ටෝනි මාටින් ඝාත­නයේ සුල­මුල හෙළි­වුණේ මෙහෙ­මයි | සිළුමිණ

ටෝනි මාටින් ඝාත­නයේ සුල­මුල හෙළි­වුණේ මෙහෙ­මයි

සිද්ධිය දිනමිණ පුවත්පත වාර්තාකර තිබුණේ මෙසේය.

 ඒ ටෝනිගේ තොප්පි­ය­මද? සාක්ෂි මතු වූ හැටි
 

කන­ප්පුවේ අතු­රු­ද­හන් කකුල තුනට කැඩී අප­රාධ බිමෙන් හමු­වෙයි

 

 

 

පරිවේෂණාත්මක සාක්ෂි හා විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව පසුගිය දශක තුනක කාලයක් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න නම් වූ ඔහු ලංකාවේ මෙතෙක් ආන්දෝලනයකට තුඩු දුන් නඩු බොහෝමයක රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකි. තවත් විටක ඔහු ජූරි සභාව ඇමතීමේ විශිෂ්ටයකු විය. මිරුසුවිල් නඩුව, ඇඹිලිපිටිය සිසු ඝාතනය, කොබෙයිගනේ අවුරුදු කුමාරි ඝාතනය, රගර් ක්‍රීඩක ටෝනි මාටින් ඝාතනය, හෝකන්දර සය පුද්ගල ඝාතනය, බටලන්ද කොමිසම, විනිසුරු සරත් අඹේපිටිය, කටුනේරිය ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතන වැනි රට හෙල්ලූ නඩු වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය විශිෂ්ටය. සිළුමිණ ඔබ වෙත ගෙන එන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නගේ ඒ මතකාවර්ජනයයි.

 

2015 දෙසැම්බර් 3 වැනිදා ජනාධිපති නිතිඥ සරත් ජයමාන්නයන් සිය ‘යළි මැවෙන අපරාධ‘ ග්‍රන්ථය එළි දැක් වූ අතර එම අගනා ග්‍රන්ථයේ අරටුව වූයේ මෙම රගර් ක්‍රීඩකයාගේ නඩු තීන්දුවයි.

එම ග්‍රන්ථය එළිදැක් වූ පසු කතෘ අඥාත ලිපියක් ලැබෙන්නේ කෘතිය සම්බන්ධයෙන් මෙවැනි අදහසක් මතු කරමිනි. ‘මකුළුවකු සියුම් කෙඳි අදිමින් පැටලෙන්නාට මිඳී යා නොහැකි පරිදි පරිපූර්ණ දැලක් වියන්නේ යම් සේද, සිත්තරුවකු කැන්වසයේ හැම සියුම් තැනම එක ලෙස තෙලිතුඩක් මෙහෙයවා මතුකර උත්කෘෂ්ට නිර්මාණයක් මතු කරන්නේ යම් සේද අභිචෝදකයා ද සන්සුන්ව, රටාවකට වියමනක් හෝ පරිපුර්ණ සිතුවමක් කරන්නෙකු බවට පත්විය යුතුය.‘ දශක තුන හතරකට පෙර එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහබාහු නාටකයෙන් ගල් ලෙනක් නොවූ වේදිකාව ගල් ලෙනක් කළේ යම් සේද, අපරාධ නඩුවලදි ඒ හා සබැඳි සිදුවීම් කොතරම් අපූරුවට පෙළ ගස්වා විනිසුරු මනසේ සිත්තම් කළ හැකිද යන්න හෙළි කළේ ඔහුගේ මෙම කෘතියෙනි.

රගර් ක්‍රිඩක ටෝනි මාටින්ගේ මරණය සියයට 90 ක්ම භාණ්ඩ මත රඳා පැවතුණු නඩුවක් වන හෙයින් මෙය මෑත යුගයේ පරිවේෂණිය සාක්ෂි මත ඔප්පු කළ විරල නඩුවකි.

 

ටෝනි මාටින් යනු 80 දශකයේ කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජයට සම්බන්ධව තරග කළ අවුරුදු 35 ක් වයසැති තරුණ රගර් ක්‍රීඩකයෙකි.

ඔහු වාසය කළේ හැව්ලොක් ක්‍රීඩා සමාජය අසල හයිලෙවල් පාරට මුහුණ ලා පිහිටි නිවසකය. 1986 වසරේ ඝාතනයට ලක්වන තෙක්ම ගත කළේ තනිකඩ ජිවිතයකි. ඔහුගේ නිවස කොටස් දෙකකින් යුතුවිය. එක් කොටසක ඔහු ජීවත් වූ අතර ඇනෙක්සිය කාමරයකින් හා ශාලාවකින් සමන්විත විය. වයෝවෘද්ධ ඔහුගේ මව එම ඇනෙක්සියට යාබද ප්‍රධාන නිවසේ වාසය කළාය. ඇනෙක්සිය ඇතුළතින් මවගේ නිවසට ඇතුළු වීමට දොරක් තිබුණද එම දොර වැසෙන සේ මවගේ නිවසේ අල්මාරියක් තබා තිබුණි. ඇනෙක්සියට ඉදිරියෙන් ඇතුළු වීම සඳහා වෙනමම දොරක්ද, මවගේ නිවසට ඇතුළු වීම සඳහා වෙනමම දොරක්ද විය. මෙම ඇනෙක්සිය හා මවගේ නිවස තාප්පයකින් වටව තිබූ අතර එම භූමියට ඇතුළු වීම සඳහා හයිලෙවල් පාරට මුහුණ ලා අඩි 7 ක් පමණ උසැති ඇතුළතින් අඟුළු දැමිය හැකි ගේට්ටුවක් විය.

1986 මැයි 16 වැනිදා අලුයම 2.45 ට පමණ ටෝනිගේ මවට ඇනෙක්සිය පැත්තෙන් ‘ මමී...මමී.. යනුවෙන් කලබලයක ස්වරූපයෙන් කෑගසන හඬ ඇසී තිබුණි. තම පුතා කරදරයකට මුහුණ දෙන්නේ යැයි අනතුරක සේයාවක් දැනුණු මව හැකි ඉක්මනින් බම්බලපිටිය පොලිසියේ හදිසි ඇමතුම් අංකයට කතා කර තිබුණි. විනාඩි 15 කින් පමණ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වූ අතර එවිට ඔවුන් මුලින්ම දුටුවේ හයිලෙවල් පාරට මුහුණ ලා ඇති ගේට්ටුව විවෘතව ඇති බවකි. යකඩ ගේට්ටුව වැසූ විට ප්‍රධාන පාරේ සිට බලන්නකුට ගේ ඇතුළත පෙනෙන්නේ නැත. ගේට්ටුවෙන් ඇතුළට යද්දි පොලීසිය දුටුවේ ඇනෙක්සිය ඉදිරිපස කොටසේ ටෝනිගේ වාහනය නතර කර ඇති බවකි. එසේම ඇනෙක්සියට ඇතුළු වන දොර අසල ඇති ජනේලයේ සිට ප්‍රධාන ගේට්ටුව දක්වා වූ පාර ලේ වලින් සමන්විත පාවහන් සලකුණුද විය.

ඇනෙක්සියේ දොරකඩට පැමිණි විට පොලිස් නිලධාරීන් දුටුවේ එහි ඉදිරි දොර වසා ඇති ආකාරයත්, එහි ලී ජනේල රාමුවට සම්බන්ධ කර ඇති යකඩ රාමුව ඉවත් කර බිම දමා තිබූ ආකාරයත්ය. ඒ අනුව යමකු ජනේලයෙන් ඇතුළු වූ හා පිටවී ඇති ආකාරය පැහැදිලිවිය. නමුත් පොලිස් නිලධාරීහුද එම පාරෙන්ම ඇතුළු වුවහොත් ස්පර්ශ සාක්ෂි වෙනස්විය හැකි හෙයින් ඇනෙක්සියට ඇතුළු නොවී මව සිටින ප්‍රධාන නිවසේ දොරකඩට ගොස් ඇයට කතා කර මව කී තොරතුරු අනුව ඇයගේ කාමරයේ වූ අල්මාරිය ඉවත් කර එතැන වූ දොරටුවෙන් ටෝනිගේ ඇනෙක්සියට ඇතුළු විය. ඇනෙක්සියේ පිහිටි ටෝනි මාටින්ගේ කාමරයට ගිය පොලිස් නිලධාරින්ට පෙනුණේ ටෝනි මාටින් ලේ විලක් මැද මරා දමා තිබූ ආකාරයයි. ඔහුගේ නිරුවත් දේහය ඇඳ අසල වැටී තිබුණු අතර අපරාධකාරයෝ ඒ වන විටත් එතැනින් පලා ගොස් තිබුණි. මෙහි මූලික විමර්ශන පොලිස් පරීක්ෂක ශාන්ති කුමාර, පොලිස් සැරයන් නිලාබ්ඩීන් ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අතින් සිදුවිය.

උදේ 9 ට පමණ මහේස්ත්‍රාත්වරයා අපරාධය වූ ස්ථානයට පැමිණි අතර ඔහුගේ නියෝගයෙන් ඇඟිලි සටහන් විශේෂඥයා හා අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සල්ගාදු ද එම ස්ථානයට කැඳවනු ලැබීය. මූලික නිරීක්ෂණ වලින් පසුව දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් මෘත ශරීරාගාරයට යන්නේ මරණ පරීක්ෂකවරයා විසින් මරණය සිදුවූ ආකාරය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ලබාදිය යුතු බැවිනි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ මියගිය ටෝනි මාටින්ගේ සිරුරේ තුවාල 88 ක් පමණ ඇති බවකි. මෙයින් බොහෝමයක් තියුණු ආයුධයකින් සිදුවූ ඒවා වන අතර සමහර ඒවා කැපුම් තුවාල විය. එහිදි අනාවරණය වූ වැදගත්ම කරුණ වූයේ ගෙල තියුණු ආයුධයකින් කපා තිබීම හා මිටියක් වැනි ආයුධයකින් නළලට පහර දීමක සලකුණක් තිබීමය. ඊට අමතරව ටෝනි තම ජිවිතය බේරා ගැනීමට අපරාධකාරයන් හා යම් සටනක යෙදුණු බවට කැපුම් තුවාල ඔහුගේ දෑතේ තිබීමය.

අපරාධ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ මෙම තුවාල හේතුවෙන් විනාඩි කිහිපයක් තුළ ඔහුගේ මරණය සිදු වන්නට ඇති බවකි. මෙම නඩුවේ ඇසින් දුටු සාක්ෂිකරුවකු නොවීය.

ටෝනි මාටින්ගේ දේහය වැටී තිබුණේ ඔහුගේ කාමරයේ බිම වූ කළාලය මතය. එහි දැඟලීමේ සලකුණුද විය. මේ අතර ඇඟිලි සටහන් පරීක්ෂණ කටයුතුද ආරම්භ විය. ඇඟිලි සටහන් කාර්යාලයේ අතිරේක පරීක්ෂක පොලිස් පරීක්ෂක මුතුබණ්ඩා, උප පොලිස් පරීක්ෂක ජයසිංහ මෙන්ම ඡායාරූප ශිල්පි පොලිස් සැරයන් බැසිල් බර්ට්‍රම් ඇතුළු ඇඟිලි සටහන් පරික්ෂණ කණ්ඩායම විසින් මුළු ඇනෙක්සියම පිරික්සන්නට වූයේ සැක කටයුතු ඇඟිලි සටහන් පිරික්සීමටය. ඔහුගේ නිවසේ වූ ඇඟිලි සටහන් මරණකරුගේ මෙන්ම එහි ආගිය අයගේ ඒවාද තිබිය හැකි බැවින් මේ කටයුතු සිදු කෙරුණේ ඉතා සුපරීක්ෂාකාරි ලෙසය. මේ අතර ටෝනිගේ ඇනෙක්සියේ කාමරයට ඇතුළු වන දොර අසල බිත්තියේ ලේ යැයි සැක කටයුතු තෙත් සහිත යැයි අනුමාන කළ හැකි පැල්ලමක් විය. එයද ඡායාරූපගත කළ අතර අදාළ ස්ථානවල අංක සහිත ලේබල් ගැසීමද සිදුවිය. රජයේ රස පරීක්ෂක ද පැමිණ අදාළ පරීක්ෂණ කටයුතු සිදු කළ අතර ටෝනිගේ මවගෙන් මේ නිවසට ආගිය පුද්ගලයන් පිළිබඳ අනාවරණය කර ගන්නට පොලීසියට හැකිවිය. ජයසේන නම් සේවකයා ගැන තොරතුරු මතුවන්නේ මෙම ප්‍රශ්න කිරීම්වලදීය.

 

1. නාන කාමරය 7. කඩා දැමූ ටෙලිෆෝනය 14. ජනේල
2. මරණකරුගේ ඇද 8. යකඩ සේප්පුව 15. ගලවා දමා තිබා තිබූ
3. රූපවාහිනිය 9. කුඩා මේසය     ජනේල ග්‍රිල් එක
4. බුමුතුරුණුව 10. මවගේ කාමරයේ අල්මාරිය 16. මරණකරුගේ වාහනය
5. මරණකරුගේ කාමරයට 11. මවගේ කාමරය     නවතන ස්ථානය
   ඇතුළුවන දොර 12. ඇනෙක්සියට ඇතුළුවන දොර 17. ඇනෙක්සියට ඇතුළුවන 
6. මෙට්ට දැමූ පුටුවක් 13. ආලින්දයේ පුටු සැටිය     ගෙට්ටුව

තනියම ජිවත් වූ ටෝනිගේ නිවස අස්පස් කිරීමේ කාර්යය සඳහා එන ජයසේන නැමැත්තෙක් විය. ඔහු දවල් කාලයේ කොළඹ ජාතික රෝහලේ කම්කරුවකු ලෙස සේවය කර සවස් කාලයේ ඇනෙක්සියට පැමිණ එය සුද්ධ පවිත්‍ර කොට රාත්‍රියට නිදා ගැනීමට යන්නේ ටෝනි ට අයත් නුගේගොඩ පිහිටි නිවෙසකටය. 1986 මැයි මස 14 වැනිදාත් ඔහු රාත්‍රිය දක්වා ටෝනිගේ නිවසේ නාන කාමරයේ රෙදි සෝදමින් සිට ඇති අතර එදින රාත්‍රී 10.30 ට පමණ ටෝනිගේ ඇනෙක්සියේ දොරකඩට පැමිණි යමකු ටෝනි...ටෝනි ... කියා කතා කරන හඬ ඇසී ඇත. එවිට ටෝනි ජයසේනට පවසා ඇත්තේ “චීනා ඇවිත් කතා කරනවා. එක්කන් එන්න “කියාය. ඔහු ජනේලය අසලට පැමිණ මිදුල දෙස බලන විට දැක ඇත්තේ මෙම නඩුවේ 2 වැනි විත්තිකරු වන ජයසේන දන්නා හඳුනන ‘ චීනා‘ හෙවත් චුයි පොං ෂික් සමඟ තවත් අයකු පැමිණ ඇති බවකි. ඔහු මේ නඩුවේ 1 වන විත්තිකරු වන රිකාඩෝ බ්‍රැඩ්ලි කීගල්ය. ජයසේන 1 විත්තිකරුව දැක නොතිබුණු අතර නැවත ගෙට ගොස් ටෝනිට පැවැසූයේ චීනා පමණක් නොව වෙනත් අයකුද පැමිණ ඇති බවකි. එවිට ටෝනි පවසා ඇත්තේ චීනා පමණක් එක්කා ගෙන එන ලෙසත් අනෙකාට නිවසේ ඉදිරිපස වූ ශාලාවේ වාඩි වි සිටීමට සලස්වන ලෙසත්ය. ඉදිරිපස දොරටුව අසලට පැමිණි ජයසේන දෙනොටම නිවසට පැමිණෙන ලෙස ආරාධනා කර 1 වැනි විත්තිකරු සාලයේ වාඩි කරවා දෙවැනි විත්තිකරු පමණක් ඇනෙක්සියේ පිටුපසට වන්නට පිහිටි ටෝනිගේ කාමරයට ගෙන ගොස් ජයසේන පෙරළා පැමිණ සාලයේ නතර වීය. අනතුරුව 2 වැනි විත්තිකරු ටෝනි සමඟ සාකච්ඡාවෙන් පිටත්ව ගොස් ඇත. මේ දෙදෙනා ජැකට් දෙකක් හැඳ තිබූ අතර අතේ හෙල්මට් දෙකක් විය. මේ නිසාවෙන් ඔවුන් දෙදෙනා පසුපසින් ගේට්ටුව

දක්වා ගිය ජයසේනට පෙනුණේ ඔවුන්ට යන්නට මෝටර් බයිසිකලයක් නැති බවත් දෙදෙනාම පාර දිගේ ඇවිද ගිය බවත්ය.

මෙහිදී තවත් ප්‍රහේලිකාවක් ජයසේනට මතු වන්නට විය. සවස ජයසේන ටෝනිගේ නිවසට පැමිණ තිබුණේ ඇතුළතින් ගේට්ටුවේ අඟුල ලා ගෙනය. මේ නිසා ගේට්ටුවට එළියෙන් අත දමා යමකුට ගේට්ටුව විවෘත කිරීම අපහසු බව ජයසේනගේ සාක්ෂියේදි ප්‍රකාශ විය. තමන්ට මතුවූ සැකය ජයසේන එවලේම ගෙට ගොස් ටෝනිට පවසා ඇති අතර ටෝනිගේ පිළිතුර වි ඇත්තේ “ චීනා මගෙන් සල්ලි වගයක් ගත්තා. ඒකට ඇපයක් විදියට වාහනයේ පොත තිබුණේ මා ගාව. මම අද දවල් ඒ පොත ඉල්ලුවා. ඒ ගැන කතා කරන්නයි ආවේ...“ යනුවෙනි. 14 වැනිදා මේ දෙදෙනා පැමිණ ඇත්තේ ඝාතනය සිදු කිරීමට වන අතර නැවත හැරී යන්නේ එදින ජයසේන සිටි නිසාවෙනි.

මේ සිදුවීමෙන් පසු චීනා අතුරුදහන් වන අතර, ඔහු තම යහළුවකු වන ඉම්රාන්ගේ හැඳුනුම්කම මත යන්නේ කෑගල්ලේ පිහිටි යහළුවකුගේ නිවසටය. මේ අතර පසුදින පුවත්පත්වල හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සමාජිකයකු මරා දැමූ ආකාරය ඔහුට පෙන්වන්නේ එම නිවැසියන්වමය. ඔහු ටෝනි දන්න වගක්වත් නිවැසියන්ට නොහැඟෙන්නට වග බලා ගන්නා අතර; ඒ සිදුවීමෙන් අනතුරුව නැවතත් ඔහු කොළඹට පැමිණ තැනින් තැන සැඟවී සිටින්නේය. දින 10 කට පසු 2 වැනි විත්කරු සිය කාරයත් සමඟ අත්අඩංගුවට පත්වන අතර ඔහුගේ ඇඟිලි අතර සුවවෙමින් පවතින තුවාලයක්ද විය. මහාචාර්ය සල්ගාදු යටතේ මේ පිළිබඳව ද පරීක්ෂණ සිදුවන්නට විය. මේ අතර 1 වැනි විත්තිකරු අත්අඩංගුවට පත්වන අතර ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් මතු වන්නේ අපරාධ බිමෙනි. ඒ ටෝනි වැටි සිටිය තැනින් හමුවන පොලු කැබලි තුනකිනි. පොලිසිය ඉන්පසුව යන්නේ සැක කටයුතු 1 වැනි විත්තිකරුගේ නිවසටය. 1 වැනි විත්තිකරුගේ නිවසේ කනප්පුවක් වෙයි. එහි කකුල් 3 න් මේ වන විට තිබී ඇත්තේ දෙකක් පමණි. අනතුරුව මෙම සැක කටයුතු පොලු කැබලි තුනත්, කනප්පුවත් මුට්ටු සාක්ෂි පිළිබඳ විශේෂඥයන්ට යොමු වන්නේ ඔවුන් තුළ මේ පිළිබඳව ඇති හසල දැනුම නිසාය. එවකට අතිරේක රජයේ රස පරික්ෂක ඒ. ආර්. එල්. විජයසේකර, එදිරිසිංහ හා ජයවීර යන නිලධාරීන්ගේ සැසඳීම්වලට අනුව මෙය කනප්පුවේ එක් කකුලක් බවට සනාථ කර ගන්නට හැකිවිය. ඒ කනප්පුවේ සිදුරේ විශ්කම්භය, වර්ණය ආදි භෞතික ලක්ෂණය සැසඳීමෙනි.

ටෝනිගේ මෘත දේහය ඉවත් කළ විට එහි කළාලය යට වූ මිටියක් සොයා ගන්නට අපරාධ විමර්ෂකයන්ට හැකිවිය. එම මිටිය යකඩ හිසකින් සමන්වි වූ නමුත් එහි අල්ලන ලී කොටස කැඩී ගොස් තිබුණි. එම කොටස අපරාධ වූ ස්ථානයේ දක්නට නොතිබුණි. නමුත්

ටෝනි මාටින්ගේ ඝාතනය සිදුවූ කාමරය

අපරාධය වූ සැණින් එම ස්ථානය නිරික්ෂණය කළ වෛද්‍ය සල්ගාදුට එම මිටිය නිරික්ෂණයට හසුව තිබුණේ නැත. මෙය විත්තියේ නීතිඥයන්ට සතුටට කරුණක් වුවද එය කෙසේ හෝ බිඳ දැමීම පැමිණිල්ලට සිදු වන්නේය. කෙසේ වෙතත් අදාළ ස්ථානයේ වූ මිටිය පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයාට ටෝනිගේ දේහය සමඟ ලැබෙන අතර; ඔහු ඥාණාන්විතව එම මිටිය දේහය මත තබා ඡායාරූපයක්ද ගෙන තිබූ අතර; එම ඡායාරූපය භාණ්ඩ ලැයිස්තුවට ඉදිරිපත් කිරීමට මහාධිකරණය අවසර දුන්නේය. මෘත දේහයේ වූ තුවාල අතරින් නළලේ වූ කවාකාර හැඩයකින් සමන්විත තැලුම් තුවාලයක් තිබුණු අතර; එම තුවාලයට යටින් පිහිටි හිස් කබල පුපුරා ගොස් තිබුණි. මිටියේ පරිධිය, තුවාලයේ පරිධිය හා තුවාලයේ හැඩය අනුව පශ්චාත් මරණ පරික්ෂකවරයා තීරණය කළේ මෙය මිටියෙන් සිදු කර ඇති බවකි. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විමර්ෂණවලින් පසුව මේ වන විට කොළඹ මහාධිකරණයේ අංක 2 යටතේ නඩුව විභාගයට ගැනෙන්නේය. පැමිණිල්ල මෙහෙයවන්නේ එවකට රජයේ අධි නීතිඥ සරත් ජයමාන්නය.

මේ අතර 1 වන විත්තිකරු අපරාධය වූ ස්ථානයේ සිට එකතු කර ගත් සියලු දේ මල්ලක දමා එය වැල්ලවත්ත වූ ධර්මාරාම ඇළකට විසිකර තිබුණි. ඔහුගේ මඟ පෙන්වීම මත එය සොයා ගත් අතර එහි තිබී අපරාධ ස්ථානයේ තිබී හමුවූ මිටියෙන් කැඩුණු ලී කොටස යැයි සැක කළ කොටසක් හමු විය. මෙම ඝාතනයේ දෙවැනි විත්තිකරුවද අපරාධය සිදුවී දින 10 කට පසු අත්අඩංගුවට ගන්නා අතර; ඔහු විසින් පෙන් වූ පරිදි ධර්මාරාම පාරේ ඇළක තිබී තවත් මල්ලක් සොයා ගත්තේය. මරණකරුට අයත් යැයි සැක කළ හැකි තොප්පියක්ද, ජැකට්ටුවක්ද ඒ තුළ තිබී ඇණ කිහිපයක්ද හමුවිය. සාක්ෂි ආඥා පනතේ 25 වන වගන්තියට අනුව විත්තිකරුවන්ගේ ප්‍රකාශ මත යම් භාණ්ඩයක් සොයා ගත්තේ නම් එය නඩුවට අදාළ නම් පැමිණිල්ලේ සාක්ෂියට ඉදිරිපත් කළ හැකි වෙයි. මල්ලේ තිබී සොයා ගත් මිට හා මිටියේ කොටස් මූට්ටු විශේෂඥයන්ට යවන අතර; ඔවුන් ඒ දෙකම එකක් බවට සනාථ කර ගන්නේය. මීට අමතරව සොයා ගත් කැප් තොප්පිය ටෝනිගේ බවට ඔප්පු කිරීම ඊළඟ අභියෝගය විය. මේ වන විට විත්තිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ අර්ඩ්ලි පෙරේරා හා ආර්.අයි අබේසේකර පෙනී සිටියහ. පැමිණිල්ලේ නීතිඥයන්ට තවත් අභියෝගයක් වූයේ මේ වන විට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති වූ ගින්නකින් නඩු භාණ්ඩ විනාශ වී ගොස් තිබීමය. නමුත් සියල්ල ලේඛනගතව තිබීම පැමිණිල්ලේ වාසියට හේතුවක් විය.

කැප් තොප්පිය ටෝනිගේ බවට සනාථ වූයේ ජයසේනගේ සාක්ෂි විමසීමේදීය. රජයේ අධි නිතීඥ සරත් ජයමාන්නයන්ගේ ප්‍රශ්න කිරීම් හා ජයසේනගේ පිළිතුරු දිම් සිදුවූයේ මේ ආකාරයෙනි.

“ටෝනිගේ නිවසේ ඇඳුම් හෝඳන්නේ තමාද? - ඔව්“

“ඔහු උදේට මොකද කරන්නේ? - දුවන්න ගොල්ෆේස් එකට යනවා“

“උදේට පිනි බානවට දාන්නේ මොනවද?- තොප්පියක් දාගෙන යන්නේ‘

“මොනවගේ එකක්ද?- කැප් තොප්පියක්“

පැමිණිල්ලේ සාක්ෂි විමසීමෙන් අනතුරුව අර්ඩ්ලි පෙරේරාගේ හරස් ප්‍රශ්න විමසීම ආරම්භ විය.

“තමන් වැඩකරන ටවුන් හෝල් එකේ ජාතික රෝහල ඉදිරිපිට පෙට්ටි කඩ තියෙනවා නේද?-ඔව්“

“එහි එල්ලපු ඇඳුම්, තොප්පි තියෙනවද?- ඔව්“

“එයත් මේ තොප්පියත් එකවගේ නේද? - ඔව්“

“එහෙනම් මේක ටෝනිගේ කියා කියන්න බැහැ නේද? - ඇයි සර් එහෙම කියන්නේ. මේ තොප්පියේ ඉස්සරහ ඉරුණා. මමමයි එක්ස්රේ කොළයක් දාලා මේක මහගෙන ආවේ..“ විත්තිය දැඩි අපහසුතාවට පත්කරමින් මෙම තොප්පිය ටෝනිගේ බවට සනාථ විය.

රගර් ක්‍රීඩක ටෝනි මාටින්ගේ ඝාතන නඩුවේ දෙවැනි විත්තිකරුගේ ඇඟිලි අතර තිබී සීරීම් තුවාලයක්ද, කැපුම් තුවාලයක්ද අධිකරණ වෛද්‍යවරයාට නිරීක්ෂණය විය. ඔහුගේ මතය වූයේ එම විත්තිකරු පිහියකින් මරණකරුට පහරදීමේදී එයින් ආරක්ෂා වීමට මරණකරු දැරූ ප්‍රයත්නයේදි විත්තිකරු අතේ වූ පිහියකින් තුවාල සිදුවී ඇති බවකි.

1 හා 2 වැනි විත්කරුවන්ට විරුද්ධ පැමිණිල්ලේ සාක්ෂි අවසන් වූ පසු විත්තිකරුට තමාට අවශ්‍ය නම් තම ස්ථාවරය දැක්වීමට අවස්ථාව දීමට විනිසුරු තීරණය කළේය. ඒ අනුව පළමු විත්තිකරුගේ ප්‍රකාශය වූයේ මේ ආකාරයෙනි.“ මම මිනිමැරුම කළේ නැහැ. එදා මම ක්ලබ් එකට ගිහින් ගෙදර ගියා. කාරයේ දොර අරින කොට මගේ ගෙදර බල්ලා ඇවිත් ඇඟට පැනලා මාව සීරුවා. ඒ නිසයි අත තුවාල වුණේ..?“

 

රජයේ අධිනීතිඥ සරත් ජයමාන්න සිය අවසන් දේශනයේදි විත්තිවාචිකයට ප්‍රතිප්‍රහාර දුන් ආකාරය හා විනිසුරු මනසේ සිදුවීම් පෙළ සිත්තම් කළ ආකාරය ලබන සතියේ

 

 

Comments