දැනුම බලය වේ | සිළුමිණ

දැනුම බලය වේ

 

 

සහභාගි වන කණ්ඩායම කෙතරම් කුඩා වුව ද ඔවුන් වෙනුවෙන් යමක් පැහැදිලි කරලීම මහාචාර්ය විල්බර් ශ්‍රාම්ගේ සිරිතක් බව වටහා ගැනීමට මට කල්ගත වුණේ නැත.

“මම අද කැමතියි ඥානය එහෙමත් නැත්නම් ‘දැනුම’ (Knowledge) ගැන යමක් පැහැදිලි කරදීමට” යි එනම් තම කතිකාව හෙවත් සංකථනය (discourse) පටන්ගත්තේ ඒ අයුරිනි. දැනුම පැහැදිලි කරදීමට පර්යාය හා සමාන අර්ථ දෙන යෙදුම් සමුදායක් ඇති බව අපට සිහිපත් වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

“දැනුම හෙවත් ඥානය හැම භාෂාවකටම පොදු උරුමයක්. ඉංග්‍රීසි බසින් Know, Knowledge, Knowledgeable, Knowing යන යෙදුම් අනික් භාෂාවලින් දෙන අර්ථවලට සමාන බවත් මට දැනගැනීමට පුළුවන්කමක් ලැබුණා. ඉස්සර කාලේ විශ්ව කෝෂයට (Encyclopedia) කිව්වේ, Book Knowledge (ඥානකෝෂය) කියල. ඒක කාටවත් වෙනස් කිරීමට පුළුවන්කමක් නෑ. හැම විෂයකටම ඊට අදාළ ඥානයක් තිබෙන බව අමතක කරන්නට හොඳ නැහැ. ඒ නිසා ‘ඥානය’ යන්නට ‘සන්නිවේදනාර්ථ’ (Communication Meanings) බහුලයි. කලින් කලට මානව ඥානය පුළුල් වෙනවා. අද අපි ‘ඥානය’ වෙනුවෙන් දෙන අර්ථ තව කලකදී වෙනස් වෙනවා. ඒකට හේතු සමුදායකුත් හොයාගෙන තිබෙනවා. එක් ප්‍රධාන හේතුවක් තමයි, ‘මානව ගවේෂණ’ (human explorations). මානවයා කියන්නේ එක තැනක හිදින්නට පුළුවන් වර්ගයේ සතෙක් නොවේ. මානවයා තැන් තැන්වලට ගිහිල්ල නව පන්නයේ අත්දැකීම්වලට ගොදුරු වෙනවා. අලුත් දේවල් නිපදවනවා. මානවයා තරම් මේ ලෝකේ නිපදවීමේ සූරයෙක් තවත් ඇද්දැයි හිතන්නටත් අමාරුයි. මානවයා සෙවිල්ලෙන් බැලිල්ලෙන් විතරක් සෑහීමකට පත්වන්නේ නෑ. මානවයා ගැටුම්වලට මුහුණ දෙනවා. මානවයා අභියෝගවලට මුහුණපානවා.

“මේ නිසා මොකද වෙන්නේ?”

“මොකද වෙන්නේ?”

“තම තමන්ගේ උන්හිටි තැන් වෙනස් වෙනවා. ඒ විතරක් ද? හොයා ගත්තු දේවල් වෙනස් වෙනවා. ඒ විතරක් ද මුළු මහත් චින්තන විධි ක්‍රමත් (Thinking patterns) රටාවනුත් වෙනස් මුහුණුවරක් ‍ගන්නවා. මානවයාට විතරයි මේ ලෝකේ භාෂාවක් භාවිතයට ගැනීමට පුළුවන් වී තිබෙන්නේ. ඒ නිසා අකුරු කරවීමෙන් පටන් ගත් මානවයා බොහෝ දුරක් ගමන් කරල මාධ්‍ය පාලකයකු (Media Controller) බවට පත්වී සිටිනවා. අපට පුළුවන්කමක් ලැබිලා තිබෙනවා මානවයාව ප්‍රධාන කොටස් තුනකට දමන්න. මොනවද ඒ කොටස් තුන?”

“මොනවාද ඒ?”

“මානවයා සොයන්නෙක් හෙවත් ගවේෂකයෙක් (Human being is a seeker or an explorer). මානවයා මහා ගුරුවරයෙක් (Human being is a great – teacher). මානවයා මහා චින්තකයෙක් (Human being is a great thinker). මේ නිසා ඔහුට කළ නොහැකි කාර්යයක් මේ මිහිපිට ඇතැයි සිතන්නට අමාරුයි. ඒත් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා මානවයාට. මොකක්ද ඒ? මානවයා ලබාගත් දැනුමෙන් නිසි පල ප්‍රයෝජන මානවයාම ලබාගන්නවාද?”

“කුමක්ද අපේ ප්‍රතිචාර?”

අපේ ගුරු තුමාණන්ගේ මුහුණේ හිනා රැල්ලක් මතු වේ.

“මේ හැම දැනුමක් ලබාගත් මානවයා සතුටින් ද ජීවත්වන්නේ? නෑ! මානවයා අතෘප්තිමත්, අසහනයෙන් පෙලෙන සත්වයෙක්. ඔහු ඒ තත්ත්වයෙන් මිදීමට සදාතනික සටනක නියැළී සිටිනවා.”

අප මේ සටහන අවස්ථාවේදීත් ඒ සටන් ස්වභාවය අපට වටහාගත හැකි ය.

“දැනුම බලය වේ (Knowledge is Power) යැයි කීවේ මහා දාර්ශනික කාල් මාක්ස්ය.

මගේ සිහියට ආවේ මුනිදාස කුමාරතුංගයන් ලියූ කවකි.

“දැනුම ලබාදෙන දෙවියෝ

අකුරුය ඉන් නොවනු වියෝ

වූ අකුරු මැනැවින් සෙවියෝ

මුළු ලොව සලකන කවියෝ”

Comments