මානව හිමිකම් චෝදනා නගන්නේ අප දණ ගැස්වීමටයි | සිළුමිණ

මානව හිමිකම් චෝදනා නගන්නේ අප දණ ගැස්වීමටයි

විදේශ අමා­ත්‍යාං­ශයේ ලේකම් අද්මි­රාල් මහා­චාර්ය ජය­නාත් කොළ­ඹගේ
විදේශ අමා­ත්‍යාං­ශයේ ලේකම් අද්මි­රාල් මහා­චාර්ය ජය­නාත් කොළ­ඹගේ

තිස්වසරක යුද්ධය නිමා කිරීමේදී නාවික හමුදාවේ භාරදූර කාර්යයක් සිදු කළ හිටපු නාවික හමුදාපතිවරයකු වූ වත්මන් විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ අද සිළුමිණ සමඟ එක්වන්නේ මානව හිමිකම් උල්ලංඝනය ගැන අපට නැඟෙන චෝදනා සහ විදේශ රැකියා සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි.

ජිනීවා මානව හිමිකම් සමුළුව ලබන 22 වැනිදා ආරම්භ වනවා කොහොමද සූදානම..

අපි ඒ සඳහා මුහුණ දිය යුතු වෙනවා. මේ වන විටත් මහ කොමසාරිස්වරිය විසින් අපට වාර්තාවක් එවා තිබෙනවා. අප එය නිරීක්ෂණය කරා. එහි දත්තයන් නීතිය හා අවබෝධතාවන්හි තිබෙන වැරැදි තැන් පිළිබඳව අපි කරුණු දක්වා ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය මේ වන විටත් එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. මහ කොමසාරිස්වරිය එම පිළිතුරු ලිපියට අනුව සැසිවාරයට කරුණු දක්වාවි. සමුළුවට සහභාගි වී කටයුතු කරන ආකාරය ගැන අපි මේ වන විටත් සාකච්ඡා කරමින් ඉන්නෙ.

ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භය ආසන්න වන හැම අවස්ථාවකම අපට චෝදනා එල්ල වනවා...

ඔව් ඒ කතාව ඇත්ත. එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස් පෝරාව විදේශ රටවල සිට ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාකාරකම් වගේම විදේශ රටවල සිට ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාවට පහර දීමක් සිදු කරනවා.

ඒ වගේම මෙරට නිදහසේ ජීවත්වන ඇතැම් පිරිස් ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් කොමිසමට වාර්තා යවනවා. ඒක ඇත්තටම රටට කරන ද්‍රෝහීකමක් විදිහටයි මම නම් දකින්නේ.

මේ අවස්ථාවේ අපි කොවිඩ් වසංගතයෙන් වූ ආර්ථික අර්බුදයෙන් බේරෙන්න කටයුතු කරනවා. ඒ අතරේ තවත් කෙනෙක් කියනවානම් තමන් ජීවත්වන රටටම සම්බාධක පනවන්න කියලා, එහෙමත් නැත්නම් රට අන්තර්ජාතික අධිකරණවලට ගෙන යා යුතුයි කියලා, තමන්ගේ රටේම පුද්ගලයන්ට සංචාරක සීමා පනවන්න කියලා ඒ පුද්ගලයන් ශ්‍රී ලාංකිකයොද කියල අපිට හිතා ගන්නවත් බැහැ.

එකම රටක එකම ජාතියක් ලෙස ඉදිරියට යන එකටයි අප කටයුතු කරන්නෙ. ඒත් මේ විදිහෙ අයත් එක්ක තමයි අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නෙ. මේ ඇතැම් වාර්තාවල සඳහන් වෙන දේවල් අන්තර්ජාතිකව කතා කළ යුතු දේවල් නෙමෙයි කියල පැහැදිලියි. කොමිසමකට කතා කළ යුතු ඒවා නෙමෙයි තියෙන්නෙ. මේ සියල්ල පිටුපස කොටි හිතවාදී ඩයස් පෝරාව ඉන්න බව පැහැදිලියි.

දෙමළ ඩයස් පෝරාවේ ක්‍රියාකාරකම් මේ සමුළුවට කුමනාකාරයෙන් බලපායිද? ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩුවෙලා නේද?

දෙමළ ඩයස් පෝරාව මෙහි පිටුපස ඉන්නවා කිව්වොත් ඒක වැරැදියි. මේ පිටුපස ඉන්නෙ කොටි හිතවාදී ඩයස් පෝරාවයි. දෙමළ ඩයස් පෝරාවට අයත් විශාල පිරිසක් ඉන්නවා. නමුත් ඒ සියලු දෙනාම කොටි හිතවාදීන් නෙමෙයි.

මීට මාස දෙකකට විතර කලින් අපට ඉතා පැහැදිලිව දකින්න ලැබුණා කොටි සංවිධානය විසින් යුරෝපයේ ඇමරිකාවේ කැනඩාවේ සංවිධානය කරපු විරෝධතාවලට සහභාගි වූයේ ඉතාම අඩු පිරිසක් බවට.

කොටි සංවිධානය 2009 වසර දක්වා ත්‍රස්තවාදී වැඩට මුදල් එකතු කරා. අදත් එකතු කරනවා. ඔවුන් සතුව ආයෝජනය කළ විශාල අරමුදල් තියෙනවා. එහි විශාල ප්‍රතිලාභ තියෙනවා. ඒ අරමුදල් හරහා ඔවුන්ට අන්තර්ජාතික මත ගොඩ නඟන්න පුළුවන්. ඒ වගේම මුදල්වලට අන්තර්ජාතිකව බලපෑම්කරන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් සමඟ තමයි අපි මේ කටයුතු කරන්නෙ.

මානුෂීය මෙහෙයුම අවසන් කිරීමෙන් පසු ලෝකයේ බොහෝ රටවලින් අපට ඉහළ ප්‍රතිචාර ලැබුණා. දැන් අප රටට හැමදාම මානුෂීය මෙහෙයුම සම්බන්ධව යුද අපරාධ චෝදනා එනවා. මොකක්ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය.

යුද අපරාධ ලෙස ගතහැකි සිද්ධාන්තයන් පැහැදිලිවම දක්වා තිබෙනවා. ඒ අතර සමූල ඝාතනයක් සිදු කිරීම, එක ජන කොට්ඨාසයක් එක පෙදෙසකින් ඉවත් කිරීම, මහා පරිමාණ ලෙසින් අයිතිවාසිකම් අහිමි කිරීම, දූෂණයට ලක්කිරීම යුද අවියක් ලෙස භාවිත කිරීම, ළමා සොල්දාදුවන් භාවිත කිරීම, ආහාර හෝ ජලය විශාල ප්‍රදේශවලට අහිමි කිරීම මෙවැනි දේවල් ඊට තමයි අයත්වන්නේ.

මේ කිසිවක් රජයේ හමුදාවන් අතින් සිදුවී නැහැ. අනෙක් පැත්තට ගෙන බැලුවොත් කොටි සංවිධානය විසින් මේ සියල්ල සිදු කරල තියෙනවා. ඔවුන් සමූල ඝාතන කොතරම් කරල තියෙනවද? කැබිතිගොල්ලෑවේ බස් බෝම්බයෙන් 90 ගාණක් ඝාතනය කළා. මහ බැංකුවේ 1,700ක් බෝම්බ ලොරියක් යවා ඝාතනය කළා. ශ්‍රී මහා බෝධියේ සිල් සමාදන් වුණු 125ක් පමණ ඝාතනය කළා, කාත්තන්කුඩියේ පල්ලියක යාඥා කරමින් සිටි 125ක් විතර සමූල ඝාතනය කරා. 1989 සටන් විරාම ගිවිසුම ඒක පාර්ශ්විකව කඩකරමින් පොලිසියේ 600ක පමණ නිලධාරීන්ට බාර වන ලෙස දන්වා ඔවුන් ඝාතනය කළා.

මාවිල්ආරු හරහා පානීය ජලය ලබාගත් ගොවීන් 25,000කට පමණ ජලය අහිමි කළා. ළමා සොල්දාදුවන් බඳවා ගත්තා. ඒ සියල්ල දෙස බැලූ විට පැහැදිලියි යුද අපරාධ එල්ල කළ යුත්තේ කාටද කියල.

එතකොට හමුදාවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔබ දරන මතය..

රජයේ හමුදාව සිදු කෙරේ ව්‍යවස්ථාවෙන් රජය විසින් කළයුතු රටේ ජනතාවගේ ආරක්ෂාව සැලසීමයි. මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව කර දීමයි. එය නොකරානම් තමයි එය අපරාධයක් වන්නේ.

යුද්ධය පැවතුණු වසර 30ක පමණ කාලයේදී ආසන්න වශයෙන් සතියකට 250කගේ පමණ ජීවිත අහිමි වුණා. ඊට සිංහල, දෙමළ මුස්ලිම් මෙන්ම ආරක්ෂක අංශ මෙන්ම එල්ටීටීඊ සංවිධානයේ අයත් ඇතුළත්. නමුත් 2009 මැයි19 දිනෙන් පසුව යුද්ධය නිසා අහිමි වූ ජීවිත ගණන ‘0‘ යි. මානව හිමිකම් කොමිසම අවධානය යොමු කළ යුතුයි යුද්ධය අවසන් වීමෙන් පසු ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ශ්‍රී ලංකාව විසින් ස්ථාපිත කිරීම ගැන. කෙනෙකුට ජීවත්වීමෙ අයිතිය පළමුව තිබිය යුතුයි. ජීවත් වුණොත් විතරයිනෙ මානව හිමිකම් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.

අවසන් මානුෂීය මෙහෙයුමේදී වූ මේ සිදුවීම් ගැන අන්තර්ජාතිකව නිසි ලෙසින් ප්‍රචාරණයක් ලබා දීමට කටයුතු නොකරන්නේ ඇයි?

රජය අවසන් මෙහෙයුමේදී සිදු කළේ ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් බේරා ගැනීමයි. අවසන් සටනේදී පුදුමාතලන් හා වෙල්ලමුල්ලි වයික්කාල්හි එල්ටීටීඊ සංවිධානය ලක්ෂ 3ක ජනතාව මිනිස් පලිහක් ලෙසින් යොදා ගත්තා. ඒ මිනිස් පලිහෙන් එන්න උත්සාහ කළ ජනතාවට එල්ටීටීඊ පිරිස් වෙඩි තබන ආකාරය ගුවන් හමුදා යානයක් උපයෝගී කර ගනිමින් එවකට සිටි මෙරට තානාපතිවරුන්ට පෙන්නුවා. ඔවුන් ඒ බව පැහැදිලිවම සියැසින් දුටුවා. අප කෙළේ රට බේරගන්න මානුෂීය සාධාරණ යුද්ධයක්.

ඒ වගේම පැහැදිලිවම කියන්න ඕන ඇමරිකාවේ FBI එකෙන් 2008 වසරේදී හඳුන්වා දුන්නා ලෝකයේ ඉන්න දරුණුම ත්‍රස්තවාදී සංවිධානය එල්ටීටීඊය බවට. ඒ වගේම මරාගෙන මැරෙන ත්‍රස්තවාදය ඔවුන් පුරුදු කළ බවත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල නිර්මාණය කෙළේ ඔවුන් බවත් පෙන්වා දුන්නා. ඒ වගේම කාන්තාවන්ට මරාගෙන මැරෙන්න පුරුදු කෙළේ ඔවුන් බවත් ළමා සොල්දාදුවන් පුරුදු කෙළේ ඔවුන් බවත් පෙන්වා දුන්නා. එදා යුද්ධය අවසන් නොවුණානම් අදටත් ජනතාව ඝාතනය වෙනවා.

එවන් පැහැදිලි අන්තර්ජාතික කරුණු තිබියදීත් ඇයි මේ වනතුරුත් රජයට හැකියාවක් ලැබිලා නැත්තේ මේ අභූත චෝදනාවන්ගෙන් මිදෙන්න.

රජය හැම තිස්සෙම උත්සාහ කරනවා මේ අභූත චෝදනාවන්ට පිළිතුරු සපයන්න. ඒත් අපේ අවාසනාවට 2015 බලයට පත්වුණු රජය දක්වපු කරුණු අපට අවාසිදායක වුණා. 2019 වසරේත් එවකට හිටපු විදේශ ඇමැතිවරයාත් උත්සාහ කළා මේ තත්ත්වයෙන් මිදෙන්න. ඒත් ඒ රජය විසින් දක්වපු කරුණුවලින් මතුවුණේ ‘අපි වැරැදි තමයි, ඒ වැරැදිවලට අපිත් දඬුවම් දෙන්න එකතු වෙන්නම් කියලා‘ යන කරුණක්.

ඒ කෙසේ වෙතත්, ඇයි මේ තරම් සාධක තිබිලත් ඒ මතය වෙනස් කරන්න කටයුතු නොකරන්නේ.

අද අපි සමාජගත කරන්න උත්සාහ කරන්නේ එය තමයි. නමුත් අපි ගන්න උත්සාහය ඔවුන් පිළි ගන්නේ නැහැ. බටහිර රටවල බලවේග බොහොම බලගතුයි. සියල්ල මුදලට යන තත්ත්වයක් තියෙන්නෙ.

ඔබ හිතන්නේ කොටි හිතවාදී ඩයස් පෝරාවට පමණක් ඔයතරම් බලයක් තියෙනව කියලද?

දැන් මතු වන්නේ මෙරට භූගෝලීය අවශතාවය මෙන්ම උපාය මාර්ග යුද්ධයේ කොටසක් ලෙස යොදා ගැනීමයි. අපට මෙහිදී විමසන්න තියෙන්නෙ. ශ්‍රී ලංකාව විතරද මේ වගේ ප්‍රශ්න තියෙන රටකට තියෙන්න කියලා. අපි සංසන්දනාත්මතව බැලුවොත් ලෝකයේත් කලාපයේත් මානව හිමිකම් ඉහළින්ම රකින රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දෙන්න පුළුවන්. අපේ රටේ නිදහස උපරිමයෙන්ම ලබා දී තියෙනවා, එය ඇතැමුන් අනිසි ලෙසින් භාවිත කරන බවයි පෙනෙන්නේ.

අපේ රටේ මාධ්‍ය නිදහස ඉහළින්ම තියෙනවා, එහිදී රජයේ හොඳ වගේම අඩුපාඩු දොස් ප්‍රචාරය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රචාරය කරනවා. එය හොඳයි. නමුත් ඒ මාධ්‍ය නිදහස අයුතු ලෙස අරගෙන ජාතීන් අතර ගැටුම් ඇති කරන්න, නැත්නම් හිතාමතාම රජය අපහසුතාවට පත් කරන්න කටයුතු කරනවානම් එය බරපතළ වරදක්.

අපි ඇත්තටම අපේ රටේ නිදහස ගැන දන්නවා, මානව හිමිකම් අනෙක් රටවලටත් වඩා රකිනවා. ඇයි මේ වගේ පොඩි රටක් අල්ලගෙන මේ අය මේ තරම් කෑ ගහන්නෙ.

එකක් මුදල් බලය, අනික අපිව දණගැස්වීමට ඇති ආසාව ඒ වගේම යම්කිසි බලවේගයකට අපිව නතුකර ගැනීමට ඇති අවශ්‍යතාවක් තියෙනවා.

තිස් අවුරුද්දක් තිස්සේ ලෝකයේ දරුණුතම ත්‍රස්ත සංවිධානයක් අතර තිබුණු අභ්‍යන්තර යුද්ධයක් අපි නිමා කරා, ඒ වගේම ඒ යුද්ධයෙන් පසුවත් අපි ඉක්මනින් සාධාරණීය ලෙසින් ඉදිරියට ගමන් කරන බව පේනවා.

ඒ වගේම ලොකයේ රටවල් 193කින් කොවිඩ් මර්දනය අතින් අපි 10 වන ස්ථානයට පත් වෙලා ඉන්නෙ. මේ අය මානුෂීය අයිතිවාසිකම් අවියක් ලෙසින් අරගෙන අප වට්ටලා ඔවුන්ට අවශ්‍ය ලෙසින් අප හැසිරවීමට ගන්නා උත්සාහයක් ලෙසින් මෙය හඳුන්වා දෙන්න පුළුවන්.

විදේශයේ සිට පැමිණෙන ජනතාව බලෙන් හෝටල් කරා යොමු කරන බවට විපක්ෂයේ චෝදනාවක් තියෙනවා..

ගුවන් තොටුපොළ සම්පූර්ණයෙන්ම වසා තිබියදීත් විදේශ රටවල ඉදල මෙරටට 72,000කට අධික පිරිසක් ගෙන්වා තිබෙනවා. ඒ රටවල් 137කින් එයින් 35,000ක් විතර මැදපෙරදිග රටවලින් ගෙන්වා ගත්තා.

අප මේ සියල්ල කරන්නේ විධිමත් යාන්ත්‍රණයකට අනුවයි. අපේ ශ්‍රමිකයන් වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි. නමුත් අප ගුවන් යානයක් සූදානම් කර ඔවුන් ගෙන්වා ගන්නේ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ඇති අයුරින්. සාමාන්‍යයෙන් 9,000ක පමණ පිරිසක් අපට එකවර නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවිය හැකියි. ඒ ලෙස ඉඩකඩ ලැබෙන ලෙසින් අප මෙරටට පැමිණීමට ඉල්ලුම් කළ අය ගෙන්වනවා.

එහෙත් ඇතැම් අය සංවිධාන වශයෙන් අපට පවසා තිබෙනවා හෝටල් නිරෝධායනයට යොමු කරන බවත් ඔවුන් වෙනුවෙන් වෙනම ගුවන් යානා සූදානම් කර දෙන ලෙසත්. එසේ පැමිණෙන අය දෙදෙනෙක් එක් කාමරයක රැදී සිටිනවානම් එක් අයකුට උපරිම රුපියල් 7500.00ක් හා එක් කාමරයක එක් අයෙක් නම් උපරිමය රුපියල් 12,500ක් ලෙසින් අදාළ හෝටල්වලින් නියම කළ මුදල් අය කරනවා.

එහෙත් ඇතැම් පිරිස් හෝටල්වල නැවතී නිරෝධායනයට කැමැත්ත පළකර මෙරටට පැමිණ මුදල් නොමැති බව පවසනවා. එවිට අප දැඩි අපහසුතාවකට පත්වනවා. ඒ වගේම අපේ රටේ හොඳ ආරංචි වගේම නරක ආරංචිත් යනවනේ.‘ හෝටල්වල නවතින්නම් කියල ගිහින් එයාර්පෝට් එකේදි සද්දයක් දැම්මහම සල්ලි නෑ කියල පැය 8ක් 10ක් හරි තියාගෙන ඉදල රජයේ මධ්‍යස්ථානයකට යවනව‘ කියල වගේ පණිවුඩත් යනවා.

එහෙම නැතිව කිසිදු අයකුට අපි බලකිරීමක් කරන්නෙ නැහැ හෝටල්වල නිරෝධායනය වෙන්න කියල.

● තවත් කොපමණ පිරිසක් පොරොත්තු ලේඛනයේ ඉන්නවාද මෙරටට පැමිණීමේ බලාරොත්තුවෙන්?

2020 මාර්තු මාසයේ විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්න කටයුතු යොදද්දී 45,000ක් පමණ පිරිසක් මෙරටට පැමිණීමට අවශ්‍ය බව කිව්වා. ඒ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙනවා. කොහොමත් මේ වන විට තවත් 50,000ක් පමණ පොරොත්තු ලේඛනයේ ඉන්නවා.

නමුත් කලින් මැද පෙරදිග තිබුණු ගැටලු දැන් නැහැ. විශේෂයෙන් ඉන්න හිටින්න තැනක් නැතිව පාලම් යට උද්‍යානවල හිටපු ගැටලුව දැන් නැහැ. ඒ වගේම කියන්න ඕන එහෙම ඉන්න වෙලා තිබු‍ණෙ එරට අනවසරයෙන් ඉන්න අයට බව. ඒ අයට රැකවරණයක් ඒ රටවලින් ලබන්න බැහැ.

ඉදිරියේදී විදෙස් රැකියා වෙළෙඳ පොළේ ඉලක්කය ලෙස ඔබ දකින්නේ කුමක්ද?

අපි අනිවාර්යෙන්ම කුසලතා ඇති අය රැකියා සඳහා යොමු කළ යුතුමයි. කුසලතා නොමැති අය අඩු වැටුප් සඳහා යැවීම නොකළ යුතුයි. මේ වන විට බොහෝ රටවල වයස්ගත තැනැත්තන් බලා ගැනීම වෙනුවෙන් ඉල්ලුමක් ඇති වෙමින් තිබෙන්නේ. ඒ වෙනුවෙන් ඇති රැකියා අවස්ථා අප හඳුනා ගත යුතු වෙනවා. ඒ රටේ භාෂාව, හදිසි අවස්ථාවකදී ලබා දෙන ප්‍රථමාධාර, සෞඛ්‍ය පුරුදු මේ ලෙසින් කුසලතා ඇති කර පුහුණු සේවකයන් ලෙසින් විදෙස් ගත වන්නන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණයටත් හොඳ ඉල්ලුමක් තියෙනවා.

අපට නව වෙළෙඳ පොළක් ලබා ගත හැකි රටවල් ලෙස දකින්නේ මොනවාද?

දැනට මැද පෙරදිග අපට කොහොමත් තියෙනවා, ඊට අමතරව ජපානය, උතුරු කොරියාව ජර්මනිය, රුමේනියාව, ස්පාක්ඤය වැනි රටවලින් අපට වැඩි ඉල්ලුමක් තියෙනවා.

සේයාරූ - සමන්ත වීරසිරි

Comments