ගෑස්පහෙන් ඇර­ඹුණු ගෑස් විප්ලවේ | Page 3 | සිළුමිණ

ගෑස්පහෙන් ඇර­ඹුණු ගෑස් විප්ලවේ

 ගෑස්පහ හන්දියේ පැරණි දසුනක්

 

වසර 150 ඉහත දී ගෑස් පහ හන්දියෙන් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ගෑස් ක්ෂේත්‍රය ලිට්රෝ ගෑස් ලෙස විශාල වර්ධනයක් කරා පැමිණ ඇත.

පසුගිය කොවිඩ් සමයේ ලෝක ප්‍රජාව මුහුණ දුන් දරුණු අභියෝග හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට ලබාදුන් සේවය උදෙසා ලිට්රෝ ගෑස් සමාගම පසුගියදා ජාතික හා ජාත්‍යන්තර සම්මාන දෙකකින් ද පිදුම් ලැබුවේය.

ජාත්‍යන්තර එල්.පී.ගෑස් ආයතනය (W.L.P.G) හා ARGUS ජාත්‍යන්තර ආයතනය විසින් කොවිඩ් සමයේ ජාත්‍යන්තර ප්‍රජාව මුහුණදුන් ගෝලීය අභියෝග හමුවේ තම සේවය හා වගකීම ජනතාවට නොපිරිහෙලා ඉටුකිරීම වෙනුවෙන් මෙම සම්මාන දිනීය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් කොවිඩ් සමයේ පාරිභෝගික ජනතාවට නොකඩවා ලබාදුන් සේවාව හා මෙහෙවර උදෙසා මෙන් ම ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය යථාවත් කරදීමට උරදීම සඳහා SLMI Restrat Kecialance සම්මානය ද දිනා ගැනීමට ලිට්රෝ ගෑස් ආයතනය සමත් විය‍. එකල කොළඹ නගරය ආලෝකවත් කිරීමට විදුලි ආලෝකය නොතිබුණේ ය. අටසිය ගණන්වල ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ දී කොළඹ නගරයට ආලෝකය ලබා දීම සඳහා ගෑස් පහ මංසන්ධිය අසල විශාල ගෑස් කර්මාන්ත ශාලාවක් තිබී ඇත. මංමාවත් පහ සඳහා ගෑස් ලාම්පු භාවිත කිරීම මඟින් මේ මංසන්ධිය ජනතාව අතර ගෑස් පහ යන නාමය යොදාගෙන ඇත.

එකල ගෑස් පහ ලෙස නම් කර ඇති මංසන්ධි 5 වන්නේ සෙක්කු වීදිය, (වර්තමානයේ ශ්‍රී කදිරේෂන් වීදිය) ශ්‍රී බෝධිරාජ මාවත, වේල්ල වීදිය, ආදුරුප්පු වීදිය, වර්තමානයේ ශ්‍රීමත් රතනජෝති සරවනමුත්තු මාවත සහ කෙළින් වීදියයි. මේ මංසන්ධි පහ අද වනවිට විවිධ මාවත් ඔස්සේ ද බෙදී ඇත. ඉංග්‍රීසි ආණ්ඩු කාල වකවානුවේ කොළඹ ප්‍රදේශයට ආලෝකය බෙදා දුන් ගෑස් කුලුන අදටත් ගෑස්පහ මංසන්ධියේ දක්නට ලැබේ. එහි තිබූ ගෑස් බල්බය වර්තමානය වනවිට කොළඹ පැරණි නගර ශාලාවේ කෞතුකාගාරයේ සංරක්ෂණය වෙමින් පවතී.

ගෑස් පහ හන්දියේ විදුලි ආලෝකය නැති මුත් ගෑස් ලාම්පුවල ආලෝකය විදුලි ආලෝකයෙන් ලැබෙන එළිය පරයන ආලෝකයකින් හාත්පස එකලු කළේ ය.

ගෑස්පහ හන්දියේ අතීත මතකයන් පිළිබඳ කොළඹ 12 මධ්‍යම පාර අංක 189 දරන තැන කරත්ත කුලියට ලබාදෙන දෙමළ හින්දු අයකු වන සෙල්වම් කුමාර (53)ගෙන් මා විමසූ අතර මේ ඔහුගේ හඬයි.

“මේ ගෑස්පහ හන්දියේ වටරවුම ළඟ ඒ කාලේ ගෑස්වලින් පත්තුවෙන ගෑස් ලාම්පු 5 ක් තිබුණා. ඒක රෑ ‍එළිවෙනකම් පත්තු වුණා. බෝධිරාජ මාවතේ ක්‍රිස්තියානි පල්ලිය ළඟ ගෑස් කොම්පැණියේ සිට පොළව යටින් තමයි ලාම්පු එළිය කරන්න ගෑස් ලබා දුන්නේ. විදුලි ආලෝකය ලැබුණාට පස්සේ ගෑස් ලයිට් ඉවත් කළා. පැරණි ගෑස්පහ හන්දියේ පරණ ගොඩනැගිල්ලක් තිබුණා. ඒක උඩ ගෙවල් තිබුණා. යකඩ කණු, ලෑලි සොල්දර දාලා ගල්වලින් බැඳලා තිබුණේ. මේ ළඟ මොහොමදියා හෝටලය, සිටි බේකරිය කියා කඩ දෙකක් තිබුණා. ඒ කාලේ හිර ගෙවල්, මාළු කඩේ, කඩ පේළි ගෙවල් සේරම තිබුණා. ට්‍රෑම් කාර් දිවුවා. වෙළෙඳාමට ආපු විදේශිකයෝ නාට්ටාමිලා, හැම ජාතීන් ම හරි හරිට තිබුණා. දැන් නම් ගෑස්පහ විතරක් නෙමෙයි මුළු කොළඹටම හාත්පසින් වෙනස්.”

ගෑස්පහ හන්දියේ වසර 30 ක් තැඹිලි අලෙවි කරන ඇන්ටනී ප්‍රැන්සිස් (64) මෙසේ කීය. “ඒ කාලේ ගෑස්පහ හන්දියේ පැරණි රා කඩයක් තිබුණා. ගෑස්වලින් රෑ පුරා පත්තු වුණු ලාම්පු 5 ක් තිබුණා. රික්ෂෝ කරත්තේ කුලිය සත 10 යි. තැඹිලි ගෙඩියක් රුපියල් 5 ට වික්කේ මම. මම විවාහවෙලා නෑ. ඒ කාලේ රා බෝතලයක් රුපියල් 15 යි. මම නම් රා බිව්වේ නෑ. හෙට්ටියාවත්ත, කොටහේන, තොටළඟත් රා තිබුණා”

මේ අයුරින් මීට සියවස් එක හමාරක් වසර 150 ට පමණ පෙර හඳුන්වා දුන් ගෑස් භාවිතය අද වනවිට ලිට්රෝ ගෑස් ලංකා සමාගම ලෙස විශාල වර්ධනයක් කරා පැමිණ තිබේ.

ගෑස් ලාම්පු හා ගෑස් බලයෙන් ධාවනය වූ ට්‍රෑම් කාර් එකල සාමාන්‍ය දසුනක් වූ අතර ගෑස් ක්ෂේත්‍රයේ පුරෝගාමියා වූ සිලෝන් ගෑස් සහ ජල සමාගම එවකට කොළඹ නගරයේ සිට රත්මලාන දක්වා ඉතා දියුණු LPG බෙදාහැරීමේ ජාලයක් කළමනාකරණය කර ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි.

කාලානුරූපව සිලෝන් ගෑස් සහ ජල සමාගම බොහෝ අදියර කරා වර්ධනය වුවත් රාජකීය ෂෙල් සමාගම ප්‍රවිෂ්ට වීමත් සමඟ එය ජාත්‍යන්තර කළමනාකරණයට ලක්විය.

ෂෙල් ගෑස් සමාගම 2010 දී ලිට්රෝ ගෑස් ලංකා සමාගම ලෙස නව දිශානතියකට යොමුව ඇත. වසර 150 අධික ගෑස් ක්ෂේත්‍රයේ මූලාරම්භය පිළිබඳව ලි‍ට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අනිල් කොස්වත්ත කීවේ ශ්‍රී ලංකාවේ ගෑස් ක්ෂේත්‍රය තුළ ලිට්රෝ ගෑස් සඳහා සුවිශේෂ උරුමයක් පවතින අතර ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන බලශක්ති අවශ්‍යතාවක් ලෙස LPG ස්ථාපිත කිරීම බලශක්ති ඉතිහාසයේ වැදගත් අංගයක් බවයි.

ගෝලීය ගෑස් මිල ඉහළ ගියත් මිල ගණන් තරගකාරී ලෙස පවත්වා ගනිමින් පාරිභෝගිකයන්ට ආර්ථික වාසි ලබා දෙමින් නොකඩවා ස්ථාවර වර්ධනයක් පවත්වා ගැනීමට හැකිවී ඇති බව ද කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට හා ජනාධිපති කාර්ය සාධක බළකායේ මග පෙන්වීමට අනුව LP ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ස්ථාවරව පවත්වා ගැනීම ප්‍රධාන කරුණකි.දිවයින පුරා නියෝජිතයන් 42, අලෙවි නියෝජිතයන් 1500 ක් හා දීප ව්‍යාප්ත අලෙවි නියෝජිතයන් 14000 ක් සමන්විත ජාලයක් හරහා ක්‍රියාත්මක වේ. කෙරවලපිටිය, මාබිම සපුගස්කන්ද හා හම්බන්තොට LPG පර්යන්ත ඇත. අද වනවිට 76% වැඩි වෙළඳපළ කොටසකට හිමිකම් කියමින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස රටේ ආර්ථිකය උදෙසා රුපියල් බිලියන 45 පිරිවැටුමක් උපදවන අතර ශ්‍රී ලංකාව පුරා මිලියන 04 අධික ගෘහ අවශ්‍යතා සපුරයි.

නවෝත්පාදන‍ සඳහා යොමු වෙමින් පාරිභෝගිකයන්ට පහසුවෙන් ගෑස් ලබාගැනීමට ලිට්රෝ ගෑස් Home Delivery Mobile APP යෙදුම හා බාධාවකින් තොරව පහසුවෙන් සම්බන්ධ වීමට සරල ඉලක්කම් 4 න් යුත් (1311) ක්ෂණික දුරකතන අංකයක් ද හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ එල්.පී.ගෑස් ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා මාවත සකස් කිරීම වසර 150 ඓතිහාසික ජයග්‍රහණයක් බවත්, එහි ඉදිරි ගමනත් ඉතා සාර්ථකව සිදුවන බවත් කොස්වත්ත පැවැසීය.

ලිට්රෝ ගෑස් සමාගමේ වර්තමාන සභාපති අනිල් කොස්වත්ත

Comments