දකුණු ලක අප්‍රකට ග්‍රාම නාම රැසක් රට පුරා ප්‍රචලිත වීමට බලපෑ එක් හේතුවක් වූයේ ඇතැම් ග්‍රාම වලින් ජනිත වූ පඬිවරුන්ගේ ඥාන ප්‍රභා මණ්ඩලයයි. එකුන් විසි වන සියවසේ සිදු වූ ධර්ම ශාස්ත්‍ර පුනරුත්ථාන ව්‍යාපාරය ඈත ගම්දනව්වලද නැණ පහන් සිළු දැල්වීමට හේතු කාරක විය.
මාතර තුඩාවේ ග්‍රාමයේ ජනිතව එසේ ජාත ග්‍රාමය ප්‍රචලිත කළ පඬි රුවනකි, තුඩාවේ ගුණවර්ධන පඬිතුමා. 1825 වර්ෂයේ ජුනි මස 25 වෙනි දින මෙලොව එළිය දුටු දොන් අන්ද්‍රිස් තුඩාවේ ගුණවර්ධනගේ පියා මලවර ආරච්චිගේ දොන් ජානිස් අභයවර්ධන ගුණසේකරය.
මව දෝන දිසානා විජයසේකර හාමිනේ නම් වූවාය. නිවෙස ආසන්නයේ විසූ වැඩිහිටියකු වෙතින් පස් හැවිරිදි වියේදී අකුරුකරණයට එළඹි අන්ද්‍රිස් දරුවා ශාස්ත්‍රයට දැක්වූ විශේෂ උද්‍යෝගය නිසාම නොබෝ කලකින් වැලිගම පොල්වත්තේ තිභුම්මිකාරාමාධිපති මිරිස්සේ ගුණසාර හිමියන් වෙතින් පැවිදි බව ලැබ තුඩාවේ සුමනසාර නමින් ප්‍රසිද්ධ විය.
කලක් මිරිස්සේ ගුණසාර හිමියන් වෙතින් ශාස්ත්‍ර හදාළ සුමනසාර සාමෙණ්ර නම වැඩි දුර අධ්‍යාපනය ලැබීම සඳහා මිහිරිපැන්නේ ධම්මරතන හිමියන් වෙත යොමු කෙරිණ. ධම්මරතන හිමියන් වෙතින් සිංහල භාෂාව සහ කාව්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කළ සාමෙණ්රයෝ ස්වෝත්සාහයෙන් පාලි, සංස්කෘත භාෂා මනා සේ ප්‍රගුණ කළහ.
මෙතරම් උත්සාහයෙන් ශාස්ත්‍ර ප්‍රගුණ කොට ව්‍යක්ත භික්ෂුවක් බවට පත්වුවද කෙටි කලකින් කිසියම් හේතුවක් නිසා උපැවිදිව කලක් වෙළඳාම් කටයුතුවල නිරතව තිබේ. මේ කාලයේදී මෙතුමාට ජේම්ස් ද අල්විස් මහතා හමු වූ අතර තම අනාගත මාවත යොමු වී තිබෙන්නේ ශාස්ත්‍රීය කටයුතු ඔස්සේ බව අල්විස් මහතා පැවසූ වදන් තරයේ සිතට ගෙන කොළඹ බලා පිටත්ව ශාස්ත්‍ර අධ්‍යයනයෙහි ආසක්ත වූ ඡාත්‍ර ගණයාට ප්‍රාචීන ශාස්ත්‍ර ඉගැන්වීමෙහි නිමග්න වී තිබේ.
ජේම්ස් ද අල්විස් මහතාද තුඩාවේ අන්ද්‍රිස් ගුණවර්ධන පඬිවරයා වෙතින් ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර හදාළ බව පැවසේ.
ඉගැන්වීමෙහි හසල බව පතළ වීමත් සමඟ රජය විසින් සිවිල් නිලධාරීන්ට සිංහල ඉගැන්වීම සඳහා 1860 වර්ෂයේ මෙතුමන් නිල වශයෙන් පත් කෙරිණ. ඊට අමතරව එවක “නෝමල් ඉස්කෝලය” නමින් ප්‍රසිද්ධව තිබුණු ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ස්ථාපනය කොට තිබුණු විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙසද කටයුතු කර තිබේ.
පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ සමීපාතීතයෙහි බෞද්ධාචාර්යයෝ කෘතියෙහි තුඩාවේ අන්ද්‍රිස් ගුණවර්ධන පඬිවරයා වෙතින් ශාස්ත්‍ර හදාළ දෙස් විදෙස් බොහෝ පිරිසකගේ නම් සඳහන් වෙයි.
“එකල ඇටර්නි ජනරාල් ධූරය දැරූ චාර්ල්ස් ලෙසාර්ඩ් මහතා ද, සැළලිහිණි සන්දේශය ඉංග්‍රීසියට නැඟූ මැක්රිඩ් දිසාපතිතුමා ද, බී. ගුණසේකර ආණ්ඩුවේ භාෂා පරිවර්තක මුදලිතුමා ද, ඩබ්ලිව්. පී රණසිංහ නීතඥ මහතා ද,මහාවංශය ඉංග්‍රීසියට නැගූ විජයසිංහ මුදලිතුමා ද, මෙතුමාගෙන් කොළඹදී ඉගෙනගත් ශිෂ්‍යයෝ වූහ.
ඩබ්ලිව්. ඇෆ්. ගුණවර්ධන වාසලමුදලිතුමා, ජෝන් කවිතිලක පඬිතුමා, රාමඤ්ඤ නිකායේ මහා නායකව සිටි ඤාණින්දාසභමහ ස්ථවිරතුමා සද්ධම්මයුක්තික නිකායේ නායකධුරයක් දරමින් ගන්දර විසූ සරණංකර මහාස්ථවිරතුමා ආදීහු මාතර පළාතේදී උගත් ශිෂ්‍යයෝ වූහ.
සමකාලීන සෙසු පඬිවරුන් අනුදත් ශාස්ත්‍රීය ප්‍රතිපදාවේ එක් අංගයක් වූයේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ශාස්ත්‍රීය සංස්කරණයන්ට බඳුන් කොට ප්‍රකාශයට පත් කිරීමය.
ඒ ශාස්ත්‍රීය ප්‍රතිපදාව අනුදත් තුඩාවේ අන්ද්‍රිස් ගුණවර්ධන පඬිතුමා සිදත් සඟරාවට සම්පූර්ණ පදගතාර්ථ සන්නයක් ලියා පළ කළ අතර මුවදෙව් දා වත, කුස දා වත, කාව්‍යශේඛරය, පරෙවි සන්දේශය, යන සම්භාව්‍ය කාව්‍ය ග්‍රන්ථ සංස්කරණයට ලක් කොට ප්‍රකාශයට පත් කළේය. මීට අමතරව කව්මිණි කොඬොලට ව්‍යාඛ්‍යාවක් ද සම්පාදනය කළේය.
කොළඹ කවියේ සමාරම්භක කවියකු වන මෙතුමන් විසින් කාව්‍ය ග්‍රන්ථ දෙකක්ද රචනා කරන ලදි. වේල්ස් රාජ කුමාර චරිතය සහ ප්‍රන්ස නෘත්‍ය කාව්‍ය ඒ කාව්‍ය කෘති දෙකය.මේ කෘති දෙක විශේෂ වැදගත්කමක් උසුලයි.
ප්‍රන්ස නෘත්‍ය කාව්‍යය 1867 වර්ෂයේ ප්‍රකාශිතය. ඒ කෘතිය රචනා කර තිබෙන්නේ 1856 වර්ෂයේ ලංකාවට පැමිණි ඉතාලි නර්තන කණ්ඩායමක් කොළඹ මල්වත්තේ සතියක කාලයක් තිස්සේ නැවතී ප්‍රදර්ශනය කරන ලද නර්තන ප්‍රසංග විෂය කර ගෙනය.
නන් විරිතෙන් බැඳි කවි පන්ති හතළිහකින් පරිමිත මේ කාව්‍ය සමකාලීන කොළඹ සමාජයේ සිදු වෙමින් පැවති සංස්කෘතික විපරිවර්තනය සහ බටහිර සංස්කෘතික නිර්මාණ දෙස ස්වදේශකයන් විස්මපත්ව ප්‍රතිචාර දැක්වූ ආකාරය සම්භාව්‍ය සිංහල කාව්‍යයේ රචනා රීතිය අනුයමින් රචනා කර තිබේ.
වර්තමානයේ අතිශය දුර්ලභ මේ කෘතියෙන් එක් නිදසුනක් මෙහිලා දක්වන්නේ තුඩාවේ අන්ද්‍රිස් ගුණවර්ධන පඬිතුමාගේ කවිත්වයෙන් අංශු මාත්‍රයක් වත්මන් පරපුරට හඳුන්වා දීමේ රිසියෙනි.
හෙළ ස රන් රඟ දෙන සඳෙහි හැඳිවත් ඉවත්වත නැණින් යුතු දන
එම ක ලු න් තුනු පහස ලොබ කර අනඟ දෙන නෙක වෙහෙස විඳිමින
පෙළපෙළින් වට බලා සිටි ලෙස සිහිමුළා පත් වෙමින් කෙලෙසින
මිහිලොලින් බිඟු තඹර වට බම බමා උන් වැනි තද විඩාවෙන
මෙතුමන් විසින් වේල්ස් රාජ කුමාර කාව්‍යය රචනා කරන ලද්දේ 1870 වර්ෂයේදී සිදු වූ වික්ටෝරියා රැජිනගේ පුත්‍ර ඇල්බට් කුමරුගේ ලංකා සම්ප්‍රාප්තිය නිමිති කොට ගෙනය. මේ කෘතියද සමකාලීන සමාජ සංස්කෘතික ප්‍රකාශනයක් ලෙස ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වූවකි.
කොළඹ ජීවිතයට ස්ථාවර පදනමක් සකස් වූ පසු තුඩාව් පඬිතුමා යුග දිවිය ඇරඹුවේ වැල්ලවත්තේ විසූ ආරොන් ෆොන්සේකා ආරච්චි මහතාගේ දියණියන් සමඟිනි.
ප්‍රථම දරු ප්‍රසූතියෙන් පසු බිරිඳගේ අභාවය සිදු විය.
මේ කාලය වන විට තුඩාවේ පඬිතුමාට වැලිගම් පළාතේ විවාහ ලේකම් පදවිය ලැබුණු නිසා කොළඹ පදිංචිය අතහැර වැලිගම ප්‍රදේශයේ පැලෑන ග්‍රාමයේ පදිංචි වී ශිෂ්‍ය ගණයාට ශාස්ත්‍ර ඥානය ලබා දෙමින් ශාස්ත්‍රීය කටයුතුවල නිරතව තිබේ.
මේ කාලයේදී රජය විසින් තුඩාවේ පඬිතුමන්ට මුහන්දිරම් නාමය පිරිනමන ලදි.
පැලෑන ග්‍රාමයේ විසූ සේරසිංහ මුහන්දිරම් මහතාගේ බාල සොහොයුරියක වූ දෝන ගිමාරා සේරසිංහ හාමිනේ සමඟ විවාහ දිවියට නැවත එළඹි තුඩාවේ පඬිතුමාට දාව පුතුන් සත් දෙනෙකුද දියණියන් සිවු දෙනෙකුද උපන් අතර ඒ අතුරින් එක් පුත්‍රයෙක් පැවිදි බිමට පිවිස පැලෑනේ වජ්‍රඥාන නමින් මහත් ප්‍රසිද්ධියට පත් විය.
පී. පණ්ඩිත ගුණවර්ධන නමින් යුත් තවත් පුත්‍රයෙක් දුම්රිය දෙපාර්තමේතුවේ අධිකාරිවරයකු ලෙස සේවය කරමින් සාහිත්‍යකරණයේ ද නිමග්න වෙමින් පියාගේ සාහිත්‍ය උරුමය පවත්වාගෙන ගියේය.
1890 වර්ෂයේ ජුනි මස 17 වෙනි දින තුඩාවේ අන්ද්‍රිස් ගුණවර්ධන පඬිතුමා දිවියෙන් සමුගන්නා විට සැට පස් වැනි වියට එළඹෙමින් සිටියේය.