
ලොව කිසිදු රටකට නොමැති ජෛව විවිධත්වයෙන් පෝෂිත බුලත්සිංහල වලව්වත්ත වතුරාන වගුරු වනාන්තරය සංරක්ෂණය කර පුළුල් කළ යුතු බව පරිසරවේදීන් හා උද්භිද විද්‍යාඥයන් අවධාරණය කරති.
තෙත් භූමි පරිසර කලාප ආරක්ෂා කිරීම සඳහා වන අන්තර් ජාතික රැම්සා සම්මුතිය ආරම්භ කර මේ වර්ෂයට අඩ සියවසකි. 1971 පෙබරවාරි 02 දින ඉරාකයේ ‘රැම්සා නගරයේදී මෙම සම්මුතිය බිහි විය. 1978 දී අපේ ශ්‍රී ලංකාව ද මෙම ගිවිසුමට අත්සන් තබා තෙත් බිම් සංරක්ෂණය පිණිස පුරෝගාමී කඳවුරට එක් විණි. වතුරාන වගුරු වනාන්තර ද තෙත් බිමකට සමාන පරිසර කලාපයකි. නිරතුරුව වතුරට යටවී වතුරානේ අණට කීකරුව හැඩ ගැසුණු හා නිර්මාණය වන භූමි කලාපයයන් නිසා වතුරාන නම ජනිත වී ඇති බව භාෂා විශ්ලේෂකයන් වෙන්ව අපේ ඉපැරැණි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මතයයි.
අපි තෙත් බිම් පිළිබඳව රැම්සා සම්මුතිය සිහිපත් කළේ ද වතුරාන අමතක කර තෙත් බිම් සංරක්ෂණය සිහිනයක් පමණක් නිසාය.
වර්ෂයේ 10 -12 වරකට වැඩිය ගංගා ගැලීමෙන් අඩි 20 – 30 තරමේ උසින් යුතුව වතුරාන ගං වතුරින් වැසී පවතී. ගංවතුරට හැඩ ගැසුණු ශාක ප්‍රජා වගා වතුරට ඉහළින් ආනක් වියනක් සේ වර්ධනය වී පැවැතීම මෙහි ඇති විශේෂත්වය වේ. බුලත්සිංහල වතුරාන පිළිබඳව පරිසරවේදී චිරාත් භාරත විග්‍රහ කරන්නේ මේ අයුරිනි.
ප්‍රාග් ඓතිහාසික යුගයේ අපේ ආදිතම මානවයන් ජීවත්ව සිටි පාහියංගල සමීපයේ කුකුළේ ගඟ නිම්නයේ මෙම වලව්වත්තට යාබද නිවසේ ඉපදී ලෝකයේ ජෛව සම්පත් සංරක්ෂණයට කැපව සිටින කීර්තිමත් උද්භිද විද්‍යාඥ මහාචාර්ය නිමල් ගුණතිලකයන් නිසා තමයි මෙම භූමි කලාපය විශ්ව කීර්තියට පත් පරිසර පද්ධතියක් ලෙසට හඳුනා ගැනීමට පත්වුණේ.
සුවඳ ශාකය (දැන්වීම් පුවරුව පිටුපස) සහ වතුරානේ විනාශ කළ සුවඳ ශාකවල මුල් (රවුම තුළ)
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂකව සිටි (1820 දී - 1825 කාලයේදී) ඇලෙක්සැන්ඩර් මුන් ප්‍රථමයෙන් ම හොරවැල් ශාකය හඳුනා ගෙන ඇත. ඒ මගුරු ගංගාව ආශ්‍රිත වගුරු වනාන්තර තුළින් ය. 1826 න් පසුව මෙම ශාකය ගැන කිසිදු තොරතුරක් වාර්තා වී නැත. හෙන්රි ට්‍රයිමන් ද FOLORA Of Celon අත්පොතේ මෙම ශාකය ගැන සඳහන් කර තිබුණි.
අනතුරුව අවුරුදු 160 පමණ පසුව මිහිමතින් මෙම හොරවැල් ශාකය සොයා ගැනීමේ අසිරිමත් සාක්ෂිය ඉදිරිපත් කරන මහාචාර්ය නිමල් ගුණතිලකයන්ගේ හඬට අපි සවන් දෙමු.
“අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයකු ලෙසට ඒ. එච්. ජී. එච්. කොස්ටමාන්ඩ් මහාචාර්යතුමා මට කීවා. නිමල් හොරවැල් කියලා ශාකයක් කළුතර ඔයාලගේ පළාතෙන් සොයාගෙන තිබුණා. දැන් ඒ ශාකය ලෝකයේ කොහේවත් නැහැ. අපි යළිත් ඒ ගැන අධ්‍යයනයක් කරලා බලමු දැයි යෝජනා කළා. වලව්වත්ත කියලා අපේ නිවසට ආසන්නයේ වගුරු බිමක් සහිත කලාපයක් තියෙනවා. පරීක්ෂා කරල බලමු.
මේ එකඟතාව අනුව 1979 දී මහාචාර්ය නිමල් ගුණතිලකයන් සිය නිවසට ඕලන්ද ජාතික උද්භිද විද්‍යාඥ කොස්ටමාන්ඩ් සමඟ පැමිණියේය. වලව්වත්තේ අයිතිකරුවන් වන වෛද්‍ය මහින්ද විජේසේකර පවුලේ සහයෝගය හා අවසරය ලබාගෙන වතුරාන වගුරු වනය ඇතුළට ගොස් අධ්‍යයනය හා පර්යේෂණ කටයුතුවල නියුතු වී දින ගණනකට පසුව මෙම හොරවැල් ශාකය යළි හඳුනා ගත්තේ ය.
අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ කුකුළේ ගඟ, යටගම්පිටිය ගඟ, මගුරු ගඟ හා පැළැන්ද යන ගංගා වත් පිටාර ගැලීමෙන් රොන්මඩ විශාල වශයෙන් තැන්පත්ව ශාක හා සත්ව කොටස් ද එයට මිශ්‍රවී මෙම අතිශය සංවේදී පරිසර පද්ධතිය නිර්මාණය වී ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙන අතර එක්සත් ජාතීන්ගේ පරිසර සම්මානලාභී කීරන්තිඩියේ ප්‍රඤ්ඤාසේකර දැන් පරිසරවේදී අශෝක හරිස්චන්ද්‍රයන් පවසන්නේ “අපි ලංකාවේ ප්‍රථම පරිසරගම සංරක්ෂණය කරන අවධියේ මහාචාර්ය නිමල් ගුණතිලක සමඟ මේ වතුරානේ අධ්‍යයන කටයුතුවලට ඇවිද්දා. අපි එදා ඉදලාම වතුරාන සතු අගය හඳුනාගෙන සිටියා යැයි පවසමින්, වතුරාන මතු පරපුරේ යහපත සඳහා අදට වඩා සංරක්ෂණය කළ යුතුව ඇති බව ද පෙන්වා දෙයි.
මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය සඳහා මෙම වතුරාන පිළිබඳව ඉල්ලීම් රාශියක් කරමින් සුවිශේෂ කාර්ය භාරයන් ඉටු කළ දේශීය උරුම ගවේෂණ පදනමේ සභාපති ඉන්දික විතාන හෙළි කර සිටින්නේ වතුරේ අණට, වතුරාන ක්‍රියාත්මක වුවත් වතුරාන ලෝක ප්‍රජාවගේ මතු උරුමයක් බවට සංරක්ෂණය කිරීමේ කාර්යයේදී රාජ්‍ය අණ ක්‍රියාත්මක වන ආකාරය නම් උදාසීන වී පවතින බවයි.
ස්ථිර මුරකරුවෙකු පත්කළ යුතුයි. තොරතුරු නිලධාරියකු සිටිය යුතුය. තොරතුරු නිලධාරියකු නැත. සීමා මායිම් ගැසට්ටුවට සීමාවී ඇත. පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීම සිදු කළ යුතුය.
මිහි මතින් තුරන් වී ගියා යැයි විශ්වාස කළ හොරවැල් එදා ශාකය මෙසේ යළි සොයා ගැනීමෙන් පසුව කොස්ටමන්ඩ් හා නිමල් ගුණතිලකයන් තම වගකීම එතැනින් නතර කළේ නැත.
“අපි මෙය හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ට හෙළි කරමු. කතිකාවකින් පසුව මහාචාර්ය කොස්ටමන්ඩ් වතුරාන වැදගත්කම පිළිබඳව හෙළි කළේය. ජනාධිපති ජයවර්ධන ක්ෂණිකව ක්‍රියාත්මක විය. කළුතර මහ දිසාපතිවරයාට වතුරාන සංරක්ෂණය කරන්නැයි ජනපති නියම කළේය. වතුරාන වගුරු වනාන්තරයේ අගයත් එය සංරක්ෂණය කිරීම පිළිබඳවත් අවධානය යොමු වුණේ ද ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම ඇස් ඇරුණේ අනතුරුවය.
පහත රට තෙත් කලාපීය වනාන්තර ගණයට අයත් වලව්වත්ත වගුරු වනාන්තරය හෙක්ටයාර් 6.2045 කින් යුතුය. තෙත් කලාපයට අයත් ශාක බහුලව දක්නට ඇත.
මහාචාර්ය නිමල් ගුණතිලක, කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය දේවක වීරකෝන් ආචාර්ය හරේන්ද්‍ර කත්‍රි ආරච්චි, පශ්චාත් උපාධි අධ්‍යයන අපේක්ෂිකා වීනාවී ලක්ෂ්මන් යන පර්යේෂකයන් හා පර්යේෂිකාවන් 1980 සිට 2020 දක්වා මෙම වගුරු වනාන්තරයට පැමිණ එහි ජෛව අගය මුළු ලොවටම හෙළි කරමින් සිදු කරගෙන යනු ලබන සේවය අතිවිශිෂ්ටය.
මේ අතර මෙම වගුරු වනයේ සංරක්ෂණ කටයුතු සඳහා ග්ලෝබල් 500 එක්සත් ජාතීන්ගේ පරිසර සම්මානලාභී කීරන් කිසියේ ප්‍රඥාසේකර (උපැවිදි) නම අශෝක හරිස්චන්ද්‍ර ගෙයින් ගෙට ඇවිදිමින් පරිසර ධර්මදේශනා පවත්වමින් ද පැළ සිටුවමින් ද කළ සේවයත් දේශීය උරුම ගවේෂණ පදනමේ සභාපති ඉන්දික විතාන ඇතුළු සංරක්ෂකයන් දේශබන්දු ගම්ලත්, චිරාත් භාරත ඇතුළුවූ පරිසරවේදීන්ගේ දායකත්වයක් අමතක නොවන බව පරිසර සංවිධාන පෙන්වා දෙති.
වතුරාන වගුරු වනාන්තරයේ ජෛව විවිධත්වය හා එහි සංරක්ෂණය පිළිබඳව 2007 සිට විශාල දායකත්වයක් සපයනු ලබන පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන ද අපගේ සංවාදයට එක්විය.
හොරවැල් හා සුවඳ ශාකය පවතින ලොව එකම වගුරු භූමිය වලව්වත්ත වගුරු වනාන්තරයයි. වලව්වත්ත වගුරු වනාන්තරය අයිති වලව්වත්ත වැවිලි සමාගම වෙතයි. මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය මඟින් මෙම සුවිශේෂී පරිසර ප්‍රදේශය 2009 අප්‍රේල් 24 දින 1598/21 දරන විශේෂ ගැසට් පත්‍රය මඟින් පෞද්ගලික අයිතිය තිබියදී වතු සමාගමට අයත් සංරක්ෂණය කළ යුතුවූ භූමියක් ලෙස නම් කර තිබෙනවා යැයි කීය.
මෙම වගුරු වනාන්තරයේ පවතින තවත් සුවිශේෂ සත්ව හා ශාක පද්ධතින් පිළිබඳව සොයා බලන විට දී මෙහි විශේෂ ශාක 141 පවතින අතර එයින් 51% ඒකදේශීය ශාකයන් ය. ශාක තුළ 51 කට අයිතියැයි අනාවරණය විය.
නා කුලයට අයිති සුවඳ ශාකය වතුරාන වනයටම පමණක් ආවේණික තවත් වටිනා ශාකයකි. අපේ ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගසයි. ජාතික වෘක්ෂය බටු නා ගසවන අතර දිය නා නම් තවත් නා ගස් වර්ගයක් ද වේ.
මහාචාර්ය ගුණතිලකයන් විසින් 1985 දී සුවඳ නා නමින් හැඳින්වෙන නා වර්ගය වතුරාන ‘වගුරු බිමෙන් සොයා ගනු ලැබීය. සුවඳ ගස අඩි 100 පමණ උසට වර්ධනය වන මල් පිපෙන ගසකි. මෙම සුවඳ ගස මෙම භූමියේ හැර ලොව කිසිදු රටක නැත.
සංරක්ෂණය කළ යුතු මෙම වගුරු බිමේ විජේසේකර පවුලෙන් පසුව දැනට මෙම වලව්වත්ත (වතුරාන වගුරු බීම ද සහිත) පෞද්ගලික සමාගම යටතේ පාලනය භාරව සිටින්නේ චාමර මුණසිංහය.
මෙය අපගේ ඉඩමක් වුවත් වතුරාන වගුරු වනාන්තර කලාපය මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණයට යටත්වයි පවතින්නේ. වතු සේවකයකු විසින් තාවකාලිකව වතුරාන මාර්ගෝපදේශක කාර්ය ඉටු කළත් ඔහුට තමා විසින් වැටුප් ගෙවීම් සිදු කරන බව ද හෙළි කළේය. සිය සේවකයකු මාර්ගෝපදේශක කාර්යභාරයට ඉදිරිපත් කළ ද එහි සීමාවක් පවතින බව ද ඔහු පවසයි.
අපිට මෙය ආභරණයක් තමයි ලෝකයේ එකම සුවිශේෂී භූමියක් වීම නිසා මම සතුටින් සිටින්නේ. තවදුරටත් සංරක්ෂණය වනවා දැකීම මාගේත් සිහිනයක්, ඔහු දැඩි අපේක්ෂාවෙන් හෙළි කළේය.
මධ්‍යම පරිසර අධිකාරියේ වගකිව යුතු නිලධාරීන් කිහිප දෙනෙකුම සම්බන්ධ කරගෙන වතුරානේ යථාර්ථය විමසීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වූ අතර එහි කළුතර දිස්ත්‍රික් තොරතුරු නිලධාරිනිය වන ප්‍රියංගනී ගුණතිලක කීවේ පාසල් දරුවන් ගුරුවරුන් වතුරානට රැගෙන ගොස් දැනුවත් කිරීමේ ක්‍රියාවලිය කොරෝනා වසංගතය නිසා නතර වූ බව මේ අතර සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි රජයේ පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ වතුරානට රාජ්‍ය අණ වහාම ක්‍රියාත්මක විය යුතු බවයි. එසේ නොවන හොත් මේ වතුරානත් පොත පතටම සීමා වී වැළලී යනවා නිසැක බවකි.
වතුරාන වගුරු වනාන්තරය ප්‍රාග් ඓතිහාසික පාහියංගල ඇතුළුව මුළු ලොවම මවිත කළ පාරිසරික හා ජෛව සම්පත්වලින් ආඪ්‍යවූ බුලත්සිංහල ගොඩනැගීමේ ක්‍රියාවලියේ රාජ්‍ය දායකත්වයට බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළින් ලැබෙන ප්‍රබල නායකත්වය මෙහෙයවන්නේ ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් පෙරේරාය.
අපි ‘සිළුමිණ’ යොමු කළ ප්‍රශ්න හා ගැටලු සියල්ල පිළිගත් ප්‍රාදේශීය ලේකම්වරයා පැවැසුවේ ‘අනාගතයේදී ඉතා සුබදායි අයුරින් වතුරාන සංරක්ෂණය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගය ලබාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.