කලකට ඉහත මෙරට රාජ්‍ය සේවය සැලකුණේ ඉතාමත් ගෞරවනීය වෘත්තියක් වශයෙනි. ඒ අනුව එකල විසු හැම දෙමාපියෙකුම දුටු සුන්දරම සිහිනයක් වූයේ තමන්ගේ දූ දරුවන් රාජ්‍ය සේවයට අයත් විවිධ තනතුරු තානාන්තර උසුලන අයුරු දැකගැනීමටය.
එකල ඔවුන් එසේ සිතීමට මුල් වූ හේතු සාධකයන්ද බොහෝමයක් තිබුණි.ඒ අතරින් ප්‍රධානම හේතුවක් වූයේ රාජ්‍ය සේවයේ පැවති රැකියා සුරක්ෂිත භාවයයි. එකල රාජ්‍ය සේවයේ දේශපාලන සුළි කුණාටු නොතිබීම ඒ සඳහා මුල්වූ ප්‍රධානතම හේතු සාධකය විය.එහෙයින් රටේ ආණ්ඩු මාරුවන වාරයක් පාසා රාජ්‍ය සේවකයන්ට දුරබැහැර පළාත් වලට දඬුවම් මාරුවීමක් ලබා දීම හෝ වැඩ තහනම් කිරීමක් එකල සිදු නොවූ අතර, රාජ්‍ය සේවයට අයත් සියලු සේවකයන්ට නිදහසේ තම රැකියාවන්හි නිරතවීමට ඉඩ ලැබී තිබුණේය.
වයස අවුරුදු 55 න් හෝ 60 න් පසු තම රැකියාවෙන් සමුගෙන විශ්‍රාම ලබන තත්කාලීන විශ්‍රාමිකයන්ට තමන්ගේ මරණය දක්වාම විශ්‍රාම වැටුපක් හිමිවීම රාජ්‍ය සේවකයාගේ හිමිකමක් ලෙස සැලකුණි. එපමණක්ද නොව විශ්‍රාමිකයා මිය ගිය පසු ඔහුගේ බිරිය ජීවත්ව සිටින තුරුම එකී විශ්‍රාම වැටුප ලබා ගැනීමටද නීතිමය හිමිකමක් ලැබී තිබුණේය.
ගතවූ කාලය තුළ බලයට පත්වූ ඇතැම් ආණ්ඩු ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ණය දෙන ආයතන වල උපදෙස් මත එක්තරා අවස්ථාවකදී රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප වෙනුවට වෙනත් ක්‍රමවේද හඳුන්වා දුන් බවද අපට මතකය. එහෙත් කුමන හෝ වාසනාවක් නිසා අතීතයේ සිටම රාජ්‍ය සේවකයන් සතුව තිබුණ විශ්‍රාම වැටුප් අයිතිය ඊළඟට පත්වූ ආණ්ඩුව මගින් යළි සුරක්ෂිත කරනු ලැබුවෙන් අපේ රාජ්‍ය සේවකයන්ට නිදහසේ හුස්ම ගැනීමේ අවස්ථාව මේ දක්වාම ලැබී තිබුණේය.
එහෙත් දැන් මෙරට රාජ්‍ය සේවකයන්ගේ හිස මත තවත් හෙණ ගෙඩියක් පාත්වී ඇති බවක් අසන්නට ලැබේ.ඒ අනුව දැන් සිදූවී ඇත්තේ විශ්‍රාම යාමට සූදානමින් සිටින සියලුම රාජ්‍ය සේවකයන් වැන්දඹු හා අනත්දරු අරමුදලට ගෙවිය යුතු සියලුම දායක මුදල් තම මාසික වැටුපෙන් අයකර ගෙන ඇති බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන තමන් මීට පෙර සේවය කළ සේවා ස්ථාන වලින් ලබා ගෙන විශ්‍රාම වැටුප් අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසියක් පැනවී තිබීමය. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ එම කොන්දේසියට අනුව අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වන රාජ්‍ය සේවකයන්ට සිදු වී ඇත්තේ එකී දායක මුදල තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවා දැමීමටය.
එකී රාජ්‍ය සේවකයා එම දායක මුදල තම පෞද්ගලික මුදලින් ගෙවා අවසන් කරන තුරු ඔහුගේ විශ්‍රාම වැටුප් ලිපිගොනුව සැකසීම තාවකාලිකව නතර කෙරේ. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ එම චක්‍රලේඛයෙන් සිදු වන්නේ විශ්‍රාමිකයා කබලෙන් ලිපට වැටීමය.එසේ වන්නේ අදාළ පුද්ගලයා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැන්වූ දින සිට ඔහුගේ මාසික වැටුප් ගෙවීම නිරායාසයෙන්ම නතර වන බැවිනි.
මෙරට කාලයක් තිස්සේ පැවැති ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තු ඒ ඒ වකවානුවල බලයට පත්ව සිටි ආණ්ඩු වලින් අහෝසි කර දමා ඇති අතර එම ආයතන වල සේවය කළ රාජ්‍ය සේවකයන්ට වෙනත් සේවා ස්ථානවලට මාරුවීම් ලබා දී තිබුණේය. උදාහරණයක් වශයෙන් වෙළඳ ද්‍රව්‍ය මිලට ගැනීමේ දෙපාර්තමේන්තුව, විදුලි සන්දේශ දෙපාර්තමේන්තුව වැනි දැනට අහෝසි කර ඇති රාජ්‍ය ආයතන දැක්විය හැකිය. මීට අමතරව තවත් සමහර දෙපාර්තමේන්තු වල තිබූ එම පැරණි ලිපි ලේඛන කාලයාගේ ඇවෑමෙන් අස්ථානගත වී හෝ විනාශ වී ගොස් තිබේ. ඒ අනුව යම් යම් කාල වකවානු වලදී එම ආයතන වල සේවය කළ රාජ්‍ය සේවකයන්ට එකී ලිපි ලේඛන වල පිටපත් ඉදිරිපත් කිරීම කිසිසේත්ම කළ නොහැකි කර්තව්‍යයකි.
එවන් තත්ත්වයකට මුහුණ පා සිටින රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති විකල්ප විසඳුම වන්නේ එකී ලිපි ලේඛන ඉදිරිපත් කළ නොහැකි කාලවකවානුවට අදාළ වැන්දඹු හා අනත්දරු අරමුදලේ දායක මුදල් තමන්ගේ අතින් ගෙවා දැමීමය. එහෙත් වත්මන් ජීවන වියදම හමුවේ ණය බරින් මිරීකි හෙම්බත්ව සිටින පහළ ශ්‍රේණිවලට අයත් රාජ්‍ය සේවකයන් අරඹයා එම විකල්ප ක්‍රියාමාර්ගය කෙතෙක් දුරට ප්‍රායෝගික දැයි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයාට නොවැටහීම කනගාටුවට කරුණකි. නැතහොත් ඔහු විසින් සිදු කර ඇත්තේ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලැබෙන නියෝගය අවිචාරයෙන් යුතුව පිළිගැනීමද?
අනෙක් අතට සේවා ස්ථිරත්වයක් ලැබූ සියලුම රාජ්‍ය සේවකයන්ට මාසික වැටුපෙන් වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා දායක මුදල් කපා ගැනීම ඔහු සේවය කරන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සතු වගකීමයි. යම් ආයතන ප්‍රධානියෙකු විසින් අදාළ රාජ්‍ය සේවකයාගේ මාසික වැටුපෙන් එම දායක මුදල් අයකර ගෙන නැතිනම් එය එකී රාජ්‍ය සේවකයාගේ වැරැද්දක් නොවේ. එසේ වුවද දැන් සිදු වී ඇත්තේ කවුරුන් හෝ ආයතන ප්‍රධානියකු අතින් සිදූවී ඇති වැරැද්දකට වන්දි ගෙවීමට විශ්‍රාමිකයාට සිදු වීමය.