ශ්‍රී ලංකා සංඥා බළකායේ විරුවන් අවදි කළ SILENT HEROES | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා සංඥා බළකායේ විරුවන් අවදි කළ SILENT HEROES

 

චිත්‍රපටයක එහෙමත් නැත්නම් ටෙලිනාටකයක අපට පෙනෙන්නේ එහි නළු නිළියන් පමණි. එහෙත් එහි තිරය පිටුපස සිට විශාල සේවාවක් සිදුකරන්නා වූ තවත් පිරිසක් සිටිති. අප මේ කියන්නට යන්නේ තිරය පිටුපස සිටිමින් රට රැක ගැන්මට එවන් විශාල මෙහෙවරක් සිදු කළ අපේ විරුවන්ගේ කතාවකි.

කණ්ඩායමක් ලෙසින් සැදුම්ලත් පිරිසකගේ ඕනෑම කාර්යයකදී සාමූහිකව අදාළ කාර්යය නිසි පරිදි සිදු කරන්නට නම් නිසි පණිවිඩයක් නැත්නම් නිසි සංඥාවක් ලබා දිය යුතුමය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවේ ඒ කාර්ය බාර වී ඇත්තේ ශ්‍රී ලංකා සංඥා බළකායටයි.

සංඥා බළකායේ ඉතිහාසය නිදහසට පෙර යුගය දක්වාම දිව යයි. 1943 ඔක්තෝබර් මස 19 වැනිදා ලංකා ආරක්ෂක හමුදාවේ එක් කොටසක් ලෙසින් අරඹන ලද ශ්‍රී ලංකා සංඥා බළකාය 1949 ඔක්තෝබර් 10 වැනිදා යුද හමුදාව පිහිටුවීමත් සමඟ යුද හමුදාවේ වෙනම ඒකකයක් බවට පත් විය. ශ්‍රී ලංකා සංඥා බළකාය යන නාමය එයට හිමි වූයේ 1972 වසරේදීය.

අප පෙර පැවසුවාක් මෙන් යුද බිමේත් අප රටේ බොහෝ කාර්යයන්හිදීත් ශ්‍රී ලංකා සංඥා බළකාය විසින් සිදු කරන්නේ සුඵ පටු සේවාවක් නොවේ. විශේෂයෙන්ම හමුදාවේ සියලු සන්නිවේදන කටයුතු සිදුකිරීමේ වගකීම පැවරී ඇත්තේ සංඥා බළකායටයි.

එමෙන්ම රටේ ස්වභාවික ව්‍යසනයක් ඇති වූ විටෙක මෙන්ම නිදහස් උත්සවය, දැයට කිරුළ වැනි දැවැන්ත සංදර්ශන ව්‍යාපෘතිවලදී සන්නිවේදනයේ ප්‍රමුඛයා වූයේ ශ්‍රී ලංකා සංඥා බළකායයි.

එමෙන්ම 1958 සිට පැවැති සියලු අභ්‍යන්තර ආරාවුල් හර්තාල්වලදීද සන්නිවේදන කටයුතුවල පෙරමුණ ගත්තේ සංඥා බළකායයි.

එපමණක්ම නොවේ බොහෝ දෙනෙක් නොදන්නා තවත් සැඟවුණු කරුණක්ද මෙහිලා පැවසිය යුතුය. මෙරට පළමු වරට රූපවාහිනී වැඩසටහනක් මෙහෙයවීමේ ගෞරවයද හිමිවිය යුත්තේ ශ්‍රී ලංකා සංඥා බළකායටය. ඒ මෙරටට රූපවාහිනී තාක්ෂණය පැමිණීමටත් පෙර, එනම් 1970 වසරේදීය.

අතීතයේ සන්නිවේදනය උදෙසා ගිනි දල්වා දුම් පිටකිරීම මෙන්ම පක්ෂීන් අත යවන ලද පණිවිඩ හුවමාරු ක්‍රම ඇතුළු සියල්ල අධ්‍යයනය කරමින් නව තාක්ෂණයද එයට ඈදාගනිමින් සියලු සන්නිවේදන තාක්ෂණය සංවර්ධනය කරා ගෙන යන්නට කටයුතු කළේ ඔවුන්ය.

සංඥා බළකාය ආ මේ ගමනේ බොහෝ තොරතුරු සැඟවී තිබේ. තතු දත්තෝ ඇත්නම් ඒ සුළු පිරිසක් පමණි. එම නිසා කටු අකුලින් පිරි ඒ ගමන් මඟ පිළිබඳව තම හමුදා සේවා කාලය නිම වන්නට පෙර කෘතියක් එළිදැක්විය යුතු යැයි සංඥා බළකා අධිපති ධුරය දැරූ මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටියට අදහසක් ඇති විය. ඒ සංකල්පය අනුව කටයුතු කිරීමේ වගකීම ඔහු සංඥා බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරී බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකරට පැවරුවේය. බ්‍රිගේඩියර් අජිත් ඒ වගකීම බාර ගත්තේය.

‘‘මට ලැබුණු ඒ අභියෝගයත් සංඥා බළකායේ කටයුතු වගේම සංකීර්ණ භාරධූර කාර්යයක්. අපට සමස්ත හමුදාවේම සන්නිවේදන කටයුතු මෙහෙයවීම පැවරිලා තිබුණෙ. නමුත් ඒ අභියෝගයත් ජය ගන්න ලැබුණා. ඒ අනුව මම SILENT HEROES කෘතියේ කර්තෘවරයා විදිහට අනෙක් රාජකාරි කටයුතු කරන ගමන් ඒ වෙනුවෙන් කැප වුණා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේත් අනුග්‍රහය හා උපදෙස් අනුව අපි මේ කාර්යය කරගෙන ගියා. යුද හමුදාපතිවරයාගේ උපදෙස් හා අනුග්‍රහය මේ කෘතිය ඉක්මනින් එළි දක්වන්න අපට හැකියාව ලැබුණා.

මේ කෘතිය එළිදක්වන්න අපිට කිහිප දෙනෙක් විශේෂ දායකත්වයක් ලබා දුන්නා. ඒ අතර සොෆ්ට්වේට් ප්‍රින්ටින් ඇන්ට් පැකේජින් අධිපති චමින්ද කාරියවසම් වගේම ලිපි සංස්කරණයේදී අර්ජුන සෙනෙවිරත්නත් කෘතිය සකස් කිරීමේදී ක්‍රිෂාන්ත දයානන්දත් සහාය ලබා දුන්නා. කෘතියේ තියෙන්නෙ සංඥා බළකාය මේ දක්වා ආපු ගමන වගේම දැඩි දුෂ්කරතාවන් අපි ජය ගත්ත හැටි. මේ සංකල්පය මට බාරදුන්නහම ඒකත් මානුෂීය මෙහෙයුමක් වගේ ලොකු වගකීමක් ඇතිව කළ යුත්තක් වුණා. ඒත් ඒ වගකීම අපි බාරගත්තා.

සංඥා බළකාය සංග්‍රාමික අවධියේ විශේෂ කාර්යයක නියැළිලා සිටියේ. සන්නිවේදනය කියන්නෙ නිතරම අලුත් වෙන දෙයක්. අලුත් තාක්ෂණය කියන්නෙ මුදල් ඒ නිසා අපට නිතරම අලුත් වෙන්න බාධා තිබුණා. නමුත් අපි ඒ සියල්ල ජයගත්තේ අවම සම්පත් පරිභෝජනය කරමින්.

ඇතැම් වෙලාවට පාවිච්චියට ගන්න බැරිව ඉවත දමා තිබුණු ගුවන් විදුලි යන්ත්‍ර පවා අපි යළි සකසා ප්‍රයෝජනයට ගත්තා. මෙහිදී යුද සන්නිවේදන තාක්ෂණයේදී අනිවාර්යෙන්ම අප අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. එකක් අපේ රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීම නැත්නම් සතුරා අතට තොරතුරු පත්වීම වළක්වා ගැනීම. ඒ වගේම අපේ පණිවුඩය ලබන්නාට ඒ පණිවුඩය පැහැදිලි විය යුතුයි. ඒ සඳහා අප තාක්ෂණයෙන්ම අනුගත වුණා.

විශේෂයෙන්ම අපට යුද කටයුතුවලදී අනිවාර්යෙන්ම සන්නිවේදන පාලනයකට පවා ලක් විය යුතු වනවා. එසේ නොවුණහොත් සතුරාට අපි ඉන්න තැන් සොයා ගන්න පුළුවන් වෙනවා. මේ නිසා ආරම්භක සමයේ අපි පණිවිඩ වෙනුවෙන් විවිධ සංකේත (කෝඩ්) භාවිත කළා. උදාහරණයක් හැටියට ‘ඇල්ෆා‘ යන්න වෙනුවෙන් ඉලක්කමක් භාවිත කළා වන්නට පුළුවන්. ඒ සියලු කටයුතු මැද අපි 1994 වසරේ සිට පාබල රාජකාරි වෙනුවෙන් හමුදාව සූදානම් කළා. එමෙන්ම අවසන් මානුෂීය මෙහෙයුමේදී බළඇණි 5ක් ස්ථාපිත කරා.

ඒ සියලුම කටයුතු මේ කෘතියේ අන්තර්ගත වෙනවා. නිහඬව අප ආ ගමන් මඟ තමයි මේ කෘතියෙන් අප එළි දක්වා තිබෙන්නේ‘‘

හමුදාවක සංඥා බළකායේ කාර්යය ශරීරය රැක දීමට ශරීරයේ ස්නායු පද්ධතිය සිදු කරන්නා වූ මෙහෙය හා සමානය. උතුරේ යුද්ධය පවතිද්දී දකුණේ ඇති වූ කැරැල්ල මැඬ පැවැත්වීම වෙනුවෙන්ද හමුදාවට සිදු වූ අතර ඒ සියලු කටයුතු වෙනුවෙන් සංඥා බළකාය ඉටු කරන ලද්දේ නොපසුබස්නා මෙහෙවරකි. බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකරයන් පවසන්නේ යුද්ධයක් පවතිද්දී වුවද එක් එක් බළකායන්ට අනුව ලබා දිය යුතු සංඥා වෙනස් හෙයින් ඒ එක් එක් අංශයන්ට අනුකූලව සංඥා ලබා දීම සිදු කළ යුතු වූ බවයි.

උදාහරණයක් ලෙස කාලතුවක්කු බළකායට වෙනමම සංඥා පද්ධතියක් සකස් කළ යු

තු අතර සන්නාහ සන්නද්ධ බළකායට වෙනමම සංඥා පද්ධතියක් ස්ථාපිත කළ යුතුය. දිගුදුර විහිදුම් බළකායට වෙනම සංඥාවන් ලබා දිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ගුවන් හමුදා ප්‍රහාරයන්ද මේ සටන් හා එක්වන කල්හි ඒ වෙනුවෙන් වෙනමම සංඥා ස්ථාපිත කළ යුතු වේ. මේ සියලු කටයුතු සිදු කෙරෙන අතරතුරු රගර් ඇතුළු ක්‍රීඩාවන් කෙරෙහිත් සියලුම සංඥා බළකායේ පිරිස් යෙදී කටයුතු කරති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ද සංඥා බළකායේ නිලධාරියෙක් වූ අතර බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකරයන් විසින් සංස්කරණය කළ කෘතිය ජනාධිපතිවරයාට පිළි ගන්වන ලද්දේ ශ්‍රී ලංකා සංඥා බළකා අධිපති ධුරය දැරූ මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය විසිනි.

වත්මන් බලකාධිපති මේජර් ජනරාල් අශෝක පීරිස් ද මේ බළකායේ ඉදිරි කටයුතු වෙනුවෙන් දැඩි සේ ඇප කැප වී කටයුතු කරනු ලැබේ.

අද වනවිට ශ්‍රී ලංකා සංඥා බළකාය ප්‍රධාන සංඥා නිලධාරී කාර්යාලයක් , තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයක්, සයිබර් තාක්ෂණ බළසේනා මූලස්ථානයක්ද රෙජිමේන්තු මධ්‍යස්ථානයකින්ද ආවේනික සංඥා රාජකාරි නිත්‍ය ඒකක 6කින්ද ස්වේච්ඡා ඒකකයකින්ද තොරතුරු තාක්ෂණ නිත්‍ය ඒකක දෙකකින්ද සයිබර් ආරක්ෂණ ඒකකයකින්ද නිත්‍ය සන්නිවේදන තාක්ෂණ ඒකකයකින්ද සංඥා පුහුණු පාසලකින්ද විද්‍යුත් සංග්‍රාමික බළගණයකින්්ද සමන්විත වේ.

මෙරට සන්නිවේදන ක්‍රියාවලියේ විශේෂ පුරෝගාමියකු ලෙස කටයුතු කරන යුද හමුදාවේ ශ්‍රී ලංකා සංඥා බළකාය වසර 77ක් ආ ගමන එක් රැස් කරන්නට වසර 3ක කාලයක් ගතවිය. මේ කෘතියේ අඩංගුව ඇති මෙහෙයුම් අතර උතුරේ යුද්ධයේ ආරම්භයේ සිට අද දක්වාම ආ ගමනේ විස්තර අතර මෙරට මානුෂීය මෙහෙයුම දක්වා වූ යුද හමුදාවේ යාල්දේවි වඩමාරච්චි රිවිරැස මෙන්ම අවසන් මානුෂීය මෙහෙයුම් දක්වාම ශ්‍රී ලංකා සංඥා බළකායේ මෙහෙයුම් SILENT HEROES කෘතියේ අඩංගුව තිබේ.

එමෙන්ම මාන්කුලම් හමුදා කඳවුර බිඳ වැටීමේදී මෙන්ම යාපනය කොටුව දින 45ක් ත්‍රස්තවාදීන් වටකර පහර දෙද්දී මෙන්ම මඩකළපුව කිරාන් කඳවුර දින 9ක් තිස්සේ වටකර පහර දෙද්දී වුවද සංඥා ලබා දීමට කටයුතු කළ ආකාරයද SILENT HEROES කෘතියේ අන්තර්ගතය. ශ්‍රී ලංකා සංඥා බළකායේ ආ ගමන්මඟ මෙන්ම යා යුතු ගමන් මඟටද පාර කියා දෙන ‘නිහඬ විරුවන්‘ අවදි කළ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.

 

Comments