යනු
ගාස්තුවෙන් තොර යන්නය)
|
එසේම මෝටර් රථ ධාවන ශූරයකු විසින් මුදල් ගෙවා විකාශය කරන ලද ඔහු සම්බන්ධ වූ වැඩසටහනක් උඩු යටිකුරු කර ඔහුගෙන් මුදල් ලබා ගන්නවා වෙනුවට ඔහුට මුදල් ගෙවීමට කටයුතු කිරීම තුළද ආයතනයේ මූල්‍ය තත්ත්වය පහළ ගොස් තිබේ. ප්‍රවීණ සූපවේදීන් ආයතනයට ගෙන්වා ප්‍රේක්ෂකයන්ට හා ප්‍රේක්ෂිකාවන්ට සූපවේදී වැඩ සටහන් විකාශය කරන්නට ආයතනය විසින් කටයුතු කරන ලද්දේ හුදෙක් එම සූපවේදීන් විසින් එම වැඩ සටහන නොමිලේ මහජන සේවාවක් ලෙස සිදු කරන ද නිසාය.
එහෙත් පෞද්ගලික හිතවත්කමක් ඇති අයකුගේ වැඩසටහන් මුදල් ගෙවා ලබාගෙන‘ අනෝමාස් කිචන්‘ නමින් සූපවේදී වැඩ සටහනක් විකාශය කර තිබෙන අතර ඒ වෙනුවෙන් වසරකට රුපියල් 720,000ක මුදලක් ඔවුන්ට ගෙවන්නට සිදුව තිබේ. මීට අමතරව ලක්හඬ හා ස්වාධීන රූපවාහිනියේ ලාංඡන වෙනස් කිරීම නිසා නව ලාංඡන ප්‍රවර්ධනයට අතිවිශාල මුදලක් වැය කරන්නට ආයතනයට සිදුව ඇත.
මේ සියල්ලටම වඩා විනාශයක් සිදුව ඇත්තේ ආයතනයේ සේවක පටිපාටිය උල්ලංඝණය කරමින් වරින්වර උපදේශකවරුන් ආයතනයට බඳවා ගැනීමයි. එම උපදේශකවරුන් වෙනුවෙන් 2017 හා 2018 වසර දෙක තුළදී පමණක් ගෙවා ඇති මුදල රුපියල් 66,37,333.25 කි. එමෙන්ම ආයතනයේ අවශ්‍ය තරම් වාහන තිබියදී මාසික කුලිය රුපියල් 100,000ක් හා මාසික කුලිය රුපියල් 80,000ක් බැගින් ගෙවා ආයතනයට වාහන ලබා ගැනීම නිසාද විශාල ලෙසින් මූල්‍ය තත්ත්වය පිරිහී තිබේ.
අති විශාල පාඩුවක් ලබමින් තිබියදී 2015 වසරින් පසු ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති ධුරයට පත් වන තුරු බඳවා ගැනීම් 139ක් සිදු කර ඇති අතර නිලධාරීන් වෙනුවෙන් ලබා දුන් විදේශ සංචාරයන් දේශපාලන බලයෙන් පත්ව ආ උසස් නිලධාරීන් විසින් භාවිත කිරීමත් ඒ වෙනුවෙන් අසාමාන්‍ය ලෙසින් එතෙර ගමන් වියදම් ලබා ගැනීමත් නිසා ආයතනයේ මූල්‍ය නීති පවා උල්ලංඝනය කර තිබේ.
ආයතන රෙගුලාසිවලට පටහැනිව සිදු කරන ලද කාර්යයන් නිසා දිගින් දිගටම ස්වාධීන රූපවාහිනිය පාඩු ලබන්නට විය.
එමෙන්ම ආයතනයේ පොදු දේපළ දේශපාලනයෙන් පත්ව ආ නිලධාරීන්ගේ පෞද්ගලික බූදල බවට පත් කර ගැනීම නිසාද මේ මූල්‍ය විනාශය සිදු විය. එවන් එක් නිලධාරියෙක් තම විවාහයට පෙර ඔහුගේ බිරියගේ ගම වූ කුරුණෑගල යාම සඳහා ITN ලොරි රථ භාවිත කර තිබේ. ඒ වෙනුවෙන් ආයතනයේ රියදුරු ඉන්ධන මෙන්ම රථයද භාවිතා කිරීම බරපතළ වරදකි. ඔහුගේ මහරගම නිවසකට ටයිල් ගෙන ඒමටට ද මේ ආකාරයට ලොරි රථ භාවිත කර තිබේ. එසේම මාධ්‍ය ආයතනයකට අවශ්‍ය නොවන හමුදා පුහුණුවක් ලබා දෙන්නටද ආයතනයේ පරිපාලනය විසින් වැය කෙළේ ඔවුන්ට එයින් කොමිස් මුදල් ලැබුණු නිසාය. ඒ අනුව ආයතනයේ සේවකයන්ට මාදුරුඔය කඳවුරේ හමුදා පුහුණුවට බලහත්කාරයෙන් ම සේවකයන් යොමු කරන ලදී. මාධ්‍ය ආයතනයක් සඳහා කිසිදු වෘත්තීමය හා ප්‍රායෝගික පුහුණුවක් එසේ අවශ්‍ය නොවන බවට වෘත්තීය සමිති සේවකයන් පෙන්වා දුන්නද එම මුදල් විනාශය කරන ලදී. එමෙන්ම තවත් විශේෂ පුහුණුවක් ලෙස පෙන්වමින් මොරටුව හෝටලයක දිවා ආහාරය ක් සහ විනෝදාංශ ක්‍රීඩා කිහිපයක් ලෑස්ති කර විශාල මුදල් නාස්තියක් සිදු කර තිබේ. එමෙන්ම ඉල්මහ විරු සැමරුමක් ඉතිහාසයයේ පළමු වතාවට අයිටීඑන් සජිවීව විකාශනය කරන්නට ප්‍රධාන විධායක නිලධාරියා මැදිහත් වූ අතර ඒ ආයතනයෙන් අතයට ගැහිල්ලක් ද උදෙසා බව වෘත්තීය සමිති පෙන්වා දෙති. ලක්හඩ ප්‍රචාරණ කටයුතු නව අන්දමින් කරන්නට යැයි යෝජනා ඉදිරිපත් අලුතෙන් ටීෂර්ට් , ලිපි ශීර්ෂ ආදිය මුද්‍රණය කර එහි වියදම මිලියන 03ක් ලෙස ඇස්තමේන්තු කළ අතර එයට විරෝධය පා කළේය. එවකට සිටි සාමාන්‍යාධිකාරීවරයා මෙම අයථා ක්‍රියාවට අත්සන් නොතබා ඉවත් ව ඇත.
මේ තත්ත්වය මත ආයතනයේ මූල්‍ය ඉපැයීම් වේගයෙන් පහළ බැස ගොස් ඇති අතර 2013 වසරේ බදු ගෙවීමට පෙර ලාභය දැක්වුණේ රුපියල් 84,70,24,700කි. එය බදු ගෙවීමෙන්පසු දැක්වුණේ රුපියල් මිලියන 634ක් ලෙසිනි. එමෙන්ම 2014 වසරේ බදු ගෙවීමට පෙර ලාභය දැක්වුණේ රුපියල් 63,82,57,397ක් ලෙසින්. බදු ගෙවීමෙන් පසු එහි අගය දැකුවුණේ රුපියල් මිලියන 424ක් ලෙසිනි.. 2015 වසරේ එම බදු ගෙවීමට පෙර ලාභය දැක්වුණේ රුපියල් 58,71,58,584ක් ලෙසිනි. එය බදු ගෙවීමෙන්පසු දැක්වුණේ රුපියල් මිලියන 433ක් ලෙසිනි.
එහෙත් මේ තත්ත්වය 2016 වසරේ පැවතුණේ නැත.. එම වසරේ අලාභය දැක්වුණේ රුපියල් 6,96,00,044ක් ලෙසිනි. එසේම 2017 වසරේ එම අලාභය පෙර වසරට වඩා සිවු ගුණයකටත් වඩා ඉහළ ගියේය. එය දැක්වුණේ 29,20,47,737ක් ලෙසිනි. කාගේත් කෙරුවාව එයින් පැහැදිලිය.
මීට අමතරව මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛ එවකට විපක්ෂයේ සිටි මන්ත්‍රී කණ්ඩායමට පහර ගැසිම පිණිස තම හිතවතුන්ට හා දේශපාලන පක්ෂවලට වැඩ සටහන් නොමිලේ ඉදිරිපත් කරන්නට හෝ 80%ක් වැනි අතිවිශාල ආයතනයක් විසින් කිසිදු විටෙක ලබා නොදෙන අතිවිශාල වට්ටම් මුදල් ලබා දී කිබේ.
මේ තත්ත්වය මත යහපාලන රජයේ සමය අවසන් වන විට ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා ප්‍රශ්නයක් වී තිබේ.