මහ සඟරුවණේ දෙම­වු­පි­යන්ට හිසට සෙව­ණක් දෙන ‘මිහිඳු නිව­හන’ | Page 2 | සිළුමිණ

මහ සඟරුවණේ දෙම­වු­පි­යන්ට හිසට සෙව­ණක් දෙන ‘මිහිඳු නිව­හන’

පේ බුද්ධ ශාසනය සුරැකීමට අපේ මහා සංඝරත්නයේ අනාගත පැවැත්ම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් අඩු ආදායම් ලාභි පවුල්වලින් ශාසනයට පූජා කළ සාමණේර හිමිවරුන්ගේ දෙමවුපියන් සුරැකීම ද ශාසනයේ උන්නතිය උදෙසා උතුම් කටයුත්තක් වේ.

එය අරමුණු කරගෙන වත්මන් රජය සසුන්ගතව මහණදම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා නම් කුල දරුවන් ශාසනයට පූජා කළ දෙමවුපියන්ට උපහාර පිදීම අරමුණු කරගෙන ‘මිහිඳු නිවහන’ නමින් නව නිවාස සංවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සසුන්ගතව මහණ දම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන් ශාසනයට පූජා කළ දෙමවුපියන්ට උපහාර පිණිස මෙම “මිහිඳු නිවහන” නිවාස ව්‍යාපෘතිය ආරම්භ විය.

ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ‍සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙහි සමාරම්භක උලෙළ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරයේදී පැවැත්විණි.

මේ යටතේ මෙම වසර තුළ නිවාස 2,000 ක් ඉදිකිරීමට නියමිතයි. මිහිඳු නිවහන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට “මිහිඳු නිවහන ව්‍යාපෘතිය” යටතේ දක්වා ඇති සුදුසුකම් අනුව තෝරාගත් මවුපියන් පදිංචි ප්‍රදේශවල මෙම නිවාස ඉදිකිරීම සිදුවේ.

මෙම නිවාස ඉදිකිරීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 12,000 ක් වෙන්කර තිබේ. ඉදිකෙරෙන එක් නිවසක සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 06කට අධික වේ.

හිත නිවනින් නිවුනත් ගත නිවහන ගැන සිත නිවනක් නැති මාපියන් වෙත පිදෙන “උත්තම ගෘහ පූජාවක්” ලෙස මෙම ව්‍යාපෘතිය අර්ථ ගන්වා ඇත. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම මිහිඳු නිවහන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” යටතේ, සම්බුද්ධ ශාසනය ප්‍රමුඛස්ථානයේලා ආරක්ෂා කිරිමේ ප්‍රතිපත්තිමය තීරණය මත පිහිටා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙම නිවාස සාදා දීමෙන් සම්බුද්ධ ශාසනය රැක ගැනීමට ඉවහල් වන මූලික කාරණා 04ක් ඉටුවන බව මිහිඳු නිවහන් ව්‍යාපෘතියේ කමිටු සාමාජික නිවාස රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.එම්. ආනන්ද මහතා පවසයි. භික්ෂූන් වහන්සේලාට ගෙදර දොර ප්‍රශ්නවලින් මිදී නිදහසේ ශාසනික කටයුතුවලට නිරත වීමට හැකිවීම ඇතුළු කරුණු කිහිපයක් මෙමඟින් සම්පූර්ණ වේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුුගාරේ ධම්මරතන හිමියන්ගේ යෝජනාවක් අනුව මිහිඳු නිවහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පූජ්‍ය වලස්මුල්ලේ විමලධම්ම හිමියන්ගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති අනුකමිටුවේ, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය අලුත්පොළ ගුණරත්න හිමි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.එම්. ආනන්ද, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බී.කේ. රංජිත් යන මහත්වරු ඇතුළු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය නිවාස ඉදිකිරිම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

මොනරාගලදී පැවැති ‘මිහිඳු නිවහන’ සමාරම්භක උලෙළේදී අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මේ වැඩපිළිවෙළ යටතේ භික්ෂූන් වහන්සේගේ දෙමවුපියන්ට නිවාස 2,000ක් ඉදිකිරීමට මේ වසරේ රුපියල් ලක්ෂ 12,000ක් වෙන් කර ඇති බවයි.

එම උත්සවයේදී අගමැතිවරයා මෙසේය කිය. අපි මේ නිවාස ව්‍යාපෘතිය ඒ නමින් නම් කරන්නේ මේ රටට බුදුදහම ගෙනාපු ඒ ශ්‍රේෂ්ඨ මිහිඳු මාහිමියන්ව සිහිපත් කරන්න. මිහිඳු මාහිමියන් වහන්සේ එදා ධර්මය විතරක් නෙමෙයි මහා ශිෂ්ටාචාරයකුත් මේ රටේ ආරම්භ කරන්න පදනම දැම්මා. මිහිඳු හිමියන් වෙනුවෙන් දේවානම්පියතිස්ස රජතුමා එක දවසක් තුළ ගෙයක් ඉදිකරලා, ඒ ගෙදර මැටි බිත්ති වේළන්න හුළු එළි ඇල්ලුවා කියලා තමයි ඉතිහාස කථාවල තියෙන්නේ.

ඒ නිසා මේ භික්ෂූන් වහස්සේලාගේ දෙමවුපියන් වෙනුවෙන් ආරම්භ කරන නිවාස ව්‍යාපෘථිය “මිහිඳු නිවහන” කියලා නම් කිරීම ඉතාම යෝග්‍යයි කියලා මම හිතනවා. පසුගිය යහපාලන ආණ්ඩුව විශාල වශයෙන් ශාසනයෙන් පළිගත්තා කියන එක නායක හාමුරුවනේ, මම අමුතුවෙන් කියන්න ඕන නැහැ.

“එහෙම තිබුණ යුගයක් පහුකරලා අපි දැන් එය වෙනස් කරමින් තිබෙනවා. වෙනස් කරලාත් තියෙනවා. එදා භික්ෂූන් වහන්සේලාට සිරගෙවල් වෙන් කරපු ආණ්ඩුව වෙනස් කරලා අද අපි භික්ෂූන් වහන්සේලාගේ දෙමවුපියන්ට හිසට සෙවණක් දෙන යෝධ නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා යැයිද එහිදි අගමැතිවරයා පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ අස්ගිරි මහා විහාරයීය කාරක සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන් පවසන්නේ මේ කටයුත්ත සම්බුද්ධ ශාසනයේ බුද්ධ පුත්‍රයන් වහන්සේගේ හා පොදුවේ බොදු සසුනේත්දිගුකාලීන දියුණුවට පැවැත්මට ඉවහල් වන වැඩසටහනක් බවයි.

“මේ නිසා ශාසනයට එකතුවෙන සඟ පරපුරට ලොකු අත්වැලක් දිරිගැන්වීමක් ලැබෙනවා. මේක දිගුකාලීන ප්‍රතිඵල දෙන වැඩපිළිවෙළක්. ඒ සමඟ රජය මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම පිළිබඳව ජනපතිටත් අගමැතිටත් ස්තුතිවන්ත වෙනවා. කෙසේ වුවත් සසුනට සම්බන්ධ වන සාමණේර වහන්සේගේ දෙමවුපියන්ට ඉඩම් නැත්නම් එයත් ලබාදීමට කටයුතු කිරීම සුදුසු බවද ආචාර්ය මැදගම ධම්මානන්ද හිමිපාණෝ පැවසූහ.

අප කළ විමසීමදී මේ පිළිබඳව කරුණු පළකළ “මිහිඳු නිවහන” වැඩසටහනේ සැලසුම් නිර්මාතෘ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි පවසන්නේ මේ වැඩසටහන නිර්මාණය කළේ යුද්ධයෙන් පීඩාවට පත් පවුල්වලින් ශාසනයට එක්වූ සාමණේරවරුන්ගේ සිතට පිළිසරණත් සමඟ ඒ හිමිවරුන්ගේ දුප්පත් දෙමවුපියන්ගේ හිසට සෙවණක් ලබාදීම අරමුණු කරගෙන බවයි.

පසුගිය තිස් අවුරුදු යුද්ධය නිසා අපේ රටේ දුප්පත් ගම්වලින් හමුදාවට ගිය තරුණයන් 30,000 ක් පමණ නැතිවුණා. ඒ අයගේ බිරියට හා දරුවන්ට සරණක් අවශ්‍ය තත්ත්වයට පත්වුණා.

විශේෂයෙන් ඒ අයගේ තරුණ දූවරුන් ඒ පවුල්වලදීම ආරක්ෂා කරන්න වුණා. ඒත් ඒ පවුල්වල පිරිමි දරුවන්ට පිහිටවීමට කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. ඒ අවස්ථාවේ අපේ සංඝරත්නය ඔවුන් සුරැකීමට කටයුතු කළා. ඒ අනුව ඒ තාත්තා නැති පිරිමි දරුවන් සමහරු ශාසනයට එකතු වුණා. ඒ සාමණේර වහන්සේ දැන් උසස් අධ්‍යාපනය ලබමින් සිටිනවා. ඒ සමහර අයගේ දැන් අදහස ඒ අයගේ අම්මලා තාත්තාලට පිහිට වෙන්න හා පවුලේ බාල සොහොයුරන්ට සොහොයුරියන්ට පිහිටවීමට ගමට ගෙදරට යාමටයි. ඒ තත්ත්වය වළක්වා ඒ හාමුදුරුවන් ශාසනය තුළ රඳවා ගැනීමටත් ඒ හාමුදුරුවරුන්ගේ ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීමටත් තමයි මේ ‘මිහිඳු නිවහන’ වැඩපිළිවෙළ අපි සකස් කරලා ඒ යෝජනා මාලාව අගමැතිතුමාට බාර දුන්නේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ මිහිඳු නිවහන වැඩපිළිවෙළ නිවාස අමාත්‍යාංශය හරහා ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා.

‍මේ සඳහා ශාසනාරක්ෂක මණ්ඩල මඟින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ඉල්ලුම්පත් කැඳවූවා. ඒ අනුව දැනටම ඉල්ලුම්පත් 1700 ක් ලැබී තිබෙනවා.ඒ තරුණ හිමිවරුන්ගේ දුප්පත් අම්මලා තාත්තාලට මේ මඟින් වසරකට ගෙවල් 2000 ක් ලබාදෙන්න අපේක්ෂා කරනවා යැයිද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ.

මේ වැඩපිළිවෙළ සමාරම්භක උත්සවයේදී ඌව පළාතේ දුප්පත් දෙමවුපියන්ට 50ක‍ට රුපියල් ලක්ෂයක ආධාරයක් දුන්නා. ඒ අයට තවත් රුපියල් ලක්ෂ 5ක් නිවාස ඉදිකිරීම අනුව ලබා දෙනවා. ඒ ඉදිකිරීම් කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්මික නිලධාරින් ලවා අධීක්ෂණය කරනවා.

තවත් දෙමවුපියන් 250කට අපි දැනටමත් ආධාර දෙන්න සූදානම්. ඉතිරි අයදුම්පත් 1400 සලකා බලා ඒ අයටත් ‘මිහිඳු නිවහන’ වැඩපිළිවෙළ යටතේ නිවාස ඉදිකිරිම සිදුකරනවා. මේ වසරේ නිවාස 2000ක් හදන්න සූදානම්. උන්වහන්සේ පැවසූහ.

මේ පිළිබඳව අදහස් දක්වන නිවාස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා පවසන්නේ මිහිඳු නිවහන වැඩපිළිවෙළ ය‍ටතේ ඉදිකරන මුල් නිවෙස් 50 ඉදිරි මාස හත ඇතුළත අවසන් වනු ඇති බවයි.

“අපි මුලින්ම ඒ පවුල්වලට ලක්ෂයක ආධාර දෙනවා. ඊට පස්සේ අවස්ථා 3කද රුපියල් ලක්ෂ 5 දෙනවා. ඒ ගෙවල් සාදන්න ගමේ අයත් උදවු වෙනවා. පරිත්‍යාගශීලීන්ට ද ‘මිහිඳු නිවහන” වැඩපිළිවෙළට එක්වෙන්න පුළුවන් ලේකම්වරයා පවසයි.

 

Comments