ජවිපෙ 2වැනි කැරැ­ල්ලේදී රට හෙල්ලූ සන්නද්ධ බළකා | සිළුමිණ

ජවිපෙ 2වැනි කැරැ­ල්ලේදී රට හෙල්ලූ සන්නද්ධ බළකා

  ජවිපෙ කැර­ලි­ක­රු­වන් විසින් 1989 අගෝස්තු 03 ඝාත­නය කළ ප්‍රකට ධර්ම කථික කොටි­කා­වත්තේ සද්ධා­තිස්ස හිමි ගේ දේහ­යට අව­සන් ගෞරව දක්වන පිරි­සක්.

 

මෙහි පළමු කොටස ගිය සතියේ

පළ වූ අතර, කොටස් තුනකින්

සමන්විත ලිපි පෙළේ

මේ පළවන්නේ දෙවැන්නයි...

------------------------------------

ජවිපෙ, ඉකුත් දශක පහක් ඇතුළත කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

18 කොටස

 

 

නුවරඑළිය-

චන්ද්‍රානන්ද බළකාය :

ජවිපෙ 2වැනි කැරැල්ල තුළ ක්‍රියාත්මක වූ දිස්ත්‍රික්ක 19 තුළ වසර 1986 සිට 1989 දක්වා කටයුතු කළ සන්නද්ධ දිස්ත්‍රික් ලේකම්වරුන් අතරින් එකම භික්ෂූන් වහන්සේ වන්නේ උඩුගම්පොල චන්ද්‍රානන්ද හිමි හෙවත් තාරකය. සිය ගණනක් භික්ෂූහු උපැවිදි වී කැරැල්ලට එක්වූව ද චන්ද්‍රානන්ද හිමි අවසානය තෙක් උපැවිදි නොවීය. එහෙත් එම කාලය තුළ තාරක නමින් ගිහියකු ලෙසින් පෙනී සිටි අයෙකි.

ළමා කාලයේදී දරිද්‍රතාවෙන් දැඩි පීඩා විදි උන්වහන්සේ උපදින විට සිය පියා මව හැරදා ගොස් තිබිණි. කුලී වැඩ කරමින් දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිය පුතු හදා වඩා ගත් මවද රෝගී වීමෙන් පසු ඇය විසින්ම සිය පුතු පන්සලට මහණ කිරීම සඳහා යොමු කළාය. පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ අධ්‍යාපනය හැදැරූ උන් වහන්සේ අනතුරුව ජවිපෙ පූර්ණකාලීනයකු විය. කරාතේ ශිල්පය හොඳින් ප්‍රගුණ කළ චන්ද්‍රානන්ද හිමි දෙසතියක සන්නද්ධ පුහුණුවක් ලැබුවේ හම්බේගමුව රක්ෂිතයේ ජවිපෙ කඳවුරකදීය.

අනතුරුව මාතලේ දිස්ත්‍රික්කයේ එක් කලාපයක සන්නද්ධ නායකයා වශයෙන් දඹුල්ලේ පන්සලක සිට මෙහෙයවීම් කළ උන්වහන්සේ 1988දී නුවරඑළිය දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් බවට පත්වූහ. නුවරඑළිය පන්සලක සහ රාගල නිවසක සිට එම කටයුතු වලට ක්‍රියාකාරීව එක්වූ චන්ද්‍රානන්ද හිමි ඒ පිළිබඳව ආරක්ෂක අංශ අවධානය යොමුවීමත් සමඟම නායක උපදෙස් පරිදි සන්නද්ධ ලේකම්කමින් ඉවත්ව සමාජ ක්‍රියාකාරකම්වල නිරත වූහ.

දායකයන් අතර ජනප්‍රියව සිටි උඩුගම්පොල චන්ද්‍රානන්ද හිමි අලව්ව තුඹුල්ල පන්සලේ වැඩ සිටියදී 1989 මැයි 18 වෙඩි තබා ඝාතනයට පත්කරන ලදී. ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අතුකෝරලපුර (කුරුණෑගල) දිසා සංවිධානය 1989 මැයි 27 පුවත්පත් නිවේදනයකින් කියා සිටියේ ප්‍රා සංවිධානය එයට වගකිව යුතු බවය. ජවිපෙ විසින් නුවරඑළිය දිස්ත්‍රික් සන්නද්ධ අංශය පසුව චන්ද්‍රානන්ද බළකාය ලෙස නම් කරන ලදී.

 

 

කුරුණෑගල

නිමල් කරුණාතිලක බළකාය:

අඹේවෙල උපන් අලව්ව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් නිමල් කරුණාතිලක හෙවත් රන්ජන් 1988 මුල් භාගයේදී නුවර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී 1988 මැයි 01 පේරාදෙණියේ ඊරියවැටියේ නිවසක රහසිගතව පිහිටා තිබූ බෝම්බ නිෂ්පාදනය කරන ස්ථානයකදී බෝම්බයක් පිපිරීමෙන් එම ස්ථානයේදීම මරුමුවට පත්විය. රන්ජන්ට උපහාරය පළකරනු වස් ජවිපෙ කුරුණෑගල සන්නද්ධ අංශය නිමල් කරුණාතිලක බළකාය ලෙස නම් කළේ ඉන් අනතුරුවය.

එයට ප්‍රථම රන්ජන් කුරුණෑගල දිසා ලේකම් අමරසිරි යටතේ එම දිසා කමිටුවේ ක්‍රියාකාරි සාමාජිකයෙකු විය. එවකට රන්ජන් සමඟ කුරුණෑගල දිසා කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ කුලියාපිටිය කලාප ලේකම් උපාලි ජයවීර, සඳලංකාවේ පතිරණ, නන්දන, වීරක්කොඩි සහ ගුණසේකරය.

නුවර දිස්ත්‍රික් ලේකම් ලෙස රන්ජන් පත්වීමෙන් පසු උඩුනුවර හමුදා ජංගම මුර සේවයේ යෙදෙන භට කණ්ඩායම් 2කින් අවි පැහැර ගැනීම, නුවර නගරයේ මැරයකු වශයෙන් ප්‍රකටව සිටි සුදුහුම්පොල සුනිල් නගරයේදීම ඝාතනය කිරීම, බෝවලවත්තේ පොලිස් ඔත්තුකරුවන් ‘ඉවත් කිරීම’ යන කටයුතු සිදු කිරීමෙන් අවධානය යොමුකර ගත්තෙකි.

පේරාදෙණිය ඊරියවැටිය බෝම්බ නිෂ්පාදන කළ නිවසේ බෝම්බයක් පිපිරීමෙන් රන්ජන් සමඟ එම ස්ථානයේදීම මියගිය අතර අනෙක් තැනැත්තා වූයේ නුවර ප්‍රාදේශීය අංශයේ ඉදිරිපෙළ කැරලිකරුවකු වූ මාතලේ කිවුලේ උපන් හසලක පදිංචිව සිටි ජයසේකරය.

රාත්‍රී සිදුවූ මෙම සිද්ධියෙන් පසු රන්ජන් සහ ජයසේකර යන දෙදෙනාගේම මළ සිරුරු ඉදිරිපස ඉඩමක රහසිගතව වළලා ආචාරය පුදකර එම නිවස අතහැර අලුයම වන විට පළා යෑමට සෙසු 9 දෙනෙකු ගෙන් යුත් කැරලිකරුවන් පිරිස සමත්විය. ඉන් බහුතරය පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු සහ ශ‍ාස්ත‍්‍ර පීඨයේ සිසුන් විය. බරපතළ තුවාල ලැබූ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසු පදවියේ උපන් පාලිත වික්‍රමසිංහ හෙවත් ඩී. සී පාලිත රෝහල් ගත කරනු ලැබීය.

 

 

කෑගල්ල-

මිලින්ද සේරම් බළකාය :

මනම්පිටිය කඩවත්මඩුවේ පදිංචිව සිට මාතලේ හේවයලාගේ පියසේන හෙවත් මිලින්ද සේරම් 1952 ජූනි 5 උපන්නේ මවගේ උපන් ගම වන කෑගල්ල පුවක්දෙණියේය. ගොවියකු වූ ඔහුගේ පියා කුරුණෑගල වරකාවැහැර පදිංචි මාතලේ හේවයලාගේ රනාය. මව සුදුහත්ත හේවගේ එංගෝය. එම දෙපළට දරුවන් 5ක් වූ අතර ඉන් තෙවැන්නා එම්. එච්. පියසේන හෙවත් මිලින්ද සේරම්ය. පියසේන ගේ සෙසු සොහොයුරන් වූයේ දියෝනිස්, රපියෙල් සහ සේනකය. එකම සොහොයුරිය සෝමාවතීය. නව ගොවි ජනපද පිහිටුවීම යටතේ මනම්පිටිය කඩවත්මඩුවේ මහවැලි ඉඩම් හිමිවීමෙන් පසු පියසේන ගේ පවුලේ සියලුදෙනා කුරුණෑගල වරකාවැහැර සිට පොළොන්නරුවට 1974දී සංක්‍රමණය විය.

වරකාවැහැර රඹුකන්දල විද්‍යාලයෙන් පහේ ශිෂ්‍යත්වය සමත් වූ පියසේන හෙවත් මිලින්ද සේරම් පසුව ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වී අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීය. එජාප ආණ්ඩුව විසින් ඇති කළ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඇතුළු විවිධ ගැටලූ හේතුවෙන් ජනපදිකයන් මුහුණ දුන් කටුක අත්දැකීම් නිසා සේරම් ප්‍රබල එජාප විරෝධී ස්ථාවරයකට පැමිණ සිටියේය. වසර 1978 සිට ජවිපෙ පූර්ණකාලීනයකු විය.

ජවිපෙ 2වැනි කැරැල්ල ඇරඹීමත් සමඟම මුල් පෙළේ ක්‍රියාකරුවකු වූ සේරම් පසුව කෑගල්ල දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් විය. එවකට පොළොන්නරුව මන්ත්‍රී සහ ත්‍රිකුණාමලය දිසා ඇමති එච්. ජී. පී නෙල්සන්ට කදුරුවෙලදී 1987 ඔක්තෝබර් 12 බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කළද අන් අය නොපැමිණීම නිසා තනිව ගොස් පහරදී ඉදිරියට පැමිණි යතුරුපැදියක් පැහැරගෙන පලා ගියේය. ඇමති නෙල්සන්ට සහ ඔහුගේ ලේකම්ට බරපතළ තුවාල සිදුවිය.

කලකට පසු 1988 මැයි මස කෑගල්ලේ පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත් සේරම් පොළොන්නරුව වයි. එම්. බී. ඒ. ශාලාවේ පැවති වධකාගාරයේ කලක් මුළුල්ලේ තිරස්චීන වද බන්ධනවලට මුහුණ දුන්නද කිසිවෙක් පාවා නොදීම නිසා පසුව ඝාතනය විය. වධකාගාරය තුළදීද ඔහු විමුක්ති ගී ගැයූ බවද කියති. ඔහු ගේ සිරුර මනම්පිටිය තේක්ක කැළේදී පුළුස්සා දමනු ලැබීය. වසර 2001දී ජවිපෙ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ එස්. කේ. සුබසිංහ ගේ මැදිහත්වීමෙන් මිලින්ද සේරම් අනුස්මරණ ශාලාව නමින් වැලිකන්ද ප්‍රාදේශීය සභාවට අයත් කඩවත්මඩුවේදී ප්‍රජා ශාලාවක්ද ඉදිකර තිබිණි

මොනරාගල- අනුර බළකාය: වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී පළමු වෙඩිල්ල තැබුවේ ඉලන්දාරි දේව නිල්සන් හෙවත් වැල්ලවායේ අනුරය. කරන්දෙණියේ උණගස්වෙල ග්‍රාමයේදී 1947 මැයි 28 වැනිදා උපන් අනුරට සොයුරු සොහොයුරියන් 4කි. ඔවුහු නම් ඩේලින්, නෙල්සන්, ඥනදාස සහ ආරියවතීය. පියා වූ ඒමේල් කුරුඳු කම්කරුවෙකි. උණගස්වෙල පාසලේ ප්‍රාථමික අධ්‍යාපනය ලත් අනුරද පසුව කුරුඳු තැලීමට යොමු විය.

කරන්දෙණියට ජවිපෙ ගෙන ආ උණගස්වල ඉහළ පාරේ පදිංචිව සිටි ගාමිණී බාස් ගේ නායකත්වය යටතේ පසුව පුත්තලම දිසා ලේකම් වූ විල්සන් ආරියරත්න හෙවත් හේරත් හරහා අනුර ජවිපෙට එක්විය.

අම්පාර දිස්ත්‍රික් ලේකම් නිශ්ශංක සමඟ 1968 පූර්ණකාලීනයකු ලෙස අම්පාරට ගිය අනුර පසුව ජවිපෙ විසින් පවත්වාගෙන ගිය කිරින්ද, තණමල්විල සහ කැලැත්තෑවේ ගොවිපොළවල සේවය කළේය. පසුව මොනරාගල දිස්ත්‍රික්කයේ තාවකාලික දිස්ත්‍රික් ලේකම් වූ අනුර පසුව එම වගකීම කරන්දෙණිය ඉද්දමල්දෙණියේ ප්‍රේමසිරි දේවප්‍රිය හෙවත් ප්‍රේමසිරි ගමගේට පැවරුණු පසු වැල්ලවාය පොලිස් කොට්ඨාසයේ ලේකම් විය.

සන්නිවේදනයේ අඩුලුහුඬුකමක් නිසා 1971 අප්‍රේල් 4 අලූයම වැල්ලවාය සහ මොනරාගල පොලිසිවලට පහරදීම සිදුවිය.

අනුර ගේ නායකත්වයෙන් 20 දෙනෙකු පමණ පොලිසිය වටකර පහර දුන්නද එය අසාර්ථක විය. එහිදී කැරලිකරුවන් අතින් පොලිස් කොස්තාපල් ගුණසේකර සහ යේනස් දෙදෙනාද මරුමුවට පත්විය. අනතුරුව අප්‍රේල් 5වැනිදා වැල්ලවාය පොලිසියේ අත්අඩංගුවට පත් අනුර එහිදී ඝාතනයට පත්විය.

මොනරාගල සන්නද්ධ අංශය ජවිපෙ 2වැනි කැරැල්ලේදී නම් කෙරුණේ අනුර බළකාය නමිනි.

 

ගම්පහ- රංජි බළකාය :

රංජිත් දසනායක(පොඩි රංජි) යනු කැරලිකරුවන්ට තිරස්චින ලෙස වධදුන් බවට චෝදනාව ලත් පෑලියගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක වික්‍රමසිංහට 1988 ජනවාරි 1 වෙඩි තැබීමට යෑමේදී ගම්පහ කිරිල්ලවලදී මරුමුවට පත්වූ අයෙකි. ජවිපෙ සන්නද්ධ අංශයට මුල් කාලයේදී වඩාත් ක්‍රියාශීලී පිරිසක් එක්වූ දිස්ත්‍රික්ක අතර ගම්පහද විය.

දෙවැනි කැරැල්ලේ ගම්පහ සන්නද්ධ අංශය නම් කෙරුණේ රංජි බළකාය නමිනි.

ජවිපෙ 2වැනි කැරැලි වකවානුව තුළ දිස්ත්‍රික්ක සන්නද්ධ බළකායන්ට අමතරව විශේෂ සන්නද්ධ බළකායන්ද ක්‍රියාත්මක විය.

මේ ඉන් කිහිපයක් පිළිබඳ විස්තරයකි.

 

ශිෂ්‍ය අංශය-

නිමල් බාලසූරිය බළකාය : නිමල් බාලසූරිය යනු මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිසුවෙකි. කුරුණෑගල හෙට්ටිපොල උපන් බාලසූරිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ(අන්තරේ) 1988 මාර්තු 01 සිට මැයි 08 දක්වා කැඳවුම්කරුය.

අන්තරේ කැඳවුම්කරු වශයෙන්ම සිටියදීම හෙතෙම බෝම්බයක් රැගෙන අදාළ ඉලක්කය පෙන්වීමට යාමේදී එම බෝම්බය පිපිරී එය රැගෙන ගිය මොරටුවේ සුනිල් බන්දුල සොයිසා සමඟම 1988 මැයි 08 පස්වරු 7.35ට පමණ වැල්ලවත්ත කුරේ මාවතේදී මරුමුවට පත්විය. රස පරික්ෂණ වාර්තා අනුව මහේස්ත්‍රාත් පරික්ෂණයේදී කියවුණේ බෝම්බය අතේ පිපිරුණු බවකි.

ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානය 1988 ජූනි 14 මරදාන කාර්මික විද්‍යාලයේදී රහසිගතව පිහිටුවීමට පෙර එහි ව්‍යූහය සකස් කිරීමේ ප්‍රථම රැස්වීම මොරටු සරසවියේ පැවති අතර එහිදී ගත් තීරණ 2ක් වූයේ එම වසරේ පටන් ජූනි 20 ජාතික ශිෂ්‍ය වීර දිනය ලෙස රටපුරා සැමරීම සහ ශිෂ්‍ය අංශයට වෙනම සන්නද්ධ අංශයක් නිමල් බාලසූරිය නමින් පිහිටු වීමටත්ය. ඒ අනුව 1988 ජුනි 20 නිමල් බාලසූරිය බළකාය ශිෂ්‍ය අංශයේ සන්නද්ධ බළකාය ලෙස ස්ථාපිත විය.

බාලසූරිය බළකාය පිහිටුවීමෙන් පසු ජවිපෙ අරමුණ වූයේ ශිෂ්‍ය අංශයෙන් පෙරට ආ සන්නද්ධ කැරලිකරුවන් දෙවන වටයට සූදානම් කිරීමය.

ජවිපෙ 2වැනි කැරැල්ලේ දේශපාලන මණ්ඩලයේ 13 දෙනා ගෙන් 8ක් සහ මධ්‍ය කාරක සභාවේ 35 දෙනා ගෙන් 11ක් ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ජවිපෙට එක්වූ අය වෙති.

නිමල් බාලසූරිය බළකායේ ප්‍රථම නායකයා වූයේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ තෙවන වසර සිසු 84/85 කණ්ඩායමේ සාමාජික වෙන්නප්පුව පදිංචි ගාමිණී මාලසිංහය. නුගේගොඩ නාවලදී 1988 දෙසැම්බර් 08 ගාමිණී මාලසිංහ ආරක්ෂක හමුදා මගින් පැහැරගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්විය.

අනතුරුව බාලසූරිය බළකායේ නායකයා වූයේ රුහුණු සරසවියේ කෘෂි පීඨයේ සිසුවකු වූ හම්බන්තොට දෙබරවැව පදිංචි ඥාණසිරි පල්ලියගුරු හෙවත් බෙනට්ය.

පසුව ඥාණසිරි ගාල්ල දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් ලෙස 1989 අග භාගයේදී වැඩ බාරගත් විට නිමල් බාලසූරිය බළකායේ නායකයා වූයේ මොරටු සරසවියේ එන්.ඩී.ටී. සිසු දිවුලංකඩව උපන් අනිල් පියරත්න හෙවත් පීරිස්ය.

ඥාණසිරි 1989 සැප්තැම්බර් මස ගාල්ල ඉඳුරුවේදී අත්අඩංගුවට පත්ව තෙලිජ්ජවිල ජෝන් ඩෙල්ෆ් වත්තේ හමුදා අනුඛණ්ඩයේ රඳවාගත් අතර 1990 පෙබරවාරි 24 ඝාතනය කර බෙලිඅත්ත ගලගම පාළු ළිඳකට දමා තිබිණි. කොළඹ සරසවි උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 1989 මාර්තු 08 කොළඹ සරසවිය තුළදී ද ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. එල් ධර්මසිරි 1989 ඔක්තෝබර් 20 කොටහේනේදී ද, පේරාදෙණිය සරසවියේ සහකාර ලේඛකාධිකාරි ඩී. ඊ. නාගහවත්ත 1989 ඔක්තෝබර් 04 සරසවිය තුළදීම ඝාතනය කිරීම වැනි ජවිපෙ ක්‍රියාකාරකම්වලට එරෙහිවූ සරසවි පද්ධතියේ සහ පාසල් ක්ෂේත්‍රයේ විදුහල්පතිවරුන් ගේ ඝාතන වලට බාලසූරිය බළකාය සම්බන්ධ විය.

පේරාදෙණිය සහකාර ලේඛකාධිකාරි නාගහවත්ත ඝාතනයෙන් පසු ආරක්ෂක අංශ 1989 ඔක්තෝබර් 05 ඝාතනය කරන ලද තරුණයන් 18 මළසිරුරු ගලහ පාරේ ස්මාරකය සහ සනාත මන්දිරය අසලට දමා තිබිණි.

විජේවීර ඝාතනයෙන් පසු එනම් 1989 නොවැම්බර් 13න් පසු ජවිපෙ නායකත්වයට පත්වූ සමන් පියසිරි ප්‍රනාන්දු විසින් බාලසූරිය බළකායට වැඩි බරක් යෙදූ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ මුල්තැන ගත්තේ ඔවුන්ය.

ආරක්ෂක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්න ඝාතනයට බෝම්බ පිරවූ කාර් රථයක් පුපුරවා හැරීම සැලසුම් කළේ ද බාලසූරිය බළකාය විසිනි. මෙම බළකායේ නායක ශ්‍රීවර්ධන ගේ මෙහෙයවීමෙන් 12 දෙනෙකු ගෙන් යුත් මරාගෙන මැරෙන කණ්ඩායමක්ද 1989 දෙසැම්බර් පිහිටුවන ලදී. එම කණ්ඩායමේ බහුතරය පාසැල් සිසුන් වේ.

ඔවුන් අතර චානක, ජයකොඩි, හිරන්ත, කපිල, නීල්, ජයවර්ධන ද සරසවි සිසු සිසුවියන් වූ පේරාදෙණියේ ජනක සෙනෙවිරත්න හෙවත් රොබට්ද, ජයවර්ධනපුර ඉරේෂා පොල්ගම්පල හෙවත් දීපානිද, මොරටු එන්. ඩී. ටී සිසු රංජිත් ඇතුළු කිහිපදෙනෙක්ද විය. බාලසූරිය බලකායට දිස්ත්‍රික් නායකයන් වශයෙන්ද පත්ව සිටියේ සරසවි සිසුන්ය.

නිදසුනක් ලෙස එම බළකායේ කොළඹ දිස්ත්‍රික් නායකයා වූයේ ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ සිසු දෙනගම උපන් ගරුසිංහ ප්‍රේමදාසය. මහරගම විද්‍යාකර මාවතේ නැවතී සිටි ගරුසිංහ නුගේගොඩ විල්බට් අයියා ගේ බත් කඩේ අසලදී 1989 සැප්තැම්බර් 17 අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. ජවිපෙ ශිෂ්‍ය සංවිධානය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සන්නද්ධ අංශය ලෙසද 1989 මැද භාගයේ සිට නිමල් බාලසූරිය බළකාය පත්විය.

ඒ වනවිට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටුවට බස්නාහිර සහ සබරගමු කලාප භාරව කොළඹ වෛද්‍ය පීඨයේ අතුල සේනාරත්න හෙවත් චිරන්තද, දකුණු කලාපය භාරව මොරටුව එන්.ඩී.ටී සිසු නිරංජන් හෙවත් පාලිතද මධ්‍යම පළාත භාරව ජයවර්ධනපුර සරසවියේ නන්දසිරිද, උතුරු මැද කලාපය බාරව පේරාදෙණිය සරසවියේ නිස්මි හෙවත් කමල්ද, ඌව සහ නැගෙනහිර බාරව රුහුණු සරසවියේ ධර්මසිරි හෙවත් ප්‍රසන්න හෙවත් ලසන්තද, කොළඹ දිස්ත්‍රික්කය භාරව රුහුණු සරසවියේ අනුර හෙවත් රාමනායකද විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය(අන්තරේ) නියෝජිතයා ලෙස කොළඹ වෛද්‍ය පීඨයේ වෙනුර එදිරිසිංහද, සන්නද්ධ අංශය භාරව මොරටු සරසවියේ ශ්‍රීවර්ධන දිසානායක හෙවත් සිරිවර්ධනද ජවිපෙ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් ඩී. එම්. ආනන්ද අයත් විය.

මොවුන් ගෙන් නිරංජන්, නන්දසිරි, ධර්මසිරි, අනුර හැර සෙසු සියල්ලෝම ඝාතනයට පත්විය. මාතර මාලිම්බඩ උපන් අනුර වර්තමානයේ මොනරාගල ගුරුවරයෙකු වන අතර මිදිගම උපන් ධර්මසිරි පස්සර විදුහලක ගණිත ගුරුවරයෙකි. නිරංජන් හෙවත් පාලිත ව්‍යාපාරිකයෙකු වන අතර නන්දසිරි රේගුවෙන් භාණ්ඩ නිදහස් කරගැනීමේ ආයතනයක කළමණාකරුවෙකි.

නිමල් බාලසූරිය බළකායේ නායකයා වන සිරිවර්ධන, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකයකු වන උපුල් නානායක්කාර සහ ජවිපෙ අලුතෙන් පත්වූ දේශපාලන සභික උපාලි ජයවීර අතර සාකච්ඡාවක් 1989 දෙසැම්බර් 08 කිරුළපන ස්විට් හවුස් ආයතනයේ පැවති අතර එහිදී තීරණය වූයේ අන්තරේ තාවකාලික විසුරුවා එහි ශක්තියද නිමල් බාලසූරිය බළකායට යෙදීමය.

එම තීරණය පේරාදෙණිය සරසවියේ සිසු නායකයකු වූ නිස්මි විසින් 1989 දෙසැම්බර් 09 නුගේගොඩ පාගොඩ පාරේ ආරිය බුලේගොඩගේ නිවසේ රැස්වූ අන්තරේ ක්‍රියාකාරිකයන්ට දැනුම් දෙන ලදී.

ඉතිරි කොටස

ලබන සතියේ

Comments