
අපේ රටේ ජෛව විවිධත්වය ලොව ඉහළම මට්ටමක පවතී. ලෝක ව්‍යාප්ත ජෛව විවිධත්වය උච්චතම ස්ථාන පිළිබඳව කළ අලුත් සමීක්ෂණ අනුව ලොව එවැනි සුවිශේෂී ජෛව විවිධත්වයෙන් යුතු ස්ථාන (Hot spot) 23 ක් ඇති බව සොයාගෙන තිබේ. ඉන් එක් ස්ථානයක් වන්නේ අපේ සුන්දර ශ්‍රී ලංකාවයි.
අපේ රටේ ජෛව විවිධත්වය පිළිබඳව මීට වසර 8 කට පමණ කළ විද්‍යාත්මක අධ්‍යයන අනුව අපේ රටේ ආවේණික ශාක විශේෂ 932 ක් තිබූ බව වාර්තා විය.
2020 අලුත්ම රතු දත්ත ලැයිස්තුව ළඟදීම නිකුත් කිරීමට නියමිත අතර ඒ රතු දත්ත ලැයිස්තුව අනුව 2020 වනවිට මෙරට සපුෂ්පික ශාකවලින් සියයට 48 ක් වඳ වී යාමේ තර්ජනයට පත්වී හමාර බවද ජාතික රතු දත්ත ලැයිස්තුව වැඩිවි ඇති බවද උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ උද්භිද විද්‍යාඥ ආචාර්ය සිරිල් විජයසුන්දර මහතා පවසයි.
පසුගිය දිනවල කතා බහට ලක්වූ පඬු කරඳ හෙවත් ‘කෲඩියා සිලනිකා’ ශාකයද අපේ රටට ආවේණික ලෝකයෙන් ම තුරන් වූ රතු දත්ත ලැයිස්තුවට අයත් ශාකයකි.
ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය අසල පිහිටි වන ලැහැබකින් හමුවූ පඬු කරඳ හෙවත් ‘කෲඩියා සිලනිකා’ ගස සොයා ගත්තේ මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම මාර්ග කොටස ඇතුළතට අයිති බිම් ප්‍රදේශයක තිබියදීය.
පේරාදෙණිය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තු ජාතික ශාකාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය සුභානි රණසිංහ පවසන පරිදි මෙම පඬු කරඳ (Cradia zeylanica) ශාකය අපේ රටින් මුලින් හඳුනා ගත් බවට වාර්තා වී ඇත්තේ 1868 දීය. ඒ බෙන්තර ගඟ අසලදීය. ඊට පසු 1911 දී පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මේ ගස තිබී ස්වාභාවිකව මරණයට පත්වී ඇත.
මෙම ශාක විශේෂය 1998 වසරෙන් පසු යළි ලෝකයෙන් ම හමුවී නැති බව ද වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති ශාක සම්බන්ධ දත්ත ලැයිස්තු ඇතුළත් අන්තර්ජාතික රතු දත්ත නාමාවලියේ 1998 සිට මෙහි නම සඳහන් බව ද ආචාර්ය සුභානි රණසිංහ පෙන්වා දෙන්නීය. තෙත් කලාපයේ පහත් බිම්වල විශාල ලෙස වැඩී තිබුණු ශාකයක් වන මේ පඬු කරඳ ශාක විශේෂය 2006 දීද ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියට ලෝකයෙන් ම වඳවී ගිය ශාක විශේෂයක් ලෙස එක්කර තිබේ. ඊට පසු 2012 ජාතික රතු දත්ත ලැයිස්තුවේ ද මෙය වඳවී ගිය ශාකයක් (Extinct) ලෙස නම්කර ඇති බවත් ශාකය යළි 2019 දී දාරළුවෙන් සොයාගෙන ඇත්තේ පරිසරවේදී උපාධි අපේක්ෂක ඉංජිනේරු හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ විසින් බවත් ආචාර්ය සුභානි රණසිංහ පවසන්නීය.
මෙම ශාකය 2019 දී සොයාගත් හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ පවසන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් තමාට බාර දුන් මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස පිළිබඳව පාරිසරික ඇගැයීම් වාර්තාවක් සකස් කිරීමේදී ගම්පහ - දාරළුව දුම්රිය ස්ථානය අසලදී මෙම ගස හමුවූ බවයි. මේ පිළිබඳව ඔහු උද්භිද උද්‍යානයේ ජාතික ශාකාගාරයට තොරතුරු ලබාදීමෙන් පසුව හා එහි මල් පරීක්ෂා කිරීමෙන් පසු මෙම ශාකය දැනට රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් ‘පඬු කරඳ හෙවත් කෲඩියා සිලනිකා ශාකය බව උද්භිද විද්‍යානුකූලව ස්ථිරවම හඳුනාගෙන ඇත.
එසේ වුවත් පසුගිය සතියේ මෙම ශාකය පිහිටි පරිසර පද්ධතිය ඇතුළත් ප්‍රදේශය මධ්‍යම අධිවේගය ඉදිකරන චීන සමාගමක පිරිසක් විසින් බුල්ඩෝසර් කර තිබේ. ඒ අනුව මෙම ස්ථානයේ තිබූ පඬු කරඳ ශාකය හැර තවත් වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබූ ශාක ප්‍රභේද 5කට අයත් ශාක 5 ක් හා ආරක්ෂිත ලැයිස්තුවේ ඇති ශාක වර්ග 5 ක් විනාශ කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් දිසා වන සංරක්ෂණ නිලධාරීනී දේවානී ජයතිලක පවසන්නීය.
“මෙතැන පඬු කරඳ ශාකය වගේ ම තවත් තර්ජනයට ලක්වී තිබූ ලොකු ගහක් තිබුණා. ඒකත් විනාශ කරලා.” මෙම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් කළ වන නිලධාරිනිය පෙන්වා දෙන්නීය.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසූයේ මෙම ශාකය මෙම ස්ථානයෙන් ප්‍රවේශම් ලෙස ගලවා ගෙන වෙනත් ආරක්ෂක ස්ථානයක සිටුවීමට තමන් විරුද්ධත්වයක් නැති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇති බවයි.
ඊට අදාළ ලිපිය පසුගිය දෙසැම්බර් මාසයේදී යැවූ බවත් කෙසේ වුවත් මෙම ශාකය නොගැඹුරු ජලය සහිත පරිසර පද්ධතියක වනජීවී හෝ වන සංරක්ෂණ කලාපයක සිටු විය යුතු බවත් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි.
මේ පිළිබඳව අප කළ විමසූමකදී කරුණු දැක්වූ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ වනවිද්‍යා මහාචාර්ය හේමන්තී රණසිංහ මහත්මිය පැවසූයේ අඩි 50 ක් පමණ උස ඇති බව කියන මෙතරම් විශාල ගහක් මෙම ස්ථානයෙන් ගලවා තවත් තැනක සිටුවීම අසාර්ථක කටයුත්තක් බවයි. මෙවැනි ගසක් තවත් තැනක සිටුවීමට කටයුතු කිරීම උද්භිද විද්‍යාත්මකව ‘රූට් බෝල්’ ලෙස හඳුන්වනවා. ඒ සඳහා මාස 6 ක පමණ සිට සූදානම් විය යුතුයි.
නමුත් එක්වරම කිසිඳු සූදානමක් නැතිව ඒ ගස ගලවා පෞද්ගලික ආයතනයක් විසින් නැවත සිටුවීම කිසිම විද්‍යාත්මක පදනමක් නැති කටයුත්තක්. කළ යුත්තේ මෙම ගස තිබෙන ස්ථානයේ ම එය ස්ථානීය සංරක්ෂණය කිරීම යැයි මහාචාර්ය වරිය පවසන්නීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස භාරව කටයුතු කරන මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යෘපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. කොඩිතුවක්කු මහතා පවසන්නේ මෙම ශාකය මෙම ස්ථානයෙන් ඉතා ආරක්ෂිතව ඉවත් කර එය අසල ම සංරක්ෂණ කලාපයක ‘රූට් බෝල්’ ක්‍රමයට සිටුවන බවයි.
“මේ වර්ගයේ ගස් 6 – 7 ක් අපේ රටේ විවිධ ප්‍රදේශවල තිබෙන බව වාර්තා වෙනවා. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මේ වර්ගයේ පැළ තිබෙනවා. ඒ අනුව මේ ගස ලෝකයේම තිබෙන මේ වර්ගයේ එකම ගස කියන එක වැරැදියි.
කෙසේ වුවත් අපි මේ ශාකය ගලවා ඒ අසලම ප්‍රදේශයේ ආරක්ෂිත සිටුවන්න සැලසුම් කර අවසන්. මෙම ස්ථානයේ දුම්රිය මාර්ගය යන නිසා අධිවේගී මාර්ගයේ ගමන් මාර්ගය වෙනස් කරන්න අපට හැකියාවක් නැහැ. කෙසේ වුවත් මේ ගැටලුව නිරාකරණය කරන තුරු අධිවේගී මාර්ගයේ ඒ කොටසේ කටයුතු දැනට අපි තාවකාලිකව නතර කර තිබෙනවා යැයි කොඩිතුවක්කු මහතා පවසයි.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ උද්භිද විද්‍යාඥ ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසන්නේ මෙවැනි අඩි 40 – 50 ක් උස යැයි කියන ශාකයක් ගලවා වෙනත් ස්ථානයක සිටුවීම අවදානම් සහගත ක්‍රියාවක් බවයි.
“එය 100% ක් සහතික කළ නොහැකි වැඩක්. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මේ වර්ගයේ පැළ තිබුණත් ඒවා කොපමණ කාලයකින් මෙවැනි මහ ගසක් ලෙස වර්ධනය කිරීමට හැකියාව ලැබේ දැයි සැකසහිතයි. ඒ නිසා ස්ථානීය සංරක්ෂණය වැදගත්. කෙසේ වුවත් රටේ සංවර්ධන ක්‍රියාදාමයත් සිදුවිය යුතුයි යැයි ආචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.
මේ පිළිබඳව කරුණු දක්වන පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම ශාකය මෙම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙස තමා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රේමසිරි මහතාට දැනුම් දුන් බවයි.
මෙම ගස ඉවත් කිරීමට අත්‍යවශ්‍යම නම් සූරියවැව ප්‍රදේශයේ සිටින දැනට ඒ ප්‍රදේශයේ බෝ ගසක් ගලවා ඉවත් කර සාර්ථකව යළි සිටවූ තරුණයකුගේ සහාය ඒ සඳහා ලබා දිය හැකි බවත් ඇමැතිවරයා පවසයි. ඒ සඳහා වැය වන මුදල තමන් පෞද්ගලිකව වියදම් කිරීමට සූදානම් බව පවසන ඇමැතිවරයා මෙම ගස සුරැකීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ද පවසයි. ප්‍රවීණ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසූයේ මෙම ශාකය වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර ඇති මෙම ශාකය කැපීම එහි අත්තකට මුලකට හානි කිරීම මෙන් ම ශාකය මැරීමට යම් යම් ද්‍රව්‍ය පාවිච්චි කිරීම වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බවයි.
මෙවැනි විනාශකාරී කටයුතු කරන පුද්ගලයකට හෝ ඔහුට අනුබල දෙන අයකුට නඩු පැවරීමට වනජීවී සංරක්ෂණ, වන සංරක්ෂණ නිලධාරීන්ට මෙන් ම පොලිස් නිලධාරීන්ටත් හැකියාව ඇත. ඒ අනුව මෙම ශාකයට හානි කරන ඕනෑම ආයතනයකට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කිරීමේ අයිතිය ඇති බව අවධාරණය කරන බවත් ජගත් ගුණවර්ධන මහතා පවසයි.
මේ පිළිබඳව කරුණු දක්වන වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරු හා අමාත්‍යාංශ ලේකම්වරයා හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් මේ පිළිබඳ අධ්‍යනය කිරිමට එම ස්ථානයට ගොස් ඇති බවයි. ඒ අනුව එම ගස සුරැකීමට හැකි සෑම පියවරක්ම රජය ගන්න බවත් කිසිම නිලධාරියෙක් හෝ මේ ශාකය හුදෙකලා කර නොමැති බවත් ඇමැතිවරයා පවසයි.
පසුගියදා කාඩියා සිලනිකා ශාකය නිරීක්ෂණය කිරීමට ගිය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ මෙවැනි විශාල මූල පද්ධතියක් සහිත ගහක් වෙනත් තැනක ප්‍රතිෂ්ඨාපනය කිරිම දැඩි අවදානම් සහගත කටයුත්තක් බවයි.
ලෝකයේ වෙනස් කිරීමට බැරි දෙයක් නැතැයි පැවසූ ලේකම්වරයා අධිවේගි මාර්ගය ගමන් කිරිමට යෝජිත මාර්ගය වෙනස් කිරීමට අපහසු හේතු මොනවාද යන්න මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසයි. ඒ සමගම මෙම ගස මැදිකොට දෙපැත්තෙන් අධිවේගි මාර්ගය යාමට කටයුතු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගෙන් ලේකම්වරයා ඉල්ලීමක් කළේය. ගහකොළ ඇතුළු මේ පරිසරය සුරැකෙන පරිදි හොඳම තීරණය සුදුසු වේලාවෙදි ගන්න බව පැවසූ බන්දුල හරිස්චන්ද්‍ර මහතා මේ ගස සුරැකීම වන ජීවී සංරක්ෂණ අධ්‍යක්ෂවරයාගේ වගකීමක් බවද පැවසීය.
මෙම ස්ථානයට ගිය ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසුවේ රෙට් වුවමනාව වී ඇත්තේ මෙම ගසත් ආරක්ෂා කරගෙන සංවර්ධන කටයුතු සිදු කිරීම බවයි.
කෙසේ වුවත් ඒ අවස්ථාවේදි මෙම ස්ථානයට පැමිණි පුද්ගලයකු පවසා ඇත්තේ මෙම ගස සුරැකීම පිළිබඳව බැලීමට පසුගිය වසර දෙක ඇතුළත වාහන සිය ගණනකින් නිලධාරින් සිය ගණනක් මෙම ස්ථානයට පැමිණියත් ඵලක් නොවූ බවයි.
මෙම ශාකය පිළිබඳ කටයුතු අධ්‍යයනයේදී මධ්‍යම පරිසර අධිකාරියට ඇති බලතල අනුව මෙම ශාකය පිළිබඳ ඉදිරි වැඩකටයුතු සඳහා මාර්ග සංවර්ධනය අධිකාරියට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරි අමරසිංහ මහතා පවසයි.