දෙමළ ජාතික සන්ධා­නයේ පා ගමන කවුරු රැව­ටීම සඳ­හාද | සිළුමිණ

දෙමළ ජාතික සන්ධා­නයේ පා ගමන කවුරු රැව­ටීම සඳ­හාද

දෙමළ ජාතික සන්ධානය බිහිවන්නේ 2002 දීය. එතැන් පටන් දෙමළ ජාතික සන්ධානය සිදුකළ එකම දේශපාලනය කොටි සංවිධානයට ආ වැඩීම හා දෙමළ ජනතාවගේ ප්‍රශ්න ජාත්‍යන්තරයට කියමින් ඒ සඳහා විදේශීය රටවලින් ඩොලර්වලින් විශාල ආධාර ලබා සුඛෝපභෝගීව ජීවත්වීමය. දෙමළ ජාතික සන්ධානයේ පැවැත්මට සහය වූයේ ජාත්‍යන්තරයේ සිටි කොටි හිතවාදී බලවේග පමණි.

ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාව ගැන චෝදනා එල්ල කරමින් විරෝධතා දැක්වීමෙන් කොටි හිතවාදීන්ගේ ජාත්‍යන්තර පැවැත්ම තව තවත් ශක්තිමත් වන අතර ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසා දී ආදායම් උපයා ගැනීමත් ඒ වෙනුවෙන් උතුරේ ජනතාව රැවටීම දෙමළ ජාතික සන්ධානයේ මූලික ප්‍රතිපත්තිය වෙයි.

වසරක් පාසා පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරයට දෙමළ ජාතික සන්ධානය සුදානම් වන්නේ ආන්දෝලනාත්මක විරෝධතා, උද්ඝෝෂණ, රටේ නීතිය උදහසට ලක්කරන ක්‍රියා සිදුකිරීමෙනි. ජීනීවා මානව හිමිකම් කවුන්සලය ආරම්භයේ පටන් මේ දක්වා සැසිවාර 45 ක් පවත්වා ඇත. එහි 46 වන සැසිවාරය මෙමස 22 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා දක්වා ජිනීවා හි දී පැවැත්වීමට නියමිතය. මෙම සැසිවාරයට පෙරාතුව මානව හිමිකම් කොමසාරිස් විසින් ඉදිරිපත් කළ සියලු යෝජනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබිණි. එය ජිනීවා මානව හිමිකම් කවුන්සලය තවත් රටක පෞද්ගලිකත්වයට කරන අත පෙවීමට මරු පහරකි. අනෙක් පැත්තෙන් එම ක්‍රියාව නිසා කවුන්සලය යම් විදිහකින් ලැජ්ජාවට පත්ව තිබේ. මෙනිසාම මෙවර සැසිවාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වඩාත් උණුසුම් වාතාවරණයක් ගැනීමට ඉඩ ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සෑම වසරකම පාහේ ජිනීවා මානව හිමිකම් කවුන්සලය නියෝජනය කරනු ඇත. එසේ ජිනීවා යෑමට පෙර ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව තවත් චෝදනා ගොනුකිරීමට හැකිවන ආකාරයෙන් වැඩපිළිවෙළක් දෙමළ ජාතික සන්ධානය විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ පොතුවිල් සිට පොලිකණ්ඩි දක්වා විරෝධතා පා ගමනක් දියත් කිරීමය. මෙතෙක් උතුරු පළාත හා දෙමළ ජනතාව පමණක් මුල්කරගෙන හර්තාල් උද්ඝෝෂණ පැවැත්වූ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ පක්ෂ හා රාජ්‍ය නොවන සංවිධාන මෙවර විරෝධතා සඳහා නැගෙනහිර පළාත ද වතුකරයේ ජනතාව ද සම්බන්ධ කරගෙන තිබේ. ඊට හේතු වූ කාරණා බොහොමයක් ඇත. මෙතෙක් මේ බලවේගයන් හි කතාවලට රැවටුණු උතුරේ ජනතාව තවදුරටත් රැවටෙන තැනක නැත. මේ ජනතාව දවසින් දවස මේ බලවේග ප්‍රතික්ෂේප කරමින් සිටීමය.

ඊට හොඳම නිදසුන පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයයි. එම මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ මහ ලේකම් මෙන්ම එම පක්ෂය තරග කළ ඉලංගයි තමිල්අරසු කච්චි පක්ෂයේ නායක මාවයි සේනාධිරාජා පරාජයට පත්කිරීමය. මෙසේ දෙමළ පාර්ශ්වයන්ට උතුරේ බලය ගිලිහි යාම නිසා මෙම විරෝධතා පෙර මෙන් උතුරේ පමණක් පවත්වනු ලැබුවහොත් එය අසාර්ථක වන බව තේරුම් ගෙන උතුරට කළ දේ නැගෙනහිරට ද කරන්නට මේ විරෝධතාව නැගෙනහිර පළාතෙන් ආරම්භ කරන්නට යෙදුණි.

මෙවර ඔවුන් ආරම්භ කළ පොතුවිල් සිට පොලිකණ්ඩි දක්වා වූ විරෝධතා පාගමන ආරම්භ වූයේ ඉකුත් 3 වැනිදාය. එම පෙළපාළිය නිසා අභියෝග රැසක් මතුවීමේ අවදානමක් පැවතිණි. එබැවින් මුලින්ම කලවංචිකුඩි මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරුණේ මෙලෙසිනි. 2021 -02-01 දින කලවංචිකුඩි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ගුණවර්ධන AR/31/2021 යටතේ කරන ලද ඉල්ලීමකට අනුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් රසපුත්තිරන් සානක්කියන්ට එරෙහිව කලවංචිකුඩි මහෙස්ත්‍රාත්වරයා විසින් කලවංචිකුඩි පොලිස් බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශවල 2021 මාර්තු මාසයේ මානව හිමිකම් උල්ලංඝන චෝදනා සනාථ කරන ආකාරයෙන් ජිනීවා හි පැවැත්වීමට නියමිත සැසිවාරය නොමග යවන ආකාරයෙන් සංවිධානය කර ක්‍රියාත්මක කරන විරෝධතා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කිරීමට කොරෝනා ව්‍යාප්තිය හා ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙලඹවීමෙන් ජාතීන් අතරත් ආගම් අතරත් අසමගිය ඇතිකිරීමේ අරමුණක් ඇති බව මෙම අධිකරණය පිළිගන්නා හෙයින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රයේ 106(1) වගන්තිය යටතේ මෙම නියෝගය පනවන බව සඳහන් කර තහනම් නියෝගයක් පනවා තිබිණි. තවද එම විරෝධතා පා ගමන මන්නාරම දිස්ත්‍රික්කයට ඇතුළු වීම වළක්වාලමින් මන්නාරම මහේස්ත්‍රාත් එම්ගගනේෂරාජා 3 වැනි බදාදා තහනම් නියෝගයක් නිකුත් කළේය. මන්නාරම පොලිසිය විසින් මෙම පාගමන නිසා ජාතීන් අතර සාමය කඩවීම් සිදුවිය හැකි බවටත්, නිදහස් දිනයට බාධා වියහැකි බවත් සඳහන් කරමින් පෙඩරල් පක්ෂයේ නායක මාවෛ සේනාධිරාජා, යාපනය මහ නගරාධිපති මනිවන්නන්, දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්දිරන් ඇතුළුව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා තවත් 14 දෙනෙකුට එරෙහිව දෙන ලද බී වාර්තාවකට අනුව 3 වැනිදා සිට 6 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කෙරිණි. එමෙන්ම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ද, මුලතිව් අධිකරණයද මෙවැනිම තහනම් නියෝගය ලබා දී ඇත. ඒ සියලු නියෝග නොතකා මොවුන් සිය පාගමන පවත්වනු ලැබීය.

දෙමළ ජාතික සන්ධානයේ මෙහෙයවීමෙන් උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන සම්මේලනය නමින් රාජ්‍ය නොවන සංවිධාන 21 ක නමින් ලිපියක් ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත යවා ඇත.

එම ලිපියේ සඳහන් කර ඇති කරුණු මෙසේය,

*දෙමළ ජනතාවගේ කොවිල් කඩා පන්සල් හැදීම තුළින් දෙමළ ප්‍රෙද්ශවල ඉඩම් අත්පත්කරගෙන දෙමළ ඉතිහාසය හා පාරම්පරික ප්‍රදේශ සිංහල බවට පත්කිරීම‘

* කොරොනා මගින් මිය යන මුස්ලිම් අයගේ සිරුරු ඥාතීන්ගේ විරෝධය මත ඉස්ලාම් ආගමට පටහැනිව ආදාහනය කිරීම

* වතුකරයේ දෙමළ ජනතාවගේ රුපියල් දහසක වැටුප් වැඩිවීමේ ඉල්ලීමට ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වීම.

* යුද්ධය අවසන් වූ දා පටන් දෙමළ ප්‍ර දේශ හමුදාකරණය කර සිංහල අයට පක්ෂව දෙමළ ඓතිහාසික සංකේත විනාශ කර සිංහල ජනයා දෙමළ ප්‍ර දේශවල පදිංචි කරවීම.

* පශු සම්පත් කර්මාන්තයේ වෙසෙන දෙමළ ජනතාව නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන අතර ඔවුන්ගේ ප්‍රදේශ සිංහල ජනතාව ආක්‍රමණය කර ගවයන් මරා දමති.

* දෙමළ තරුණයන්ට අනිසි චෝදනා එල්ලකරමින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිරගතකරයි. ඒ නීතිය දැන් මුස්ලිම් අයට එරෙහිව ද ක්‍රියාත්මක කරයි.

* දෙමළ දේශපාලන සිරකරුවන් වසර ගණනාවක් විමර්ශනවලින් තොරව සිරගතකර සිටියි. සිංහල අයට නොකඩවා නිදහස දෙයි. එහෙත් දෙමළ සිරකරුවන් නිදහස් කරන්නේ නැත.

* අතුරුදන්වූවන්ගේ ඥාතීන් දිගටම විරෝධතා දැක්වූවත් ආණ්ඩුව ඔවුනට පිළිතුරු දෙන්නේ නැත.

* යුද්ධයෙන් මියගිය දෙමළ ජාතීන් සිහිකිරීමේ අයිතියට තහංචි පනවා ඇත. එය අනුස්මරණ සංකෙත විනාශ කිරීමෙන් පැහැදිලි වෙයි.

* මේ අසාධාරණය හෙළිකරන මාධ්‍යවේදීන් හා දෙමළ සමාජ ක්‍රියාකාරීන් ඉලක්ක කරමින් සිටියි.

මේ ලිපියේ ඇති විශේෂත්වයක් වන්නේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හා වතුකරයේ දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හඬ නැගීමයි. කොරෝනා මගින් මියයන මුස්ලිම් අයගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ගේ විරෝධය මත ආදාහනය කිරීම. මෙය මුස්ලිම් ජනතාවගේ කතිකාවට ලක්ව ඇති ගැටලුවක් බව සත්‍යයකි. ඒ ගැටලුව ගැන කතාකරන්න මුස්ලිම් නියෝජිතයන් ඕනෑ තරමි සිටිය දී මෙම ගැටලුව ඇදගෙන ඇත්තේ තමන්ට තවත් ලකුණු දා ගැනීමේ පියවරක් ලෙසිනි.

එමෙන්ම වතුකරයේ දෙමළ ජනතාවගේ රුපියල් දහසක වැටුප් වැඩිවීමේ ඉල්ලීමට ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වූ බව කියමින් වතුකරය ද මුළාකිරීමට සැරසෙන බවක් පෙනේ. කොටි සංවිධානය ද වරක් වතුකරයේ ජනතාව ගැන කතා කරන විට එදා සෞම්‍යමූර්ති තොණ්ඩමන් ප්‍රභාකරන්ට කීවේ ඔබ වතුකරයට අතදාන්න එන්න එපා, මම වතුකරය ගැන බලාගන්නම් කියාය. අද ඔවුන්ගේ ලිපියට වතු ජනතාවගේ නම ඈඳාගෙන ඇත්තේ ඔවුන්ගේ වාසියට මිස වෙනත් කිසිවකට නොවේය. මෙවන් අවස්ථාවාදීන්ට එරෙහිව වතුකරයේ හා මුස්ලිම් ජනතාව නැඟී සිටිය යුතුය.

දෙමළ ජාතික සන්ධානය හා ඔවුන්ගේ කටුකන සංවිධානවල විරෝධතා ගැන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරි නිවේදනයක් නිකුත් කර තිබිණි. එහි මෙසේද සඳහන් කර තිබිණි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් හා ඔවුන්ගේ සගයන් ඉකුත් වසර 10 ක් තිස්සේ ජිනීවා ගිහින් සිදු කළේ කුමක්දැයි විමසන ආනන්ද සංගරි යුද්ධය අවසන් වී වසර දහයකටත් අධික කාලයක් ගත වී ඇතත් කිසිවක් සිදුකරන්නට ජිනීවාවලටත් නොහැකි වූ තැන දෙමළ ජාතික සන්ධානය මේ වසරෙ විසඳුමක් ලැබේවි කියා දෙමළ ජනතාව තුළ බොරු විශ්වාසයක් ගොඩනඟා රැවටීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කරයි. කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතයට මුළු රටම මුහුණ දෙමින් සිටියදී අප රටට දෙමළ ජාතික සන්ධානය සිදු කරන්නේ ඒ කිසිවක් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා රට තව තවත් අනතුරට ලක්කරමින් පොතුවිල් සිට පොලිකණ්ඩි දක්වා වූ විරෝධතා පාගමන හරහා දිගටම කොරෝනා පැතිරවීමය. එසේ කළ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන පෙළපාළිය අවසානයේ සඳහන් කළේ අධිකරණය පැන වූ තහනම් නියෝග පොලිස් හමුදා බාධාවන් බිඳගෙන මෙම පෙළපාළිය සාර්ථකව නිම කළ බවය.

Comments